
කොවිඩ්-19 ආසාදිතයකු මෙරටින් වාර්තා වී දැන් වසරක් ගත වී අවසන්ය. 2020 වසරේදී මාර්තු මස සිට මෙරට සති ගණනාවක් ඇඳිරි තීතිය පැනවීම හේ තුවෙන් සියලු උත්සව මෙන්ම සියලු ආගමික කටයුතු නතරකර දමන්නට සිදුවුණි. එමනිසා පසුගිය වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද තම නිවාසවලට සීමා වෙමින් නැකැත්වලටම වෙන්වුණ වසරක් විය. සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් ඇරඹුණ ගමනේදී වෙසක්, පොසොන් මෙන්ම නත්තල් උත්සවවලටද සිදුවූයේ නිවාසවලටම සීමාවෙමින් මෙම උත්සව ඉතා චාම් අයුරින් පැවැත්වීම පමණි.
සිංහල අලුත් අවුරුද්ද ළංවෙද්දී සියල්ලෝම කාර්යබහුල වෙති. ඇඳුම් පැළදුම් ගැනීමට කඩ සාප්පුවලට එක්රැස් වෙමින් රෙදි තෝරාගනිමින් කාලය ගත කිරීම සෑම වසරකදීම සිදුවන ක්‍රියාවකි. මේ කාලයේදී විශේෂයෙන් වෙළෙඳුන්ගේ කල්ල මරේය. අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින්, උගුරේ ලේ රහ එනතුරු බොහෝ වෙළෙඳුන් පදික වේදිකාවල වෙළෙඳාමේ නිරත වන්නේ වසරකට එක් වරක් ලැබෙන මේ අපූරු කාල සීමාවේදී කෙසේ හෝ තම වෙළඳාම් කටයුතු කරමින් කරමින් අතමිට මොළවා ගැනීමටය. මාසික වැටුපක් නොලැබෙන, අවුරුද්දට අත්තිකාරම් දීමනා නොලැබෙන. මේ වෙළෙඳුන් තම දරු පවුලට, දෙමව්පියන්ට තෑගි බෝග ලබාදෙන්නේද මේ වෙළඳාමෙනි.
නමුත් නොසිතුව පරිදි 2020 වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ළංවෙද්දීම කොරෝනා වසංගතයෙන් ලෝකයම ආපස්සට ඇද දමනු ලැබීය. වෙළෙඳාම්වල නිරත වූ වෙළෙඳුන්ගේ සියලු හීන එක් මොහොතකින් නැති විය. වසරක් ගෙවී ගියද අදටත් කොවිඩ් ආසාදිතයන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වෙයි. එම ආසාදිතයන් වාර්තාවීම පෙර තත්ත්වයන්වලට සාපේක්ෂව අඩු බවක් වාර්තා වේ. කෙසේ වුවද තව සති කිහිපයකින් උදාවන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් තම වෙළෙඳාමේ නිරත වන්නට මේ දිනවල මෙරට බොහෝ වෙළෙන්දෝ උත්සාහ ගනිමින් සිටිති. නමුත් ඒ සඳහා ඔවුන් ගැටලු කිහිපයකටද මුහුණ පා ඇත.
“සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අපි හැම අවුරුද්දකම ඇඳුම් පැළඳුම් අපේ නිෂ්පාදන ගබඩා කරගන්නවා. ගිය අවුරුද්දෙත් බොහෝ බලාපොරොත්තු එක්ක අපි අවුරුදු කාලය වෙනුවෙන් මාස ගාණකට කලින් නිෂ්පාදන ගබඩා කරගත්තා. නමුත් සිදුවූයේ අපි කවුරුවත් හිතපු නැති දෙයක්. අවුරුද්දට බඩුගන්න, ඇඳුම් පැළඳුම් ගන්න බොහෝ අය සාප්පු සවාරි යන්නේ අප්‍රේල් මාසේ පටන්ගත්තු දවසේ ඉඳන්. එතැන් සිට දින දොළහක් විස්සක් යනතුරු මේ වෙළෙඳුන් හරි කාර්යබහුලයි. නමුත් පසුගිය වසරේදී මාර්තු මාසයේදී මුළු රටේම ඇඳිරි නිතිය පැනවෙද්දි අපි පත්වුණේ පුදුමාකාර අසරණකමකටයි.” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිෂ්පාදකයන්ගේ සහ අලෙවි කරන්නන්ගේ සංගමයේ ලේකම් අශෝකා රණවක මහත්මිය දේශයට අදහස් දක්වමින් පැවසීය.
වසරක් පාසා වෙළෙඳුන්ගේ මෙම බලාපොරොත්තු වෙන ඔවුන් යන ගමන එතරම් පහසු, සරල වන්නේ නැත. බොහෝ වෙළෙඳුන් අවුරුදු සමය වෙනුවෙන් නිෂ්පාදන තොග ලෙස මිලදී ගනු ලබන්නේ මුදල් පොලියට ගෙනය. සමහරු තම රන් භාණ්ඩ සියල්ලම උගසට තබති. වාහනවල පොත පවා උගසට තබා වෙළෙඳුන් මුදල් ලබා ගනිති. වෙළෙඳාම් කටයුතු කිරීම සඳහා ඔවුන් අත විශාල මුදලක් නැත. ඒ හැම මුදලක්ම ඔවුන් ලබාගන්නේ අවුරුදු අවසානයේදී ලැබෙන ආදායමෙන් පියවීමේ බලාපොරොත්තුවෙයි. දිනපතා ගෙවීමේ ක්‍රමයට පොලියට මුදල් ලබාදෙන පොලී මුදලාලිලාද මේ වෙළෙඳුන් අතර සිටිති. දවස අවසානයේදි පොලිය ලබාදිය යුතු අතර බොහෝ වෙළෙඳුන් මුදල් පොලියට ගනු ලබන්නේ මෙම Daily ක්රමයටය. ලක්ෂ දෙකක් පොලියට ගත්විට දවස් හැටකින් ගෙවා අවසන් කළයුතු පොලී මුදලාලිලාද වෙළෙඳුන් අතරේ ජනප්‍රියය. මේ නිසා අවුරුදු සමය ළංවෙද්දීම බොහෝ වෙළෙඳුන් පොලියට මුදල් ලබාගනු ලබන්නේ මෙම දවසේ පොලී ගෙවීමට අනුවය. නමුත් පසුගිය වසරේදී එලෙස මුදල් ලබාගත් බොහෝ වෙළෙඳුන්ට සිදුවූයේ මාස ගණනාවක් තිස්සේ වැල් පොලී ගෙවීමටය. ගිය වසරේදී එලෙස ගත් පොලී මුදල් තවමත් ගෙවන වෙළෙඳුන් සිටිති.

“ගිය අවුරුද්දේ අප්‍රේල් සමයට අසරණ වුණ වෙළෙඳුන් මේ වසරේ අප්‍රේල් කාලයේදී ආයෙත් Lockdown කරයි කියල බයවුණා. ඒ බයටම මේ සැරේ අපි එහෙම නිෂ්පාදන ගබඩා කරගත්තේ නැහැ. ඒ නිසා මේ වසරේදී තොග වෙළෙඳුන්ට ගන්න ඇඳුම් පැළඳුම් මදිකමක් තමයි තියෙන්නේ. ඈත පළාත්වල ඉඳන් මහරගම පමුණුවට ඇඳුම් ගන්න තොග වෙළෙඳුන් බොහෝමයක් එනවා. අවුරුදු කාලයට මේ පැමිණීම වැඩියි. මේ වසරේදී බොහෝ ඇඳුම් මහන අය ඇඳුම් මහපු නැති නිසා මේ තොග වෙළෙඳුන්ට දෙන්න ඇඳුම් ප්‍රමාණවත් විදිහට නැහැ. ඒ අතරේ දැන් ඇඳුම් මහන්න රෙදිත් නැහැ. ඩොලර් මිල ඉහළ යාම නිසා ගිය මාසවලට වඩා හැම රෙදි යාරයක් රුපියල් හතළිහක් පමණ වැඩිවෙලා තියෙනවා. ඒ නිසා මීට කලින් තිබුණ ගාණට මේ ඇඳුම් දෙන්න අපිට බැරිවෙලා තියෙනවා. ඒක වෙළෙඳුන් විදිහට අපි මුහුණපාන විශාල ගැටලුවක්.” යැයි අශෝකා රණවක මහත්මිය වැඩිදුරටත් පැවසීය.
මහරගම පමුණුව යනු රෙදිපිළිවලට ප්‍රසිද්ධ වූ ප්රදේශයකි. අවුරුදු සමය ළංවෙද්දී ලංකාවේ සෑම පළාතකින්ම රෙදි මිලදී ගැනීමට පමුණුවට පිරිස් පැමිණෙති. සෑම දිනකම පාන්දර එකේ සිට තොග වෙළෙන්දෝ වෙළෙඳාම් කරගැනීමට මහරගමට පැමිණෙති. ඇතැම් කාලවලදී පමුණුවේ මාර්ගය එකම හිස් ගොඩකි. තොග වෙළෙන්දෝ පාන්දර එකේ සිට හතයි තිහ දක්වා මහරගම පමුණුවට රෙදි ගැනීමට පැමිණෙති. උදේ අටේ සිට සවස් කාලය දක්වා මහරගම පමුණුවට පැමිණෙන්නේ සාමාන්‍ය මිනිසුන්ය.
අවුරුදු සමයේදී මහරගමට පාන්දර යාමයේදී ඇත පළාත්වලින් බස්රථද පැමිණෙයි. තොග වෙළෙඳුන්ට අමතරව ඈත පළාත්වල ජීවත්වන මිනිසුන් කණ්ඩායම් ලෙස සෑදී මුදල් දමා මාස හයක් පොලිය ගෙවා තම පවුලේ අයට, නෑදැයින්ට සිංහල අලුත් අවුරුද්දේ තෑගිදීම සඳහා ඇඳුම් මිලදී ගැනීම සඳහා පමුණුවට පැමිණෙති.
නමුත් මෙරටින් වැඩි වශෆයන් කොවිඩ් ආසාදිතයින් බස්නාහිර පළාතෙන් වාර්තාවීමත් සමඟම වෙන වසරවල්වලට සාපේක්ෂව ඇත පළාත්වලින් තොග වෙළෙඳුන්ගේ යම් අඩුවක් මේ වනවිට වාර්තා වී ඇති වුවද ඉදිරි දින කිහිපය තුළ එහි වර්ධනයක් ඇතිවිය හැකි බව අශෝකා රණවක මහත්මිය පවසයි.
“මේ වනවිට යම් තරමකින් ව්‍යාපාර පවත්වාගෙන යන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. බිස්නස් නැත්තෙමත් නැහැ. තියෙනවා. නමුත් රෙදි නැති එක තමයි ප්රශ්නය තිබෙන්නේ. අපි හිතුවට වඩා තත්ත්වය දැන් හොඳයි වෙළෙඳාම් තියෙනවා. ගිය අවුරුද්දේ මාර්තු දහඅටවෙනිදා සියලුම කඩ සාප්පු වසා දමන්න සිදුවුණා. ඒ වනවිටත් අපි සියලුම තොග ගබඩා කරගෙනයි තිබුණේ. ගිය අවුරුද්දත් එක්ක බලද්දී අපි බයවුණා. නමුත් අපි හිතුවටත් වඩා මේ අවුරුද්දේ තත්ත්වය හොඳයි.” යැයි රණවක මහත්මිය වැඩිදුරටත් දේශයට පැවසීය.
ගිය වසරේදී මාර්තු දහඅටවැනිදා සියලුම කඩසාප්පු වසා දැමීමට සිදුවුණි. මාර්තු පළවෙනිදා සිට මාර්තු දහඅටවෙනිදා දක්වා ගිය වසරේදී වැඩි වශයෙන් වෙළෙඳාමක්ද සිදුනොවුණි. නමුත් ඒ කාලසීමාවට සාපේක්ෂව මේ වසරේදී මේ මාර්තු කාලසිමාව වෙළෙඳාමේ යම් ප්‍රගතියක් පෙන්නුම් කර ඇත.
“පමුණුවට වැඩි වශයෙන් පැමිණෙන්නේ තොග වෙළෙඳුන් ඔවුන් හැම වසරකම ජනවාරි මාසේ සිට අප්‍රේල් මාසය දක්වා තොග වෙළෙඳාමට පමුණුවට එනවා. නමුත් මේ වසරේදී ඇඳුම් මහන අය ඇඳුම් මැහුවෙත් නැහැ. තොග ගෙනියන වෙළෙඳන් තොග වෙළෙඳාමේ ආවෙත් නැහැ. අතරමගදී ආයෙත් රට ලොක්ඩවුන් කරයි කියලයි බොහෝ දෙනා හිතුවේ. ඒ නිසා දැන් පමුණුවේ වෙළෙන්ට බඩු නැහැ. රටින් ගෙන්වන බඩුත් නැහැ. මෙහේ බඩුත් නැහැ. ඒ නිසා වෙනදාට වඩා මිනිස්සු මේ බඩු නැති වීම නිසා අසරණ වෙලයි ඉන්නේ. ආර්ථික ප්‍රශ්න නිසාත් මිනිස්සුන්ට ඇඳුම් පැළඳුම් ගන්න, ව්‍යාපාරික කටයුතු කරන්නත් මුදල් හිඟයි. ඩොලර් එක නිසා රෙදිවලටත් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. එකසිය පනහට ගත්තු රෙද්ද මේ වනවිට එකසිය අසූවක් වෙලා. කොහොම වුණත් මේ වසරේදී අපේ වෙළඳුන්ට පාරිභෝගිකයින්ට රෙදිපිළි ඉක්මණින් ලබාදෙන්නට අපි කටයුතු සූදානම් කරනවා. හිතුවාට වඩා මේ වනවිට වෙළෙඳුන් පමුණුවට එනවා.” යැයි අලුත්පාර වෙළෙඳ සංගමයේ සභාපති කුසුම්සිරි මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
“ඉස්සර මේ කාලය වෙනකොට නුගේගොඩ රෙදි සාප්පුවල වගේම මේ පදික වේදිකාවෙත් බොහෝ වෙළෙඳුන් ඉන්නවා. ඒත් තාම මිනිස්සු එළියට එන්න බයයි. සමහරු පාරේ හැසිරෙන විදිහ දැක්කම මුඛ ආවරණය පැළඳගෙන ඉන්න විදිහ දැක්කහම අවුරුද්දට බඩුමුට්ටු ඕනේ නැහැ කියලයි මට හිතුණේ. නුගේගොඩ සුපිරි ඇඳුම් සාප්පුවකට ඇතුළු වෙනකොට උණ බලනවා, පොත්වල සටහන් කරගන්නවා. හැබැයි ඇතුළේ වැඩකරන ළමයින් සමහරුන්ගේ මාස්ක් එක තියෙන්නේ බෙල්ලේ. ඒවාගේ අයගෙන් අපි පරිස්සම් වෙන්න ඕනේ. ඇත්තටම සමහර වෙලාවට මට හිතෙනවා Online ක්‍රමයට බඩු ගෙදරට ගෙන්වා ගන්න එක මීට වඩා ආරක්ෂිතයි කියලා.” නුගේගොඩ පදිංචි ගීතානි පෙරේරා මහත්මිය දේශයට අදහස් දක්වමින් පැවසීය.
“ඉස්සර සිංහල අවුරුද්දට තීන්ත බාල්දි ගොඩාක් විකිණෙනවා. ගිය අවුරුද්දෙත් වෙනදා වගේ නොවුණත් විකිණුනා. නමුත් තාම එහෙම කියන්න තරම් බිස්නස් එකක් නැහැ. සිංහල අවුරුද්දට ගොඩක් ගෙවල් පේන්ට් කරලා ලස්සන කරනවා. කොවිඩ් නිසා හිතුව තරම් මේ අවුරුද්දේ හාඩ්වෙයාර් උපකරණවලට අපිට බිස්නස් නැහැ.” යැයි මජීඩ් හාඩ්වෙයාර් හි මොහොමඩ් නසීම් මහතා පැවසීය.
දිශානි ජයමාලි කරුණාරත්න