2021 මාර්තු 20 වන සෙනසුරාදා

කොවිෂීල්ඩ් එන්නතෙන් ලේ කැටි හටගන්නවාද?

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 30

කොරහෙත් කිඹුලන් දකිනවා යැයි ගමේ කතාවක් තිබේ. කොවිඩ් 19ට එරෙහිව තැනූ එන්නත් සම්බන්ධයෙන් ලොවපුරා වරින්වර පැතිර යන භීතිකා සහ සැකසංකා අපට ඒ කතාව නැවත නැවත සිහියට කැඳවයි. ලෝක එන්නත්කරණය ඇරඹුණු 1800 ගණන්වල ලෝකයේ එන්නත් ගැන පැතිර තිබූ මිත්‍යාවාදී භීතිකාව අද මේ තරම් දියුණු ලෝකයේත්  දහස් ගුණයකින් වැඩි වී පැතිර යාම අරුමයකි. එඩ්වර්ඩ් ජෙනර් එන්නත්කරණය හඳුන්වා දුන් යුගයේ පුවත්පතක පළවූ කාටූනයක් එය විවේචනයට ලක්කර තිබුණේ එන්නත් කළ මිනිසුන්ගේ හිසෙන් හරක් ඔලු දළු දමා වැඩී එන අයුරු දක්වමිනි. මේ කාලයේද එබඳු අමුතු මත ඉදිරිපත් නොවෙනවාම නොවේ.

අපේ කාලයේ මහා වසංගතය ලෙස හැඳින්විය හැකි කොවිඩ්19 මේ වනවිට ලෝකයේ ලක්ෂ 1200කට වැඩිපිරිසක් ගොදුරු කරගෙන හමාරය. එයට දිවිදුන් පිරිස ලක්ෂ 270ත් පන්නා තිබේ. මේ භයානක උවදුරට එරෙහිව ඇති වඩාත් විශ්වාසදායී ප්‍රායෝගික විසඳුම ලෙස දැනට ඉදිරිපත්ව ඇත්තේ එන්නත්කරණයයි. නමුත් වසංගතයට එරෙහිව ලහිලහියේ සොයාගත් නව එන්නත් සම්බන්ධයෙන්ද නොයෙකුත් සැකසංකා වරින්වර මතුව එයි. ඉකුත් සතිය තුළ තවත් ඒ බඳු භයානක නරක ආරංචියක් පැතිර ගියේය. මේ වනවිට ලොවෙපුරා ලක්ෂ 600ක් භාවිතයට ගෙන ඇති කොවිෂීල්ඩ් එන්නත සම්බන්ධයෙනි. ලෝකයේ එම එන්නත ලබාගත් සමහර පුද්ගලයන්ගේ රුධිරනාල ගතව  ලේ කැටිති ඇතිවීමේ භයානක ප්‍රවණතාවක් දක්නට ලැබීම පිළිබඳ වාර්තා ගණනාවක්ම  විවිධ රටවලින් එළිදරව්වීමත් සමඟිනි.

ඇස්ට්‍රාසෙනෙකා හඳුන්වා දුන් AZD1222 හෙවත් - කොවිෂීල්ඩ් එන්නත සිය රාජ්‍යයන්  තුළ භාවිතය තහනම් කිරිමට පසුගිය සතිය මුලදි ජර්මනිය, ස්පාඤ්ඤය සහ ප්‍රංශයද කටයුතු කළහ. ඊට පෙර සතියේ ඩෙන්මාර්කය, නොර්වේ, නෙදර්ලන්තය සහ අයිස්ලන්තය එසේ කළහ. ඔස්ට්‍රියාවද රටට ගෙනා එන්නත් තොගයක් භාවිතය නවතා දැමුවේය. මෙම වැක්සීනය නිෂ්පාදනයේ වැඩි බරක් කරට ගත් ඉන්දියාවේද එරට ඖෂධ පාලන අධිකාරිය වැක්සීනය පිළිබඳ දත්ත නැවත විමසා බැලීමට කටයුතු කර හමාරය. ඉතාලිය සහ ඔස්ට්‍රේලියාවද මේ ගැන දැඩි අවධානය යොමුකර ඇත.

මේ සඳහා ආසන්නතම හේතුව වූයේ එන්නත ලබාගත් සමහර පුද්ගලයන්ගේ රුධිර යේ “platelet” ප්‍රමාණය අඩුවීමත් මොළයේ රුධිර කැටි හටගත් බවට ඉදිරිපත්ව ඇති වාර්තාවනුත් හේතුවෙන් හටගත් සැකය සහ බියයි. එසේ වුවද ලොව බොහොමයක් රටවල් තවමත් මේ එන්නත භාවිතය අත්හැර නැත. මක්නිසාද යත් යම්යම් වාර්තා තැනින් තැනින් ඉදිරිපත් වූවත් වසංගතයේ ඇති මාරාන්තික බලපෑම එන්නත මගින් ඇති කළ හැකි යැයි සැකකෙරෙන මෙබඳු අල්ප දත්ත - සහිත වාර්තාවන් මගින් සහතික කෙරෙන බලපෑමට වඩා බොහෝ වැඩි හෙයිනි.

මේ වනවිට ලොව රටවල් 219ක් පුරාම මේ මාරාන්තික වසංගත බූවල්ලා සිය අඬු - දඬු විහිදා හමාරය. ඒ බොහෝ රටවල සෞඛ්‍ය අංශවල පාලනයෙන් මේ රෝගය ගිළිහී ගොසිනි. ඒ මදිවාටදෝ එංගලන්තය, දකුණු අප්‍රිකාව, බ්‍රසීලය වැනි රටවල්වලින් වඩාත් දරුණු පැතිර යාමක් සහිත නව මාදිලි වාර්තා වී ඇත. එම මාරාන්තික විපරීත මාදිලිද දැන් ලෝකය පුරා පැතිර යාමේද අවදානම මතුව තිබේ. එහෙයින් යුරෝපයේ ඖෂධ ඒජන්සිය පසුගියදා කීවේ ලේ කැටි ගැසීමේ තත්ත්වයක් ගැන සාපේක්ෂව අල්ප දත්ත සහිත වාර්තාවන් කිහිපයක් ඉදිරිපත්ව ඇතත්, ඒ ගැන ඉදිරි පර්යේෂණ සිදුකෙරෙන අතරතුරදීම එන්නත තවදුරටත් භාවිතයට ගැනීමේ වරදක් නැති බවය. ඔවුන්ට අනුව මේ වනවිට රුධිර කැටි හටගත් අවස්ථා පිළිබඳව වාර්තා ලැබී ඇත්තේ එන්නත් මාත්‍රා ලක්ෂ 50කට වාර්තා 30 ක් තරමේ අවම ප්‍රමාණයකි. එය එන්නත අත්හැර දැමීමට තරම් භයානක දරුණු තත්ත්වයක් නොවන බව ඔවුන්ගේ අදහසයි.

මෙම එන්නත මේ වනවිට වැඩියෙන්ම භාවිතයට ගෙන ඇති එංගලන්තයේ සුවසේවා පාලනාධිකාරියද මේ වැක්සීනය සම්බන්ධයෙන් තැති ගැනීමට තරම් පුළුල් සෞඛ්‍යමය අවදානමක් වාර්තා වී නැතැයි කියයි. එංගලන්තය තුළ මේ වනවිට ලක්ෂ 110කට වැඩි පිරිසක් සඳහා මේ එන්නත ලබාදී හමාරය. මේ වනවිට ලෝකයේ අනුමැතියට ලක්ව ඇති එන්නත් අතරින් භාවිතයේ බහුලතාව අනුව 3 වැනි තැන ගෙන ඇත්තේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතයි. 2021 මාර්තු 15 දින වනවිට මේ එන්නත් මාත්‍රා ලක්ෂ 600ක් ලෝකය පුරා පළමු මාත්‍රාව ලෙස බෙදා හැර හමාරය. මාර්තු 14 දින පමණක් ඉන්දියානු නිෂ්පාදකයා විසින් එන්නත් ලක්ෂ 297ක් නිකුත් කර තිබුණි.

මුලින් ඉතා සුළු ප්‍රමාණවලින් මේ එන්නත භාවිතා කළ රටවල් පසුකාලීනව එය මිලියන ගණනින් භාවිතයට ගෙන ඇති බව වාර්තා පෙන්වා දෙයි. ගැටලුසහගත තත්ත්ව වාර්තා වී ඇත්තේද එලෙස වැඩි වැඩියෙන් එන්නත ලබාගත් රටවලින් බව දත්ත සනාථ කරයි. නිදසුනක් ලෙස ජර්මනිය ගතහොත් එරට 2020 අග භාගයේ මුලින් එන්නත් 23,569ක් ලබාගෙන තිබේ. නමුත් 2021 මාර්තු 16 වනවිට එරට එන්නත් ලක්ෂ 77.5ක් ලබාගනිමින්  එය වැඩිම භාවිතයට ගත් රට බවට වාර්තාගතව තිබේ. දැන් එන්නත ගැන වැඩිම සැක-සංකා මතුව ඇත්තේද ජර්මනියෙනි. වෛද්‍ය විද්‍යාත්මකව “thrombosis” ලෙස හැඳින්වෙන ලේ කැටිති ඇතිවීමේ ඉහළ යන ප්‍රවනතාවක් පිළිබඳ වැඩිම වාර්තා ලැබී ඇත්තේද ඒ රටෙනි.

මේ අන්දමට මෙම කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් කොරහෙත් කිඹුලන් දකිනවා බඳු වූ වැඩිම සැකසංකා මතුව ඇත්තේ ඒවායේ නිෂ්පාදකයන්ද අයත්වන වඩාත් දියුණු යැයි සම්මත යූරෝපීය රට රාජ්‍ය තුළ වීම මෙහි ඇති අපූරැවයි. මෑතකදී ප්‍රංශයේ සිදුකළ අධ්‍යයනයක් තහවුරු කළේ ඒ රටේ එන්නත ලබාගැනීමට සිය කැමැත්තෙන් ඉදිරිපත් වන පිරිස රටේ සමස්තයෙන්  සියයට 40ක් පමණ සුළු සංඛ්‍යාවක් බවය. එසේම යුරෝපා මහාද්වීපය පුරා එන්නත ලබාදීමේ වැඩකටයුතුද මේ වනවිට අවුල් සහගත මට්ටමක පවතී.

ජීවිතය බේරාගැනීමට දැනට ඇති මේ හොඳම පිළියමත් එපා කියන්නට තරමේ භීතිකාවක් - සැකයක් ජනතාව අතර පැතිර යාමට බලපානා සුවිශේෂී හේතුවක්ද තිබේ. එංගලන්තයේ සවුත් හැම්ප්ටන් සරසවියේ ලෝක සෞඛ්‍යය පිළිබඳ ජ්‍යෙෂ්ට  පර් යේෂකයකු වන මයිකල් හීඩ් කළ ප්‍රකාශයක් එයට පැහැදිලි හේතු සාධකය පෙන්වා දෙයි. ඔහු කියන්නේ එන්නත් වල සඵලතාව, ක්‍රියාකාරීත්වය සහ ඒවා නිසා මතුවිය හැකි අතුරු ආබාධ ගැන ස්ථිරසාර තීන්දු තීරණ ලබාදීමට විද්‍යාඥයන්ට හැකියාව නැති වීම මේ මහා සැකසංකාවන්ට මූලික හේතුකාරණාව බවයි. විද්වතුන් මේ කාර්යයෙහිලා අපොහොසත්ව ඇත්තේ ඔවුන්ගේ වරදක් නිසා නම් නොවේ. රට රාජ්‍යයන්හි පාලනාධිකාරීන්හි වරද නිසාය. එන්නත හා එහි ක්‍රියාකාරීත්වය ගැන මේ බලධාරීන් සිත සනසන සුළු නොයෙකුත් නිවේදන සංදර්ශන පවත්වමින් සිත නිවන කතා කියමින් පසුවෙනවා විනා ඒ සම්බන්ධව වූ නියමිත විද්‍යාත්මක දත්ත සහ සංඛ්‍යාලේඛන ලබාදීමේදී පසුබට වීමක් දක්නට ලැබීමය. මේ නිවැරදි දත්ත සහ සඛ්‍යාලේඛන අඩුව වැක්සීනයේ හැසිරීම පිළිබද නිසි අධ්‍යනනයකට බාධාවක්ව ඇතැයි ඔහු පෙන්වා දී තිබේ.

මේ අතර ඇස්ට්‍රාසෙනෙකා සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ මේ වනවිට තමන් සතුව ඇති යුරෝපයේ සහ එංගලන්තයේ එන්නත් ලබාදී ඇති ලක්ෂ 170කගේ පමණ ආරක්ෂාකාරීබව පිළිබඳ පසුවිපරම් දත්ත අනුව සිය එන්නත මගින් මෙබඳු ලේ කැටි ඇතිවීමේ තත්ත්වයක් පිළිබඳ බියකරු අවදානමක් වාර්තා වී නැති බවය. නහරගත ලේ කැටිති සිරවීම් 15ක් සහ පෙනහළු තුළ ලේ කැටි හමුවූ අවස්ථා 22ක් පමණක් වාර්තා වී ඇති බවත් මෙබඳු අවදානම් වාර්තා අනෙකුත් එන්නත් සම්බන්ධයෙන්ද ලැබී ඇති හෙයින් එය බලාපොරොත්තු විය හැකි  සාමාන්‍ය තත්ත්වයක් ලෙසත් මේ නිවේදනයෙන් ඔවුන් පෙන්වා දී තිබුණි.

 සුගත් පී. කුලතුංගආරච්චි