2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා

ලංකාවට එන්නත් ආපු හැටි

 2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 231

වසංගත රෝග ගැන අපටත් දිගු ඉතිහාසයක් තිබේ. පෘතුගිසි පාලන සමයේ සිට මේ ගැන ප්‍රසිද්ධ වාර්තා බොහෝය. රටේ ප්‍රභුන් පවා බිලිගත් “පරංගි” නමින් එකල  හැඳින්වූ  ලෝක වසංගතයට දෝන කැතරිනා කුමරියගේ පියා කරල්ලියැද්දේ බණ්ඩාර ඇතුළු පවුලේ උදවිය බිලිවූ බව වාර්තාගතය. සුද්දා රට ඇල්ලූ කාලේද ඒ ලෝක වසංගතය පැතිරී තිබුණි. මේ වසංගතය සමාජයේ සෑම ස්ථරයක මිනිසුන් බිලිගත් බෙහෙත් නැති මාරකයකි. කොටින්ම එදා රජකළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාටත් වසංගතය බෝවී ස්වභාවිකව සුවවී තිබුණද මුහුණ පුරා වසංගතයේ සලකුණු ලපකැළල් දක්නට ලැබුණි. රජතුමා එසේ ගැලවුණත් හුදී ජනයාට තිබූ එකම තුරුම්පුව වූයේ රෝගය වැළඳී ඇති  තැනැත්තා තනිකොට අත්හැර දැමීමයි. ගම් පිටින් පාළුවී ගිය මේ යුගයේ ඉහළම පෙළේ ප්‍රභූවරියක වූ ඇල්ලේපොළ කුමාරිහාමිටද මේ වසංගතය නිසා මහපාරට ඇද වැටී තට්ට තනියම පුලන්නියක සේ මියයන්නට සිදුවූ බව කියයි. මේ වසංගතය දැන් එන්නත්කරණය නිසා ලොවින් තුරන් කර ඇති වසූරියයි‍. ලංකාව එදා සිටම එන්නත්කරණය අතින් මුල්තැන ගත් රටක් බවට සාධක ඒ ඈත කාලයේ සිටම පවතී.

එදා සුද්දෝ පළමුවතාවට තමන්ගේ රටේ සොයාගත් වසූරිය එන්නත්කරණ වැඩපිළිවෙළ ලංකාවටද හඳුන්වා දෙන්නට කටයුතු කළෝය. එවිට රටතුළ ඒ ගැන මහා භීතිකාවක් පැතිර ගියේය‍. සුද්දා අත් විදිනවාට බියේ ගම්වැසියෝ බුරුතු පිටින් අඹුදරුවන්ද රැගෙන කැළෑ වැදුණාහ‍. මේ භීතිකාව නිසා ලංකාවේ එන්නත්කරණයට ජන ආකර්ෂණය ලබාදෙන්නට ඉදිරිපත්වූයේ ඒ කාලේ සිටි විප්ලවීය අදහස් දැරෑ ජනප්‍රධානියෙකි. ඒ කැප්පෙටිපොළ මහ දිසාවේය. කැප්පෙටිපොළ වසූරිය එන්නත තමන්ට විදින්නට ඉඩ දීමෙන් රටට ආදර්ශයක් ලබාදී රට වැසියන් තුළ වූ භීතිකාව තුරන් කර දැමුවේය. ඊට පසුකාලීනව වාර්තාවන තවත් සිද්ධියක් සනාථ කරන්නේ එන්නත්කරණය අපේ රටේ තදින්ම පැතිර තිබූ බවය. ඒ වීර පුරන්අප්පු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනයේ ඇති විස්තරයයි. එමර්සන් ටෙනන්ට් යටත් විජිතයේ ලේකම්වරයා නිකුත් කළ පුරන්අප්පු ගැන විස්තරයේ ඔහු පිටේ කසපහර ලකුණු සහ ඉහළ බාහුවේ එන්නත් සලකුණු 4ක් ඇති අයෙකු ලෙස දක්වා තිබේ. මේ කාලයේ එන්නත්කරණය ඉතා සුවිශේෂි කාරණාවක් හැටියට තිබූ බව එයින් සනාථ වේ 

ලංකාවේ එන්නත්කරණ නීතිරීති සහ අණපනත් සැකසුණේ කලක් ගතවූ පසුවය. එදා සිට මේ එන්නතකරණ වැඩපිළිවෙළ කෙතරම් සාර්ථක වූයේද යත් ලංකාව දැන් ඒ සම්බන්ධයෙන් ලොව සම්භාවනාවට ප්‍රාප්ත වූ ආදර්ශවත් රටකි. වසූරිය ඇතුළු රෝග ගණනාවකින් ආරක්ෂාව ලබාගත් රටකි. ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණයේ ඉතිහාසය 19 වැනි ශතවර්ෂය තෙක් දිවේ. 1886 ප්‍රතිශක්තිකරණ ආඥාපනත යටතේ වසූරියට එරෙහි   අනිවාර්ය ප්‍රතිශක්තිකරණයට අදාළ නීතිය ගැන සඳහන් කරයි.
1949දී ක්ෂය රෝගයට එරෙහිව බී.සී.ජී. එන්නත හඳුන්වාදීම සිදුවූ අතර 1961දී ගලපටලය  කක්කල්කැස්ස සහ පිටගැස්මට එරෙහි ත්‍රිත්ව එන්නත හඳුන්වාදීම සිදුව ඇත. 1962 දී මුඛ  පෝලියෝ එන්නත හඳුන්වා දීමත්, 1963දී අලුත උපන් දරුවන් සඳහා බී.සී.ජී. එන්නත හඳුන්වා දීමත් සිදුවිය. ගැබිණි මවුවරුන්ට පිටගැස්ම ධූලකය ලබාදීම හඳුන්වා දී ඇත්තේ 1969දීය.

1978දී ස්ථාපනය කරන ලද ව්‍යාප්ත කළ ප්‍රතිශක්තිකරණ වැඩසටහන පසුගිය දශක ගණනාව මුළුල්ලේ දිගින් දිගටම විශිෂ්ඨ ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර එහිදී වඩාත් කැපී පෙනෙන්නේ ඉහළ අගයකින් යුතු ප්‍රතිශක්තිකරණ ආවරණය සහ රෝග පාලනය වේ.

1984 දී සරම්ප එන්නත හඳුන්වාදීම විශේෂිතය. පිටගැස්ම ධූලකය සඳහා කාලසටහන සංශෝධනය කිරීම 1991දී සිදුවූ අතර, 1995දි පළමුවැනි ජාතික ප්‍රතිශක්තිකරණ දිනය පැවැත්විනි. රුබෙල්ලා එන්නත හඳුන්වාදීම 1996දී සිදුකෙරිණි. MR සහ ATd සහිතව සංශෝධිත ජාතික ප්‍රතිශක්තිකරණ කාලසටහන හඳුන්වාදීම 2001 වසරේදී සිදුවූවකි.  අදියර පදනමින් හෙපටයිටිස් බී එන්නත හඳුන්වා දීම 2003දීත්, 2008 දී පෙන්ටාවැලන්ට් එන්නත අඩංගු හිබ් හඳුන්වාදීමත් සිදුවිය.
1978දී ව්‍යාප්ත කරන ලද ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ආරම්භයත් සමගම එය කේන්ද්‍රගත වූයේ  ළමාවියේ ක්ෂය රෝගය පිටගැස්ම ගලපටලය පෝලියෝ සහ නවජ පිටගැස්ම පාලනය කිරීම කෙරෙහිය. 1988 දී මෙම කේන්ද්‍රීය අවධානය රෝග තුරන් කිරීම  කරා මාරුවිය. 1991දී පෝලියෝ තුරන් කිරීමේ ක්‍රියාවලියට පහසුකම සැපයීම පිණිස පාසලට ඇතුළත්වීමේදී මුඛ පෝලියෝ එන්නතේ පස්වැනි මාත්‍රාව ලබාදීම හඳුන්වා දෙන ලදී. වසර ගණනාවක් තුළ ක්‍රම ක්‍රමයෙන් රුබෙල්ලා හෙපටයිටස් බී හා පෙන්ටාවැලන්ටි අඩංගු හිබ් එන්නත් මෙම වැඩසටහනට හඳුන්වාදීම සිදුවිය. ව්‍යාප්ත කළ ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ වර්තමාන කාලසටහන ව්‍යාප්ත කරන ලද ප්‍රතිශක්තිකරණ වැඩසටහන් එන්නත් ලබාදීමේ වර්තමාන කාලසටහන පහත සඳහන් ඇමුණුමේ දක්වා ඇත. 1987 දී වැඩි අවදානමක් පවතින ප්‍රදේශ සඳහා ජැපනීස් එන්සෙත‍ලයිටිස් එන්නත හඳුන්වා දෙන ලදී. පළමුවැනි හා දෙවැනි මාත්‍රා අතර සති 2 - 4 සහ දෙවැනි හා තෙවැනි මාත්‍රා අතර එක් වසරක කාලාන්තර පවතින මාත්‍රා තුනකින් ජැපනීස් එන්සෙෆලයිටිස් රෝගයට  එරෙහි මූලික ප්‍රතිශක්තිකරණය සමන්විත වේ. මූලික ප්‍රතිශක්තිකරණයෙන් අනතුරුව සෑම වසර 4කටම වරක් එන්නතෙහි ශක්තිය වැඩිකරවන මාත්‍රාවක් ලබාදීම සිදු කෙරේ. ඉහළ අවදානමක් සහිත බවට හඳුනාගත් ප්‍රදේශවල ජීවත්වන වයස අවුරුදු දහයට අඩු දරුවන්ට ජැපනීස් එන්සෙෆලයිටිස් රෝගයට එරෙහි ප්‍රතිශක්තිකරණය ලබාදීම සිදු වේ.

ශ්‍රී ලංකාව එන්නත්කරණය අතන් අනික් රටවල්වලට වඩා ගොඩක් ඉදිරියෙන් සිටින රටකි. දියුණු වෙමින් පවතින රටක් වුවද රජයෙන් නොමිලේ ලබාදෙන එන්නත් නිසා ප්‍රතිශක්තීකරණ වැඩසටහන් අතරින් ලෝකයේ ඉදිරියෙන්ම පවතින වැඩසටහනක් අප සතුය. පෝලියෝ, සරම්ප, රුබෙල්ලා වැනි ඇතැම් රෝග ලෝකයේ අනෙක් රටවල පවතිද්දීත්, අපේ මේ  සාර්ථක ප්‍රතිශක්තිකරණ වැඩසටහන නිසා, අපහට ඒවා මේ වනවිට සාර්ථකව පාලනය කිරීමට හැකියාව ලැබී ඇත. රජයේ  නිදහස් සෞඛ්‍ය සේවය යටතේ නොමිලේ පැවැත්වෙන ප්‍රතිශක්තිකරණ වැඩසටහන නිසා දියුණු යැයි සැලකෙන රටවල් පවා වැරදි විශ්වාස හා කටකතා නිසා විවිධ වෛරස නැවත හිස එසවීමේ තර්ජනයකට මුහුණ දෙමින් ඇති අවස්ථාවක, අපි ඒ රෝග සාර්ථකව පාලනය කරගැනීමේ හැකියාව ලබා තිබීම ගෞරවයට හේතුවකි.

 සුගත් කුලතුංගආරච්චි