අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන ලොව ප්‍රමුඛතම ඇමරිකානු සමාගමක් වන ඇමසන් වෙබ් අඩවිය මගින් පසුගියදා ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාපිස්නා සහ පාවහන් අලෙවි කිරීම සඳහා දැන්වීමක් පළකර තිබිණි. ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාපිස්නාවක් ඩෝලර් 12කටද, පාවහන් යුගලක් අමෙරිකානු ඩොලර් 20කටද මිල කර මිල කර තිබූ අතර එය මෙරටට ගෙන්වා ගැනීම සඳහා නැව් ගාස්තු වශයෙන් අමෙරිකානු ඩොලර් 10කට ආසන්න මුදලක් අය කරන බවද එහි සඳහන් විය. අපේ රටේ ජාතික කොඩියට අවමානයක් වන පරිදි චීන ජාතික ව්‍යාපාරිකයකු විසින් නිෂ්පාදනය කර තිබූ මෙම පාවහන් සහ පාපිසි් අලෙවිය නතර කරන ලෙසට විදේශ අමාත්‍යංශය එම අන්තර්ජාල වෙළෙඳ සමාගමෙන් ඉල්ලා තිබූ අතර පසුව ඔවුන් එය ප්‍රචාරය කිරීම නතර කිරීමට පියවර ගෙන තිබිණි.
රටක ජාතික ධජය යනු එහි අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධාන සංකේතයයි. ශ්‍රී ලංකාවේ ජාතික ධජය, පැරණි රාජකීය කොඩිය ඇසුරෙන් නිර්මාණය වූවකි. ජාතියේ හා මාතෘ භූමියේ ඵෙතිහාසික පසුබිම, ප්‍රෞඩත්වය, සෛවරිභාවය හා ස්වාධීනත්වය ද ශ්‍රී ලාංකේය ජනතාවගේ එක්සත්භාවය හා සමානාත්මතාව ද අපේ ජාතික ධජයෙන් පෙන්නුම් කෙරේ. ජාතික ධජය හා ජාතික ගීය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවේ ද ප්‍රධාන අංගයකි.
ජාතික ධජය අවභාවිත කිරීම යනු එය වස්ත්‍රයක් ලෙස ඇඳීම, බිම දැමීම, ගිනි තැබීම, ඉහත කී ව්‍යාපාරිකයා සිදු කළ අයුරින් පාවහන් සහ පාපිසිවලට යොදා ගැනීම, ගල් ගසා හෝ වෙඩි තබා විනාශ කිරීම, බිම දිගේ ඇදගෙන යෑම, ඉරීම, කැපීම වැනි ක්‍රියාය. මේ අතුරින් වැඩිවශයෙන්ම දැකිය හැක්කේ කිසියම් සිදුවීමකට විරෝධය පා ජාතික ධජය ගිනිතැබීමය.
ජාතික කොඩියට අපහාස කිරීම බොහෝ රටවල දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සැලකේ. සිම්බාබ්වේ, ඇල්ජීරියාව, ආජෙන්ටිනාව, චීනය, ප්‍රංශය වැනි රටවල එය සාපරාධි අපරාධයක් ලෙස සලකනු ලබන අතර වසර 10ක් වැනි කාලයක සිරදඬුවම් ලබා දිය හැකිය. එහෙත් ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, බෙල්ජියම වැනි රටවල ධජ ගිනිතැබීම නීති විරෝධී ක්‍රියාවක් ලෙස නොසැලකේ.
ශ්‍රී ලංකාවේ ජාතික ධජය පිළිබඳ රීති සංග්‍රහයේ එය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් මෙසේ සඳහන් කර තිබේ. ඒ අනුව ජාතික කොඩිය ඇඳුමක් ලෙස හෝ, ඇඳ ඇතිරිල්ලක් ලෙස හෝ ආස්තරණයක් ලෙස භාවිත කිරීම තහනම්ය. එමෙන්ම මල්වැලක් ලෙස හෝ රැළිකොට හකුලා හෝ උඩට ඇදීම හෝ නොකළ යුතු වන අතර සිවිලිමක ආවරණයක් ලෙස හෝ වෙළෙඳ දැන්වීම් සඳහා හෝ භාවිත නොකළ යුතුය.
ලොව බොහෝ ජාතීන් තම ජාතික කොඩියට දක්වන්නේ ඉමහත් ගෞරවයකි. ඒ අතුරින් ඉන්දියානුවෝ ප්‍රධානය. ජාතික ධජය සවි කළ යුතු ආකාරය, වාහනයක ධජයක් සවි කළ හැක්කේ කෙබඳු පුද්ගලයන්ටද, වෙනත් රටවල ජාතික ධජ සමඟ ප්‍රදර්ශනය කරන විට තැබිය යුතු ස්ථානය වැනි කරුණු පිළිබඳව ඔවුහු විශාල සැලකිල්ලක් දක්වති.. ජාතික ධජයට කිසිවකු හෝ අපහාස කරන්නේ නම් තරාතිරම නොතකා නීති මගින් කටයුතු කිරීමටද ඉන්දියානුවෝ පසුබට නොවෙති. ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සහ ජාතික වීරයකු ලෙස සලකන සචින් තෙන්ඩුල්කාර්ට එරෙහිව 2007 දී පෙත්සමක් ගොනු කළේ ඔහු ඉන්දියානු ජාතික කොඩියේ අනුරුව අනුව සැදූ කේක් ගෙඩියක් කැපීමට විරෝධය පළ කරමිනි. පසුගිය ජනවාරි මාසයේ ඉන්දියාවේ ගොවි ජනතාව විසින් පවත්වන ලද උද්ඝෝෂණයේදී ඔවුන් ජාතික කොඩියට අවමන් කළ බවට අගමැති මෝදි චෝදනා කළේය. රතු බලකොටුවට ඇතුළු වූ ගොවීන් එහි තිබූ ජාතික ධජය ගලවා විසි කරනු දැකීමෙන් ජාතියම මහත් කම්පනයට පත් වූ බවද ඔහු කියා තිබිණි.
ඊශ්‍රායලයද ජාතික ධජය සම්බන්ධයෙන් දැඩි නීතිරීති අනුගමනය කරන රටකි. පසුගිය වසරේ ඊශ්‍රායල් රජයට විරෝධය පාමින් පලස්තීන ජාතිකයකු ඊශ්‍රායල් ජාතික ධජය බිම දමා පාගා දැමීම නිසා ඔහුට එරෙහිව නඩු පවරනු ලැබීය. මෙලෙස ඊශ්‍රායල් ධජයට අගෞරව කොට නඩු පවරන ලද පලස්තීන ජාතිකයන් විශාල පිරිසක් සිටිති. වරදකරු වුවහොත් වසර තුනක සිරදඬුවමක් සහ ඩොලර් 16,000ක දඩයක් නියම කළ හැකිය. මෙක්සිකෝවේ ජාතික ධජයට අපහාස කිරීම නීති විරෝධි වුවද නඩු පැවරීමක් සිදු නොකෙරේ.
2014 ජනවාරියේ දී උයිගර් වැසියන්ට චීන ජාතික ධජයට හිස නමා ආචාර කිරීමට බල කිරීම නිසා උරණ වූ උයිගර් තරුණයන් තිදෙනෙක් එම ධජය පුළුස්සා දැමූහ. එම තරුණයන් සොයා 2015 වසර වනතෙක් උයිගර් නිවාස වැටලීමට චීන බලධාරීහු පියවර ගත්හ. කෙසේ නමුදු ධජය ගිනිතැබූ තරුණයන් සොයා ගැනීමට ඔවුනට නොහැකි විය..
ප්‍රංශ නීතියට අනුව, ප්‍රධාන උත්සවයකදී හෝ ක්‍රීඩා ඉසව්වකදී ප්‍රංශ ධජයට අවමන් වන ලෙස හැසිරෙන ඕනෑම පුද්ගලයකුට යුරෝ 7500ක දඩයක් පැමිණවිය හැකිය. වරක් පාපන්දු ක්‍රීඩා තරගයකදී ජාතික කොඩියට අවමන් වන ලෙස හැසිරීම නිසා "ල මාසෙයි" ක්‍රීඩා කණ්ඩායමට එවැනි චෝදනාවක් එල්ල විය. 2006 දී, මහජන උත්සවයක් අතරතුර අවුරිලැක් නගර ශාලාවේ පියස්සේ තිබූ ප්‍රංශ ධජයක් බිම දමා ප්‍රසිද්ධියේ පුළුස්සා දැමූ පුද්ගලයකුට යුරෝ 300 ක දඩයක් නියම කරන ලදී. 2010 ජුලි මාසයේ නව නීතියක් සම්මත කෙරුණු අතර එමඟින් ප්‍රසිද්ධ ස්ථානයක ප්‍රංශ ජාතික ධජය අපකීර්තියට පත් කිරීම අපරාධයක් ලෙස හඳුන්වා තිබේ. 2010 දෙසැම්බර් 22 වන දින ඇල්ජීරියානු ජාතිකයකු නව නීතිය යටතේ වරදකරු වූ පළමු පුද්ගලයා වූ අතර ඔහු ඇල්ප්ස්-සමුද්‍රීය ප්‍රාන්තයේ ගොඩනැගිල්ලක තිබූ ප්‍රංශ ධජය සහිත කණුවක් කඩා දැමීම හේතුවෙන් යුරෝ 750 කොට දඩයකට යටත් කරනු ලැබීය.
ජර්මනියද ජාතික ධජය සම්බන්ධයෙන් දැඩි නීති පනවා ඇති රාජ්‍යයකි. 1989 නොවැම්බරයේ බර්ලින් තාප්පය බිඳ වැටීමෙන් පසුව, බොහෝ නැගෙනහිර ජර්මානුවෝ බටහිර ජර්මනිය සමඟ එක් වූ අතර ඔවුන්ගේ ජාතික ධජයේ ලාංඡනය කපා දැමූහ. දෙරට එක් වීමෙන් පසු නැගෙනහිර ජර්මනියේ ධජයට නිසි තැනක් ලබාදීමේ අරමුණින් දැන් එය “නැගෙනහිර ජර්මානු කොමියුනිස්ට් පාලනයේ ඒකාධිපතිත්වය නැවත අගැයීමේ පදනමේ ධජය” ලෙස භාවිත කෙරේ. 2020 මැයි මාසයේදී ජර්මානු ධජය මෙන්ම විදේශීය ධජ අපකීර්තියට පත් කිරීම සඳහා වසර 3 ක් දක්වා සිර දඬුවම් ලබා දිය හැකි බවට නීති සකස් කර තිබේ.
හොංකොං රාජ්‍යයේද ජාතික කොඩියට අවමන් කිරීම තහනම්ය. 1999 දී හොංකොං හි කලාපීය ධජය සහ චීන ධජය අපකීර්තියට පත් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙක් වරදකරුවන් කරනු ලැබූහ. එක් එක් චෝදනාව සඳහා මාස 12 ක් පුරා ඩොලර් 2,000 බැගින් ගෙවීමට ඔවුනට නියම විය.
සමාජ ක්‍රියාකාරිකයකු වූ කූ සේ-යූ ධජය අපකීර්තියට පත් කිරීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම වරදකරු වී තිබේ. 2013 දී මාස නවයක සිර දඬුවමක් නියම විය. 2015 මාර්තු මාසයේදී වන්චායි හි කලාපීය ධජය ගිනි තැබීම සම්බන්ධයෙන් ඔහුට සති හයක සිර දඬුවමක් නියම විය. කූ එයට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ “සිරගත කිරීම සමාජ ක්‍රියාකාරිකයකුගේ ජීවිතයේ කොටසක් බැවින් දඬුවම් ලැබීම සතුටට කරුණක් වන අතර, තමන් නොකඩවාම බීජිං සහ හොංකොං ආණ්ඩුවලට විරෝධය දක්වමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන බවයි.
2019 දෙසැම්බරයේ හොංකොං විරෝධතා අතරතුර 13 හැවිරිදි දැරියකට ධජය අපකීර්තියට පත් කිරීම සම්බන්ධයෙන් මාස 12 ක පරිවාස කාලයක් නියම විය. ඇය අපරාධ කාරියක ලෙසද නම් කෙරිණි.. ජාතික ස්වෛරීභාවයට අභියෝග කිරීම ඇයට එරෙහි චෝදනාව විය.
මැලේසියාවද ජාතික කොඩියට අපහාස කරන පුද්ගලයන්ට දැඩිව ක්‍රියා කරන රාජ්‍යයකි. 2016දී මැලෙසියානු ධජය සහිත පිහිනුම් ඇඳුමින් සැරසී සිටි ඔස්ට්‍රේලියානු තරුණයන් නව දෙනකුට තෙදිනක් සිරබත් කෑමට සිදු විය. 2013 දී තායිවානයේ චීන -මැලේසියානු සිසුන් කණ්ඩායමක් උඩු යටිකුරු කරන ලද ජාතික ධජයක් සමඟ ඡායාරූප ගැනීම නිසා “ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් සිදුකළ බවට චෝදනා කෙරිණි..
එංගලන්තය, වේල්සය සහ ස්කොට්ලන්ත නීතියට “ජාතික ධජයට හානි කිරීම” සම්බන්ධයෙන් නිෂ්චිත සංකල්පයක් නොමැත. 1998 මැයි මාසයේදී හිටපු යුද සිරකරුවන් 2,000 කගේ විරෝධතාවයකදී බුරුම ජාතිකයෙක් අකිහිතෝ අධිරාජ්‍යයා සහ එලිසබෙත් රැජින ඉදිරියේ ජපාන කොඩිය ගිනිබත් කළේය. ඔහුව අත්අඩංගුවට නොගන්නා ලෙස ජනතාව පොලිසියට බල කිරීම නිසා එම පුද්ගලයා අත්අඩංගුවට ගැනුණේ නැත. තවත් වරක් සමාජවාදීන් දෙදෙනෙක් එලිසබෙත් මහා රැජිනගේ මෝටර් රථය දෙසට ගිනි තැබූ බ්‍රිතාන්‍ය ධජයක් විසි කළහ. සාමය කඩ කිරීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත් අතර පසුව වරද පිළිගත් ඔවුන්ට පවුම් 450 ක දඩ මුදලක් නියම කරන ලදී. 2006 දී අන්තවාදී විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලිසියට වැඩි බලයක් පැවරීම සහ බ්‍රිතාන්‍ය ධජය ගිනිබත් කිරීම සාපරාධි අපරාධයක් ලෙසට පත් කරන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 17 දෙනකුගෙන් මෝසමක්ද පාර්ලිමේන්තුවට ඉදිරි පත් විය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා