2021 මාර්තු 27 වන සෙනසුරාදා

ජිනීවා යෝජනාවෙදී මොකද වුණේ?

 2021 මාර්තු 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

46 වැනි ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් තිබූ යෝජනාව  පසුගිය 23 දා වැඩි ඡන්දයෙන් සම්මත විය.. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට පක්ෂව රටවල් 22ක් ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර යෝජනාවට විරුද්ධව රටවල් 11ක් ඡන්දය ප්‍රකාශ කර තිබිණි. රටවල් 14ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

46 වැනි ජගත් මානව හිමිකම් සැසිවාරය ආරම්භ වූයේ පසුගිය පෙබරවාරි 22 දාය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ක්‍රියාකාරි  සංවාදයේදී මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේගේ යෝජනාවට අමතරව කැනඩාව, එක්සත් රාජධානිය, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනීග්‍රෝ සහ මලාවි යන රටවල් ද ශ්‍රී ලංකාවට එරෙහිව තවත් යෝජනාවක් ඉදිරිපත් කළහ. පළමුවටයේ සංවාදයේදී ශ්‍රී ලංකාවට රටවල් 21ක සහයෝගය හිමි වූ අතර ශ්‍රී ලංකාවට එරෙහි රාජ්‍යයන්ට හිමිවූයේ රටවල් 15ක සහයෝගයක් පමණි. එහෙයින් අනෙකුත් රාජ්‍යයන්ගේ සහය ලබාගැනීමට ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට අනුග්‍රහය දක්වන රටවල් කටයුතු කළේය.. එම යෝජනාව සම්බන්ධයෙන් පැවැති මුල් වටයේ සාකච්ඡාවලින් පසු එයට  සංශෝධන එක්කොට සභාගත කළ අතර. එම අවසන් කෙටුම්පතද ශ්‍රී ලංකාවට අනවශ්‍ය ලෙස අතපෙවීමක් බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය විය.. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව 30/1 යෝජනාවලියෙන් ඉවත්වීමට  එරෙහිව මෙවැනි පිළිවෙතක් අනුගමනය කරන බවක් පෙනෙන්නට ඇතැයි යන්න ඔවුන්ගේ මතය වූයේය.

මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේගේ වාර්තාවට අදාළ යෝජනාව මාර්තු 22 දින විවාදයට ගැනිණි. එයට අදාළ ඡන්ද විමසීම එදින පැවැත්වීමට නියමිතව තිබුණද  තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය මාර්තු 23 දිනට කල් දැමීමට සිදු විය. ශ්‍රී ලංකාවට වාසි සහගත තත්ත්වයත් ඇති වනු ඇතැයිද, ඉන්දියාව සහ ඉස්ලාමීය රටවල් අවසන් මොහොතේ හෝ ශ්‍රී ලංකාවට සහය දක්වනු ඇතැයි ද යන්න ආණ්ඩුවේ විශ්වාසය විය.

46 වැනි මානව හිමිකම් සැසිවාරයේ  ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවේ ඡන්ද විමසීම මාර්තු 23 දින එම සැසියේ පළමු යෝජනාව ලෙස විවාදයට ගැනිණි. යෝජනාව සම්බන්ධයෙන් නියෝජිතයන්ගේ අදහස් දැක්වීමෙන් පසු ඡන්ද විමසීම ආරම්භ විය. එහිදී යෝජනාවට පක්ෂව ආර්ජෙන්ටිනාව, ආර්මේනියාව, ඔස්ට්‍රියාව, බහමාස්, බ්‍රසීලය, බල්ගේරියාව, අයිවරි කෝස්ට්, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, ෆීජි, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය මලාවි, මාෂල් දූපත්, මෙක්සිකෝව, පෝලන්තය, නෙදර්ලන්තය, දකුණු කොරියාව, යුක්‍රේනය, එක්සත් රාජධානිය සහ උරුගුවේ යන රටවල් 22 යෝජනාවට පක්ෂය ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

රුසියාව, චීනය, පාකිස්තානය, බංග්ලාදේශය, බොලිවියාව, කියුබාව, එරිත්‍රියාව, පිලිපීනය, සෝමාලියාව, උස්බෙකිස්තානය සහ වෙනිසුයෙලා යන රටවල් 11 යෝජනාවට විපක්ෂව ඡන්දය ලබා දුන් අතර තවත් රටවල් 14ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ. ඒ ඉන්දියාව, ජපානය, බහරේන්, බුර්කිනා ෆාසෝ, කැමරුන්, ඉන්දුනීසියාව, ලිබියාව මුරිතේනියාව, නැමිබියාව, නේපාලය, සෙනගාලය, ගැබොන්, සුඩානය සහ ටෝගෝ යන රටවල්ය.

මානව හිමිකම් සැසියේදී රටවල් 47කට ඡන්දය ප්‍රකාශ කිරීමේ වරම හිමිය.  2009 වසරේ ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්ද 29ක්ද විපක්ෂව ඡන්ද 12ක් හිමි විය. 2012 වසරේ ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්ද 15ක්ද, විපක්ෂව 23ක්ද, 2013දී පක්ෂව 13ක් හා විපක්ෂව 25ක්ද, 2014 පක්ෂව 12ක් සහ විපක්ෂව 23ක්ද හිමිවූ අතර 2015, 2017 සහ 2019 යන වසරවල ඡන්දයක් පැවැත්වූයේ නැත. මෙවර ශ්‍රී ලංකාවට පක්ෂව හිමිවූයේ ඡන්ද 11ක් සහ විපක්ෂව 22කි. ඒ අනුව ශ්‍රී ලංකාවට පක්ෂව අවම ඡන්ද ප්‍රමාණයක් හිමිවූයේ මෙවරය. 

මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය සඳහා  මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ ඉදිරිපත් කළ වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු කර ඇති බවට තහවුරු කළ හැකි චෝදනා ලැබ සිටින ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව වත්කම් අත්හිටුවීමට සහ සංචාර තහනම් කිරීම වැනි සම්බාධක පැනවීමට යෝජනා කර තිබිණි.. එමෙන්ම යුද්ධය අවසන් වී වසර 12 කට ආසන්න කාලයක් මුළුල්ලේ වගවීම සහ ප්‍රතිසන්ධානය පිළිබඳව දේශීය වශයෙන් කටයුතු කොට ප්‍රතිළුල පෙන්වීමට ශ්‍රී ලංකාව නැවත නැවතත් අසමත් වී ඇති බවට ඇය චෝදනා කර තිබූ අතර, බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කළ බවට විශ්වාසදායක ලෙස චෝදනා එල්ලවන රාජ්‍ය නිලධාරීන්ට සහ අනෙකුත් පුද්ගලයන්ගේ වත්කම් අත්හිටුවීම සහ සංචාරක තහනම් පැනවීම වැනි ඉලක්කගත සම්බාධක පැනවීමට එක්සත් ජාතීන්ගේ සංගමයට අයත් රටවලට හැකි බවද එම වාර්තාවෙන් කියා තිබිණි.

එමෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්  ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අපරාධ නඩු විභාග කිරීම සහ යුද අපරාධ පිළිබඳ චෝදනා සොයා බැලීමටත්, සාක්ෂි රැස් කිරීම සඳහාත් ජාත්‍යන්තර යාන්ත්‍රණයක් සකස් කරන ලෙසට නිර්දේශ කර තිබිණි.
පසුගිය වසරේ මෙරට සිදුවූ මහර බන්ධනාගාර සිදුවීම, කොවිඩ් ආසාදිත මුස්ලිම් මරණ වැළලීමට ඉඩ නොදීම, වැනි සිදුවීම් හා යුද්ධය හා හමුදා නිලධාරීන් සිවිල් ආයතනවල ඉහළ තනතුරැවලට පත් කිරීම වැනි කරුණු සම්බන්ධයෙන්ද එහි සඳහන් කර තිබිණි. 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව හමුදාකරණය වෙමින් ඇතැයිද. හමුදා සේවයේ හිටපු සහ තවමත් සේවයේ නිරත විශේෂයෙන් යුද අපරාධවලට සම්බන්ධ බවට චෝදනා ලද හමුදා නිලධාරීන් සිවිල් පරිපාලන කටයුතුවල ප්‍රධානීන් ලෙස පත් කර ඇතැයි ද ඇය චෝදනා කර තිබිණි.. 

කෙසේ වුවද ආණ්ඩුව මුල සිටම මෙම වාර්තාව ප්‍රතික්ෂේප කළේය. මානව හිමිකම් සහ සංහිඳියාව ඇති කිරීමට අවශ්‍ය බොහෝ කටයුතු මේ වන විටත් සිදු කර ඇතැයි ආණ්ඩුව කියා සිටියේය. උදාහරණයක් ලෙස කොරෝනා වැළඳී මිය යන මුස්ලිම් මරණ භූමදානය කිරීමට මේ වන විටත් පිවයර ගෙන ඇතැයිද එහෙත් එවැනි කරුණු කෙරෙහි සැසියේදී අවධානය යොමු කර නොමැති බවද ආණ්ඩුව ප්‍රකාශ කළේය. 

අවසන් මොහොත වන තෙක්ම ශ්‍රී ලංකාවට හිතවාදී පිරිස් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනාවලට පිළිතුරු දීමට පියවර ගෙන තිබිණි.  මිෂෙල් බැෂලේගේ වාර්තාවේ අන්තර්ගත කරැණු දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාව මත ඉදිරිපත් වුවක්ය යන්න ආණ්ඩුවේ මෙන්ම  දේශපාලන විශ්ලේෂකයන්ගේද මතය විය. මෙවැනි වාතාවරණයක් යටතේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ එකමුතුව සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරීන් එකඟතාව පළකොට තිබිණි. ඒ සඳහා මූලිකත්වය ගෙන තිබුණේ ලන්ඩන් එක්සෙකටිව් නමැති ශ්‍රී ලංකාවට හිතවාදී සංවිධානයයි. එහි නියෝජිතයා ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා වගවීම් සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුම්වත් කිරීමට පියවර ගන්නා බවයි. එමෙන්ම ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව මානුෂීය හමුදාවක් බවද ශ්‍රී ලංකා  හමුදා හෝ ආණ්ඩුව කිසි ලෙසකින් හෝ යුද අපරාධ සිදු කර නොමැති බවද, දෙමළ ජනයා අතර  සංහිඳියාව නිර්මාණය කර ඇති බවද ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් මේ වන විට ආණ්ඩුව මගින් ලබා දී ඇතැයිද  එය සනාථ කරනු වස් තමන් එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට සංදේශයක් භාර දී ඇතැයි ද  කියා තිබිණි.

අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කියා සිටියේ මානව හිමිකම් කවුන්සිලයේ ඡන්දයේ ප්‍රතිඵලය කුමක් වුවද ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වසර 70කට වඩා සාමාජිකත්වය දැරූ රටක් වශයෙන්  අපගේ යුතුකම් උපරිම වශයෙන් ඉටු කිරීමට පියවර ගන්නා බවයි.. ශ්‍රී ලංකාවට එරෙහිව සාක්ෂි රැස් කිරීම හා, විශ්ලේෂණය කිරීමට එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරියගේ කාර්යාලයට වගකීමක් පැවරීමෙන්ද ශ්‍රී ලංකාවට විරුද්ධව සෘජුවම කටයුතු කිරීමට මුදල් වෙන් කිරීම හා. නිලධාරීන් පත් කිරීම තුළින්ද මුළු ලෝකයටම භයානක පණිවිඩයක් ගෙන එන බවද,. අද ශ්‍රී ලංකාවට. එල්ල කරන චෝදනා හෙට කුමන රටට එල්ල වෙයි දැයි කිව නොහැකි බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ අසල්වැසියා වන ඉන්දියාව අවසන් මොහොතේ ශ්‍රී ලංකාවට සහය දක්වනු ඇතැයි යන විශ්වාසය ආණ්ඩුවට පැවතියද ඡන්දය පැවැත්වීම දෙදිනකට පෙර ද හින්දු පුවත්පත ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිනු ඇති බවටය. එම අනාවැකිය සනාථ කරමින් ඉන්දියාව ඡන්දය ප්‍රකාශ කළේ නැත. චීනය සමඟ ශ්‍රී ලංකාව සමීප ඇසුරක් පැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දියාව නොරිස්සුම් සහගත හැඟීමකින් පසුවන බව පැහැදිලිය. එමෙන්ම ඔවුන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට මෙන්ම පළාත් සභා ඡන්දය පැවැත්වීය යුතු බවටද ශ්‍රී ලංකාවට අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබේ. මෙතෙක් ඔවුන්ගේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින්නට ඇතැයි සිතිය හැකිය.

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මත වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 2007-2008 සමයේ සිටි උප සභාපති සහ ජිනීවා හිටපු නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක මහතා මාධ්‍යයට මෙලෙස අදහස් දක්වා තිබිණි. ඔහු ප්‍රකාශකර ඇති අයුරින් ශ්‍රී ලංකාව මෙතෙක් ලැබූ අවම ඡන්ද සංඛ්‍යාව හිමි වූයේ මෙවරය. මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බොහෝ රටවල් නොබැඳි ව්‍යාපාරයේ සාමාජිකයන් වන අතර ඒවා වෙනත් වසරවල ශ්‍රී ලංකාවට සහය දක්වමින් ඡන්දය ප්‍රකාශ කළ රටවල්ය. 2009 සිට ශ්‍රී ලංකාවට සහය දක්වමින් ඡන්දය ප්‍රකාශ කළ මේ රටවල් අද ක්‍රමයෙන් ශ්‍රී ලංකාවෙන් ඉවත්ව ඇති බවක් පෙනෙන්ට තිබේ. ලතින් ඇමෙරිකාවේ වාමාංශික ප්‍රගතිශීලී රටවල ඡන්දයද මෙවර ශ්‍රී ලංකාවට අහිමි වී තිබේ. ඉස්ලාමීය රටවල් කිහිපයක්ද ඡන්දය දීමෙන් වැළකී තිබිණි. එසේ වූයේ මානව හිමිකම් කවුන්සිලය තුළ අපේ ඡන්ද පදනම රැක ගැනීමට ආණ්ඩුව අසමත් වූ බැවින්ය යන්න ඔහුගේ මතයයි.. ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සමඟ ඇති කරගත් සහයෝගිතාව හා ඔහු ඉස්ලාමීය රාජ්‍ය එකමුතුව දිනා ගැනීමට කටයුතු කරමින් සිටියදී ඇතැම් බලධාරීන් විසින් කරන ලද ක්‍රියා හේතුවෙන් මුස්ලිම් රාජ්‍යවල විශ්වාසය පළුදු වී තිබීමද මෙයට බලපා ඇතැයි ඔහු කියා තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුව මිෂෙල් බැෂලේගේ යෝජනාවට විකල්පයක් ඉදිරිපත් නොකොට එය ප්‍රතික්ෂේප කිරීමට පමණක් කටයුතු කිරීමද මෙම පරාජයට බලපෑ ඇතැයි ආචාර්ය දයාන් ජයතිලකගේ අදහස වී තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුවද විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ “එම යෝජනාව ප්‍රතික්ෂේප කරමින් රටවල් 11ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් හා රටවල් 14ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමෙන් පෙනී යන්නේ රටවල් 25ක් මෙම යෝජනාවට අනුමැතිය ලබා දී නොමැති බවයි. ඒ අනුව බහුතරය සිටින්නේ මේ යෝජනාවට විපක්ෂව බව පැහැදිලියි.” යනුවෙන් ප්‍රකාශ කළේය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා