
රජය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කිරීමට විවිධ පියවර ගත්තද ඒ සියල්ල යටපත් කරමින් වෙළෙඳ මාෆියාව ශක්තිමත් වන බවක් මේ දිනවල දැකගත හැකිය. තව සතියකින් දෙකකින් එළඹෙන උත්සව සමයේදී බඩු මිල අදට වඩා විශාල ලෙස ඉහළ යනු ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයෝ විශ්වාසය පළ කරති. මේ වන විට සමස්ත අලෙවි ජාලය තුළ මහා පරිමාණ කූඨ ව්‍යාපාරිකයන් අතළොස්සකගේ බල මහිමය ක්‍රියාත්මක වෙයි. රජය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කිරීම සඳහා කොතරම් උත්සාහ කළද ඒවායින් බලාපොරොත්තු වන ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වී නැත. සියල්ල නෙළුම් පතට වැටුණු දිය මෙන් ලිස්සා ගොස් ඇත.
රජය බඩු මිල උපරිම සිල්ලර හා තොග මිල පාලනය කරමින් ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදන සියල්ල මේ වන විට අහෝසි වී තිබේ. ගැසට්වලින් බඩු මිල අඩු කිරීමට නොහැකි වූ බව මැති ඇමැතිවරුන්ට පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේ පිළිගැනීමට සිදුවිය. උදාහරණයක් ලෙස කිවහොත් සහල් මිල පාලනය කරමින් පසුගිය සමයේ ගැසට් නිවේදන හයක් පමණ නිකුත් කළද අද වන විට මුළු රට පුරා ක්‍රියාත්මක වන්නේ මහා පරිමාණ මෝල්හිමියන් කිහිප දෙනකු නියම කළ මිලය. එම මිලට සහල් ලබාගෙන ඉතා සුළු ලාභයක් තබාගෙන අලෙවි කිරීමට සිල්ලර වෙළෙඳුන්ට සිදුවී ඇත.
පාරිභෝගික සේවා අධිකාරියද මුල් දිනවල වැඩි මිලට සහල් අලෙවි කරන සිල්ලර වෙළෙඳුන් වැටලීමට ක්‍රියා කළද මේ වන විට එම ප්රයත්නයද නැවතී ඇත. එයට හේතුව තමන් වටලන නිසා එයින් බේරීමට සිල්ලර වෙළෙඳුන් සහල් අලෙවියෙන් ඉවත්වීමේ ප්‍රවණතාවක් ඇතිවීමය. ඔවුන් ප්‍රකාශ කරනුයේ සහල් තොග වෙළෙඳුන් තමන්ට සහල් සපයන මිල ගණන් අනුව රජයේ පාලන මිලට අලෙවි කළ නොහැකි නිසා නඩු යාමට බියෙන් සහල් අලෙවිය නැවැත්වූ බවය. රජය කොතරම් ප්රයත්න දැරුවද රටේ ඉතාම තදින් පවතින සහල් මාෆියාව කඩා දැමීමට නොහැකිව ඇති බව ඇමැතිවරුන්ට පිළිගැනීමට සිදුව තිබේ. පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ද විෂය භාර ඇමැතිවරුන්ද හාල් මෝල්වලට කඩාපැන්න නමුත් අවසානයේදී කිසිවක් කරකියා ගන්නට නොහැකිව ආපසු හැරී යාමට සිදුවිය.
මෙම තත්ත්වය මත අද වන විට වෙළෙඳපොළේ සහල් අලෙවි කෙරෙන්නේ කැකුළු සහල් කිලෝව රුපියල් 105, නාඩු 115, සම්බා 165 හා කීරිසම්බා 185 ආදී මිල ගණන්වලටය. ලංකා සතොස ආයතනවල රජයේ සීමිත මිලට සහල් අලෙවි කරන නමුත් එම සහල් අවශ්‍ය තරම් මිලට ගත නොහැකි අතර සතොස කළමනාකරුවන්ගේ සීමාකිරීම්වලට යටත්වීමට පාරිභෝගිකයාට සිදුව තිබේ. සම්බා සහ කීරිසම්බා බොහෝ ලංකා සතොස වෙළෙඳසල්වල තොග නොමැත. ඒවා අවශ්‍ය තරම් නොලැබෙන බව කළමනාකරුවෝ කියති.
වී අලෙවි මණ්ඩලය සහල් තොග වෙළෙඳුන් සමඟ තරගකාරී ලෙස වී මිලට ගැනීමට යාම නිසා වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති. වී කිලෝවක පාලන මිල වූ රුපියල් 50ට වැඩියෙන් වී අලෙවි මණ්ඩලය රුපියල් 55 දක්වා වී මිලට ගත් අතර මෝල්හිමියෝ රජයේ මිලට වඩා තරගකාරී ලෙස ඉහළ මිලකට වී මිලට ගැනීමට පටන් ගත්හ. ඒ නිසා ඔවුන්ට අද පවතින මිලට වැඩියෙන් ඉදිරියේදී සහල් අලෙවි කිරීමට සිදුවනු ඇත. කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසන්නේ වැඩි මිලට වී ගත්තද පාලන මිලට සහල් අලෙවි කරන බවය. එහෙත් රජය ලබාගන්නා වී වලින් කොටන සහල් පාලන මිලට දුන්නා යැයි සහල් වෙළෙඳපොළට බලපෑමක් ඇති නොවේ. එයට හේතුව රජය සමස්ත අස්වැන්නෙන් මිලයට ගන්නට අපේක්ෂා කරනුයේ සියයට 3ක් වැනි සුළු කොටසක් නිසාය. පසුගිය වසරේ අස්වැන්නෙන් රජය මිලට ගෙන ඇත්තේ සියයට 1ක් නිසා මෙලෙස සියයට 3ක් මිලට ගැනීමට යනවා යැයි පැවසීම පිළිගත නොහැකිය. 2020 දී මුළු වී නිෂ්පාදනය වූ මෙට්‍රික් ටොන් ලක්ෂ 37,000න් රජය මිලට ගෙන ඇත්තේ මෙට්‍රික් ටොන් 3200ක් පමණි. කෘෂිකර්ම ඇමැතිවරයා වී මෝල්හිමියන් දණගස්සන බවට පුරාජේරු කතා කළද රජයට වී වෙළෙඳපොළට මැදිහත්වීමට හැකිව ඇත්තේ ඉතාමත්ම සුළු වශයෙන් නිසා දණගැස්වීම කෙසේ වුවද දණ නැමීමට සිදුව ඇති බව පැහැදිලිය.
කෙසේ වුවද ලබන උත්සව සමයේදී ලංකා සතොස, සමූපකාර සහ පෞද්ගලික සුපිරි වෙළෙඳසල්වලින් රජයේ සහතික මිලට සහල් ලබාදෙන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජේ.ඩී. මාන්නප්පෙරුම පසුගියදා ප්‍රකාශ කර තිබුණි. වී අලෙවි මණ්ඩලය මේ වන විට ගොවියාගෙන් මෙට්‍රික් ටොන් 17,646ක් ලබාගෙන ඇති අතර එම වී සහල් කර නිකුත් කරන බව ඔහු කියයි. සහතික මිල යටතේ අලෙවි කරන වෙළෙඳසල්වලට ප්‍රමුඛත්වය දෙන බවද ඔහු අවධාරණය කරයි. වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන පවසන්නේ මේ වන විට මණ්ඩලය වියළි වී කිලෝව රුපියල් 55 සහ තෙත වී කිලෝව රුපියල් 46 බැගින් වී කිලෝ ලක්ෂ 200ක් මිලදී ගෙන ඇති බවය. ජනතාවගේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 36ක් ලෙස සැලකූ විට රජය බෙදන්නට යන සහල් ප්‍රමාණය කොතරම් අල්පද යන්න සනාථ වෙයි. වෙළෙඳපොළ විශ්ලේෂකයන් කියන්නේ මහා පරිමාණ වෙළෙඳුන්ට යම්තම්වත් දැනීමක් ඇතිකර සහල් මිලට බලපෑම් කිරීමට නම් රජය අවම වශයෙන් ටොන් මිලියන 3.2ක්වූ වී අස්වැන්නෙන් සියයට 20ක්වත් මිලට ගත යුතු බවය.
සහල් මිල බැස්සීමට නොහැකි වූ විට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ හාල් කිලෝ ලක්ෂයක් ආනයනය කිරීමට කටයුතු කරන අතර ඒ පිළිබඳ කැබිනට් අනුමැතියද ලැබී ඇති බවය. තවද සහල් ආනයනය කර ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යන අතර අතරමැදියන් ගබඩා කර ඇති වී තොග රජයට පවරාගෙන පාලන මිලට පාරිභෝගිකයාට බෙදා දෙන බවද ඇමැතිවරයා පසුගියදා කීවේය.
කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ කියන්නේ මොනවා වුණත් වී කිලෝවක් මිලට ගන්නා සහතික මිල අඩු නොකරන බවය. වෙළෙඳපොළේ අනවශ්‍ය ලෙස සහල් මිල වැඩිකර ඇති නිසා මිල අඩුකිරීම සඳහා සහල් ආනයනය කරන ලෙස 23දා පැවැති කණ්ඩායම් රුස්වීමේදී සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙළෙඳ ඇමැතිවරයාට යෝජනා කළා. වී හිඟයක් පවතිනවා යැයි කියන ඕනෑම කෙනකු සමඟ මා විවාදයකට සූදානම්. එසේම අතරමැදියන් වී තොග සඟවාගෙන සිටී නම් එම තොග රජයේ සහතික මිලට ගෙන හාල් කර ජනතාවට බෙදා දෙනවා. යැයි ඇමැතිවරයා අවධාරණය කළේය. ඔහු පවසන්නේ සහල් මාෆියාව පිටුපස බිලියන ගණන් මුදල් හුවමාරු වන බවය. එක්තරා මෝල්හිමියන් පිරිසක් සමාජ මාධ්‍යවලට මුදල් ගෙවා සහල් හිඟයක් ඇති බවට ප්‍රචාරයක් ගෙන යන බවද ඔහු හෙළි කළේය.
අද නාඩු කිලෝව රුපියල් 105යි. කීරිසම්බා සහ සම්බා කිලෝව රුපියල් 140-170 අතර පවතිනවා. නාඩු සහල් ආහාරයට ගන්නේ රටේ ජනගහණයෙන් සියයට 82ක්, සම්බා භුක්ති විඳින්නේ සියයට 18ක් වන අතර කීරිසම්බා කන්නේ ඉතාම සුළු පිරිසක්. මේ කන්නයේදී අපි හෙක්ටයාර හත්ලක්ෂ හැටහතර දහසක් වගා කර ඇති අතර එයින් වී ටොන් මිලියන 3.2ක් ලැබෙනවා. මාසික සහල් පාරිභෝජනය කිලෝ එක්ලක්ෂ අනූපන් දහසක්. වසරක පාරිභෝජනය මෙට්‍රික් ටොන් මිලියන 2.4ක්. මේ වසරේ යල මහ කන්නවලින් වී මෙට්‍රික් ටොන් මිලියන 6ක අතිරික්තයක් තිබෙනවා. වගා හානි සියයට 10ක් සිදුවී තිබුණද මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක අතිරික්තයක් තිබෙනවා. අද වෙද්දි වී අලෙවි මණ්ඩලය රුපියල් 56.50 ගණනේ වී කිලෝවක් මිලට ගන්නවා. ඒ අනුව මේ දක්වා මෙට්‍රික් ටොන් 32,000 අරගෙන තියෙනවා. මේ රටේ හත් අට දෙනකුට එකතුවෙලා ආර්ථිකය මෙහෙයවන්න දෙන්න බැහැ. මේ වන විට කව්පි, බඩඉරිඟු සහ මුංඇට තොග සඟවාගෙන වැඩි මිලට විකුණනවා. අපි ඒවා නවත්වනවා.
රටේ සහල් මිල දිගින් දිගටම ඉහළ යාමට හේතුව පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ මහාචාර්ය බුද්ධි මාරඹේගෙන් විමසූ විට ඔහු පැවසුවේ රටේ වී නිෂ්පාදන අතිරික්තයක් තිබෙන බව ආණ්ඩුව පවසන නමුත් එම වී වෙළෙඳපොළට නොඑන බවයි. ඉල්ලුමට අවශ්‍ය සැපයුම නැති විට මිල ඉහළ යාම ආර්ථික සිද්ධාන්තයක් බව ඔහු කියයි
රජය කියනවා වී අතිරික්තයක් තිබෙනවා කියලා. එහෙම තියෙනවා නම් ඒවා කොහේද තබාගෙන ඉන්නේ කියලා වගකිවයුත්තන් පෙන්වා දිය යුතුයි. කවුද සඟවලා තියෙන්නේ කොහේද සඟවලා තියෙන්නේ කියලා අනාවරණය කරගත යුතුයි. එය රජයේ වගකීමක්. මේ රටේ කෘෂිකර්ම විෂයට අදාළ විවිධ තනතුරු දරණ නිලධාරීන් රුසක් ඉන්නවා, වගා නිලධාරීන්, කෘෂිකර්ම උපදේශකයන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් ආදී වශයෙන්. ඉතින් රජය කළ යුත්තේ මේ අය යොදවා රටේ වී නිෂ්පාදනය පිළිබඳ සංගණනයක් සිදු කිරීමයි. වගාබිම් බෙදාගෙන ඒවාට ගිහින් නිෂ්පාදනය කරන ප්‍රමාණය ගැන සොයා බැලිය හැකියි. ඒ අනුව සමස්ත වී නිෂ්පාදනය පිළිබඳ ගණන් මිනුම් ලබාගත හැකියි. ඊළඟට ඒවා තියෙන්නේ කොහේද ඒවාට කරන්නෙ මොනවද යන්න සොයා බැලිය යුතුයි. මෙය ප්‍රායෝගිකව කළ යුතු දෙයක්. එසේ නොකර කාර්යාලවල සිට වී අතිරික්තයක් තිබෙනවා යැයි ප්‍රකාශ නිකුත් කිරීම ප්‍රායෝගික නැහැ.
ඔහු පවසන්නේ මෙතෙක් කල් පත්වූ කිසිදු රජයක් මගින් මෙලෙස වගා සංඛ්‍යාලේඛන සකස් නොකළ බවයි. නිවැරදි තොරතුරු ලබාගත් විට එම නිෂ්පාදනවලට සිදුව ඇත්තේ කුමක්ද කියලා සොයා බැලිය හැකිය යන්න ඔහුගේ අදහසයි. ඔහු පවසන්නේ අග සිට පටන් නොගෙන මුලින් පටන්ගත යුතු බවයි. එවිට නිවැරදි චිත්‍රයක් මවාගත හැකියි. එවිට තොග සඟවාගෙන සිටිනවා නම් ඒ කවුද කොපමණ සඟවාගෙන සිටිනවාද යන්න සොයා බැලිය හැකි බව ඔහු කියයි. ඒ අනුව වෙළෙඳපොළට සහල් නොපැමිණීම ගැන සොයා බලා පියවර ගත හැකි නමුත් මෙතෙක් එවැන්නක් සිදුව නැති නිසා මෙම විකෘති වෙළෙඳපොළ නිර්මාණය වී ඇතැයි ඔහු පෙන්වා දෙයි.
මේ අතර පසුගිය පෙබරවාරි මස මැද භාගයේදී වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 27ක මිල ගිවිසුම්ගත ක්‍රමයක් අනුව සීමා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළේය. ප්‍රධාන වෙළෙඳ සමාගම් සමඟ ඇමැතිවරයා තෙමසකට වලංගු වන පරිදි අවබෝධතා ගිවිසුමකට අත්සන් කළ අතර, ගිවිස ගත් මිල වෙනස් වන්නේ ප්‍රධාන හේතු දෙකක් මත පමණක් බව අවධාරණය කළේය. ඒ අනුව රජය මගින් තීරු බදු ඉහළ දැමීමක් හෝ රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව විශාල ලෙස වටිනාකම පහළ ගියහොත් පමණක් මිල සංශෝධනය කෙරෙනු ඇත.
එම ගිවිසුමට අනුව රතු කැකුළු හා සුදු කැකුළු කිලෝව රුපියල් 93 බැගින්ද නාඩු රුපියල් 96ට හා සම්බා කිලෝව රුපියල් 99ටද අලෙවි කළ යුතුය. කීරිසම්බා කිලෝව අලෙවි කළ යුතු උපරිම මිල රුපියල් 125කි. එහෙත් මෙම සහල්වලින් සමහර සහල් වර්ග ලංකා සතොස වෙළෙඳසල් මගින් අලෙවි කරන නමුත් දිවයිනේ වෙනත් කිසිදු ස්ථානයකින් මේ මිලට සහල් ගැනීමට නොහැකිය. ඇතැම් සුපිරි වෙළෙඳසල්වල කැකුළු සහ නාඩු සහල් නියමිත මිලට රුපියල් 5ක් පමණ වැඩියෙන් අලෙවි කරන නමුත් සම්බා සහ කීරිසම්බා අලෙවි කරනුයේ කිලෝව පිළිවෙළින් රුපියල් 40 හා 50 වශයෙන් වැඩි මිලක් එකතු කරමිනි. එසේම රුපියල් 165ක් මිල කළ යුතු මයිසූර් පරිප්පු කිලෝව සුපිරි වෙළෙඳසල්වල අලෙවි කරනුයේ රුපියල් 20ක් වැඩියෙන් රුපියල් 185කටය. සුදු සීනි කිලෝ 2 බැගින් එක් අයකුට පාලන මිලට සතොස නිකුත් කළද සෙසු වෙළෙඳසල්වල කිලෝව රුපියල් 120-125කට අලෙවි කෙරේ. එසේම කිලෝව රුපියල් 400කට මිල නියම කළ කුකුළු මස් අලෙවි කෙරෙන්නේ කිලෝව රුපියල් 550-600 වැනි මිල ගණන්වලටය. කුකුළු මස් අලෙවි කරන සිල්ලර වෙළෙඳුන් පවසන්නේ තමන්ට ලැබෙන තොග මිල අනුව කිලෝව රුපියල් 400කට අලෙවි කළ නොහැකි අතර කිලෝවක මිල රුපියල් 600 ඉක්මවා යන බවයි. මේ අතර කුකුළු මස් කැබලි එක එක කොටස් විවිධ ඉහළ මිල ගණන්වලට අලෙවි කරන අතර ඒවාට පාලන මිල බලනොපාන බව වෙළෙන්ඳෝ කියති.
අනිත් ගැටලු වන්නේ මේ වන විට මෙම ගිවිසුමේ සඳහන් මිලට වඩා බී ලූනු සහ අර්තාපල් විවෘත වෙළෙඳපොළේ අඩු මිලට ලබාගත හැකිවීමය. දේශීය අර්තාපල් කිලෝව රුපියල් 130කට හා ආනයනික අර්තාපල් කිලෝව රුපියල් 90-100 පමණ මිලකට විවෘත වෙළෙඳපොළෙන් මිලදී ගත හැකිය. බී ලූනු කිලෝවක මිල රුපියල් 100ක් පමණ වේ. ඒ අනුව එම අයිතමයන් පිළිබඳ ගිවිසුම්ගත මිල බලනොපාන බව පෙනෙන්නට තිබේ.
මේ අනුව අපට පෙනී යන්නේ වෙළෙඳ අමාත්‍යවරයා අත්සන් කළ මිල ගිවිසුමෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබී නොමැති බවය. ඇමැතිවරයා සද්භාවයෙන් සාකච්ඡා වට ගණනාවක් පවත්වා වෙළෙඳුන් සමඟ ගිවිසුම්ගත වුවද අද වන විට උපක්රමශීලීව ඒ තුළින් රිංගා ගොස් මිල ගණන් ඉහළ නැංවීම සිදුව ඇති බවද පෙනෙන්නට තිබේ.
ඒ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සුපිරි වෙළෙඳසල්වල පවා විවිධ මිල ගණන්වලට අලෙවි කරන බව දේශය පුවත්පත මගින් කරන ලද වෙළෙඳපොළ ගවේශනයකදී හෙළි විය. එසේම අල, ලූනු ආදී ආහාර ද්‍රව්‍ය ලක් සතොස වෙළෙඳසල්වලට වඩා අඩුවෙන් විවෘත වෙළෙඳපොළෙන් ලබාගැනීමට හැකිව තිබේ. මේ නිසා පාරිභෝගික ජනතාව මේවා මිලට ගැනීමට ලක් සතොස වෙළෙඳසල්වලට නොඑන බවද පෙනෙන්නට තිබේ. එසේම රුපියල් 85ක්වූ පාලන මිලට ලක් සතොස සීනි අලෙවි කරන නමුත් බොහෝ ඒවායේ එක් පාරිභෝගිකයකුට නිකුත් කරනුයේ කිලෝ 2ක් වැනි සීමිත ප්‍රමාණයක් බව දැකගත හැකි විය.
නුගේගොඩ ප්‍රදේශයේ එක්තරා සුපිරි වෙළෙඳසලක රුපියල් 119ට අලෙවි කරන දේශීය අර්තාපල් කිලෝව තවත් සුපිරි වෙළෙඳසලක රුපියල් 140ක් වන අතර තවත් ස්ථානයක රුපියල් 160කි. එසේම සුපිරි වෙළෙඳසල්වල රුපියල් 99 බැගින් අලෙවි කරන ආනයනික අර්තාපල් කිලෝව රුපියල් 85කට පමණ විවෘත වෙළෙඳපොළෙන් ලබාගත හැකිය. මේ දිනවල රතු ලූනු විවෘත වෙළෙඳපොළේ කිලෝව රුපියල් 250කට විකිණෙන අතර සුපිරි වෙළෙඳසල්වල අලෙවි වන්නේ කිලෝව රුපියල් 375කට හෝ 400කට පමණය.
ඇතැම් සුපිරි වෙළෙඳසල්වල වියළි මිරිස් කිලෝව රුපියල් 1200කට වැනි ඉහළ මිලකට විකුණන නමුත් නුගේගොඩ එක්තරා සුපිරි වෙළෙඳසලක කිලෝව රුපියල් 585ට අලෙවි වේ. ලංකා සතොස වියළි මිරිස් අලෙවි කරනුයේ කිලෝව රුපියල් 495 බැගින්ය. මෙවැනි විචල්‍ය මිල මට්ටම් නිසා අපට අවබෝධ වන්නේ රජයේ මෙන්ම සුපිරි වෙළෙඳසල්වලද භාණ්ඩ මිල නියම කිරීමේ කිසිදු ක්‍රමවේදයක් නොමැති බවය. මෙලෙස හිතුවක්කාර ලෙස භාණ්ඩ අලෙවි කිරීම නිසා විපතට පත්ව ඇත්තේ අසරණ පාරිභෝගිකයා බව පෙනෙන්නට තිබේ. එසේම සුපිරි වෙළෙඳසල්වල එළවළු අලෙවි කරනුයේද ඉතාම අසාධාරණ මිලට බව පැවසිය යුතුය. ඇතැම් වෙළෙඳසල්වල කොටුවෙන් නෙලාගෙන ආ එළවළු යැයි සාමාන්‍ය වෙළෙඳපොළට වඩා විශාල ලෙස ඉහළ මිල ගණන්වලට අලෙවි කරන බව දක්නට ඇත. මෙවැනි කෘත්‍රිම වෙළෙඳපොළක් හමුවේ භාණ්ඩ 27ක් අවම මිලට දීමේ මුදල් ඇමැතිගේ ගිවිසුම්වලින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලබාගැනීම උගහට බව පෙනේ.
යසවර්ධන රුද්රිගූ