2021 මාර්තු 27 වන සෙනසුරාදා

ගීකියනකන්දේ නර්ස්ලා නැති රෝහල

 2021 මාර්තු 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37

කළුතර දිස්ත්‍රික්කයේ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති ගීකියනකන්ද ප්‍රාදේශීය රෝහලක් වුවද එහි තවමත් හෙදියන් නැත. එම රෝහල ආරම්භ වූයේ වතු රෝහලක් ලෙසිනි. පසුව මීට වසර අටකට පමණ පෙර මෙය රජයට පවරාගන්නා ලදී. රජයට පවරාගත් මුල් කාලයේදී රෝහලටම සිට ඇත්තේ එක් වෛද්‍යවරයකු සහ එක් සේවකයකු පමණි.

ගීකියනකන්ද ප්‍රාදේශීය රෝහලට පත්වීමක් ලැබ තෙවැනියට පැමිණි වෛද්‍යවරයා වන්නේ වර්තමානයේදී රෝහලේ සේවය කරන එල්.ඒ. ලසන්ත ගමගේ වෛද්‍යවරයායි. මේ වන විටත් මෙම රෝහලට වෛද්‍යවරයකු ලෙස සිටින්නේ වෛද්‍ය ලසන්ත ගමගේ පමණි. 2017 දෙසැම්බර් මස මුල්ම පත්වීම ලැබ ගීකියනකන්ද රෝහලට පැමිණි වෛද්‍ය ලසන්ත අද රෝහලට තම සේවය සිදු කරන්නේ එකම හෙදියකගේ හෝ සහායක් නොමැතිවය. 2017 වසරේදී දිනකට රෝගීන්ගේ පැමිණීම සාමාන්‍යයෙන් විසිතුන් දෙනකු පමණි. මෙය නේවාසිකව ප්‍රතිකාර කරනු ලබන රෝහලක් නොවන අතර උදෑසන අටේ සිට සවස හතර දක්වා ප්‍රතිකාර කරනු ලැබේ. මේ වන විට දිනකට ඊට වඩා බොහෝ රෝගීන් පිරිසක් දෛනිකව ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහලට පැමිණෙන බව සඳහන්ය.

“මම මේ රෝහලට එද්දී සේවකයෝ හිටියේ එක්කෙනයි. දැන් සේවකයෝ මාත් සමඟ හය දෙනෙක් ඉන්නවා. නමුත් මේ කාලය පුරාවට ගීකියනකන්ද ප්‍රාදේශීය රෝහලේ හෙදියන් ඉඳලා නැහැ. මේක අපිට ලොකු අඩුවක්. මම රෝහලට එන මුල් කාලයේදී රෝහලේ ප්‍රතිකාර කළේ උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි සාමාන්‍ය රෝග සඳහා පමණයි. නමුත් මේ වන විටත් අපි ඊට වඩා වැඩ කොටසක් එකතුවෙලා කරනවා.” යැයි වෛද්‍ය එල්.ඒ. ලසන්ත ගමගේ කියයි.

මේ වන විට ගීකියනකන්ද ප්‍රාදේශීය රෝහලේ සේවය කරන එකම වෛද්‍යවරයා ඇතුළු සේවක කණ්ඩායම රෝහලෙන් සායනික ප්‍රතිකාර ලබාදීමට අමතරව තවත් සේවාවන් කිහිපයක්ම සිදු කරති. බාහිර රෝග ප්‍රතිකාරවලට අමතරව රුධිර පීඩන පරීක්ෂාව, රුධිරගත සීනි සහ කොලෙස්ටරෝල් පරීක්ෂාව, ගැබ්ගෙල පිළිකා, පියයුරු පිළිකා හා මුඛ පිළිකා පිළිබඳ අවදානම් සාධක මූලික පරීක්ෂා සිදුකිරීම, වකුගඩු රෝග හඳුනා ගැනීමේ පරීක්ෂාව, හදිසි ප්‍රතිකාර සේවාව, බෝනොවන රෝග හඳුනාගැනීමේ සායනික සේවා පැවැත්වීම මෙන්ම දුම්බීම හා මත්ද්‍රව්‍ය භාවිතය නතර කිරීමට අවශ්‍ය මගපෙන්වීම ආදී සේවාවන් ලබා දෙයි. ඊට අමතරව හිරිවට්ටා කළ හැකි කුඩා සැත්කම් කිරීම්ද රෝහල මගින් සිදු කරයි. ඒ සියලු සේවාවන් ලබාදෙනු ලබන්නේ මෙම එකම වෛද්‍යවරයා සමඟ සේවකයන් එක්වය.

“රෝහලේ වෛද්‍යවරයකුට ඉන්නේ මම විතරයි. මීට අමතරව රෝහලේ සේවය කරන අනිත් සේවකයන්ගෙන් මට අවශ්‍ය කරන සහයෝගය ලැබෙනවා. රෝහලේ පුහුණු කරපු ශ්‍රමිකයෝ නැහැ. අපි විසින් පුහුණු කර ගත්තු අය තමයි මේ ඉන්නේ. පුහුණුවකින් සේවයට එකතු වන සේවකයන් සහ වැඩ කරන ගමන් ඒ පුහුණුව ලබාගන්නා සේවකයන් අතරේ යම් වෙනසක් තියෙනවා. සමහර දේවල් ගැන මේ සේවකයන් අවබෝධයක් ලබාගන්නේ මේ ලබාගන්නා අත්දැකීම්වලින්. ගීකියනකන්ද ප්‍රාදේශීය රෝහලේ බෙහෙත් හිඟයක් නැහැ. මේ වන විට හොරණ මූලික රෝහලේ ඇති ඖෂධ බොහොමයක් මෙම රෝහලෙත් තියෙනවා. වෛද්‍යවරයා සහ රෝගියා අතර මේ රෝහලේ පරතරයක් තියාගෙන නැහැ. අපි රෝගීන්ට හරිම කරුණාවෙන් අපේ යුතුකම, අපේ වගකීම ලබා දෙනවා. බොහෝ වෙලාවට මධ්‍යම බෙහෙත් ශාලාවල දහවල් කෑම වෙලාවේදී රෝහල වසා තබනවා. නමුත් අපි උදේ අටේ සිට සවස හතර දක්වා අඛණ්ඩව ප්‍රතිකාර ලබා දෙනවා.” යැයි වෛද්‍ය එල්.ඒ. ලසන්ත ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.

ගීකියනකන්ද ප්‍රාදේශීය රෝහල කළුතර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති රෝහලකි. ප්‍රධාන පාරේ සිට කිලෝමීටර් හයක් පමණ ඇතුළතට වන්නට පිහිටා ඇති මෙම රෝහල වෙත යාමට ඇත්තේ එක් බස් රථයක් පමණි. මෙයට ආසන්නම නගරය වන්නේ නෑබඩය. හොරණ නගරයේ සිට කිලෝමීටර් පහළොවක් පමණ ගිය විට පිහිටා ඇති ගීකියනකන්ද වතුයායේ මෙම ප්‍රාදේශීය රෝහල පිහිටා ඇත. ගීකියනකන්ද කොළඹ දිස්ත්‍රික්කයේ ඇති විශාල වතුයායකි. මෙය මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෙළවරේ පිහිටා ඇත. බුලත්සිංහල ප්‍රාදේශීය බල ප්‍රදේශය සහ අගලවත්ත බල ප්‍රදේශය මෙම මදුරාවෙල බල ප්‍රදේශයට යාබදව පිහිටා තිබේ.

මෙම ප්‍රදේශය සියලු ජාතීන් නියෝජනය කරන ප්‍රදේශයකි. මොවුහු මධ්‍යම පන්තියේ සහ පහළම මධ්‍යම පන්තියේ වැසියෝ වෙති. වතුයායේ තේ, රබර්, කටුපොල් වගා කෙරේ. මේ අනුව වතුයායේ වැඩ කරන සේවකයන්, කර්මාන්තශාලා සේවකයන් මෙන්ම ගොවි ජනතාවද තමා රෝගී වූ විට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන්නේ මෙම ගීකියනකන්ද ප්‍රාදේශීය රෝහලටය.

ගංවතුර කාලයේදී ගීකියනකන්ද රෝහල යටවෙයි. එවැනි ප්‍රශ්නවලට මුහුණදෙමින් රෝහලේ සිටින එකම වෛද්‍යවරයාත්, සේවක කණ්ඩායමත් දිනපතා රෝහල වෙත එන රෝගීන්ට නිසි ප්‍රතිකාර කඩිනමින් ලබා දෙති. නමුත් හෙදියන් නොමැතිව බොහෝ ප්‍රතිකාර තනි වෛද්‍යවරයකුට ලබාදීම එතරම් පහසු නැත. විශේෂයෙන් හදිසි ප්‍රතිකාර සිදුකිරීමේදී මරණයත් ජීවිතයත් අතර සිටින රෝගියාට ප්‍රතිකාර කඩිනමින් ලබාදීමේදී වෛද්‍යවරයාගේ සහායට හෙදියකගේ අවශ්‍යතාවය තිබිය යුතුමය. නමුත් ඒ සියල්ලම තනි වෛද්‍යවරයාට සහ සේවක කණ්ඩායමට පැවරී තිබේ. මේ නිසා හැකි ඉක්මනින් ගීකියනකන්ද ප්‍රාදේශීය රෝහලට හෙද නිලධාරිනියකගේ හෝ හෙද නිලධාරියකුගේ සේවය ලැබෙන්නේ නම් එය බොහෝ අස්වැසිල්ලක් වනු ඇත.

 දිශානි ජයමාලි කරුණාරත්න