2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා

රටට සල්ලි ඉතිරි කරන දුම්රිය මැදිරි අලුත්වැඩියාව

 2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

ශ්‍රී ලංකාවේ ධාවනය වුණු පැරණි දුම්රිය මැදිරි බොහොමයක් අද වෙද්දී නවීකරණය වෙමින් පවතී. ඒ සියල්ලම නවීකරණය වන්නේ දුම්රිය දෙපාර්තමේන්තු ඉංජිනේරු ශිල්පී ශිල්පිනියන් සහ තන්ත්‍රි (Trantri) පෞද්ගලික ආයතනය මගිනි. මේ වන විට මේවා ධාවනය වෙමින් තිබුණද ඉවත් කිරීමට ආසන්නව පවතින දුම්රිය මැදිරි නැවත ප්‍රතිසංස්කරණය වෙමින් පවතී. ඒ අනුව වසර විස්සක් පමණ පැරණි දුම්රිය මැදිරි මෙසේ නැවත ප්‍රතිසංස්කරණය වේ.

&1990 වගේ වසරවල්වල ගෙන්වූ දුම්රිය මැදිරි‍ අපි මෙලෙස ප්‍රතිසංස්කරණය කරනවා. එලෙස ප්‍රතිසංස්කරණය කරපු දුම්රිය මැදිරි අපි නැවතත් ධාවනයට එකතු කරනවා. මෙම ව්‍යාපෘතිය අපි පටන්ගත්තේ 2017 අවුරුද්දේ මැයි මාසයේ සිටයි. මෙය 2016 වසරේදී ව්‍යාපෘතියක් විදිහට විවෘත ටෙන්ඩරයක් මගින් ඉදිරිපත් වුණා. ඒ අනුව අප ආයතනයට මේ ව්‍යාපෘතිය කරන්නට අවස්ථාව ලැබුණා. දුම්රිය මැදිරි ප්‍රතිසංස්කරණය කරපු මුල්ම පෞද්ගලික අංශය වන්නේ තන්ත්‍රි (Trantri) ආයතනයයි.* යැයි තන්ත්‍රි පෞද්ගලික සමාගමේ ව්‍යාපෘති කළමනාකරු අමිල ඉන්දික ගුණරත්න මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

මේ අනුව මෙලෙස යකඩ මැදිරි නැවත ප්‍රතිසංස්කරණය කරනු ලබන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව හා තන්ත්‍රි ආයතනය මගිනි. මීට පෙර දැව සහිත දුම්රිය මැදිරි වෙනත් ආයතනයක් මගින් ප්‍රතිසංස්කරණය කර තිබුණි.

මෙම ටෙන්ඩරය කොටස් දෙකකින් යුක්තය. දුම්රිය බඳ සහ චැසිය ඇතුළත කොටස ප්‍රතිසංස්කරණය සිදුවන්නේ තන්ත්‍රි ආයතනය මගිනි. දුම්රිය මැදිරියේ ඇති රෝද කොටස සහ තිරිංග පද්ධතියේ ඇති අලුත්වැඩියා කටයුතු සිදු කරනු ලබන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව මගිනි. ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන සහ දෙමටගොඩ කර්මාන්තශාලා මගින් එම අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදුකොට තන්ත්‍රි ආයතනයට බාරදෙන අතර ඒවා මැදිරියට සවි කරනු ලබන්නේ එම ආයතනය මගිනි.
මැදිරිවල තත්ත්වය අනුව මැදිරියක් අලුත්වැඩියා කිරීමට ගතවන කාලය වෙනස් වේ. අදියර දෙකකින් තන්ත්‍රි ආයතනය මැදිරි අලුත්වැඩියා කටයුතු සිදුකොට ඇත. පළමු අදියරේදී දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තන්ත්‍රි ආයතනයට අලුත්වැඩියා කිරීමට අබලන් වූ මැදිරි දෙසීයක් ලබා දී තිබේ එලෙස ලබාදුන් මැදිරි දෙසීය ඉතා ඉක්මනින් ඉතා හොඳින් නිමකොට දුම්රිය දෙපාර්තමේන්තුවට නැවතත් බාර දී ඇති අතර ඒ පිළිබඳව සෑහීමට පත්වුණු දුම්රිය දෙපාර්තමේන්තුව තවත් මැදිරි සියයක් ප්‍රතිසංස්කරණය කිරීමට තන්ත්‍රි ආයතනයට ලබා දී ඇත. මේ වන විට ඔවුන් නිම කරමින් පවතින්නේ එලෙස දෙවැනි අදියරේදී ලබාදුන් දුම්රිය මැදිරි අලුත්වැඩියා කටයුතුය.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අලුත්වැඩියා කළ යුතු මැදිරි මෙම ආයතනයට බාරදෙනු ලබන්නේ මැදිරියේ ඇති සියලුම කොටස්වල ලේඛන සටහනකට අනුවය. එහි ඇති ආසන ගණන, විදුලි පංකා ගණන ආදී සියලුම දත්ත පිළිබඳ සටහනක් එහි අන්තර්ගතය.

එලෙස බාරදුන් සියලුම කොටස් ගැලවීම සිදුවන්නේ ඉන් අනතුරුවය. පසුව දුම්රියේ ඇති මලකඩ සහ මතුපිට ඇති තීන්ත තට්ටුව ආදී සියල්ලම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ කටයුත්ත සිදුවේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කමිටුව මගින් පරීක්ෂා කොට බලා අලුතින් එකතු කළ යුතු සහ අලුතින් එකතු නොකළ යුතු කොටස් පිළිබඳව තීරණය කරනු ලබන්නේ ඉන් අනතුරුවය. එනම් චැසිය සහ දුම්රිය මැදිරියේ බඳ කොටස සම්බන්ධයෙනි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික අංශයේ නිලධාරීන් ලබාදුන් උපදෙස් හා නිර්දේශ මත චැසියේ සහ බඳ කොටසේ අලුත්වැඩියා කටයුතු සිදු කරනු ලබන්නේ තන්ත්‍රි ආයතනයේ එකළස් කිරීමේ අංශය මගිනි. ආයතනයට මුදල් ලැබෙන්නේ මේවා කරනු ලබන ප්‍රමාණවලට අනුවය. මේ බොහෝ මැදිරිවල චැසිය සහ බඳ සම්පූර්ණයෙන්ම නැවත ප්‍රතිසංස්කරණය කිරීමට සිදුව තිබිණි. ඒ තරමටම ඒවා අබලන්ව පැවතිණි.

චැසිය සහ බඳ අලුත්වැඩියාවෙන් පසුව දුම්රිය මැදිරියේ බිමට සිමෙන්ති තට්ටුවක් දැමීමට සිදුවේ. මැදිරියේ ඇති ආසන, විදුලි පංකා, පැනල් සවි කරනු ලබන්නේ ඉන් අනතුරුවය. පින්තාරු අංශයෙන් නිසි පරිදි මැදිරිය පින්තාරු කරනු ලබයි. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අනුමත කරනු ලැබූ සලකුණු සහ සංඥා නිවේදනයක්ද මෙලෙස පින්තාරු කරනු ලබයි.

පින්තාරු කරනු ලැබූ දුම්රිය මැදිරි දුම්රිය දෙපාර්තමේන්තුවට නැවත බාරදීමට සිදුවන්නේ ඉන් අනතුරුවය. පසුව දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කමිටුව සමඟ පරීක්ෂණ ධාවනය සිදුවේ. මෙම පරීක්ෂණ ධාවනයේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කමිටුව මේ පිළිබඳව සෑහීමකට පත්වීමෙන් අනතුරුව මෙයට මගී ධාවනය සඳහා අනුමැතිය හිමිවේ.

දුම්රිය මැදිරි ප්‍රතිසංස්කරණය කිරීමේදී ලංකාවේ නිෂ්පාදනය නොවන කොටස් කිහිපයක් විදෙස් රටවලින් ආනයනය කරනු ලබයි. නමුත් මෙහි බොහෝ කොටස් නිෂ්පාදනය සිදුවන්නේ මෙරටය. මින් පෙර දෙවැනි පන්තියේ ආසන, පළමු පන්තියේ ආසන ගෙන්වනු ලැබුවේ ඉන්දියාවෙනි. නමුත් මේ වන විට ආසන සියල්ලම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමේ හැකියාව ලැබී ඇත. මෙම ආසනවලින් කොටසක් තන්ත්‍රි ආයතනයද, තවත් කොටසක් දේශීය ව්‍යවසායකයෝද නිෂ්පාදනය කරති. ඒවා තන්ත්‍රි ආයතනයේ එකළස් කිරීම සිදු කරයි. දුම්රිය මැදිරියේ ඇති විදුලි පංකා මුල් කාලයේදී විදෙස් රටවලින් ආනයනය කළද වර්තමානයේදී විදුලි පංකාවේ පිටතින් ඇති ආරක්ෂිත දැල දේශීය ව්‍යවසායකයෝ නිෂ්පාදනය කරති. විදුලි පංකාවේ මෝටරය පමණක් තවමත් විදෙස් රටකින් ආනයනය කරනු ලබයි.

&උපරිම කොටස් අපි ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන්නයි උත්සාහ ගන්නේ. එයින් විශාල මුදලක් ඉතිරි කර ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ වන විට දෙවැනි අදියරේ මැදිරි සියයක් අපි අලුත්වැඩියා කටයුතු කරමින් පවතින්නේ. මෙම අංගණයේ හාරසීයකට අධික පිරිසක් මේ වෙනුවෙන් සේවය කරනවා. දුම්රියට නගින පඩිපෙළ ආදී පොඩි කොටස් අපේ අනිත් කර්මාන්තශාලාවල හදනවා. ඒ සියල්ල එකලස් කිරීම සිදුවන්නේ මෙම ප්‍රධාන අංගනයෙයි. මෙම ව්‍යාපෘතිය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ පළපුරුද්ද සහිත ඉංජිනේරු පිරිසක්, තාක්ෂණික දැනුමක් සහිත අධීක්ෂණ කමිටුවක් ඉන්නවා. ඒ අයගේ අධීක්ෂණය යටතේ මේ හැම කටයුත්තක්ම සිදුවෙනවා. පියවරෙන් පියවර ඒ තාක්ෂණික කමිටුව පැමිණ අපිට උපදෙස් ලබා දෙනවා. ඒ උපදෙස් අනුව අපි මේ ව්‍යාපෘතිය කරගෙන යනවා. ඒ හැම නිලධාරියෙක්ටම අපි ස්තූති කරන්නම ඕනෙ. මේ ව්‍යාපෘතිය අපිට සාර්ථකව කරගෙන යන්න ඔවුන්ගේ උපදෙස් ගොඩක් වටිනවා. ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුවේ කර්මාන්තශාලාවල ඉන්න සේවකයොත් අපිට ඔවුන්ගේ දැනුම, පළපුරුද්ද ලබා දුන්නා. ඒ හැමෝටම ස්තූතිවන්ත වෙන්න ඕනෙ.* යැයි තන්ත්‍රි ආයතනයේ ව්‍යාපෘති කළමනාකරු අමිල ඉන්දික වැඩිදුරටත් දේශයට පැවසීය.

මෙම මැදිරි විදේශීය රටකින් ආනයනය කිරීමට මිලියන 60ත් 80ත් අතර මුදලක් වැය වුවද මෙරට අලුත්වැඩියා කිරීමට ගතවන්නේ මිලියන 13ක් වැනි මුදලකි. ඒ අනුව විශාල මුදලක් මෙම ව්‍යාපෘතිය නිසාවෙන් මෙරට ඉතිරි වේ.

 දිශානි ජයමාලි කරුණාරත්න
     සේයාරෑ - සුමුදු හේවාපතිරණ