විජේවීරගේ පුත්‍රයාගේ දේශපාලන ආගමනය පිළිබඳ වූ සංවාද විසංවාද ගෙවුණු දෙසතිය පුරා දක්නට ලැබුණි. විජේවීරගේ පුත්‍රයා දෙවැනි ජේ.වී.පීය තනයි යන සිරස්තලය ඔස්සේ පළවූ පුවත් සමාජ මාධ්‍ය උණුසුම් කළේය. ඒ අනුව යමින් උවිඳු විජේවීර නම් වූ ජනතා විමුක්ති පෙරමුණු නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත්‍රයාගේ නූතන සමාජ දේශපාලන භාවිතය පිළිබඳව සාකච්ඡා කිරීමට අපි තීරණය කළෙමු.
උවිඳු විජේවීර රුසියාවේ යූරල් විශ්වවිද්‍යාලයෙන් සිය මූලික උපාධිය හා පශ්චාද් උපාධිය හදාරා ඇති අතර මේ වන විට සිය ආචාර්ය උපාධිය හදාරමින් සිටින බව කියැවේ. එසේම රුසියාවේ යූරල් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් නායකයකු ලෙසද ඔහු කැපීපෙනෙන චරිතයක් විය. උවිඳු අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේය. උවිඳුගේ ළමා කාලය සැලකීමේදී පියා මියයන විට ඔහු වසර එකහමාරක පමණ බිළිඳෙකි. වරක් ඔහු පවසා ඇති පරිදි ඔහුට පියාගේ රූපය පිළිබඳවත් ඒ හැටි මතකයක් නැත. උවිඳුගේ ළමා කාලය ගතවී ඇත්තේ හමුදා කඳවුරු තුළය. ගණේමුල්ල කොමාන්ඩෝ රෙජිමේන්තු කඳවුර සහ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර ඔහුගේ ළමාවිය ගෙවුණු ස්ථානයි.
2004 වසරෙන් පසුව උවිඳු ඇතුළු විජේවීර පවුල කොළඹ වැලිසර නාවික හමුදා කඳවුර තුළ යම් නිදහසක් ලැබුවේය. ඊට තත්කාලීන දේශපාලන පසුබිම හේතු වූ බව නොරහසකි. උවිඳු විජේවීර රුසියානු අධ්‍යාපනයට යොමුවී ඇත්තේ රුසියානු මධ්‍යස්ථානයේ සහ ශ්‍රී ලංකා රුසියානු මිත්‍ර සංගමයේ මැදිහත්වීම මතයි. එහිදී ඔහුට බොහෝ පාර්ශ්ව උපකාර කර ඇති බව කියැවේ. රැසියාවේ දී ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරියකු බවට පත්වීමත් සමඟ උවිඳු දෙස මෙරට දේශපාලනයේ උකුසු ඇස යොමුවිය. ක්‍රමයෙන් උවිඳු විජේවීරගේ දේශපාලන ලැදියාවන් ද පෙනෙන්නට පටන් ගත්තේය.
කෙසේ නමුත් උවිඳු විජේවීර ජාතිකවාදී චින්තනයක් සහිත පුද්ගලයකු බවත් සිංහල බෞද්ධ පදනම විශ්වාස කරන ප්‍රගතිශීලී තරුණයකු බවත් මේ තාක් ඔහු කළ කී දෑ අනුව පැහැදිලිය. එය වඩාත් පැහැදිලි වන්නේ තමන් මාක්ස්වාදියකු නොවන බවට පසුගිය සමයේ ඔහු සිදු කළ ප්‍රකාශයක් හරහාය. උවිඳුගේ මෑතකාලීන දේශපාලන නැගීම පිටුපස සන්ධිස්ථාන කිහිපයක් හඳුනාගත හැකිය. ඉන් පළමුවැන්න 2019 පෙබරවාරි මාසයේ දී විකාශය වූ Talk with Chathura වැඩසටහනයි. එම සම්මුඛ සාකච්ඡාව හරහා විජේවීර පුත්‍රයාගේ දේශපාලන ආගමනය පිළිබඳ රටම දැනගත්තේය. දෙවැන්න නම් 2020 මහ මැතිවරණයයි. එම මැතිවරණයේදී පොදුජන පෙරමුණින් උවිඳු විජේවීර ගම්පහ දිස්ත්‍රික්කයට තරග කරනු ඇතැයි මාධ්‍ය වාර්තා පළවිය. ඒ හරහා ඔහුගේ සක්‍රීය දේශපාලන භාවිතය පිළිබඳ විශාල සංවාදයක් ඇතිවූ අතර කෙසේ නමුත් එම මැතිවරණයට ඔහු ඉදිරිපත් නොවීය.
වර්තමානයේ උවිඳු විජේවීර චරිතය පිළිබඳව සංවාදයට හේතුවී ඇත්තේ ඔහු විසින් නායකත්වය සපයන "දෙවැනි පරපුර" නම් ව්‍යාපාරයයි. ^71 දෙවැනි පරපුර" නම් වූ මෙම සමාජ ව්‍යාපාරය ආරම්භ වී ඇත්තේ 2015 දීය. ජනතා විමුක්ති පෙරමුණේ ^71 කැරුල්ලට දායක වූ පවුල්වල දරුවන් විසින් මෙම ව්‍යාපාරය ආරම්භ කර තිබේ. මෙය උවිඳු විජේවීර විසින් ආරම්භ කරන ලද්දක් නොවන අතර එම වකවානුවේ ඔහු රුසියාවේ අධ්‍යාපනය හදාරමින් සිටියේය. උවිඳු පවසන පරිදි ඔහු ඊට සම්බන්ධ වී ඇත්තේ ඇරයුමක් පරිදිය. අනතුරුව මෙම ව්‍යාපාරය සමස්තයක් ලෙස ගෙන "දෙවැනි පරපුර" නමින් ඉදිරියට ගෙන ඒමට උවිඳු මූලිකත්වය ගෙන තිබේ. මේ වන විට දිස්ත්‍රික්ක 11 ක් පුරා මෙම ව්‍යාපාරය සිය සාමාජික සාමාජිකාවන් වර්ධනය කරගැනීමේ උත්සාහයක නිරත වී සිටියි.
දෙවැනි පරපුර දේශපාලන පක්ෂයක් ලෙස ද ඉදිරියේ දී ලියාපදිංචි වන බව කියැවේ. උවිඳු විජේවීර දෙවැනි ජේවීපීය තනයි* යන සිරස්තලය පිටුපස වූයේ මෙම කරුණයි. එසේ නමුත් උවිඳුගේ මේ සූදානම අනාවරණය වීමත් සමඟ විවිධ පාර්ශ්ව විවිධ අදහස් මතු කළහ. උවිඳු විජේවීර යනු දේශපාලන අතකොලුවක් බවත් ඔහුව මෙහෙයවන්නේ රාජපක්ෂවරයකු බවත් ජනතා විමුක්ති පෙරමුණු ක්‍රියාකාරීහු සමාජ මාධ්‍ය ඔස්සේ කියන්නට වූහ. ඒ අතර උවිඳු විජේවීර ඊට ප්‍රතිචාර දැක්වූයේය. දෙවැනි පරපුර ව්‍යාපාරය ස්වාධීනව පටන්ගත් ව්‍යාපාරයක් බවත් දෙවැනි පරපුර කිසිවකුට විකිණුවේවත් විකිණෙන්නේ නැති බවත් ඔහු කියා තිබුණි.
ජවිපෙ, ජාතික නිදහස් පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන පක්ෂවල නායකයන් සමඟ තමා සාකච්ඡා කර ඇති බව උවිඳු විජේවීර පිළිගෙන ඇත. ඒ කෙසේ වෙතත් පසුගිය මහ මැතිවරණ සමයේ අපේක්ෂකත්වය වෙනුවෙන් උවිඳු විජේවීර පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා කර ඇති බවට තොරතුරු ලැබේ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද හමුවී උවිඳු විජේවීර මේ සම්බන්ධව සාකච්ඡා කර තිබේ.
මෙම සාකච්ඡාවට උවිඳුගේ මව වන චිත්‍රාංගනී විජේවීර මහත්මියද සහභාගී වී ඇති බව ද කියැවේ. දේශපාලන කරළියේ කියවෙන පරිදි මෙම හමුවීම්වලදී ගෝඨාභය රාජපක්ෂ මහතා උවිඳුට යෝජනා කර ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන ලෙසයි. එසේම හම්බන්තොටින් තරග කරන ලෙසට ද යෝජනා ඉදිරිපත් වී ඇතැයි කියැවේ. එහෙත් උවිඳු විජේවීර ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට ඉල්ලා තිබේ. මෙම ආරංචිය සත්‍යයක් නම් උවිඳු හට පසුගිය මහ මැතිවරණයේ අවස්ථාව අහිමිවීමට හේතුව මෙයයි. එහෙත් මේ සම්බන්ධව පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳ මේ වන තුරුත් උවිඳු විජේවීර අදහස් දක්වා නැත.
71 ජනතා විමුක්ති පෙරමුණු අරගලයට අඩ සියවසක් සපිරෙන විට විජේවීර පුත්‍රයාගේ දේශපාලන භාවිතය පිළිබඳ මෙම සංවාදය දෛවෝපගත සංසිද්ධියක් බව සමාජ මාධ්‍යයේ අදහස් පළ වී තිබුණි. ගෙවුණු කාලයේ 71 අරගලයට සම්බන්ධ වූ අද වයෝවෘද්ධව සිටින පිරිස් හමුවීමට උවිඳු විජේවීර ගියේය. වර්තමානයේ ඔහු වාම දේශපාලන නැඹුරුවක් සහිත කලාකරුවන් හමුවීමට යමින් සිටියි. එසේම ඔහුගේ මෙම සියලු කටයුතු මනා ලෙස ඔහුගේ මුහුණු පොතේ පිටුව ඇසුරින් ප්‍රචාරය වෙයි. හතළිස් පන්දහසක පමණ සාමාජිකයන් සිටින උවිඳුට අයත් මුහුණුපොත ඔස්සේ ඔහු තබන සටහන් ද නිරන්තර සංවාදයට ලක්වෙයි. මේ සියල්ල එක්ව ගෙන බැලූ විට උවිඳු විජේවීරගේ දේශපාලන ආගමනය වේගවත් බව පෙනී යයි. ඔහුට එරෙහිව නැගෙන චෝදනා සහ අවලාද ඒවාට ඔහු ලබාදෙන පිළිතුරු ඔස්සේ ද පෙනී යන්නේ එයයි.
පිය පුතු ප්‍රවේණිගත දේශපාලන උරුමයේ තවත් අරුමයක් ලෙස උවිඳු විජේවීර දේශපාලන ආගමනය කියවා ගැනීමට අප තවත් ඉක්මන් නොවිය යුතුය. උවිඳු විජේවීර තුළින් රෝහණ විජේවීරව බලාපොරොත්තු විය නොහැකි බව නම් පැහැදිලිය. ඉදින් උවිඳු විජේවීර ලබාගත් දේශපාලන ප්‍රවේශය කොතරම් සාර්ථක ද අව්‍යාජ ද යැයි කිරා මැන බැලීම දැන් මෙරට පුරවැසින්ට අවස්ථාව උදා වී තිබේ.
චමිඳු නිසල් ද සිල්වා