2021 මාර්තු 27 වන සෙනසුරාදා

ළමුන්ගෙන් තුනෙන් එකකගේ ආයුෂ අවුරුදු 40යි!

 2021 මාර්තු 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 74

මහාචාර්ය පෝල් සිමන් වර්තමාන දරුවන්ගේ ආයු කාලයක් එම දරුවන්ගේ දෙමව්පියන්ගේ ආයු කාලයත් ගණනය කර බලයි. එහිදී 2025 - 2030 අතර කාලයේදී දරුවන්ගේ ආයු කාලය අවුරුදු 40-45 සීමාව වනු ඇතැයි මහාචාර්ය පෝල් සිමන් තීරණය කර ඇත. මෙහිදී ඔහු පවසා ඇත්තේ මෙලෙස දරුවන්ගේ ආයු කාලය අඩුවීමට ප්‍රධානම හේතුව වන්නේ වර්තමානයේදී දරැවන් විසින් ගනු ලබන ආහාරපාන මෙම දරුවන්ට එතරම් සුදුසු නොවීමේ හේතුව නිසාය.

“මහාචාර්ය පෝල් සිමන් මහතා කරන ලද සමීක්ෂණයට අනුව එය ලංකාවේ දරුවන්ට කෙසේ බලපාවිද යන්නෙත් අපි සොයාබැලීම් සිදුකළා. ඒ අනුව ලංකාවේ දරුවන් ස්ථුලතාවය සහ අධිබර පද්ධතියට ගියහොත්, ලංකාවේ සහ ආසියානු කලාපයේ දරැවන්ට බටහිර කලාපයේ දරැවන්ට සාපේක්ෂව හතර ගුණයකින් හෝ පස් ගුණයකින් වැඩි බලපෑමක් ඇතිකරන බව සොයාගෙන තියෙනවා. මෙය ශ්‍රී ලාංකීය දරුවන්ට වැඩි අවදානමක් පෙන්නුම් කරනවා. මේ නිසා අපේ රටේ දරුවන්ගේ ආහාර රටාව නිවැරදිව පවත්වාගෙන යන්නට නම් මීට වඩා ප්‍රතිපත්තිගරුක වැඩසටහනක් අවශ්‍ය වෙනවා.” යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමගේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

මේ අනුව සෑම පාසලකම පවත්වාගෙන යනු ලබන ආපන ශාලා දරුවන්ගේ සෞඛ්‍යයට ගැලපෙන පරිදි, දරුවන්ගේ ආයු කාලය වැඩිකරවන ආහාර පාන පමණක් ප්‍රවර්ධනය කරන තැනක් බවට පත්කරලීමට සුදුසු වටපිටාවක් සකස් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ 2011 වසරේදී ඉදිරිපත් කළ ආපනශාලා චක්‍ර ලේඛනයක් නැවත වරක් ක්‍රියාත්මක කරලීමට යෝජනා කර ඇත. මේ අනුව එම චක්‍ර ලේඛනයේ සඳහන් දේ ක්‍රියාවට නැංවීමටත්, පාසල ආපන ශාලාවලින් දරුවන් නිවැරදි හා පිරිසිදු ආහාර රටාවක් පුරුදු කිරීමටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදහස් කරන බව එහි සභාපති වැඩිදුරටත් පැවසීය.

“මෙහිදී පැණිබීම වෙනුවට ජලය සහ තැඹිලි ප්‍රවර්ධනය කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජලාස්ටික් බෝතල්වල වතුර ගෙනයාම සහ වතුර විකිණීම වෙනුවට වීදුරු බෝතල්වල ජලය ගෙනයාම අපි හඳුන්වා දෙනවා. ප්ලාස්ටික් බෝතල් දරුවන්ට හිතකර වන්නේ නැහැ. ඒ නිසා ඉදිරියේදී පැණිබීම දරැවන්ට ලබාදීම සීමා කරලීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම පාසල් ආපන ශාලා හරහා අපේ දේශීය පාරම්පරික ආහාර ප්‍රවර්ධනය කරන්න කියලත් අපි කියනවා. විශේෂයෙන් පිටි කෑමවලින් මෙන්ම කෘතිම රසායනික ද්‍රව්‍යයන් යෙදූ ආහාරවලින් දරුවන් ඈත් කළයුතු වෙනවා.” යැයි විශේෂඥ වෛද්‍ය පාදෙණිය මහතා ප්‍රකාශ කරයි.

පාසල් ආපනශාලා පවත්වාගෙන යන කාලයේදී බොහෝවිට විකිණෙන්නේ පාන් පිටි වලින් සෑදූ බනිස් පිටි සහිත කෑම මෙන්ම රෝල්ස් පැටිස් වැනි තෙල් සහිත ආහාරය. නිවෙසට වී සිටින දරුවන්ටන් බොහෝ දෙමව්පියන් පහසුව නිසාවෙන් ළඟ පාතක වෙළඳසලකින් උදෑසන ආහාරවේලට ලබාදෙන්නේ බනිස්, පාන් හෝ රෝල්ස්ය. එයට තවත් ප්‍රධාන පහසුවක් වන්නේ නිවස අසලමට එන (චූන් පාන්) රථයයි. බෙහෝ දෙමව්පියන් දරුවන්ගේ උදෑසන ආහාරය ගැන හිතන්නේ (චුන් පාන්) රථය අසලට ගොස් එහි ඇති ආහාරපාන දැක ගැනීමෙන් පසුවය. රාත්‍රී කාලයටත් සිදුවන්නේ එයමය. 

එපමණක්ම නොව බොහෝ මව්පියන් රාත්‍රි කාලයට දරුවන්ට ලබාදෙන්නේ ක්ෂණික නූඩ්ල්ස් පැකට්ය. නිවසේදී එළවළු ටිකක් කපා සුප් එකක් හදන්න හැකියාවක් තිබුණද ඒ සඳහාද යොදාගනු ලබන්නේ වෙළෙඳපොළේ ඇති ක්ෂණික සුප් පැකට්ය. ඒ සියල්ලටම රසකාරක ද්‍රව්‍යයන් යොදු ඇත. දිව පිනවීම කෙසේ වෙතත් දරුවන්ට මේ ලබාදෙන්නේ වසවිස බව ඒ බොහෝ දෙමව්පියන් දැන සිටියද ඒ ගැන ඔවුන්ට වගක් නැත. රූපවාහිනියෙන් නිරන්තරයෙන් ප්‍රචාරය වන දැන්වීම්වලට වහල්වන බොහෝ දෙමව්පියන් මේ විනාශකර දමන්නේ දරුවන්නේ ආයු කාලයයි. කුඩා මාළුන්, හාල්මැස්සන් වෙනුවට බොහෝ දෙමව්පියෝ දරුවන්ට කුකුල්මස් ලබාදීමට පුරුදුව සිටිති. නමුත් කුකුල්මස්වලට වඩා කුඩා හාල්මැස්සන්ගෙන් පෝෂ්‍යපදාර්ථයන් ලැබෙනා බව දෙමාපියන් දැන සිටියද ඇතැම් දරුවාගේ පෙට්ටියේ ඇත්තේ පිසූ හාල්මැස්සන් වෙනුවට රෝස්ට් කළ කුකුල්මස් කැබැල්ලකි. එය දරුවන්ෙග් ආයුකාලය අඩුකරලීමට කරනා තවත් අත වැනීමකි. පොෂ් වන්නට ගොස් මේ විනාශ කර දමන්නේ දරුවන්ගේ වටිනා ජීවිත කාලය බව තේරුම් යද්දී ඇතැම්විට දරුවාගේ ජීවිතය අවදානමක වැටී තිබෙන්නටත් ඉඩ තිබේ.

“දරුවන්ට පාන්පිටි කෑම දෙන්නේ නැතිව ඒ වෙනුවට හාල්පිටි සහ ආනිකුත් ධාන්‍යවලින් පිසූ ආහාර ලබාදීම ඉතා වැදගත් වෙනවා. එය දෙමව්පියන්ගේ වගකීමක්. සකස් කළ මස් වර්ග පිළිකාකාරකයි. එයින් දරුවන්ගේ පිළිකා තත්ත්වයන් වැඩිවෙලා තිබෙනවා. මේ වනවිට ලංකාවේ ළමා දියවැඩියා රෝගීන් විශාල ප්‍රමාණ‍යෙන් වර්ධනය වෙලා තිබෙනවා. 2019 වර්ෂයේදී ළමා රෝහලේදී අවුරුදු දොළහට අඩු ළමා දියවැඩියා රෝගීන් එකසිය අනූ හතරක් ලියාපදිංචි වෙලා තිබෙනවා. ඒ අනුව දියවැඩියාව ඉතා සීඝ්‍රයෙන් වැඩිවෙලා තිබෙනවා. මේ නිසා ඉතා ඉක්මණින් රටේ නිවැරදි ආහාර සංස්කෘතියක් දරුවන්ට පුරුදු කළේ නැත්නම් අපි ඉස්සරහ මේ රටේ අනාගතය බාරගන්න ඉන්න දරුවන් මැරෙන දවස වැඩි ඈතක නෙවේ. ඒ නිසා දරුවන්ගේ ආහාරය පිළිබඳව දෙමව්පියන් මීට වඩා වගකීමකින් සොයාබැලිය යුතු වෙනවා.” යැයි විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වැඩිදුරටත් පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න