
කොවිඩ් වසංගතය තවමත් මෙරටින් තුරන් වී නැත. කොවිඩ් මෙරටින් වාර්තා වී අවුරුද්දක් පසුවුවද තවමත් විවිධ පළාත්වලින් දිනපතා රෝගීන් වාර්තා වෙයි. වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාවේ යම් අඩුවක් පෙන්නුම් කළද කොළඹ දිස්ත්‍රික්කයට සාපේක්ෂව පිට පළාත්වලින් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට යම් වැඩිවීමක් පෙන්නුම් කරයි.
කොවිඩ් ආසාදිතයන් එලෙස වාර්තා වෙද්දී ඩෙංගු රෝගයද නැවතත් හිස ඔසවමින් පවතී. මේ දිනවල විටින් විට ඇදහැලෙන වර්ෂාවත් සමඟ ඩෙංගු මදුරුවාගේ බෝවීමද ඉතා ශීඝ්‍රයෙන් සිදුවන බවක් පෙන්නුම් කරයි.
මේ වන විට රට පුරා පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් බොහෝ දෙනකුට ඩෙංගු රෝගය පිළිබඳව මතකයක් නැත. නමුත් ඇදහැලෙන වර්ෂාවත් සමඟ පොල්කටු, යෝගට් කෝප්ප, ටයර් වැනි දෑ වෙත එක්රුස් වන පිරිසුදු ජලය ඉතා ඉක්මනින් ඩෙංගු නවාතැන් බවට පත්වෙයි. ඩෙංගු රෝගයේ මුල් අවධියේදී බොහෝවිට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි.
ඩෙංගු රෝගයේදී ප්‍රධාන රෝග ලක්ෂණ කිහිපයකි. මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ උණයි. පළමුව සාමාන්‍ය සුළු උණ තත්ත්වයක් ඇතිවී පසුව එය ඩෙංගු උණ (Dengue Fever – DF) ඩෙංගු රක්තපාත උණ (Dengue Hemorrhagic Fever - DHF) ලෙස වර්ධනය වෙයි. මීට අමතරව උණත් සමඟ ඇස් යට වේදනාව, ඔක්කාරය, වමනය, සමෙහි රතු පැහැ ලප හටගැනීම, මස්පිඬු සහ සන්ධි වේදනාව, හිසරදය වැනි රෝග ලක්ෂණද ඇතිවිය හැකිය.
ඩෙංගු රෝගයේදී ඇතිවන මෙම රෝග ලක්ෂණවලට සමාන වූ රෝග ලක්ෂණ පවතින කොවිඩ්-19 රෝගයේදීද රෝගීන්ගෙන් පෙන්නුම් කරයි. මේ නිසාම මේ දිනවල ලෝකයේ බොහෝ රටවල් මෙන්ම ලංකාවද කොවිඩ් වසංගතය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරද්දී ඩෙංගු රෝගය පිළිබඳව දක්වන්නේ අඩු සැලකිල්ලකි.
ඩෙංගු රෝගයෙහි ප්‍රධාන රෝග ලක්ෂණ උණ සහ ඇඟපත වේදනාව වුවද මෙය නොසලකා හැරීමෙන් විදුරුමසෙන්, නාසයෙන් රුධිරය ගැලීමේ තත්ත්වයක්ද ඇතිවිය හැකිය. රෝගය උත්සන්න වීමේදී ඩෙංගු රක්තපාත උණ ඇතිවේ. දින කිහිපයක් පුරා පවතින උණෙහි අඩුවක් නොවන්නේ නම් හෝ බඩේ කැක්කුම, අධික නිදිමත ගතිය හා සිහිමද ගතිය, ආහාර ප්‍රතික්ෂේප කිරීම, තද පිපාසය, අත්පා සුදුමැලි වී සීතල වීම, සමෙහි පැහැය වෙනස් වීම, මුත්‍රා පිටනොවීම සහ මුත්‍රා පිටවීම අවම වීම, නොසන්සුන් බව ආදී රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් පවතී නම් ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්ය වේ.
මීට අමතරව මල බද්ධය, පාචනය, වමනය සහ වරින් වර ඇතිවන කුසේ වේදනාව කල් යාමේදී ඩෙංගු රෝගය වීමටද හැකිය. මේ නිසා මෙවැනි පෙර රෝග ලක්ෂණ මතුවන විටද වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගත යුතු වේ.
ඩෙංගු මදුරුවා බෝවන්නේ පිරිසුදු ජලය ආශ්‍රිතවය. මේ නිසා ඩෙංගු මදුරුවන් බෝවීම සඳහා සුදුසුම පරිසරය සකස් කර දෙනු ලබන්නේ පවතින වර්ෂාවයි. වැසි සමයේදී බොහෝවිට ඉවතලන යෝගට් කෝප්ප, ටයර්, පොල්කෝම්බ වැනි දෑ මත පමණක් නොව කුඩා බෝතල් මූඩියක වුවද ඩෙංගු මදුරුවන් බෝවීමට හැකියාව තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ ඉදිවෙන ගොඩනැගිලි, නිවාස ආශ්‍රිතවද ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්‍රවණතාවය ඉතා වැඩි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සොයාගෙන තිබේ.
විශේෂයෙන් ඉදිකිරීම් කටයුතුවලදී එලනු ලබන පොලිතීන් මත ජලය එක්රැස් වීමත්, ඒ ආශ්‍රිතව ඇති බාල්දි, හිස් සිමෙන්ති උර වැනි දෑ මත ඉතා ඉක්මනින් මෙම මදුරුවා බෝවීමත් විය හැකිය.
මේ වසරේදී මේ වන විට වැඩියෙන් ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ මඩකලපුවෙන්. මේ වසරේදී වාර්තා වන රෝගීන්ගෙන් 60%ටත් වඩා ප්‍රතිශතයක් වාර්තා වන්නේ එම දිස්ත්‍රික්කයෙන්. නමුත් මේ වන විට රට තුළ කඩින් කඩ වර්ෂාව පවතින නිසා ඉදිරියේදී බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් වාර්තාවීමේ අවදානමක් තියෙනවා. සෑම වසරකදීම වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. මේ වැඩිවීම බොහෝවිට සිදුවන්නේ මෝසම් වර්ෂාවෙන් පසුවයි. බොහෝවිට මැයි මාසයෙන් පසුව මෙම අවදානමත් ඇතිවේවි. යැයි ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනුර ජයසේකර මහතා දේශයට පැවසීය.
නොසැලකිලිමත්කම හේතුවෙන් තැන් තැන්වල ඉවතලන භාජනවල වර්ෂා ජලය එක්රුස් වීමෙන් ඩෙංගු මදුරුවන් බෝවී මදුරුවන්ගේ ව්‍යාප්තිය සිදුවේ. කීට විද්‍යා සමීක්ෂණවලදී ඩෙංගු රෝගය බාහිර පරිසරයෙන් පමණක් නොව නිවෙස් තුළින්ද බෝවන බව සොයාගෙන තිබේ. ශීතකරණයෙන් හෝ සින්ක් එකෙන් කාන්දු වන ජලය එක්රැස්වීම සඳහා ඇතැමුන් භාවිත කරන යෝගට් කෝප්ප හෝ කුඩා බඳුන්වල බහුල ලෙස ඩෙංගු මදුරුවෝ බෝවෙති. මීට අමතරව මල් බඳුන් වැනි තැන්වලද මෙම මදුරුවන් බෝවිය හැකිය.
මේ නිසා උණ තත්ත්වයක් ඇති කෙනකු වහාම වෛද්‍යවරයකු මුණගැසී රුධිර පරීක්ෂාවක් කර ගැනීම ඉතා වැදගත් වේ. ඩෙංගු වෛරසය මැරීම සඳහා ඖෂධයක් නොමැති වුවද ඩෙංගු රෝගය ඇතිවීම වළක්වාගත හැකිය. නිසි පරිදි ඩෙංගු රෝගය පාලනය කරගත් විට ඩෙංගු බරපතළ තත්ත්වයෙන් මිදිය හැකිය.
ඉදිරියේදී ඩෙංගු ඇතිවීමේ අවදානමක් පවතින බස්නාහිර පළාතේ විශේෂ ඩෙංගු මර්දන සතියක් අපි ආරම්භ කළා. බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනෙහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා එක්ව විශේෂ ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් ආරම්භ කළා. මෙයට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළුව පොලීසිය, හමුදා නිලධාරීන්ද සහභාගි වෙනවා. එහිදී නිවෙස්වල සහ ගෙවතුවල ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඇත්දැයි සොයා බලා අවශ්‍ය උපදෙස් හා අවවාද ලබා දෙනවා. නොසැලකිල්ලෙන් පසුවන අයට ඉදිරියේදී නීත්‍යානුකූලව පියවර ගනු ලබනවා.* යැයි විශේෂඥ වෛද්‍ය අනුර ජයසේකර මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.
දිශානි ජයමාලි කරුණාරත්න