2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

ලෝකය පුරා යන කොවිඩ් අලුත් රැල්ල!

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 18

වසංගතය නොතකා අවුරුදු කෙළි - කෙළ ආ අපේ ඇත්තන්ට දැන් සිදුව ඇත්තේ කුම්බලා මාළු කෑ බළලාට වූ සැන්තෑසියමය. ගිය වසරේ අතපසු වූ අවුරුදු බාල්වලටත් හරියන්නට කෝච්චි - බස්වල පොදි කකා ගම් පළාත්වලට ගොස් නැටුම් නටා කොළඹට සේන්දූ වූ පිරිසට සෞඛ්‍ය අංශයේ විශේෂඥයන්  කලින් අනතුරු ඇඟවූ නරකම ආරංචිය නොසිතූ විරූ විලසකින් අසන්නට ලැබී තිබේ.

ඒ රට තුළ දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ සීඝ්‍ර වැඩිවීමක් දක්නට ලැබෙන බවටය. දැඩි සත්කාර ඒකක දැරිය නොහැකි මට්ටමට පිරී යන බවටය. තරුණ අයට කොවිඩ් වැළඳීමේ වැඩි ප්‍රවණතාවයක් මතුවී ඒම ගැනය. කොළඹ නගරයේ කොවිඩ් ආසාදිතයන් හමුවීමේ ප්‍රතිශතය 4 ගුණයක් දක්වා ඉහළ ගොස් ඇති බවටය. ඒ නිසාම මැයි බජව් පස්සට දමා පෙළපාළි තහනම් කිරීමට සිදුවන බවටය. කොරෝනා වෛරසයේ ලංකාව තුළ මීට පෙර හමුනොවූ ප්‍රභේදයක්ද පසුගිය දවස් කිහිපය තුළදී වාර්තා වී ඇති බවටය. මෙකී නොකී කරුණු කාරණා හමුවේ අන්තිමේ සෞඛ්‍ය බලධාරීන්හට දැන් කොවිඩ් අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කරන්නට පවා සිදුව ඇති අතර දෛනිකව සිදුකරනු ලබන PCR පරීක්ෂණ ගණන 15,000ක් දක්වා ඉහළ දැමීමට තීරණය කිරීමටද මේ තත්ත්වය විසින් බලකර හමාරය. දැන් කවුරුත් තක්කු මුක්කු වී සිටින්නේ රට අද වසාවීද? හෙට වසාවීද? යන සැකයෙනි. භීතියෙනි.

අපේ රටේ පමණක් නොවේ මේ වනවිට ලෝකයෙන්ම කොවිඩ් සම්බන්ධයෙන් එන ආරංචි අසුබය. ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව මිලියන 03 ඉක්මවා ගියේ අවුරුදු සතියේදීමය. එම සංඛ්‍යාව මේ වනවිට දැක්වෙන්නේ 3,070,880+ ක් ලෙසටය. මේ ලිපිය ලියන මොහොත වනවිට ලොවපුරා සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 144,417,494+ ලෙස වාර්තා වී තිබුණි.

කොවිඩ් අලුත් මුහුණුවරකින් දැඩි ප්‍රහාරයක් අරඹා ඇති බව ලොව නන්දෙසින් එන ආරංචි මගින් දිනෙන් දින සනාථ වේ. වැඩියෙන්ම අසාධ්‍ය වී ඇත්තේ අපේ අසල්වැසියා හටය. ලෝකෙටම බෙදන්නට එන්නත් පවා හදන ඉන්දියාවටය. ඉන්දියාව තුළ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය මෙයට ආසන්නතම හේතුව වී තිබේ.

මේ දක්වා ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් අසාදිතයන් සංඛ්‍යාව සහ කොවිඩ් මරණ සංඛ්‍යාව පසුගිය සතියේ මුල දිනෙක (20) වාර්තා වී තිබුණි. එදින කොවිඩ් ආසාදිතයන් 294,290ක් වාර්තා වී තිබුණි. දැන් එය ලක්ෂ 3කි. එලෙස එරට දෛනිකව වාර්තාවන ආසාදිතයන් ලක්ෂ දෙකේ සීමාව ඉක්මවා තිබුණේ අඛණ්ඩව 8 වැනි දිනටය. ඒ අනුව එදින වනවිට ඉන්දියාවේ මුළු ආසාදිත සංඛ්‍යාව 15,609,004ක් දක්වා ඉහළ ගොස් තිබුණි. ඉන්දියාවේ වැඩිම දෛනික මරණ සංඛ්‍යාවද එදින වාර්තා විය. එම සංඛ්‍යාව 2,020කි. ඒ සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 184,672+ ක් දක්වා ඉහළ ගියේය.

ඉන්දියාවේ වැඩිම ජනගහනයක් සහිත උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය නව කොවිඩ් ව්‍යාප්තියෙන් දැඩිව පීඩාවකට ලක්ව සිටියි. රෝහල්වල ඉඩ පහසුකම් නොමැති වීමෙන් කොවිඩ් ආසාදිත පුද්ගලයන් ගිලන් රථ තුළම මියැදෙන බව එම ප්‍රාන්තයෙන් වාර්තා වේ. මේ වනවිට එරට බොහෝ තැන්වල දක්නට ලැබෙන්නේ එබඳු හද සසල කරවන දසුන්ය. කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථාන ජනතාවගෙන් උතුරා යද්දී රෝහල් කරා පැමිණෙන රෝගීන් බොහෝමයක් ආපසු හරවා යැවේ. ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවලට මෙය දරාගත නොහැකි තත්ත්වයක් බවට පත්වී හමාරය.

ඉන්දියාව තුළ පැතිර යන මෙම කඩිනම් ව්‍යාප්තියක් සහිත නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් බ්‍රිතාන්‍යය සිය රටට පැමිණීම තහනම් කර ඇති රටවල් ඇතුළත් “රතු ලැයිස්තුව” ට ඉන්දියාවද ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.

මේ වනවිට ලොවපුරා පැතිර යන කොවිඩ් තුන්වැනි රැල්ලට මුහුණ දීම සඳහා ප්‍රංශයේ ජන ජීවිතයට නැවතත් සීමා පනවා තිබේ. පාසල් අවම වශයෙන් සති තුනක් හෝ වසා දමන බවත් දුරස්ථ අධ්‍යාපනය සඳහා නැවත යොමුවන බවත් ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් කියා තිබුණි. එරට තුළ සියලුම අත්‍යවශ්‍ය නොවන වෙළෙඳසල් සෙනසුරාදා (මාර්තු 27) දින සිට වසා දමා ඇති අතර, අත්‍යවශ්‍ය කාරණයකට හැර නිවසේ සිට කිලෝමීටර 10කට වැඩි දුරක් ගමන් කිරීම තහනම් කර ඇත. ප්‍රංශයේ මේ ලිපිය ලියන මොහොත වනවිට කොරෝනා වෛරස රෝගීන් 5,374,288+ කට වැඩි සංඛ්‍යාවක් සහ කෝවිඩ් ආශ්‍රිත මරණ 101,881+ ක් වාර්තා වී තිබේ.  

ඉතාලියද කොවිඩ් සඳහා නව වාරණ නීති පනවා තිබුණි. රෝමය සහ මිලාන් ඇතුළු ඉතාලියේ අඩකට වඩා ප්‍රදේශයක වෙළෙඳසල්, ආපනශාලා සහ පාසල් නැවත වරක් වසා දැමිණි. රුකියාව, සෞඛ්‍ය හෝ වෙනත් අත්‍යවශ්‍ය හේතු හැරෙන්නට සියලුදෙනා නිවසේ රැඳී සිටිය යුතුය. ඉතාලියෙන්ද කොරෝනා වෛරස රෝගීන් 3,904,899 + කට වැඩි සංඛ්‍යාවක් සහ කෝවිඩ් ආශ්‍රිත මරණ 117,997 + ක් වාර්තා වී තිබුණි.

මේ වනවිට කොරෝනා වෛරස රෝගීන් 3,208,672 + කට වැඩි සංඛ්‍යාවක් සහ කෝවිඩ් ආශ්‍රිත මරණ 81,382 + ක් වාර්තා වී ඇති ජර්මනියද නැවත රට ලොක්ඩවුන් කිරීමකට අරඅඳිමින් සිටියි. ඒ රට තුළ සෞඛ්‍ය සීමාවන් ක්‍රියාත්මක වන කාලය දීර්ඝ කර තිබේ. දින හතක කාලයක් තුළ 100,000 කට නව රෝගීන් 100ක් ඉක්මවා ආසාදිතයන් සිටින ප්‍රදේශවල සෞඛ්‍ය සීමාවන් තවදුරටත් දැඩිකර තිබේ. වෙළෙඳසල් සහ පොදු ප්‍රවාහනයේදී එක් වතාවක් පමණක් භාවිත කළ හැකි ශල්‍ය මුහුණු ආවරණ හෝ FFP2 වර්ගයේ විශේෂ මුහුණු ආවරණයක් පැළඳීම අනිවාර්යය.

දැන් කොරෝනා වෛරස රෝගීන් 244,868 + කට වැඩි සංඛ්‍යාවක් සහ කෝවිඩ් ආශ්‍රිත මරණ 2,467+ ක් වාර්තා වී ඇති ඩෙන්මාර්ක රජය “කොරෝනා බලපත්‍රයක්* ලබාදීමට යෝජනා කර තිබේ. වයස අවුරුදු 15ට වැඩි සෑම කෙනෙකුටම සිය ජංගම දුරකථනයෙන් පවා ලබාගත හැකි මෙම බලපත්‍රයේ අදාළ අය පසුගිය පැය 72 තුළ කොරෝනා වෛරස පරීක්ෂණයෙන් (නෙගටිව්) ප්‍රතිඵල ලැබී ඇත්ද, කලින් ආසාදනය වී ඇත්ද යන්න හෝ එන්නත ලබාගෙන ඇත්තේද යන්න ගැන තහවුරු කරයි. එරට සීමාවන් ක්‍රමයෙන් ඉවත් කරන බැවින්, කොණ්ඩා මෝස්තර දමන ස්ථානයට, අවන්හලකට හෝ වෙනත් ස්ථානයකට යෑමේදී මෙම බලපත්‍රයේ සඳහන් දත්ත අවශ්‍ය වේ.

සිනමා ශාලා විවෘත කිරීම මෙන්ම කුඩා සාප්පු, විශාල සාප්පු මධ්‍යස්ථාන, කැෆේ සහ ආපනශාලාවල එළිමහනේ ආහාර ගැනීමට අවසරයත්, ආපනශාලා ඇතුළත සිට ආහාර ගැනීමත් තත්ත්වය හොඳ අතට හැරෙන්නේ නම් පමණක් මැයි 6 වැනි දින නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තුව සිටියි. යුරෝපා සංගමයට අයත් චෙක් ජනරජයද කොරෝනා වෛරසයෙන් දැඩි ලෙස පීඩාවට පත් රටකි. ඒ හේතුවෙන් එරට ජන ජීවිතයට පැනවූ සීමා තවදුරටත් දැඩිකර තිබේ.

නව ක්‍රියාමාර්ග අතරට කුඩා ළමුන් හා ආබාධිත පුද්ගලයන් සඳහා වූ පාසල් වැසීම, දිස්ත්‍රික්ක අතර ගමන් කිරීම තහනම් කිරීම සහ විවෘතව පවතින කර්මාන්තශාලා සහ සමාගම්වල සේවකයන් සඳහා අනිවාර්ය කොරෝනා වෛරස පරීක්ෂණ පැවැත්වීම ඇතුළත් වේ. ඒ රට තුළ කොරෝනා වෛරස රෝගීන් 1,609,861 + කට වැඩි සංඛ්‍යාවක් සහ කෝවිඩ් ආශ්‍රිත මරණ 28,739 + ක් වාර්තා වී ඇත.

දැනට කොරෝනා වෛරස රෝගීන් 3,446,072 + කට වැඩි සංඛ්‍යාවක් සහ කෝවිඩ් ආශ්‍රිත මරණ 77,364 + ක් වාර්තා වී ඇති ස්පාඤ්ඤය තුළ පළාත් අතර ගමන් කිරීම  තහනම්ය. රාත්‍රී 11 සිට උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර, අවශ්‍ය නම් අදාළ ප්‍රදේශවල රාත්‍රී 10 සිට එය බලපැවැත්විය හැකිය.

විවෘත ස්ථානවල උපරිම වශයෙන් හය දෙනෙකු සහ සංවෘත ප්‍රදේශවල සිව් දෙනෙකුට හමුවිය හැකි අතර, පෞද්ගලික නිවාසවල හමුවීමට අවසර නොමැත. වයස අවුරුදු 6ට වැඩි ඕනෑම පුද්ගලයෙක් ගෘහස්ථ හා එළිමහන් පොදු ස්ථානවල මුහුණු ආවරණයක් පැළඳිය යුතුය.

අපි අවුරුද්ද සැමරූ පාස්කු සමය ඇතුළත බෙල්ජියම සති හතරක කාලයක් වසා දමා තිබුණි. ප්‍රාථමික හා ද්විතීයික පාසල් මෙන්ම විශ්වවිද්‍යාලද වසා ඇත. අත්‍යවශ්‍ය නොවන සාප්පු විවෘතව ඇති නමුත් පෙර වෙන් කරවා ගත් වෙලාවකදී පමණක් අදාළ සේවාවන් ලබාගත හැකිය. කොණ්ඩා මෝස්තර දමන ස්ථාන, රූපලාවණ්‍යාගාර සහ සම්බාහන මධ්‍යස්ථාන වසා ඇත. අත්‍යවශ්‍ය නොවන සියලුම සංචාර තහනම් කර ඇත. ඒ රටේ කොරෝනා වෛරස රෝගීන් 955,056 + කට වැඩි සංඛ්‍යාවක් සහ කෝවිඩ් ආශ්‍රිත මරණ 23,834 + ක් වාර්තා වී ඇත.

දැන් කොරෝනා වෛරස රෝගීන් 832,255 + කට වැඩි සංඛ්‍යාවක් සහ කෝවිඩ් ආශ්‍රිත මරණ 16,952 + ක් වාර්තා වී ඇති පෘතුගාලයේ නගර අතර ගමන් කිරීම තහනම් කර තිබේ. ඇතැම් ව්‍යාපාර සහ ප්‍රාථමික පාසල් නැවත විවෘත කරමින් පෘතුගාලය ඇතැම් සීමාකිරීම් ලිහිල් කිරීමට පටන් ගත්තේය.

මේ වනවිටද කොරෝනා වෛරස රෝගීන් 1,426,243 + කට වැඩි සංඛ්‍යාවක් සහ කෝවිඩ් ආශ්‍රිත මරණ 16,983 + ක් වාර්තා වී ඇති නෙදර්ලන්තය අගුලුලෑමේ (ලොක්ඩවුන් -lockdown) නීති අප්‍රේල් 20 දක්වා දීර්ඝ කර ඇත. ඇඳිරි නීතියද දීර්ඝ කර තිබෙන නමුත් මාර්තු 31 සිට එය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට උදෑසන 4.30 දක්වාය. මැයි මස මැද වන තුරු විදේශයන්හි නිවාඩු වෙන් නොකරන ලෙස රජය එරට ජනතාවගෙන් ඉල්ලා ඇත.

 සුගත් පී. කුලතුංගආරච්චි