2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා

ඔන්ලයින් අවන්හල්

 2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 62

කොරෝනා වසංගතය මුළු ලෝකයම කණපිට හැරෙව්වේය. ගම්, නගර පමණක් නොව රටවල් ද වසා දැම්මේය. මාස ගණන් එක දිගට ලොක්ඩවුන් කිරීම හේතුවෙන් බොහෝ වෘත්තිකයන්ගේ රැකියා ද අහිමි විය. 

ලොක් ඩවුන් සමයේ බොහෝ අය මුහුණ දුන් ප්‍රධානතම ගැටලුව වූයේ ආහාර පාන සපයා ගැනීමය. ඇතැම් ප්‍රදේශවල ත්‍රිරෝද රථවලින්, ලොරි මගින් අත්‍යවශ්‍ය ආහාරපාන නිවෙස් අසළට රැගෙන විත් අලෙවි කෙරුණුද ඇතැම් ප්‍රදේශවලට එවැනි පහසුකම් සැපයුණේ නැත. සැදෑ කාලයේ ආපන ශාලා කරා ගොස් ආහාර පාන ගැනීමට හෝ රුගෙන යාමට  පුරුව සිටි කාර්යබහුල බොහෝ පිරිස් ලොක්ඩවුන් හේතුවෙන් බොහෝ අසීරුතාවට මුහුණ පෑවේ විවිධ රසයෙන් යුතු ආහාර පානවලට පුරුදු වී සිටි ඔවුන්ට එකම විදිහේ ආහාරපාන බුදින්නට සිදු වූ නිසාය. 

අන්තර් ජාලය ඔස්සේ තමන්ට අවශ්‍ය ආහාරපාන ඇණැවුම්කොට නිවෙසටම ගෙන්වා ගැනීමේ අවස්ථාව උදාවූයේ මෙම අපහසුතාවට පිළියමක් ලෙසිනි. බොහෝ සුපිරි වෙළෙඳසල්, බේකරි, තොග වෙළෙඳුන්, පැණිබීම අලෙවි නියෝජිතයන් වැනි මෙකී නොකී පිරිස් ආහාර ද්‍රව්‍ය ඇණවුම් බාර ගන්නා බවත් වට්ස් අප් හෝ දුරකථන ඇමතුමක් මගින් ඇණවුම් කළ හැකි බවටත් ෆේස් බුක් වැනි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කළහ. එය සාර්ථක අලෙවි මාර්ගයක් බවට පත් විය.

විවිධ රුකියාවන්හි නිරතව සිට ලොක් ඩවුන් නිසා නිවෙස්වලටම කොටුවී සිටින්නට සිදුවූ ඇතැම් පිරිස් එම තත්ත්වයෙන් මිදීම සඳහාත් තම ආර්ථිකය ගොඩ නංවා ගැනීම සඳහාත්  කුමක් හෝ කළ යුතුයැයි සිතූහ.  විවිධ ආහාරපාන සෑදීමේ හැකියාව තිබූ එවැනි පිරිස් නිවෙසේ සිට ආහාර පාන සකසා අන්තර් ජාලය මගින් ඇණැවුම් ලබාගෙන ඒවා බෙදා හැරීමේ ව්‍යාපාර ආරම්භ කළේ හුදෙකලා ජීවිතයෙන් මිදීමට මෙන්ම ජීවනෝපාය මාර්ගයක් ද ලෙසිනි.

අයිෂා හජ්රින් සහ හර්ෂ විජේන්ද්‍ර විවාහක තරුණ යුවලකි. අයිෂා මැලේ ජාතික තරුණියක වන අතර මැලේ ආහාරපාන දක්ෂ ලෙස සැකසීමට ඇය දැන සිටියාය. වෙනත් වෘත්තියක නිරතව සිටියද ලොක්ඩවුන් සමයේ කිසිදු රුකියාවක නිරත වීමට නොහැකි වූ බැවින් ඔවුන් දෙදෙනා එක්ව මැලේ හා ඉන්දුනීසියානු ආහාරපාන අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිතූහ. 2020 සැප්තැම්බර් මාසයේ සුළුවෙන් තම ව්‍යාපාරය ඇරඹූ ඔවුහු මේ වනවිට සාර්ථක ව්‍යාපාරයක් ලෙස ඉදිරියට පැමිණ සිටිති. මැලේ බසින් මැලේ රස හෙවත් රස මෙලායු ලෙස තම ව්‍යාපාරය නම් කර ඇති අතර නාසි ගොරෙන්ග්, නාසි ලෙමොක්, ෆ්‍රයිඩ් චිකන්, ට්‍රයිප් කරි හෙවත් බාබත් කරි, හරක්මස් රෙන්ඩැන්ග්, පැන්ඩන් චිකන් වැනි ආහාර ඔවුන්ගේ මෙනුවෙහි අඩංගුය. නිවෙසේම සැදූ ලක්සා සහ තායි මිරිස් සෝස් එම ආහාර වඩාත් රසවත් කරයි. නිසි සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් සාධාරණ මිලකට ආහාර සැපයීම ඔවුන්ගේ අරමුණය.

වෝම් ඩිලයිට්ස්* නමින් බේකරි නිෂ්පාදන, කෙටි ආහාර  හා කේක්වර්ග නිෂ්පාදනය කරන කුමාරි කුරේ මහත්මියද අන්තර් ජාලය ඔස්සේ ඇනවුම් ලබාගෙන ආහාර සපයන තවත් ව්‍යාපාරික කාන්තාවකි. ඔවුන්ගේ ආහාර අතර සේවරි පැක් නමින් හැඳින්වෙන ආහාර පැකට්ටුවට විශේෂ ඉල්ලුමක් පවතී. පැකේජයක් ආහාර වර්ග 2-5 අතර පරාසයක පවතින අතර  ගැනුම්කරුගේ අවශ්‍යතාව පරිදි ඒවා ඇණැවුම් කළ හැකිය. ඔවුන්ගේ නිෂ්පාදන අතුරින්  වැඩි ඉල්ලුමක්  සැන්ඩ්විච්, වර්ගවලට ඇත. ‘රේන්බෝ සැන්ඩ්විච්, ට්‍රිපල් ලේයර් නිර්මාංශ සැන්ඩ්විච්, මිනි පීසා, බිත්තර සහ සීනී සම්බෝල පෆ් පේස්ට්‍රි වැනි පේස්ට්‍රි අයිතම ජනප්‍රියව තිබේ. 

ඩෙසට් අයිලන්ඩ්* නමැති ව්‍යාපාරයේ හිමිකරු තිසුර ගුණවර්ධනය. ඔහුගේ ව්‍යාපාරය ප්‍රසිද්ධව ඇත්තේ චොක්ලට් බිස්කට් පුඩිං සඳහාය. නිවෙසේ සිට ආහාර වට්ටෝරු අත්හදාබැලූ ඔහු එය සාර්ථක වූයෙන් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට පියවර ගත්තේය. ක්ලැසික් සහ පීනට්බටර් යන දෙවර්ගයේ චොක්ලට් බිස්කට් පුඩිං වර්ග දෙකක් ප්‍රමාණ දෙකකින් ඔහු අලෙවි කරයි. දේශීය අමුද්‍රව්‍ය පමණක් යොදා ගනිමින්  නිෂ්පාදනය කරන මෙම පුඩිංවලට අතුරුපසක් ලෙස හොඳ ඉල්ලුමක් පවතී.
බේක්ඩ් විත් ලව්* නමැති ව්‍යාපාරය නිරන්ජලා නන්දකුමාර් සහ ලක්ෂ්මි විජයනාදන් යන නැන්දා සහ ලේලිය විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාරයකි. කේක් වර්ග, ක්‍රීමි චොක්ස් පෆ්, පේස්ට්‍රිවර්ග, එග්ක්ලෙයාර්ස් මෙන්ම රාත්‍රි ආහාරවර්ග ද ඔවුන් විසින් සපයනු ලබයි. අන්තර් ජාලය ඔස්සේ මෙන්ම ඇතැම් වෙළෙඳ ආයතන මගින්ද තම නිෂ්පාදන අලෙවි කිරීමට ඔවුහු පියවර ගෙන තිබේ. විශ්වාසදායක ආහාර බෙදාහැරීම සේවයක සහය ලබා ගනිමින් තමන්ට අන්තර් ජාලය ඔස්සේ ලැබෙන ඇණැවුම්  බෙදා හැරීමට ඔවුහු කටයුතු කරති.

ශානකා වඩුගේ සහ හර්ෂිනී රන්දෙනිය අසල්වැසියන්ය. ඩෑෂ් ඔෆ් සෝල්ට්* නම් ඔවුන්ගේ ව්‍යාපාරය මගින් රාත්‍රි ආහාර සැපයීමේ සේවාවක් පවත්වාගෙන යයි. ෂානකා කාර්ය බහුල රුකියාවක නිරතව සිටි අතර හර්ෂිනී දරුවන්ගේ වැඩකටයුතුවල නිරත  ගෘහණියක වූවාය. ලොක්ඩවුන් සමයේ නිවෙසට පමණක් සීමා වී සිටියදී රුකියාවක නිරතවීමේ මගක් සොයා ගැනීම පිළිබඳ ඔවුනට ඇත්තේ සතුටකි. දින දෙකකට පෙර ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ ඇණවුම් කිරීමෙන් ඔවුන්ගේ සේවාව ලබාගත හැකිය.

ආනයනය සීමාවීම නිසා විදේශවලින් ලබාගන්නා ඇතැම් අමුද්‍රව්‍ය ලබාගැනීමේ අසීරුතාවට බොහෝ ගෘහ නිෂ්පාදකයන්ට මුහුණ දීමට සිදුවිය. ඇඳිරි නීතිය නොමැති අවස්ථාවල වෙළෙඳපොලේ ඇති එවැනි ආහාර ද්‍රව්‍ය ටිකක් වැඩියෙන් ලබාගෙන ගබඩා කර ගැනීමට ඇතැමෙක් කටයුතු කළේ තම සේවාදායකයන්ට ඉහළම සේවාවක් සැපයීම අරමුණු කර ගනිමිනි. ඇතැම් පිරිස් සැපයුම්කරුවන්ගෙන් සහ ගොවීන්ගෙන් කෙලින්ම ලබා ගනිති. එහෙත් ඇඳිරි නීතිය පැවැති සමයේ ඔවුන්ට සුපිරි වෙළඳසල් සහ සිල්ලර වෙළඳසල් වැනි විකල්ප ක්‍රම මගින් අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමට සිදු විය. බොහෝ බේකරි අමුද්‍රව්‍ය කිරි, බටර්, බිත්තර වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීමේදී කල්ගත වන හෙයින් තමනට ලැබෙන ඇණැවුම් දින කිහිපයකට කලින් තහවුරු කර ගැනීමට ඇතැමෙකුට සිදු විය.  

ඔන්ලයින් ක්‍රමයට ඇණැවුම් කරන ආහාර ප්‍රවාහනය සඳහා සේවා සපයන බෙදාහැරීමේ සේවා දෙකක් මෙරට පවතී. ඒ ඌබර් ඊට්ස් හා පික්මී ෆුඩ්ය. බොහෝ තරුණ පිරිස් මෙම ආයතනවල ආහාරපාන බෙදාහැරීමේ සේවාවන්හි නිරත වනු දැකිය හැකිය. තමන්ගේ මෝටර් බයිසිකලයෙන් බෙදාහැරීම් සිදුකරන මෙම සේවයේ නිරත පුද්ගලයකුට ආහාර බෙදාහරින ආයතනයෙන් රුපියල් 25ක පමණ මුදලක්ද, ඇණවුම් කරන පුද්ගලයා රුපියල් 10ක් හා කිලෝමීටරයක් සඳහා රුපියල් 10 බැගින් දුර අනුව ද ගෙවිය යුතු වේ.

මූලාශ්‍ර - Daily Mirror ඇසුරිනි

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා