2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා

නවම් මහට ඇරඹෙන වැව් ගමේ අවුරුද්ද

 2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 185

අද අපි සිංහල අලුත් අවුරුද්ද කියලා සැමරුවත් පුරාණ කාලයේ එවැනි උත්සයක් පැවතී නැහැ. අනුරාධපුර, පොළොන්නරු යුගවල “නැකැත් කෙළිය” පිළිබඳ වාර්තා වී තිබේ. “නැකැත් කෙළිය” රජුගේ මූලිකත්වයෙන් පැවැත්වූ විශාල උත්සවයක් බව පෙනේ. රජු නැකැත් පරිදි ඔසුපැන් ස්නානය කර අලුත් සළු පිළියෙන් සැරසී තුටු පහටුව වීදි සංචාරය කරද්දී රටවැසියෝ මග දෙපසට වී ඔල්වරසන් දෙමින්, රබන් වයමින් සතුට ප්‍රකාශ කරති. නැකැත් කෙළිය අනුරාධපුර පොළොන්නරු යුගවලින් අනෙක් පාලන සමයන්ටද හුවමාරු විය. කන්ද උඩරට අවසන් රාජධානි සමයේදී නැකැත් කෙළිය ඉතා ප්‍රබල ලෙස පැවැත්විණි. එය ඇසළ මාසයේ පැවැත්වූ බව පැවසේ.

ඉන්පසු බ්‍රිතාන්‍ය පාලකයන් යටතේ එය “අවුරුදු කෙළිය” ලෙස වෙනසට ලක්වේ. “අවුරුදු” යන වදන මේ වකවානුවේ යෙදී ඇත්තේ ඉතා අල්ප වශයෙනි. “අවුරුදු කෙළිය” පිළිබඳ බ්‍රිතාන්‍යයන් තැබූ සටහන්, වාර්තා හා ලියූ පොත - පතද තිබේ. 
බොහෝදෙනා මේ වනවිට හඳුනාගෙන තිබෙනුයේ සිංහල අලුත් අවුරුද්ද නොනගතයෙන් හෙවත් සංක්‍රාන්තියෙන් පසුව ආරම්භ වන බවයි. එහෙත්, එය සාවද්‍යය. සැබැවින්ම ගොවිතැන පදනම් කරගත් වැව් ගම්මාන සම්ප්‍රදායන්ට අනුව සිංහල අලුත් අවුරුද්ද උදාවන්නේ නවම් මාසය මුල්කරගෙනය. නවම් මහට මී ගව පට්ටිවලට නවමු පැටවු බහුලව ලැබෙති. එහෙයින් ඒ මාසය හඳුන්වන්නේ ‘මීකිරිමහ’ ලෙසිනි. මී කිරිමහේදී ‘පට්ටිකිරි ඉතිරීම’ කළ යුතුය. එය ගමේ ඇත්තන්ට දන්වන්නේ ගංකරයේ මහගමරාල උන්දෑ නැතිනම් විදානේ උන්දෑ විසිනි. එය දැනුම්දීමට ගංකරය පුරාවට අඬබෙරයක් යවනු ලබයි. නැතිනම් පාන්දර හෙවත් ‘කිරි වෙලාවෙන්’ ‘පන්සලේ ගෙඩිය’ ගසනු ලබයි.

නමුදු පට්ටිකිරි ඉතිරුම් සඳහා ගෙඩිය ගසන්නේ පාන්දර ගවපට්ටිවලින් කිරි දොවන විටය. එකදිගට ගෙඩිය ගැසීම තහංචිය. එය ගවපැටවුන් අඬන්නා සේ ගසනු ලබන රටාවකි. උම්බෑ රටාව සිහිකරමින් එකළඟ ළං ළංව තෙවරක් ගෙඩිය ගසා යළි ඉඩක් තබා යළිදු තෙවරක් නාද කරවයි. මේ රටාව පහසුවෙන් හඳුනාගන්නා ගැමියන් පට්ටිකිරි ඉතිරීම එළඹෙන කෙම්මුර දිනයේ සිදුවන බව වටහා ගනී. නැතිනම් කන්න රැස්වීමක් පවත්වා ‘පට්ටිකිරි ඉතිරීම’ සිදුකළ යුතු බව දන්වයි. මෙලෙස පට්ටිකිරි ඉතිරීම සිදු කිරීමට පෙරාතුව යාය ගොයම් කපා අවසන් කළද යායට ගවයින් ඇතුළු කිරීම තහංචි වේ. යාය වැටකඩුලු ලිහීවීම සාම්ප්‍රදායික ඉඩ අවසර අත්වනුයේ පට්ටිකිරි ඉතිරීමේ මංගල්ලයෙන් පසුවය.

‘පට්ටිකිරි ඉතිරීමේ’ මංගල්ලයෙන් පසුව හෝ ඒ සමීපයේ එළඹෙන නැකත් අනුව ගංකරයේ සංහි‍‍ඳේ කිරි ඉතිරීම කළ යුතු වේ. එලෙස මහකන්නයේ නෙළාගත් අස්වැන්නෙන් ‘අගහස්’ හෙවත් ‘අක්යාල’ දෙවියන්ට පුදා කිරි ඉතිරුම් මංගල්ලයක් පවත්වන තුරු මොනම ආකාරයකින් හෝ අලුත් සහල් ආහාරට ගැනීම තහංචිය. එබැවින් ගංකරයේ කිරි ඉතිරුම් මංගල්ලය ගැන ගැමියන්ට දැනුම් දෙන්නේ මහගමරාල හෝ විදානේ ඇත්තන් විසිනි. එය කන්න රැස්වීමක් පැවැත්වීමෙන් හෝ අඬබෙරකරු ලවා දැනුම් දීමට කටයුතු කෙරේ.  එහෙත් නැත්නම් මහගමරාල ඇත්තන් හෝ ගංකරයේ වැඩිහිටින් කීපපොළක් ගංගෙදරින් ගංගෙදරට පැමිණ කිරි ඉතිරුම් මංගල්ලය දන්වා සිටියි. ඒ සමඟම ‘සංහිඳ’ ළඟ බිම පිරිසිදු කිරීම හා ඒ අවට ගොක් රූන් ඇඳීම බඳු දෑ සිදුකෙරේ.

එසේම පසුගිය අවුරුද්දේ අප රටම අත්විඳි කොවිඩ් වසංගතය මෙන් ගංකරයක වදුරුවසංගත, ලෙඩදුක් හෝ මරණ සිදුවීම නිසා සිංහල අලුත් අවුරුද්ද අත් හැරීමට සිදු වූයේ නම් එයට විදානේ උන්දැගේ අණ මඟින් ගංකරයේ වී බිස්සක හෝ උඩක එල්ලා තිබෙන අක්යාල සහිත හුනුමල්ලේ පිටතින් අමු කොහොඹ අතු මිටියක් හෝ අඹ කොළ අතු මිටියක් එල්ලා තැබීම කරයි. එහි සංස්කෘතික අර්ථය නම් මෙවර ගමට අලුත් අවුරුද්ද උදා නොවන බව ඇඟවීමයි. එසේම අලුත් සහල් මංගල්ලය සිරිත් පරිදි සිදුකරන තෙක් තහංචි රුසක් බල පැවැත්වේ. එනම් අලුත් වී කෙටීම තහංචිය, සහල් කිරීම හෝ සහල් දියලෑම තහංචිය, පිටි කෙටීම තහංචි බැවින් කැවිලි තැනීම ආදී සහල් උපයෝගී කරගෙන සිදුකරන කිරිබත් පිසීමේ සිට සියලු කටයුතු තහංචි වේ. එවිට අලුත් අවුරුදු අත්හැරීමට සිදුවෙයි. මේ තහංචි මඟින් වැව් ගම්මාන වැසියන්ට ඉතා ප්‍රබල සංස්කෘතික සන්නිවේදනයක් සිදුකරනු ලබයි. නමුදු නිසි ලෙස දෙවියන් හෙවත් සොබාදහම වෙත මේ සත්කාරයන් කළ විට සිත් පුරා අවුරුදු කෑමට තිබෙන තහංචි සියල්ල අහෝසි වේ. එසේම යම් විටෙක ගංකරයට රෝග උපද්‍රව, මරණ හෝ වසංගත උදාවී තිබේ නම් එවිට පිටත ගම්වල අයට එය දැනුම්දීමට එම ගංකරයට පිවිසෙන මඩක‍ඩවල කොහොඹ කොළ අතු හෝ ‘වසංගත වැටි’ දැමීමත් සිරිතකි.
අලුත් අවුරුදු උදාව වැව් ගම්මාන වැසියන් වෙත එළඹෙන බව ඈත දුර සිට හඳුනාගත හැකියි. ඒ ‘ගංකරය මල්වරවන’ බැවිනි. එනම් ගංගෙවල් සියල්ල ගොම මැටි ගා වියළා ගන්නා අතර වහල අලුතින් හෙවිල්ලා ගැනීමෙන් නවමු මුහුණුවරක් ගම්මැද්දට එළඹේ. එම භෞතික පාරිසරික පසුබිම දැකගත හැකිවන්නේ බක්මහ උලෙළට පමණි. මේ වෙනස නිසා ගංගෙවල වහලවල් සියල්ල අලුතින් හෙවිල්ලා ගැනේ. එසේම බිත්තිවලට මකුල්ල මැටි හෝ රතු හුඹස් මැටි ගා ගැනේ. තවද ගෙබිමට ගොම මැටි ගෑම සිදුවේ.

එලෙසම ගේ දොරකඩ තිබෙන වී බිස්ස වහලය අලුත් වේ. එහි බඳට අලුතින් රතුහුඹස් මැටි ඔපලා ගනු ලැබේ. එලෙසින්ම ගංගෙදර මිදුලට පාත් වී තිබෙන ගංඅතු කපා වදුල ඉවත් කෙරේ. මේ ලෙසින් ගංගෙදර වටා ගොඩනැ‍ඟෙන නව පාරිසරික ව්‍යුහය සන්නිවේදනය කරන්නේ අලුත් අවුරුදු ළං ළංව එළඹෙන බවය. 

අලුත් අවුරුදු උලෙළට ඉදුණු කෙසෙල් අවශ්‍ය වේ. මේ සඳහා කල් ඇතිව කෙසෙල්කැන් තෝරාගත යුතුය. වැව් ගම්මාන අවුරුදු සංස්කෘතික පිළිවෙත වන්නේ ‘කෙහෙකන් අතුබැඳීම’ය. එනම් පැසුණු කෙසෙල්කන් තිබෙන ගස් හඳුනාගෙන ඒවා වියළී ගිය කෙසෙල් අතු හෙවත් කෙසෙල් පරඬලාවලින් වසා තබයි. එලෙස කෙහෙකන් අතුබඳින විට එක් එක් පුද්ගල අනන්‍යතාව හඳුනාගත හැකි ලෙස ගස වටා පරඬැල් රවුමක්, දෙකක් හෝ වෙනත් ලකුණක් බැගින් යොදයි. 
අලුත් අවුරුදු උදාවන විට රබන් වාදනය කිරීම හා උණ වෙඩිලි බඳු ශබ්ද පූජා පැවැත්වීම සිරිතක් වේ. එහෙත්, ඒ සිරිත් අනුගමනය කිරීම හිතේ හිතුවක්කාරයට කළ නොහැකිය. එනම් අවුරුදු ශබ්ද පැවැත්වීම හෙවත් අවුරුදු උදාවේ සතුට සන්නිවේදනය කිරීම පිණිස වෙන් වූ නැකතක් තිබේ. එම නැකත හඳුන්වන්නේ ‘තෙල්වළං ළිප තැබීමේ’ නැකත ලෙසිනි. එම නැකත උදාවන තෙක් කිසිදු විදියකට හෝ රබන් වාදනය, උණ වෙඩිලි හා බීරංග පත්තු කිරීම නැතිනම් ‘හැළිබඹරය’ හැඬවීම තහංචිය. තෙල්වළං ළිප තැබීම බක්මහ අවුරුදු උදාවට සති කීපයකට පෙර උදාවන නැකතකි. ඒ නැකත උදාවත් සමඟ ළිප දල්වා කැවිලි තැනීම ආරම්භ කරයි. එවිට පළමුව පන්සලේ ගෙඩිය හෝ ඝණ්ටාව නාදකර තෙල්වළං ලිප තබන නැකත් උදාවූ වග සන්නිවේදනය කරයි. ඒ සමඟම රබාන හා අනෙකුත් අවුරුදු ශබ්ද පූජා ආරම්භ වේ. 

මෙලෙස තෙල්වළං ළිප තබන නැකතට ඇත්තටම සාමූහික ලෙස ගංකරයේ ගෙවිලියන් එකතුව කැවිලි තනා ගැනීම අවුරුදු සිරිතකි. ඒ සිරිතට අනුව පළමුව පිසින කැවුම් අත්තම්කාරියන් සියලුදෙනාගේ නිවෙස්වලට අවශ්‍ය ‘කෝඳුරු කැවුම’ වෙන් කරයි. එනම් ‘කෝඳුරු කැවුම’ ලෙස හඳුන්වන්නේ අවුරුදු සමයේ තෙල්කැවිලි බහුල වනවිට ගංගෙවලට කෝඳුරුවන් පැමිණෙන හෙයින් ගෙදර කුස්සියේ වහලයේ එල්ලන කැවුමය. එවිට කෝඳුරුවන් එම කැවුම වටා රැස්වන බැවින් තෙල් ආහාරවලට පැමිණීමෙන් වළකී. තවද මෙය අවාචික සන්නිවේදනයකි. මන්දයත් කෝඳුරුවන් සමඟ නොව කෝඳුරු කැවුම් ‘කුස්සියාලත්තේ’ එල්ලා ති‍බෙන විට ළමා ළපටි සියලුදෙනාම තම ගංගෙවල කැවිලිවර්ග තනා ඇති බව හඳුනාගනිති. 

සිංහල අලුත් අවුරුදු උදාවත් සමඟම ගංකරයේ ඇත්තෝ ‘පිටි පේ කරති’. එනම් පත්තිනි දේවිය හෙවත් සශ්‍රීකත්වය උදෙසා ‘අං කෙළිය’ හා පොරපොල් කෙළිය’ පවත්වනු ලබයි. ඒ සඳහා අවශ්‍ය පිට්ටනිය කල්ඇතිව වෙන් කිරීම ‘පිටි පේ කිරීම’ ලෙස හැඳින්වේ. මෙයද චිරාගත අවුරුදු චාරිත්‍ර අනුව සිදුවන්නකි. එවිට නැකත් දිනයක අංකෙළියට හා පොල් කෙළියට යෝග්‍ය බිමක් තෝරාගෙන ඒ වටා කණු හතරක් පිහිටුවා එම හතර පැත්තේ මල්පැල හතරක්ද කණු වටා ගොක්කොළ රූන් එල්ලීමද සිදුකරයි. එවිට මේ පිටිය මැදින් ගමන් කිරීම තහංචිය. පිළා පිළිහුඩු ලෙස සැලකෙන කිලි ආහාර ගත්තවුන්, ජනසම්මත කිලිකරුවන්, අත් පා තුවාල වූවන්, මස් මාළු රුගෙන යන්නන් මෙන්ම දුසිරිතේ යෙදෙන්නන් මෙම පිටිය හරහා හෝ එහි සමීපයෙන් රැඳී සිටීම තහංචිය. මේ සංස්කෘතික තහංචි ජනසම්ප්‍රදාය හා ජීවන සම්ප්‍රදාය මඟින් සියලු වැව් ගම්මාන වැසියන්ට අවබෝධකර තිබෙනුයේ ප්‍රායෝගිකවය.
අවුරුදු උදා වනවිට ගංකරයට - වළංකත්කරුවෝ පැමිණෙති. ඔවුන් රැගෙන එනුයේ අලුත් වළංය. එසේම වළං හුවමාරු කරගනු ලබන්නේ භාණ්ඩ හුවමාරු පිළිවෙතටය. එලෙසම කම්හලට, වළං තනන්නන්ට, රෙදි වියන්නන්ට, වාද්දියක්කාරයන්ට හා නැතක් රාළ වැනි ඇත්තන්ට ‘දැකුම්දීම’ මගින්ද අවුරුදු උදා වේ.

නොනගතයට පෙර ‘කුණුමුත්තා පිදීම’ ප්‍රබල අවුරුදු සන්නිවේදනයකි. මේ වනවිට ගෙදරට අවශ්‍ය වතුර රැස්කර, ආහාරපාන පිළියෙළකර අවසන්ය. කුණුමුත්තා පිදීම පරණ අවුරුද්දේ අවසන් ක්‍රියාකාරකම වේ. එවිට ගෙවිලිය ගෙදර තියෙන සියලු කුණු හා ළිපේ අළු සියල්ල ඉවතට රැගෙන ගොස් ගසක් මුලින් තබයි. ඒ සඳහා පරණ මලුපිටක් හෝ කෑල්ලක් උපයෝගී කරගන්නා අතර ඒ මත අවුරුදු කැවිලි කීපයක්, බුලත් විටක් ආදිය තබයි.
නොනගතය හෙවත් සංක්‍රාන්තිය උදා වූ විට ඒ බව ගංකරයේ පන්සලේ ඝණ්ටාව හෝ ගෙ‍ඩිය ගසා දැනුම් දීම සිදුවේ. එයින් පසුව කිසිදු ක්‍රියාකාරකමක නියැළීම තහංචිය. ඒ අතර පන්සලට ගොස් ආගමික වතාවත්වල යෙදේ. එහෙත් පන්සල් යනවිට හෝ පන්සලේ සිට යළි නිවෙසට පැමිණෙන විට වෙනත් ගංගෙවලට ගොඩවීම තහංචිය. කොටින්ම අනෙක් ගෙදරකින් වතුර පොදක් හෝ බුලත්විටක් කෑම මෙන්ම එය දීමද තහංචිය.  එසේම නොනගතයේදී එළිමහනට බැස කිසිදු ක්‍රියාකාරකමක නියැළීමද තහංචි වේ. එබැවින් ගෘහාශ්‍රිතව ඔළිඳ කෙළිය, පංච කෙළිය හා නෙරෙංචි කෙළිය බඳු ක්‍රියාකාරකම් යෙදේ.


අවුරුදු උදාවත් සමග වැඩිහිටියන් ගෞරව කිරීම සිරිතකි. එබැවින් වැඩිහිටියන්ට බුලත් අතක් පිරිනමා කථාකළ යුතුය. මෙය අවුරුදු චාරිත්‍රයක් ලෙස පිළිගනු ලබන්නේ වැඩිහිටියන්ට ‘බුලත් දී කථා කිරීම’ ලෙසිනි. අම්මා - තාත්තා සේම නැන්දා - මාමා ඇතුළු සියලු වැඩිහිටියන්ට අවුරුදු චාරිත්‍රයක් ලෙස බුලත් අතක් පිරිනමා වඳින විට ඒ සමගම ‘මෙතෙක් මගේ අතින් දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව වරදක් වූවා නම් සමාවන්න යැයි’ කටින් ප්‍රකාශ කරයි. එවිට වැඩිහිටියාද ඒ සියලු දෑ හිතින් ඉවත්කර මුවපුරා ආශිර්වාද කරයි.

එලෙසම නව අවුරුදු උදාව හෙවත් ආහාර අනුභවයේ සිට හිසතෙල් ගාන නැකත දක්වා වූ කාලය ලෙස හැඳින්වේ. ජනමතය වූ කලී වටහාගත නොහැකි ප්‍රපංචයකි. එහෙත් කෙබඳු ගැටුමක් ආරවුලක් ඇති වුවද සිංහල අවුරුදු සමයේ බුලත් දී කතා කිරීම හෙවත් පොදු සමා පිරිනමන සන්නිවේදන කාලය ප්‍රයෝජනයට ගෙන, ගැටුම් අවම කරගැනීමට අවශ්‍ය සංස්කෘතික පසුතලය ගොඩ නඟාගෙන තිබේ.
ආයුරාරෝග්‍ය සම්පත හෙවත් නිරෝගීභාවය ජන මනසට කාවැද්දීම අරමුණු කරගෙන ‘හිසතෙල් ගෑමේ’ මංගල්‍ය නැකතට සිදුවේ. ඒ සමගම හිසට හා පයට ශාක කොටස් දැවටීමට සලස්වයි. හිස ගල්වන්නේ ශාකසාරවල නානු වර්ගයි. තවද මෙලෙස සොබාදහම මත තහවුරු වීමෙන් අපගේ තිර ජීවන සම්ප්‍රදාය ගොඩනැඟී තිබෙන හෙයින් සොබාදහම ආරක්ෂා කිරීමේ වගකීමද හිසතෙල් ගෑමේ සන්නිවේදනය මඟින් අපට පසක්කර දෙයි.

ජනශ්‍රුති පර්යේක 
 මහින්ද කුමාර දළුපොත