2021 මාර්තු 20 වන සෙනසුරාදා

මූල්‍ය අරමුදල හැර අනෙක් සරණක් නැත

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 38

ශ්‍රී ලංකාව ආර්ථික පැත්තෙන් අවදානම් තැනක බව නිතර කියැවෙන ප‍්‍රකාශයකි. අසත්‍යයක් නොවේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නොබෝදා පෙන්වා දෙන ලද පරිදි පසුගිය වසරේ දී ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 3.6කින් ඍණ අගයක් ගෙන තිබේ. කාර්මික, කෘෂිකාර්මික හා සේවා යන අංශ තුනම එකවර ඍණ තත්ත්වයකට පත්වන්නේ මෙරට ඉතිහාසයේ පළමු වතාවටය. එයට හේතුවක් තිබේ. පාස්කු ඉරිදා සිදුවූ අන්තවාදී කල්ලියක ප‍්‍රහාර මාලාව ආර්ථිකය බෙලහීන කර තිබුණි. එයින් ගැලවෙන මගක් සොයන අතරවාරයේ දී කොවිඩ් වසංගතය තර්ජනාත්මකව ප‍්‍රහාරයක් එල්ල කර තිබේ. ලෝකයේ සෑම රටකටම බරපතළ අවාසිවලට ගොදුරු වෙන්නට සිදුවිය. ශ‍්‍රී ලංකාවේ ස්වභාවය විශේෂිතය. මැදි ආදායම් රටක් වශයෙන් නැගෙමින් තිබිය දී එල්ල වූ පීඩනය බරපතළය.

ආදායම හා වියදම පාලනය කර ගැනීම දුෂ්කරය. ජනතාව පමණක් නොව කර්මාන්ත හා ව්‍යාපාර පවා සහන අපේක්ෂා කරයි. ලෝකයේ ඉසුරුමත් රටවලට පවා සම්පූර්ණයෙන්ම සහන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන ශක්තියක් නැත. ණය බර ප‍්‍රශ්නයක් වී තිබේ. දෙස් විදෙස් ණය ගෙවීමට රජයේ ආදායම වැය කරන්නට සිදු වී ඇත. කලින් ගත් ණය වාරික හා ඒවායේ පොලිය ගෙවන්නට තව තවත් ණය ගැනීමට සිදු වී තිබේ. සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් ණය ගැනීම නොකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හෝ මූල්‍ය අරමුදල වැනි ආයතන සමඟ පවත්වන සබඳතාවලින් රටට ලැබෙන පිටිවහල සාකච්ඡා කළ යුතුය.

• චීනයෙන් සහයෝගීතා ණය මුදලක්

ශ‍්‍රී ලංකාවට යුවාන් බිලියනයක currency swap හුවමාරු ණය මුදලක් සැපයීමට චීනය අනුමත කර තිබේ. මෙම හුවමාරු ණය මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.54කට ආසන්නය. සාමාන්‍යයෙන් කෙරෙන වාණිජ ණයවලට වඩා වෙනස් ගනුදෙනුවකි. වාණිජ ණයවල දී අය කෙරෙන පොලියක් තිබේ. දියුණු වෙමින් පවතින රටවලට මෙම පොලිය දරාගත නොහැකි තරම් බරපතළය. චීන රජය එයට වඩා ලිහිල් ක‍්‍රමයකට කැමැති වී තිබේ. ශ‍්‍රී ලංකාව මෙම සිදුවීමට කලින් ඉන්දියාවෙන් ද මෙවැනි සහයෝගීතා ණය මුදලක් ලබාගෙන ඇත. එහෙයින් අත්දැකීම් තිබේ. ආණ්ඩු අතර සිදුවන ගනුදෙනුවක් වන අතර එය කොන්දේසි රහිතය. සුළු සේවා ගාස්තුවක් අය කෙරේ. කෙසේ වෙතත් මෙම සේවා ගාස්තුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනික ණයවලදී අය කරන සේවා ගාස්තුවලට වඩා ඉහළ බව අනාවරණය වන කරුණකි. ණය පියවන අවස්ථාවේ දී එම වකවානුවේ පවතින මූල්‍ය පැවැත්ම අනුව තීරණය වීමට ඉඩ ඇත. 

චීන ණය හුවමාරුව ඉල්ලා සිටින හේතුව පවතින විනිමය දුෂ්කරතා බව පැහැදිලිය. ශ‍්‍රී ලංකාව මෙම වසරේ දී ගෙවිය යුතු ණය වාරිකය හා පොලිය දරුණු බව දැක්වෙයි. 2021 වසර තුළ ණය ගෙවීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 6,865 ක් අවශ්‍ය වන බව මුදල් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට වාර්තා කර තිබේ. මෙයින් අමෙරිකානු ඩොලර් මිලියන 5,351 ක් ණය වන අතර අමෙරිකානු ඩොලර් 1,514 ක් පොලිය බව සඳහන් කළ යුතුය. මෙම මුදල් නිදහස් කිරීමේ දී ඇතිවිය හැකි මූල්‍ය දුෂ්කරතා සලකා චීනයෙන් කරන ලද ඉල්ලීම අනුමත වී ඇති බව සඳහන් කරන්නට අවශ්‍යය. මෑත කාලය තුළ චීනය හා ශ‍්‍රී ලංකාව අතර ආර්ථික හා සමාජ බැඳීම් තීව්‍ර වී තිබේ. ආයෝජන හා ණය ගනුදෙනු කැපීපෙනෙන සේ ඉහළ ගොස් ඇත. ආර්ථික ගැටලු ගණනාවකට මුහුණ පා සිටින අවස්ථාවක මෙම සහයෝගීතා ණය ක‍්‍රමය වැඩදායකය.

• ඉන්දියාවෙනුත් හුවමාරු ණයක්

ආණ්ඩු අතර හදිසි ගනුදෙනු සිදුවීම සාමාන්‍යයෙන් සිදුවෙයි. සාග් කලාපයේ රටවල් වශයෙන් හදිසි අවස්ථා වෙනුවෙන් currency swap  යනුවෙන් වන ණය ක‍්‍රමයක් භාවිත කෙරේ. ශ්‍රී ලංකාව පසුගිය කාලයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 400ක සහනයක් එයින් පළමු වරට ලබාගෙන ඇත. එය වසර 2022 වන විට පියවිය යුතුය. එසේ තිබිය දී පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ඉන්දියාවෙන් තවත් අමෙරිකානු ඩොලර් බිලියනයක හුවමාරු ගනුදෙනුවක පිහිට පැතීය. තෙල් ටැංකි ආපසු ගැනීම, නැගෙනහිර ජැටියේ ආයෝජනය සම්බන්ධයෙන් නැගුණු විරෝධතා ඇතුළු ඉන්දියාවට අවහිර කරන පරිසරයක් රට තුළ තිබිය දී ඉන්දියාවෙන් ණය පහසුකම් අපේක්ෂා කිරීම වෙනම සාකච්ඡා කළ යුතු කරුණකි. ඉන්දීය බැංකු මෙකී අපේක්ෂිත ණය අවශ්‍යතා සපුරා තිබේ. කෙසේ වෙතත් චීනයෙන් හා ඉන්දියාවෙන් ලැබුණු ණය සහාය සහිතව පවා ශ‍්‍රී ලංකාවේ රුපියලේ අගය පසුගියදා නැවත වතාවක් පිරිහීම අවධානයට ගත යුතු තවත් කරුණකි. මෙම ණය සංචිත සම්පාදනය නොවුණු පසුබිමක් තුළ අමෙරිකානු ඩොලරයක විකිණුම් තවත් ඉහළ අගයක් ගන්නට ඉඩ තිබුණු අතර එය මෙරට විනිමය සංචිතය සහමුලින්ම අසරණ කරන තැනකට පත් විය හැකිව තිබුණු බව නොඅනුමානය. 

චීනයෙන් හා ඉන්දියාවෙන් කරන මෙම ගනුදෙනු ගැන ජාත්‍යන්තර අවධානයක් එල්ල වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂක ගේ‍්‍ර රයිස් පවත්වන මාධ්‍ය සාකච්ඡාවක දී ප‍්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් වී තිබුණි. ශ‍්‍රී ලංකාව චීනයෙන් කරන ලද ණය ගැනීම මූල්‍ය අරමුදල සම්බන්ධ විරසකයක ප‍්‍රතිඵලයක් දැයි එහි දී විමසන ලද බව වාර්තා වෙයි. කෙසේ වෙතත් අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂකවරයා ප‍්‍රවේසමෙන් උත්තර දී ඇති අතර චීනයෙන් කරන ලද හුවමාරු ණය ගැන තමන් ද ඉතා විමසිල්ලකින් පසුවෙන බව දැක්වීම විශේෂයෙන් අවධානයට ගත යුතු කරුණකි. 

• මූල්‍ය අරමුදලෙන් සහාය ඉල්ලා සිටි ආණ්ඩුව

පසුගිය වසරේ අප්‍රේල් විසි වැනිදා ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හදිසි සහාය ඉල්ලා සිටියේය. කොවිඩ් වසංගත තත්ත්වයෙන් එල්ල කරන ලද දරුණු පීඩනය එවැනි ඉල්ලීමකට මුල් වූ බව නිසැකය. 2016 වසරේ අනුමත කරන ලද තාවකාලික ණය සංචිතයක් ඒ වන විට අවසන් කරමින් තිබුණු අතර කාලසටහන අනුව 2020 ජූනිවල එහි අවසන් වාරිකය ලබා ගැනීමට තිබුණි. එම වාරික ගැනීමෙන් ශ‍්‍රී ලංකාවේ ගෙවුම් ශේෂය සම්බන්ධයෙන් මතුවන ගැටලු නිරාකරණය කරගත හැකි වෙයි. කෙසේ වෙතත් මූල්‍ය අරමුදලෙන් කළ හදිසි ආධාර ඉල්ලීමට ශ‍්‍රී ලංකාවට ක්ෂණික ප‍්‍රතිචාරයක් ලැබී නැත. එයට හේතුව ශ‍්‍රී ලංකාවේ ස්වභාවය ලෝකයේ අනෙක් රටවලට වඩා වෙනස් හෙයින් තක්සේරු කිරීමට ගතවන කාලය වෙනස් එකක් වීම බව මූල්‍ය අරමුදල සඳහන් කරයි. සමහරවිට ආර්ථික ප‍්‍රතිපත්ති ඇතුළත් ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් සම්බන්ධ වාර්තාවක් අපේක්ෂා කරන ලද බවට සැක කළ හැකිය. 2016 වසරේ දී තාවකාලික ණය සංචිතය ලබාගන්නා විට එවකට පැවති යහපාලන ආණ්ඩුව කොන්දේසි ගණනාවකට අත්සන් කරනු ලැබීය. අයවැය හිඟය අඩුකර ගැනීම, අපනයන වර්ධනය, සහනාධාර අඩු කිරීම, තෙල් හා විදුලිය මිල සූත‍්‍ර ඇතුළු ක‍්‍රම මගින් රාජ්‍ය ව්‍යවසාය අලාභය අඩු කිරීම සහ අලුත් බදු ප‍්‍රතිපත්ති ගැන එකඟතාවයක් තිබුණි. ව්‍යවස්ථා අර්බුද, පාර්ලිමේන්තුවේ පැවැති පෙරුළි සහ මැතිවරණ මෙම එකඟතා රාමුව විනාශ කළේය. අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමෙන් ව්‍යුහය පිළිබඳව අනාවරණයකට ඉඩකඩ අහිමි විය.

කලින් අනුමාන කළ තත්ත්ව නොසලකා ක‍්‍රියා කරන ලද අතර දේශපාලන ව්‍යුහය සම්බන්ධ ගැටලු පෙන්වා වාතාවරණය තුලනය කරගත් නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ‍්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතින තීරණ ගැන පැහැදීමක් නොතිබුණු බව තේරුම් ගත හැකිය. පසුගියදා පැවැති පුවත්පත් සාකච්ඡාවේ දී පවා ආනයන අධෛර්යය කරන හා අපනයන අවශ්‍යතා සලකා ඒවායේ වුවමනාවලට ගැලපෙන සියයට විසි පහක ආනයනවලට දොරටු විවෘත කිරීම ඇතුළු අනන්‍ය ක‍්‍රියාමාර්ග ගැන මූල්‍ය අරමුදල ඇතුළු ප‍්‍රධාන ආයතන තද අවධානයක සිටි බව හෙළි කර තිබේ. තමන්ට කරගෙන යා හැකි වැඩපිළිවෙළක් හැර මූල්‍ය අරමුදලේ හෝ ලෝක බැංකුවේ න්‍යායට අනුව තීරණ ගැනීම නොකරන බව ප‍්‍රකාශයට පත්ව තිබුණු නොනිල ස්ථාවරයයි.  

• නරක තැනක සිට හොඳ පදනමකට

වසංගත තත්ත්වය පාලනය කරමින් ස්ථාවර ක්ෂුද්‍ර ආර්ථික පදනමක් සඳහා ළඟාවන උත්සාහයකට යා යුතුය. උද්ධමනය අඩු අනුපාතයක තිබේ. බැංකු පොලී අනුපාත පහළ මටට්මක පවත්වා ගැනීමට සමත්ව තිබේ. වර්ධනය වන වෙළෙද පරතරය පවා ගෙවුම් ශේෂය සම්බන්ධව ධනාත්මකව බලපා තිබේ. එයට හේතුව ආනයන පාලනය කිරීමය. ගැටලු පැන නැගී ඇති ලෝකයේ රටවල් ගණනාවකට වඩා ශ‍්‍රී ලංකාවේ ස්වභාවය යහපත්ය.

• මූල්‍ය අරමුදලේ සහායද ඕනෑ

ආර්ථික විශේෂඥයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීමකට කැමැතිය. නමුත් දේශපාලනඥයන් කිසිසේත් කැමැති නැත. එයට එක ප‍්‍රධාන හේතුවක් තිබේ. මූල්‍ය අරමුදල ආර්ථිකය හදාගන්නට මැදිහත් වෙයි. උපදෙස්වලින් නතර නොවන අතර ප‍්‍රායෝගික ක‍්‍රියාකාරී සැලැස්මක් ද ඉදිරිපත් කරයි. ඒවා ඡන්ද පදනම දුර්වල කරන ඒවාය. රට මෙපමණ අභාග්‍ය සම්පන්න අවස්ථාවක සිටිය දී පොහොර සහනාධාරය අහෝසි කරන සේ බල කරන්නට බැරි නැත. සමෘද්ධි සහන දෙන පිරිස අඩු කරන අතර රජයේ සේවයට බඳවා ගැනීම් නතර කරන සේ යෝජනා කරනු නිසැකය. පෞද්ගලීකරණය වේගවත් කරන සේ දක්වන්නට ඉඩ තිබේ. විජාතිකරණයට ඉඩ නොදෙන හා රටේ සම්පත් ආරක්ෂා කරන බවට පොරොන්දු දී බලයට එන දේශපාලනඥයන්ට ආර්ථිකය හිඟ වන විට ඒවාට පටහැනිව යා නොහැකිය. විරුද්ධ දේශපාලනඥයන් විශාල ආන්දෝලනයක් ඇති කරයි. ඡන්දය දිනන්නට එකක් කියා මූල්‍ය අරමුදල වැනි විදේශීය ඒජන්තයන් සමඟ එකට සිටින බව අවධාරණය කරනු නිසැකය. එය තද බව අවාසියකි. 

ආණ්ඩුවේ ඡන්ද පදනමට බාධාවක් වන මූල්‍ය අරමුදල හෝ ලෝක බැංකුවේ කොන්දේසි පැත්තකට කරන පාලකයෝ ඒ වෙනුවට වාණිජ ණය හා තමන්ට කැමැති රටවලින් හුවමාරු ණය ගනිමින් සිටිති. ඒවා ගැනීම වරදක් නොවේ. ආයෝජනය ගැන අවධානය යොමු කළ යුතුය. අලුත් ධනයක් නිෂ්පාදනය නොකර මෙම ණය ආපසු ගෙවන්නට පුළුවන්කමක් නැත. සංචාරක ව්‍යාපාරය අර්බුදයකය. රටට වැඩිම විදේශ විනිමය ප‍්‍රමාණයක් එවූ රටවිරුවන් සේ සලකන විදේශගත ශ‍්‍රමිකයෝ ආපසු පැමිණෙමින් සිටිති. අපනයනය කරන්නට අලුත් දෙයක් නැත. මෙවැනි පසුබිමක් තුළ සාධාරණ කොන්දේසි අනුව ආර්ථිකය නිසි මගට ගැනීම වැදගත්ය. මූල්‍ය අරමුදලේ සම්බන්ධතාව විදේශ ආයෝජකයන්ට විශිෂ්ට විශ්වාසයක් ඇති කරනු ඇත. දැනට පවතින රාමුව අනුව ව්‍යුහාත්මක ගැලපුම්, වෙළෙඳපොළට ගැලපෙන තීරණ සහ සහන වැඩසටහන් සමාලෝචනය වැදගත්ය. එවැනි පියවරක දී අයවැය හිඟය සහ ගෙවුම් ශේෂය සම්බන්ධ ගැටලු පාලනය කර වර්ධනය පදනම් කරගත් තැනකට ගමන් කරන්නට ආර්ථිකයට හැකි වෙයි. එවැනි පසුබිමක් තුළ මූල්‍ය අරමුදල වැනි පසුවිපරමක අවශ්‍යතාව තීරණාත්මකය. 

 ගාමිණී සරත් ගොඩකන්ද