2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා

පාස්කු ප්‍රහාරයෙන් විනාශ වූ ගමකට ගිය ගමන

 2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 82

පාස්කු ප්‍රහාරය එල්ල වී මේ වසරට අවුරුදු දෙකක් ගතවී හමාරය. කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයට ජීවිත බොහොමයක් එක යායට බිලි විය. කටුවපිටිය එකම ලේ විලක් වූ ගම්මානයක් විය. ගෙයක් ගෙයක් ගාණේ විලාප හඬ ඇසෙද්දී, දරුවන්ට දෙමව්පියන් අහිමි වෙද්දී, දෙමව්පියන්ට දරුවන් අහිමි වෙද්දී අඳෝනාවේ හඬ කටුවපිටිය පුරාම පැතිර ගියේය.

අද පාස්කු ප්‍රහාරයට අවුරුදු දෙකක් ගතවුවද ඒ වේදනාවේ අඳුරු මතකයන් තවමත් කටුවපිටියෙන් ඈත්වී නැත. එල්ල වූ ප්‍රහාරයන්ට වගකිව යුතු ඇතැමුන් නිදැල්ලේ සිටියදී මේ වන විටද කටුවපිටිය අහිංසක ජනතාව සිටින්නේ දැඩි වේදනාවකිනි. පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කරන්නවත් ඔවුන්ට කැමැත්තක් නැත. ඒ තරමටම ඔවුහු තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳව අප්‍රසාදය පළ කරති.

දැන් අපි මොනව කිව්වත් කිසිම වැඩක් වෙන්නෙ නැහැ. මේ අවුරුදු දෙකට මේ මිනිස්සු වෙනුවෙන් ගත්තු තීරණ ගැන කටුවපිටියේ මිනිසුන්ට දැඩි පිළිකුළක් තියෙන්නේ. ඒ අයට ඕන විදිහට ඒ අය කරගෙන යනවා. කටුවපිටිය මේ බෝම්බ පිපිරීමත් එක්ක අසරණ වුණු අපේ මිනිසුන් වෙනුවෙන් අතිගරු කාදිනල්තුමා ඇතුළු බොහෝ පියතුමන්ලාත් බොහෝ ව්‍යාපාරිකයනුත් උදව් කළා. ආධාර කළා. හිතින් සහ ආර්ථිකයෙන් ජීවිතය අන්තයටම වැටුණු මේ මිනිසුන් වෙනුවෙන් කතා කළා. ඔවුන්ට ආයේ ජීවිතයේ නැගිට සිටින්නට අත දුන්නා. නමුත් රජය මේ මිනිසුන් වෙනුවෙන් කළේ මොනවද? අපිට මේ මිනිසුන් වෙනුවෙන් කරන්න පුළුවන් යුතුකම් අපි කළා. අදටත් අපි කරනවා. නමුත් මේ රට යන විදිහ සහ පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුව කරන දේවල් ගැන ලොකු කලකිරීමෙන් අපි ඉන්නේ. මේක මේ ආණ්ඩුවේදී කරපු දෙයක් නෙමෙයි. නමුත් එහෙම වෙලත් මේ රජයට මේක විසඳගන්න බැරිවෙලා තියෙනවා. අද කටුවපිටිය මිනිස්සු හැමෝම ලොකු කලකිරීමකින් ඉන්නේ. මීට වඩා මේ මිනිස්සු ගැන රජය හිතන්න ඕනෙ. 

කටුවපිටිය ගමේ අදටත් තම සැමියා අහිමිවෙලා දරුවන් එක්ක තනිවුණු කාන්තාවන් හරි අසරණව ජීවත් වෙනවා. ඔවුන්ට කිසිම ආදායමක් නැහැ. මරණයේදි රජයෙන් ලක්ෂ දහයක් දීලා තිබුණා. සමහරු ජීවත් වෙන්නේ කුලී ගෙවල්වල. සමහරුන්ට අද ඉන්නවත් තැනක් නැහැ. ගෙවල් කුලී ගෙවාගෙන මේ මිනිසුන්ට ලක්ෂ දහයකින් දරුවන්ව නඩත්තු කරගෙන ජීවත් වෙන්න පුළුවන්ද? අවුරුදු දෙකක් තිස්සේ මේ මිනිසුන්ට සාධාරණ තීන්දුවක් ලබා දුන්නේ නැහැ. ඇත්තටම මේක කොච්චර කතා කළත් වැඩක් නැති දෙයක්. ඒ පිළිබඳව කොමිසමකින් නිර්දේශ ලැබිලා තියෙනවා නම් අඩුම තරමේ ඒකෙ සඳහන් දේ කරන්නවත් මේ රජයට තාම බැරිවෙලා තියෙනවා. ඒ නිර්දේශය ලැබෙන්නත් අවුරුදු දෙකක් ගතවුණා. ඒ අයගේ කමිටුවලින් ලැබුණු නිර්දේශයන් ක්‍රියාත්මක කරන්න ඒ අයට බැරිවෙලා තියෙනවා. ප්‍රේම් ප්‍රනාන්දු මහතා දේශයට මේ කරුණු ප්‍රකාශ කළේ හදපිරි වේදනාවෙනි.

කටුවපිටිය බෝම්බ ප්‍රහාරයත් සමඟ චන්ද්‍රානි මහත්මියට තම ආදරණීය සැමියා අහිමි විය. තම එකම දියණියත් සැමියාත් සමඟ චන්ද්‍රානි කටුවපිටිය දේවස්ථානයට පූජාව සඳහා ගොස් තිබුණද ඒ බෝම්බ ප්‍රහාරයෙන් කුමක් හෝ වාසනාවකට චන්ද්‍රානිත් තම දියණියත් දිවි ගලවා ගත්හ. නමුත් චන්ද්‍රානි හැඬූ කඳුළින් පවසන්නේ ඒ ඔවුන්ගේ අවාසනාව කියාය.

අවුරුදු දෙකක් ගතවුණත් තාමත් අපි ඉන්නේ හැඬූ කඳුළින්. මට මගේ සැමියා මතක් නොවන දවසක් නැති තරම්. මගේ දුව එයාගේ තාත්තාව මතක් කරන්නේ නැති දවසක් නැහැ. අපිට තිබුණු එකම හයිය අපෙන් උදුරලා ගත්තා. බෝම්බ ගහපු කෙනා මැරිලා ගියත් ඒකට අනුබල දුන්නු අය ඉන්නවා. අපේ අය මරලා දැන් අවුරුදු දෙකක් ඉවර වේගෙන යනවා. නමුත් තාමත් මටත්, මගේ දරුවාටත් මේ කිසිම කෙනකුටවත් කිසිම සාධාරණයක් වෙලා නැහැ. අපිට මේ ලෝකේ මිල කරන්න බැරි අපේ සම්පත අපිට අහිමි කළා. මගේ දරුවාට මගේ තාත්තා වටිනවා. ඒ වගේම මට මගේ සැමියාගේ වටිනාකම මිල කරන්න බැහැ. ඒ තරමටම එයාට මටත් මගේ දරුවාවත් වටිනවා. නමුත් එයාට රජය මිල කරලා තිබුණේ ලක්ෂ දහයකට විතරයි. ඒ ලක්ෂ දහය දුන්නෙත් මට ලක්ෂ හතරහමාරක් සහ මගේ දුවට ලක්ෂ හතරහමාරකුයි මරණයට තව ලක්ෂයකුයි දුන්නා. මම අවුරුදු එකොළහක දරුවෙක් එක්ක මුළු ජීවිත කාලයටම ලක්ෂ දහයෙන් ජීවත් වෙන්න පුළුවන්ද? අනික මනුස්සයෙක්ගේ වටිනාකම ගැන මායිමක් නොකර දැන දැන මේ අය මිනිස් ජීවිත කීයක් නම් විනාශ කළාද? මිනීමරපු මේ අය මිනිස් ජීවිතයක වටිනාකම දුන්නේ රුපියල් ලක්ෂ දහයකටයි. මගේ දුවට තාම අවුරුදු එකොළහයි. එයාගේ ගිණුමට දාපු මුදල් අවුරුදු දහඅට වෙනතුරු ගන්න බැහැ. ඒ නිසා අද අපි ජීවත් වෙන්නේ කොහොමද? අපිට කන්න බොන්න මොනවාද තියෙන්නේ? මේ දේවල් ගැන ඔය වගකිවයුත්තන් බැලුවේ නැහැ. චන්ද්‍රානි මහත්මිය පවසන්නීය.

චන්ද්‍රානි දියණියකගේ අම්මා කෙනෙකි. ඔවුන්ගේ ජීවිතවල තිබුණු එකම හයිය බෝම්බ ප්‍රහාරයෙන් සදහටම නැති වී ගියේය. ඔවුන් මේ පාස්කු ප්‍රහාරයෙන් චෝදනා කරන්නේ ආණ්ඩුවටය. 
කාදිනල්තුමා අපි වෙනුවෙන් කතා කළා. අපිට උදව් කළා. තුෂාරි පියතුමා, ක්ලිටස් සර්, ප්‍රේම් සර් ඇතුළු පිරිස එකතුවෙලා සියෙස්ටා පදනමෙන් මටයි මගේ දරුවාටයි ගෙයක් හදලා දුන්නා. නැත්නම් අද මායි, මගේ දරුවයි මේ මහ පාරේ හිඟාකන්න තිබුණා. මායි මගේ මහත්තයයි මගේ දුවයි හිටියේ කුලී ගෙයක. මගේ මහත්තයා ඒ වෙද්දි ඉඩමක් අරගෙන ගෙවමිනුයි හිටියේ. මහත්තයාගේ මියයාමත් එක්ක අපි මේ ලෝකේ තනි වුණා. ඒ වෙලාවේ අපිට උදව් කළේ මේ රටේ ඉන්න හිත හොඳ මිනිස්සු පිරිසක්. තුෂාර පියතුමා, ප්‍රේම් සර්, ක්ලිටස් සර් සියෙස්ටා පදනම ඇතුළු කට්ටයක් අපිට ලස්සන ගෙයක් හදලා දුන්නා. ඒ ගෙට ඕනකරන හැමදේම ලැබුණට මගේ මහත්තයා, දරුවාගේ තාත්තා අපිට නැහැ. දිලුක් ඒ ඉඩමට සල්ලි ටික ටික බැන්දෙ අපි තුන්දෙනා වෙනුවෙන් ගෙයක් හදන්න. ඒ බලාපොරොත්තුව මේ රටේ හදවත් තියෙන මිනිස්සු අපිට ඉටු කරලා දුන්නාට අපිට වෙච්චි අසාධාරණය වෙනුවෙන් සාධාරණයක් මේ රටේ රජය අදටත් අපිට කරලා දුන්නේ නැහැ. ආණ්ඩුවෙන් අපිට මුකුත් කරලා නැහැ. අපේ ආදරණීයන් ඒ අය දැන දැනම අපෙන් උදුරා ගත්තා. ගෙදර ගෘහමූලිකයා මරල දැම්මට පස්සේ ඒ පවුල ඉදිරියට යන්නේ කොහොමද කියල ඒ අය දන්නවද? මම ලොකු දුවෙක් ඉන්න අම්මා කෙනෙක්. ඒ දරුවාගේ අනාගතය ගැන හිතන්න ඕනෙ. ඒත්.. අවුරුදු දෙකක් ගෙවිලා ගියත් අපේ ජීවිතවලට සාධාරණයක් මේ කිසිදු රජයකින් ලැබුණේ නැහැ.* චන්ද්‍රානි වැඩිදුරටත් පවසන්නීය.

පාස්කු ප්‍රහාරයත් සමඟ දරුවන්ට දෙමව්පියන් අහිමි වූවා මෙන්ම දෙමව්පියන්ටද දරුවෝ අහිමි වූහ. තවත් කුඩා දරුවෝ ආබාධිත තත්ත්වයට පත්වූහ. හිස්කබල්වලට අතපයවලට හානි සිදුවුණු මේ දරුවන් එක් සැත්කමකින්, දෙකකින් තම ජීවිතවලින් වන්දි ගෙවූහ. පිරිසකගේ නොසැලකිලිමත්කම නිසාත්, වගකීමක් නැතිකම නිසාත් අසරණ වූයේ අහිංසක මිනිසුන්ය. ඇතැම් පුංචි දරුවෝ මේ සිදුවීමෙන් දේවස්ථාන වෙත යන්නට පවා බය වූහ.
මේ සම්බන්ධයෙන් කාදිනල් වහන්සේ බොහෝ සෙයින් මැදිහත් වෙලා අහිංසක මිනිසුන් වෙනුවෙන් කතා කරනවා. මේ සිදුවීමෙන් කටුවපිටිය ප්‍රදේශයේ මිනිසුන්ගේ ජීවිත නතර වුණා වගෙයි. අපේ දරුවෝ, දෙමව්පියෝ, සහෝදර සහෝදරියෝ, නෑදෑයෝ නැතිවුණා. පන්තියක දරුවෙක් පෑනක් මකනයක් හොරකම් කළත් දවස් කිහිපයකට පසුව ඒ හොරකම් කිරීම ගැන අපිට හොයාගන්න පුළුවන්. එවිට ඒ හොරාට දඬුවමක් දීලා යම් සැනසීමක් ලබන්න පුළුවන්. නමුත් මේ සිදුවීමේදී මෙච්චර අපරාධයකුත් කරලා මේක එක එක්කෙනාට බෝල පාස් කර ගන්නවා. මේක මේ මිනිසුන්ට ලොකු පීඩනයක්.* යැයි වජිර සුරංජන් මහතා පැවසීය.

ඔහු වත්තල ශාන්ත ජෝසප් විදුහලේ උසස් පෙළ අංශ ප්‍රධානී ලෙස කටයුතු කරයි. ඔහු කටුවපිටිය දහම් පාසලේ විදුහල්පතිතුමාය. ගුරුවරයකු ලෙසින් දරුවන් හා ජීවත් වෙන වජිරට දරුවන් පිළිබඳ ඇත්තේ විශාල අවබෝධයකි.
මේ දරුවන්ගේ මානසිකත්වය බොහෝදුරට යථා තත්ත්වයට පත්වෙමින් තියෙනවා. නමුත් අම්මාගේ ආදරය, තාත්තාගේ ආදරය වෙන කාටවත් දෙන්න බැහැ. තාත්තාගෙන් දරුවන්ට වන යුතුකම්, වගකීම් ඉෂ්ඨ වුණොත් තමයි ඒ දරුවා තුළ ආදරය, සෙනෙහස නිර්මාණය වෙන්නෙ. නමුත් ඒ දරුවන්ගේ තියෙන ඒ අඩුව කාටවත් පුරවන්න හැකිවෙන්නේ නැහැ. මේ පුංචි දරුවන්ට මේ මිනිස්සු කළේ ලොකු අපරාධයක්. යැයි වජිර සුරංජන් වැඩිදුරටත් පැවසීය.

මෙම බෝම්බ ප්‍රහාරයෙන් වජිර ද දැඩි අනතුරකට පත් විය. ඔහුටද සැත්කම් කිහිපයක් මේ වන විටත් සිදු කර තිබේ. බෝම්බ ප්‍රහාරයෙන් ශරීරයට ඇතුළු වුණු උණ්ඩ හතරක් තවමත් පිට ප්‍රදේශයේ පවතී. ඒවා තිබෙන්නේ සැත්කමක් කොට පිටතට ගැනීමට නොහැකි මට්ටමකය. ප්‍රහාරයෙන් අතකට ඇතුළු වූ විෂබීජයක් හේතුවෙන් මේ වසරේ ජනවාරි මාසයේදී අතට තවත් සැත්කමක් සිදු කෙරුණි. අවුරුදු දෙකක් ගතවුවද තවමත් ඔවුහු මේ ප්‍රහාරයෙන් විවිධ පීඩාවන්ට මුහුණ දෙති.

මේ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු වී නොමැතිකමින් කටුවපිටිය ජනතාව ලොකු කලකිරීමකින් ඉන්නේ. අවුරුදු දෙකක් ගෙවිලාත් මේ වුණේ මොකක්ද? මේ ආණ්ඩුව මේකට සාධාරණයක් ඉතා ඉක්මනින් දෙනවා කියලයි කිව්වේ. ඒත් අවුරුදු දෙකක් ගෙවිලත් ඒ සාධාරණය මේ මිනිසුන්ට ලබා දුන්නේ නැහැ. දේශපාලන වශයෙන් තවමත් කිසිම සාධාරණයක් ඉටු වුණේ නැහැ. ඒක ලොකු අඩුපාඩුවක් විදිහටයි අපි දකින්නේ. තුවාල වුණු, නැතිවුණු අයගේ දෙමව්පියන්ට දරුවන්ට ආධාර බලාපොරොත්තු වෙනවාටත් වඩා මොකද වුණේ? කියන දේ දැනගන්නයි ඕනවෙලා ඉන්නේ. ඒ අය හැමවෙලේම ඇයි ෆාදර් අපිට මෙහෙම වුණේ. මේ අය මේ කටුවපිටියට තෝරාගත්තේ ඇයි කියලයි අපෙන් අහන්නේ. බොහෝ දෙමව්පියන් ජීවත්වෙන එකටත් දැන් කැමැති නැහැ. ඒ අය කිසිම කෙනෙක්ව දැන් විශ්වාස කරන්නේ නැහැ. අවුරුදු දෙකක් තිස්සේ ඒ මිනිසුන්ගේ හිත් මේ දේශපාලන මිනිස්සු කඩලා දැම්මා. යැයි තුෂාර සම්පත් පියතුමා දේශයට පැවසීය.
අවුරුදු දෙකක් ගෙවුණි. නමුත් තවමත් ඒ ජීවිතවලට කිසිදු සාධාරණයක් ලැබුණේ නැත. දාල ගිය ජීවිත වෙනුවෙන් සාධාරණයක් කරන තුරු ඒ සියලු දෙනා බලා සිටිති. නමුත් ඒ ඉවසීමටද සීමාවක් ඇත.

 දිශානි ජයමාලි කරුණාරත්න
 ‍සේයාරූ I සුමුදු හේවාපතිරණ