
මේ රටේ එවුන්ට මොන යකෙක් වැහිලද මෙහෙම ගහකොළ කපන්නේ. රජයේ නිලධාරීන් බුදිද? නීතිය යකාට ගිහිල්ලද? මේ හැම එකක් පස්සේම දේශපාලකයෝ නැහැනේ* යන කේන්ති ගොස් ලියූ ෆේස්බුක් සටහන පසුගිය සතියේ දැකගත හැකිවූයේ පරිසරවේදී හේමන්ත විතනාගේගේ ෆේස්බුක් පිටුවේය.
මාධ්‍යවලින් පැවැසෙන කරුණු අනුව නම් පෙනෙන්නේ රටේ සිව්දිසාවේම පරිසරයට කුඩම්මාගේ සැලකිලි බවයි. වනජීවී රාජ්‍ය ඇමැතිවරයා වන සංරක්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා සැකකරුවෙක් නිදහස් කර ගැනීමක් ගැනද අහන්නට ලැබුණි. ප්‍රාදේශීය දේශපාලනඥයන්, දේශපාලන හිතවතුන් ගස්වැල්වලට තරහට වගේ ඒවා කපා දමා මුදල් පසුපස දුවති. අලි මදිවට හරක් කීවාක් මෙන් කුඹුක් ගස් සංහාරයක් ගැනද දැන් අසන්නට ලැබේ.
සුපිරි නිවාස අමුද්‍රව්‍යයක් වශයෙන් යොදාගන්නා කුඹුක් දැවවලට ඇත්තේ විශාල ඉල්ලුමකි. නමුත් කුඹුක් ගස් කැපීමේදී ජාවාරම්කරුවන්ට එල්ල වන බාධක බොහෝය. ඒවා වැවෙන්නේ තෙත් පරිසරයේය. ඒ නිසා විශාල කුඹුක් ගස් පිහිටා තිබෙන්නේ එක්කෝ වැව් බැම්වලය. වැව් තාවුල්ලේය. කුඹුරුවල මහ නියරේය. නැත්නම් ගංගා ඉවුරුවලය. මේ නිසා විවිධ හේතු සඳහා යයි පවසමින් මේ ගස් කපාගෙන යාම පසුගිය වසර කිහිපය මුළුල්ලේම අපට නිරීක්ෂණය විය.
අලුත්ම ප්‍රවෘත්තිය කතරගම මැණික් ගඟෙහි ඉවුරුවල තිබූ කුඹුක් ගස්වල අතු කපා දැමීම සහ කොහොඹ ගස් කපා ඉවත් කිරීමයි. හෙලිකොප්ටර් අංගනයකට ඇති බාධාව නිසා එසේ ගස් කැපූ බවය කියන්නේ. නමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ මැණික් ගංගා රක්ෂිතයේ සෙවන සලසමින් වැඩී තිබූ මේ ගස් කැපීම අපරාධයක් බවයි. හෙලිකොප්ටර් අංගනයට ඉතා ඈතින් පිහිටි කොහොඹ ගස්ද කපා ඉවත් කර අතර බව ප්‍රදේශවාසීහු පවසති.
මොණරාගල දැව සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකාරවරයා පවසන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රදේශීය ලේකම්වරයා හරහා කරන ලද ඉල්ලීමක් පරිදි අනතුරු සහිත ගස්වල අතු කැපීම තම ආයතනය මගින් සිදුකළ බවයි.
පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් පිරිසක් හා ප්‍රාදේශීය දේශපාලනඥයන් පිරිසක්, දැව ජාවාරම්කරුවන් පිරිසක් සමඟ එකතු වී නීතිවිරෝධී ලෙස කුඹුක් ගස් කපා දැව ඉරීමේ ජාවාරමක් ගැනද පසුගිය සතියේ වාර්තා විය. එම ජාවාරම කාලයක් තිස්සේ සිදුකෙරෙන බවද කෝටි ගණන් මුදල් උපයාගෙන ඇති බවද මාධ්‍යවලින් වාර්තා කර තිබුණි. මෙම ජාවාරම පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුතු අංශ වෙත දැනුම් දී ඇතත් පියවරක් නොගැනීම නිසා කුඹුක් ගස්වල ඉරණම අඳුරු වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසා සිටිති.
මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ මීගලෑවෙන් වාර්තා වුණේ වී මෝලකට විදුලි රුහැන් ඇදීමට යයි පවසා වසර පනහකට වඩා පැරණි කුඹුක් ගස් 85ක් කපා දමා ඇති බවයි. මඟ දෙපස කුඹුරු ආද්දර සෙවණට වවා තිබූ කුඹුක් ගස් මෙසේ කපා දමා තිබේ. විදුලි රුහැස් කුඹුරු යාය මැදින් ඇදීමට හැකියාව තිබියදී මාර්ගය අද්දර කුඹුක් ගස් කපා දැමීම ගැටලුවක් බව ප්‍රදේශවාසීහු පවසා සිටිති. එසේ කපා දමා ඇති දැව කඳන් රාත්‍රී කාලයේදී පටවාගෙන යන බව පැවසේ. ඒ පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයේ තඹුත්තේගම ඩිපෝව සඳහන් කර සිටියේ මීගලෑවේ විදුලි සැපයුම ප්‍රමාණවත් නොවන පෙදෙසකට විදුලිය ලබාදීමට මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බවයි.
සූරියවැව බැදිගම්තොට වලව ගඟ ආසන්නයේ කපාදමා තිබු කුඹුක් ගස් සූරියවැව විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම ප්‍රදේශයේ වැලි ජාවාරම සමඟ කුඹුක් දැව ජාවාරමද සිදුවන බව පැවසේ.
ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර සඳහන් කරන්නේ විවිධ ප්‍රදේශවල කුඹක් දැව හෙලීම් ගැන තමන්ටද වාර්තා වූ බවයි. වැව්වල ඉවුරුවලට බාධකයක් කියලා කපනවා. ගංවතුර පාලනයට කියලන් සමහර තැන්වල කපා තිබුණා. මේක ජාවාරමක් ලෙස ක්‍රියාත්මක වන බව පේනවා. අනුරාධපුර, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් තමයි වැඩිපුරම වාර්තා වෙන්නේ. දැන් රටේ පරිසර නීති ක්‍රියාත්මක නොවන තත්ත්වයක් අපට නම් පේන්නේ. ක්‍රියාත්මක වන නිලධාරීන් ද ඉහළ බලධරයන් විසින් අකර්මණ්‍ය කරලානේ. මේ තත්ත්වය පරිසර හා දැව ජාවාරම් කරන පිරිසට රුකුලක් වෙලා. ඒකයි. මේ වගේ සිද්ධි නිතරම වාර්තා වන්නේ.
මෙසේ බොහෝවිට කැපෙන්නේ මාර්ග දෙපස බොහෝ කාලයකට පෙර රෝපණය කළ අද දැවැන්ත වනස්පතින් වී ඇති කුඹුක් ගස්ය. මෙයට වසර දෙකකට පෙර වාර්තා වුණේ එක්තරා ඇමැතිවරයකුගේ නිවසේ බිමට ඇතිරීම සඳහා කුරුණෑගල, පොල්පිතිගම වැව් බැම්මක තිබූ කුඹුක් ගස් 150ක් කපා දැමීමට සලකුණු කර ඇති බවයි. මෑතකදී සෝමාවතිය වනෝද්‍යානයේ තිඹිරිඇල මීගොල්ලෑව ගම්මානයේ සිට කි.මී. 15ක් දුරින් වනාන්තරය මැද කුඹුක් ගස් සංහාරයක් ගැනද වාර්තා විය.
මේ අතර වැල්ලවාය තුන්කෙම්ගල රක්ෂිතයේ සිදුකළ මහා පරිමාණ කුඹුක් දැව ජාවාරමක් වටලා සැකකරුවකු සමඟ ලක්ෂ ගණනක දැව හා උපකරණ අත්අඩංගුවට ගැනීමට වන සංරක්ෂණ නිලධාරීන් සමත්ව තිබේ. මේ දැව තොගයේ වටිනාකම රු. ලක්ෂ 10කට අධිකය. ජංගම දැව ඉරුම් පට්ටල වන මැදට ගෙන ගොස් ලී ඉරීම සිදුකර තිබේ.
ටර්මිනේලියා අර්ජුන යන නමින් හැඳින්වෙන කුඹුක් ගස් ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල වැවෙන ශාකයකි. එය අතු පතර විහිදා ඉතා විශාලව වැඩෙන අතර ආයුර්වේද ඖෂධයක් ලෙසද භාවිතා කෙරේ. එහි පොත්ත, පත්‍ර, මුල්, මල් සහ ගෙඩි ආයුර්වේද ඔසු වශයෙන් භාවිතා කරන අතර දැව කර්මාන්තයට කඳ යොදා ගැනේ. ගංගා ඉවුරුවල ස්වභාවිකව වැවුණු මේ ගස වැව් ඉවුරුවල රෝපණය කර ඇත්තේ ඉවුරු ඛාදනය වැළක්වීමටය. වියළි කලාපයේ බහුලව පැතිරි තිබෙන කුඹුක් ගස තෙත් පරිසර පද්ධතියක් ලෙස විශාල පාරිසරික මෙහෙයක් ඉටු කිරීමට සමත් ශාකයකි.
කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ I අන්තර්ජාලයෙන්