2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා

පාස්කු ප්‍රහාරයට වසර දෙකයි!

 2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 96

ලොවක් කම්පිත කළ අඳුරු පාස්කු ප්‍රහාරයේ මතකයට දෙවසරක් සම්පූර්ණ වෙයි. කාලයේ වැලිතලාවෙන් වැසී නොයන එම ඛේදවාචකයේ මතක තවත් අපේ සිත් රිදවනි. තවදුරටත් පාස්කු ප්‍රහාරයේ කම්පනයෙන් මිදීමට මෙරට සිවිල් සමාජය සහා දේශපාලන ධාරවටද නොහැකිව තිබේ. එළඹෙන අප්‍රේල් 21 පාස්කුවේ දෙවර්ෂ පූර්ණ නිමිත්ත කොට ගෙන අපි අඳුරු පාස්කුවේ සමාජ දේශපාලන කතාව මෙසේ ලියා තබමු.

එහෙත් ඔබේ මතකය අප ඒ අඳුරු දිනය වෙත පළමුව රැගෙන යමු.

එදින උදාවූයේද තවත් සාමාන්‍ය ඉරිදාවක් මෙනි. වෙනසකට තිබුණේ පාස්කු ඉරිදා නිවාඩුවත් එදිනට යෙදී තිබීමයි. එමනිසා රටපුරා කිතුණු බැතිමතුන්ට නම් මෙම ඉරිදාව සුවිශේෂී විය. උදෑසන සොඳුරු ලෙස සැරසී බැතිමතුන් කිතුණු පල්ලිවල වෙත ගියේ පාස්කු දේව මෙහෙය වෙනුවෙනි. ගතවූයේ සුළු වේලාවකි. පළමුවරට ප්‍රහාර පිළිබඳ වාර්තා වූයේ උදෑසන 08:45 පමණය. අනතුරුව කෙටි කාලපරාසයක් ඇතුළත පිපිරීම් හයක් වාර්තා විය. ඒ අනුව පළමු ප්‍රහාරයේ සිට එම අඳුරු දිනය තුළ සිදුවූ සිදුවීම් පෙළ අප එකිනෙක ස්මරණය කරමු.

ප්‍රධාන පිපිරීම් වාර්තා වූයේ උදෑසන 8.45ත් 9.00ත් අතර කාලය තුළයි. ඒ අනුව ලොවක් කම්පිත කරමින් පළමුව කොළඹ කොච්චිකඩේ දේවස්ථානය, කටාන කටුවාපිටිය දේවස්ථානය තුළ පාස්කු දේව මෙහෙයට සහභාගී වූ බැතිමතුන් ඉලක්ක කරගෙන එල්ලවූ ම්ලේච්ඡ ප්‍රහාරයන් පිළිබඳ තොරතුරු පළමුව දැනගන්නට ලැබුණි. නොබෝ වෙලාවකින් මඩකලපුව ප්‍රදේශයේ සියෝන් දේවස්ථානයට සහ ෂැන්ග්‍රිලා, කිංග්ස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් යන කොළඹ පිහිටි සංචාරක හෝටල් එල්ල වූ ප්‍රහාරයන් පිළිබඳවද මාධ්‍ය වාර්තා කළේය. මුළු රටම භීතියෙන් ඇළලී ගියේ හෝරාවක් තුළය.

භීතිය දෙගුණ තෙගුණ විය. සියල්ලන්ම නිවාස තුල රුඳෙමින් සිය හිතවතුන් පිළිබඳ සොයා බැලූහ. මේ අතර ප්‍රහාරය ගොදුරු වූ පිරිසක් රැගෙන ගිය රෝහල් අසල එකම අඳෝනාවක් වූයේය. දරුවන්ට දෙමාපියන් දෙමාපියන්ට දරුන්ටද අහිමි වී තිබූ අතර පන්සීයක් පමණ දෙනා තුවාල ලබා තිබුණි. මරණ සංඛ්‍යාව 300 ඉක්මවා ඇති බව මුලදී කියැවුණි.

මේ අතර ප්‍රහාරයෙන් පැය කිහිපයක් ඇතුළත පොලිස් කණ්ඩායම් සැකකරුවන් සොයා මෙහෙයුම් දියත් කළහ. වැටලීම් අතරතුර පළමු පිපිරීම් මාලාව සිදුවී පැය 5ට පමණ පසු දෙහිවල සත්වෝද්‍යානය අසල ලැගුම්හළක තවත් පිපිරීමක් වාර්තා විය. දිනයේ සිදුවූ ප්‍රධාන වැටලීම දෙමටගොඩ මහල් නිවාස සංකීර්ණයේදී සිදුවිය. ඒ අනුව දෙහිවල පිපිරීමෙන් අඩහෝරාවක් ගතවූ තැන තවත් පිපිරීම් දෙකක් දෙමටගොඩින් වාර්තා විය. වැටලීමක් අතරතුර සිදුවූ එම පිපිරීමෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුද මරණයට පත් විය.

ප්‍රහාරයන් ඉස්ලාම් අන්තවාදීන් බව මේ වනවිට ක්‍රමයෙන් හෙළිදරව් වෙමින් තිබුණි. සමාජ මාධ්‍ය තුළ වූයේ එක්ම කැළඹීමකි. පාස්කු ඉරිදාව තවත් කළු ජූලියක් වන බවක් පෙනී ගියේය. ජාතිවාදී සහ වෛරී ප්‍රකාශවලින් සමාජ මාධ්‍ය ගිනිබත් විය. අසත්‍ය පතුරා හරින්නන්ද අර්බුදය තවත් වර්ධනය කළේය. ඒ අනුව සන්ධ්‍යාවේදී රජය විසින් ප්‍රමුඛ පෙළ සමාජ ජාල සේවා සියල්ල අත්හිටුවීමට පියවර ගනු ලැබීය. ඒ අතර පස්වරු 6.00 සිට පසුදින උදෑසන 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබිණි.
පහන් වූයේ බිය පිරුණු අඳුරු රාත්‍රියකි. ලෝකයම ශ්‍රී ලංකාව දෙස බලා සුසුම් හෙළමින් සිටියේය. මේ අතර වර්ගවාදී කෝලාහලයක ගිනි පුපුරුද ප්‍රදේශ කිහිපයක දැල්විණි. මුස්ලිම් පල්ලියක් වෙත පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් සහ මුස්ලිම් භක්තිකයන්ට හිමි වෙළඳසල් දෙකක් ගිනි තබා ඇතැයි පොලිසිය උපුටා දක්වමින් වාර්තා කළේ විදෙස් මාධ්‍යයයි. කෙසේ වෙතත් මුස්ලිම් ජනතාව වෙසෙන ප්‍රදේශවල ආරක්ෂා තහවුරු කිරීමටත් රටපුරා මාර්ග බාධක යොදා පරීක්ෂා කිරීම් ආරම්භ කිරීමටත් ආරක්ෂක අංශ කටයුතු කළේය.

කෙසේ වෙතත් කාදිනල් හිමියන් විසින් උදෑසන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයන් හෙළාදකිමින් කළ ප්‍රකාශ සුවිශේෂී විය. සන්සුන්ව සිටින ලෙස ඉල්ලා සිටි කාදිනල්තුමන් නීතිය අතට නොගන්නා ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. තවත් මහා විනාශයක් වළකා ගැනීමට එම ප්‍රකාශ හේතු වූයේය. මෙතැන් පටන් කාදිනල්තුමන් පාස්කු සමාජ දේශපාලන කතිකාවේ ප්‍රධාන භූමිකාවට ඇතුළත් විය. 2019 අප්‍රියෙල් 21 වැනිදා සියවසක් හා සමවූ දිනයකි. පසුව ගෙවුනු දින කිහිපය තුළ තවත් බොහෝ දේ සිදුවිණි.

කෙසේ නමුත් මෙම ප්‍රහාරයෙන් පසු නිර්මාණය වූ සමාජ දේශපාලන පෙරුළීන් සම්බන්ධව අපි මීළඟට විමසා බලමු.

පාස්කු ප්‍රහාරයේ ආරම්භයේ පටන් දේශපාලනය ඊට අදාළ වූ නමුත් එය විශාල ආන්දෝලනයක් බවට පත්වන්නේ මේ වනවිට බොහෝදෙනෙකුට අමතකව ඇති කුඩා සිදුවීමක් හරහාය. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ ප්‍රභූ අරක්ෂක අංශ දැනුවත් කිරීමට අප්‍රියෙල් 11 වැනිදා යැවූ ලිපියකි. එය සමාජ මාධ්‍යයේ සංසරණය වන්නට විය. ඒ හරහා විශාල චෝදනාවක් පැවැති ආණ්ඩුවට එල්ල විය. මුලදී ලිපිය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය අංශය කියන්නට විය. එහෙත් අනතුරුව පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ප්‍රහාර පිළිබඳ යම් තොරතුරු කලින් ලැබී තිබුණද ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම බරපතළ කාරණයක් බවය. ඒ සමඟ පාස්කුව දේශපාලන සංධිස්ථානයකට එළැඹියේය. නොසලකා හැරියේ කවුද යන්න ජනතාව ප්‍රශ්න කරන්නට විය.

මේ අතර සිංගප්පූරුවේ සිට පැමිණි ජනාධිපති අප්‍රේල් 23 වැනිදා ජාතිය අමතන විට කී කතාවකින් තවත් තත්ත්වය බරපතල විය. රාජ්‍ය ඔත්තු සේවාවට ලැබුණු තොරතුරු වගකිවයුතු ප‍්‍රධාන නිලධාරීන් විසින් මා වෙතද ඉදිරිපත් නොකළ බව මා විසින් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මෙම තොරතුරු ලැබීම පිළිබඳ මා දැනුවත් කළා නම් ඒ පිළිබඳ වහා ක්‍රියාමාර්ග ගැනීමට පුළුවන්කම තිබුණා.

ප්‍රහාර පිළිබඳ පූර්ව දැනුම්දීම් විදෙස් බුද්ධි අංශ ලබාදුන් තොරතුරු එකිනෙක එළියට එන්නට වූ අතර ප්‍රහාරය දේශපාලන කැළඹීමක් වූයේය. 2018 ඔක්තෝබර් බල පෙරළියේදී නීතිය සහ සාමය අමාත්‍යංශය යටතේ පැවති ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තමන් යටතේ වූ ආරක්ෂක අමාත්‍යංශය වෙත පවරා ගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබුණි. ප්‍රහාරයේ වගකීම ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන වෙත පැවරීමට එජාපය උත්සාහ දැරුවේය. 2018 සැප්තැම්බර් 26 දින සිට ප්‍රහාර එල්ලවීම දක්වා අගමැතිවරයා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ආරක්ෂක කවුන්සිලයට කැඳවා නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වය නිවේදනය කළේය.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විජිත මලල්ගොඩ කමිටුවට පාස්කු ප්‍රහාර සම්බන්ධව වාර්තාවක් ලබාදෙන ලෙස පැවරුවේය. අභියාචනාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක මෙහි සෙසු සාමාජිකයන් වූයේ අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන්ය. එහි වාර්තාව ඉතා කෙටි කලයක් තුළ ලැබුණි. කමිටු වාර්තාවෙන් බරපතළ ලෙස චෝදනා එල්ල වූයේ කල් තියා ප්‍රහාරය ගැන තොරතුරු ලැබී තිබියදීත් ඒ ගැන නිසි පියවර නොගත් බවටය. එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකුටය. මෙසේ චෝදනා එල්ල වුයේය. එය තවත් සිදුවීම් පෙළක ආරම්භයක් විය.

මේ අතර පාස්කු ප්‍රහාර පිළිබඳ සෙවීමට ආණ්ඩුව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කරන්නේ උද්ගත වූ තත්ත්වයේ දිගුවක් ලෙසය. කතානායක කරු ජයසූරිය මහතා විසින් මෙම කාරක සභාව පත්කළේ 2019 මැයි 22දාය. විශේෂ කාරක සභාවේ සභාපතිත්වයට නියෝජ්‍ය කථානායක ජේ.එම්. ආනන්ද කුමාරසිරි පත්කරනු ලැබූ අතර එවක ඒකාබද්ධ විපක්ෂය මෙම පාර්ලිමේන්තු විශාල කාරක සභාව ප්‍රතික්ෂේප කළේය. මෙම කාරක සභාව විමර්ශන ආරම්භ කළ අතර සාක්ෂි ලබාදීම මාධ්‍යයටද විවෘත විය. පුවත් විශාල වශයෙන් කාරක සභාව සාක්ෂි මත නිර්මාණය විය. වගකීම එකින් එකකට මාරුවන ආකාරයද පෙන්නට තිබුණි.

අවසානයේ විටින් විට කල්දමනු ලදුව පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන වාර්තාවක් සැපයීමේ අරමුණින් පිහිටුවන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව 2019 ඔක්තෝබර් 23 වැනිදා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරිණි. එම වාර්තාව තුළින් වහා අවධානය යොමුවිය යුතු නිර්දේශ 8ක් ඉදිරිපත් කර තිබිණි. ආරක්ෂක සහ බුද්ධි අංශයේ අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ශක්තිමත් මූල්‍ය අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීම, ආගමික අන්තවාදයේ නැගීම පාලනය කිරීමේ සහ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව, අධිකරණ ප්‍රමාද සම්බන්ධයෙන් කටයුතු කිරීම, නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීම, වහාබ්වාදය සහ ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව ආදිය එයින් අවධාරණය විය. නමුත් බලාපොරොත්තු වූ ලෙස මේ හරහා ප්‍රහාරයේ සුලමුල හෙළිදරව් නොවුණි.

ඉහත කාලය තුළ විපක්ෂය විවිධ ක්‍රියාකාරකම්වල නිරත විය. ඇමැති රිෂාඩ් බදියුදීන් සම්බන්ධව නැගුණු චෝදනා ඔවුහු ඉදිරියටම ගෙන ගියහ. බදියුදීන්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එනු ලැබීය. ඒ අවස්ථාවේදී මුස්ලිම් දේශපාලන නායකයන් ඔවුන් දැරෑ අමාත්‍ය පදවිවලින් ඉල්ලා අස්වීම සුවිශේෂී විය. මාසයක් ඇතුළත එම පරීක්ෂණවල නිගමන ප්‍රකාශයට පත්කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද ඔවුහු පැවසූහ. තවත් කළු ජූලියක් ඇතිවීම වළක්වා ගැනීමට ඉල්ලා අස්වූ බව බදියුදීන් කියා සිටියේය. මේ අතර කාලයේ ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මෙන්ම අමාත්‍ය රිෂාඩ් බදියුදීන් එම ධූරවලින් ඉවත්කරන ලෙස බලකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසය ඉහළ අවධානයක් දිනා ගත්තේය.

මේ අතර මලල්ගොඩ කමිටුවද හේතුවක් කරගෙන හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීම සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු තනතුරෙන් ඉවත් කිරීම ආදීය ජනපති ප්‍රධානත්වයෙන් සිදුවූයේය. එය පාස්කුවේ තවත් අතුරු කතාවක් විය. 2019 ජූලි 2 වැනිදා ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමද සිදුවූයේය. ප්‍රහාරය සම්බන්ධ අනතුරු ඇඟවීම් පිළිබඳ පෙරතියා දැන සිටි බව ඔවුන් දෙදෙනාම පිළිගත් නමුත් එහි වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කළහ. ඔවුන්ගේ ප්‍රකාශ සහ ඔවුන් පාදක කරගෙන සිදුවූ සිදුවීම් පෙළ සංදර්ශනක් ලෙස මෙරට ජනතාව බලා සිටියෝය.

පාස්කු ප්‍රහාර සම්බන්ධව සෙවීමට ජනාධිපති කොමිසමක් අවැසිය බව මේ වනවිට මතුවී තිබූ ඉල්ලීමකි. සැබෑ ලෙසම මෙම ප්‍රහාර පිටුපස සිටිනේ කවුරුන්දැයි දැන ගැනීමට සිදුවූ පරීක්ෂණ හරහා නොහැකි විය. කෙසේ වෙතත් ප්‍රහාරකයන් පිළිබඳ තොරතුරු සොයාගැනීම සාර්ථකව සිදුවිය. අයි.එස්. ත්‍රස්තවාදීන් මෙහි වගකීම බාරගත් නමුත් අක්මුල් පැහැදිලි නොවුණි. එම නිසාම ප්‍රහාරයට සම්බන්ධ කරුණු ගැන පුළුල් විමර්ශනයකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළේය. 2019 සැප්තැම්බර් 22 වැනිදා මෙම කොමිසම පත්වූ අතර එය අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංචපුද්ගල කොමිසමක් විය.

මෙම කාලය වනවිට ජනාධිපතිවරණ උණුසුම වර්ධනය වී තිබුණි. පාස්කු ප්‍රහාරය ජනාධිපතිවරණ වේදිකාවේ ප්‍රමුඛ මාතෘකාව විය. එම ජනාධිපතිවණය ජයගත් වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතායේ ප්‍රමුඛ දේශපාලන පොරොන්දු අතර ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීම අන්තවාදය පිටුදැකීම ආදිය විය. කාදිනල්තුමන්ද මේ වනවිට යහපාලන ආණ්ඩුව විවේචන කරමින් සිටියෙන් එහි වාසියද ගෝඨාභය රාජපක්ෂ සතුවිය. අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය.

පාස්කු ප්‍රහාර පිළිබඳ සෙවීමට පත්කළ ජනාධිපති කොමිසම තවදුරටත් මෙම කාලය තුළ ඉදිරියට ගිය අතර කොවිඩ් වසංගතය සහ මහමැතිවරණය මාතෘකා වීම නිසා 2020 වසරේ පාස්කු කතා තරමක් අවම විය. එහෙත් කාදිනල්තුමන් ඇතුළු බොහෝදෙනා යුක්තිය වෙනුවෙන් බලා සිටියහ. අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ සහෝදරයකු වන රියාජ් බදියුදීන් ඇතුළු සැකකරුවන් රුසක් 2020 වසරේදී පොලිස් අත්අඩංගුවට පත්විය. එහෙත් 2021 වනවිට පාස්කු මතකය නැවතත් දේශපාලන කරළිය ගිනිබත් කළේය.

වසර එකහමාරකට ආසන්න කාලයක් පුද්ගලයන් හාරසිය පනහකගෙන් පමණ සාක්ෂි විමසමින් පාස්කු කොමිසම විමර්ශන සිදුකළේය. 2021 වසරේ ජනවාරි අවසානයේදී එහි වැඩකටයුතු නිමා විය. ඒ අනුව පසුගිය පෙබරවාරි 01 වැනිදා කොමිසම අදාළ වාර්තාව ජනපතිට භාර දුන්නේය. එතැන් පටන් ඇරඹුණු නව පාස්කු අර්බුදය රට අත්විඳිමින් සිටිති. ආරම්භයේදී අදාළ වාර්තාවේ පිටපත් කාදිනල් හිමියන්ට නීතිපතිවරයාට නොලැබීම නිසා ගැටලු මතුවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම වාර්තාව ප්‍රතික්ෂේප කිරීමද තවත් ගැටලුවක් විය. හිටපු ජනාධිපති වෙත මේ හරහා චෝදනා එල්ලවීම ඊට හේතුව වූයේය. විපක්ෂය වර්තාව පිළිබද පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියේය. කාදිනල්තුමන් සිය අපේක්ෂාවන් ඉටු නොවීම නිසා ආණ්ඩුවට තරමක් තරවටු කළේය.

කතෝලික සභාව පසුගිය මාර්තු 7 වැනිදා දිනය ‘කළු ඉරිදාවක්’ ලෙස නම් කළේය. අප්‍රේල් 21 ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන්නැයි බලකිරීම එහි අරමුණ විය. දිවයිනේ සියලු කතෝලික දේවස්ථානවල එදින පැවැත්වූ දේව මෙහෙයන් සඳහා කළුපැහැති ඇඳුමින් සැරසී කිතුණු ජනතාව පැමිණ සිටියහ. සෑම කතෝලික දේවස්ථානයකම සීනු නාද විය. එහෙත් යුක්තිය පමාවීම සම්බන්ධව වේදනාව ඔවුන් හඬ ගා කීවේය. මේ අතර විපක්ෂය පාස්කු ප්‍රහාරය මාතෘකා කරගෙන ආණ්ඩුවට පහර දෙන්නට විය. ප්‍රහාර එල්ල කළේ ගෝඨාභය රාජපක්ෂ අනුදැනුම යටතේ යැයි නව විපක්ෂ මන්ත්‍රීවරයෙක් පැවසීම නිසා තවත් අලකලංචියක් ඇතිවිය. අවසානයේ ඔහුම එය පදනම් විරහිත බව කීවේය. එසේම පාස්කු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර නඩු පැවරීම වෙනුවෙන් නීතිපති වෙතත් යොමු කෙරිණි. පාර්ලිමේන්තු විවාදයද උණුසුම් විය. එහෙත් මෙම වාර්තාවේ වගකීම කිසිවෙක් භාර නොගත් අතර ඒ හරහාද ප්‍රහාරයේ අගමුල සම්බන්ධව විධිමත් පැහැදිලි කිරීමක් නොමැති බවට චෝදනා එල්ල විය.

මේ අතර 2019 වසරේ එල්ල වූ පාස්කු දින ප්‍රහාරයට වැරදිකරුවන් වන පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට නීතියෙන් ගැලවීමට කිසිදු ඉඩක් නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා පාස්කු ප්‍රතිඥාවක් දුන්නේය. මේ වනවිට වරදකරුවන්ට නඩු දැමීමේ කාර්යයද ආරම්භ වී තිබේ. යම් අවසානයකට යුක්තියකට ළංව ඇතැයි හැඟුනද තාමත් අපට බලා සිටීම හැර විකල්පයක් නැත. එසේම ප්‍රහාරයේ යථාර්ථය අපට බොහෝ දුර සේ හැඟෙති.

 චමිඳු නිසල් ද සිල්වා
මූලාශ්‍ර: BBC සිංහල
ඡායාරූප: අන්තර්ජාලයෙන්