එහෙනම් පාංශකූලේදී ජිනදාස භූමදාන කරලා අවසාන ගෞරවය දැක්වුවේ මගේ සල්ලිවලින්. හිසට නැගුණු ඊර්ෂ්‍යාවත් කෝපයත් ඇති පියල් කීය. පියල්ගේ දරුණු ඇනුම්පදය ඇසූ නන්දා කස පහරක් ලැබූ ස්ත්‍රියක් සේ ඇඹරුණාය. පුටුවෙන් නැගුණු නන්දා වචනයක්වත් නොතෙපලා තම කාමරයට ගොස් පුටුවකට වී කල්පනා කළාය. ඔහු කාමරයට පැමිණියේය.
නන්දා තරහා වෙන්න එපා. නන්දා මට සමාවෙන්න. ඒ වෙලාවේ මට තරහා ගිය නිසා මට ඒ වචන කියවුණා. ඒ වචන මම අදහස් කරලා කිව්වේ නැහැ. තරහ ගිය නිසා මට කියවුණා.
මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නවකතාව ඇසුරෙන් ලෙස්ටර් ජේම්ස් පීරිසුන් සිනමාවට නැගූ ජාත්‍යන්තර සම්මානයට පත් වූ ඒ නම් චිත්‍රපටයේ පියල් ලෙස රඟපෑ හෙන්රි ජයසේනත්, නන්දා ලෙස රඟපෑ පුණ්‍යා හීන්දෙණියත් රඟපෑ උච්චම අවස්ථාව චිත්‍රපටයේද කෙළවර වන්නේය. මේ රඟපෑම අප සිංහල සිනමාවේ දුටු ප්‍රබලම උසස් රංග වින්‍යාසයක් මතු කරන එක් දර්ශනයක් පමණි.
එදා (1963) ගම්පෙරළිය චිත්‍රපටයේ රඟපෑ හෙන්රි 1967 වසරේ තමා විසින්ම පරිවර්තනය කොට නිෂ්පාදනය කළ හුණුවටයේ කතාව නාට්‍යයේ වේදිකාවේ තවත් අමරණීය චරිත නිරෑපණයක් වූ අසඩක් තවමත් ප්‍රේක්ෂකයාට මතක තිබේ.
මම එක ප්‍රශ්නයක් අහනව යුෂ්මතීගෙන්. කොයි විදියෙ දරුවෙක්ද මේ දරුවා? කාලකන්නියකුගේ කාලකණ්නි පැටියෙක්ද? එහෙම නැත්නම් වැදගත් පවුලක එකකුගේ පැටියෙක්ද? අසඩක් නඩුකාරයා ගෘෂාගෙන් අසයි.
දරුවා සාමාන්‍ය පැටියෙක්. මූණ මැද නහයක් තිබුණා. ගෘෂා කෝපයෙන් කීවාය.
කරළියේ අසඩක් නාලන් මෙන්ඩිස් විසින් අධ්‍යක්ෂණය කළ නෑදෑයෝ ටෙලිනාට්‍යයේ සුදු සීයා ලෙසද රඟපෑවේ පුංචි තිරයේ නොමැකෙන සටහන් තබමිනි.
ගම්පෙරළිය චිත්‍රපටයේ පියල්ගේ චරිතයට තෝරාගැනීම ගැන වරක් ඔහුගෙන් විමසීමි.
ඒ 1958 වසරේ මම මුලින්ම රඟපෑ චිත්‍රපටය ශ්‍රී 296 චිත්‍රපටයේ මා ප්‍රධාන චරිතය රඟපෑවේ පුණ්‍යා හීන්දෙණිය සමඟ. 1959 වසරේ මම ගැහැනු ගැට චිත්‍රපටයේ රඟපෑවා. 1961 ආරම්භ කරන ලද ගම්පෙරළිය චිත්‍රපටය ආරම්භ කරන කාලේ මම පදිංචිව සිටියේ දෙහිවල වෛද්‍ය පාරේ කාමරයක. මම එතකොට විවාහ වෙලා නැහැ. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාගේ මහගෙදර තිබුණේ ඒ පාර ඉදිරිපිටම වාගේ. දිනක් මට තමා හමුවන ලෙස එතුමා කී නිසා එතුමා හමුවීමට ගියා. මම එදිනම සවස ඔහු හමුවීමට ගියා. හෙන්රි කතාව පටන් ගත්තේය.
ලෙස්ටර් මහතා තමාව ගම්පෙරළියේ පියල්ගේ චරිතයට තෝරාගත් බවත්, ඉතා අඩු වියදමකින් කළ යුතු බවත් හෙන්රිට කියා තිබුණි.
මට ගෙවන මුදල කුමක් වුවත් කමක් නැහැ. මෙය මා සිහිනයෙන් පවා බලාපොරොත්තු නොවූ වාසනාවක්. හෙන්රි කීවේ රටක් රාජ්ජයක් ලැබුණා වැනි සතුටකිනි.
එවෙලේ මා සිතුවේ මගේ රඟපෑම්වල දක්ෂකම් නිසා මේ චරිතයට මා තෝරාගනු ලබන්නට ඇත කියා. එහෙත් පියල් චරිතය සඳහා මා තෝරාගැනීමට හේතු වූ ප්‍රධානතම කරුණ මා දැනගත්තේ චිත්‍රපටය ප්‍රදර්ශනය කළාට පසුව ලෙස්ටර්ම මා හා වඩාත් කුළුපග වූ පසුවයි. එනම් ගම්පෙරළිය පොතෙහි එක් තැනක සඳහන් පරිදි කජු පුහුලමක් වැනි නැහැයක් මට තිබුණු නිසාලු. එම සත්‍ය ඇසීමෙන් මගේ සිත කීරි ගැසුණද එය පිටතට නොපෙන්වීමට මම උත්සාහ කළා.
හෙන්රි ජයසේන සම්මානනීය නාට්‍ය රචකයකු, නිෂ්පාදකවරයකු ලෙසද සිනමා නළුවකු, පුංචි තිරයේ නළුවකු, නවකතා රචකයකු, චිත්‍රපට දෙබස් හා ගීත රචකයකු බව අපි දනිමු. අනිත් දක්ෂතම නළුවන් මෙන්ම හෙන්රි සිය මුල්ම රංගනය අරඹන්නේ පාසල් වේදිකාවෙනි.
ගම්පහ ලෝරන්ස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන කාලයේ සිටම ගායනයට ඇති දක්ෂතා දුටු හෙන්රිගේ එක් සොහොයුරකු වූ නිව්ටන් විසින් ගුවන්විදුලියේ ළමා තීරය නිෂ්පාදක සිරි අයියාට (යූ.එස්.එස්. පෙරේරා) තම මල්ලීව හඳුන්වා දුන්නේය. නිව්ටන් ජයසේන ජිනදාස විජේතුංගගේ Grass for My Feet කෘතිය මා පයට තණ නිල්ල නමින් පරිවර්තනය කළේය.
සිරි අයියා, මම කිව්වා මගේ මල්ලි. මිනිහා කටකාරයා. අයියා මල්ලි ගැන රෙකමදාරුවක් දුන්නේය. ඒ ගැන හෙන්රි කියන කතාවයි මේ.
මට කලා ලෝකයට එන්න අඩිතාලම දැම්මේ සිරි අයියා. ඒ වගේම ළමා තීරයේ අක්කාත් මට උදව් කළා. එදා මා සමඟ හිටිය සමකාලීන මිතුරිය ට්‍රිලීෂියා අබේකෝන් (පසුව ගුණවර්ධන). එදා ට්‍රිලීෂියා, ඩබ්ලිව්.ඒ. විජේපාල සමඟ ගැයූ සුරතල් නංගියේ අප දෙන්නා ගීතයට සහ රාධා හා ක්‍රිෂ්ණා, විජය හා කුවේණි ගීතවලටත් ඇය සමඟ ගායනයටත්, රඟපාන්නත් ලැබුණා. මට ට්‍රිලීෂියා ගැන හිතක් ඇතිවුණා. ඒත් ඒක පාසල් යන කොල්ලකුගේ අහිංසක ළාබාල ආදරයක්. පුදුමය නම් පසු කාලෙක අපි දෙදෙනා මනමේ නාට්‍යයේ මනමේ කුමරු හා කුමරිය ලෙස ගී ගයමින් රඟපෑමයි. ගම්පෙරළිය හා කලියුගය චිත්‍රපටවල මම පියල්. ඇය අනුලා වුණා. එහෙම මමත්, බිරිය මානෙලුත්, ඇය හා ඔහුගේ සැමියා (මහාචාර්ය ඒ.ජේ. ගුණවර්ධන) හොඳම මිත්‍රයෝ වුණා.
ඒ කාලයේ සිරි අයියාගේ හිතවතුන්ගේ මංගල්‍ය උත්සවවල අෂ්ඨක කීමට හෙන්රිටත්, ට්‍රිලීෂියාටත් අවස්ථාව ලැබුණි. එහිදී ඔවුහු තෑගිබෝග ද ලැබූහ. වැඩි කලක් යන්න පෙර සිරි අයියාගෙන් අපූරු යෝජනාවක් ආවේය.
හෙන්රි, ලබන සතියේ ඉඳලා නාලන්දෙට එන්න. ගෙදරිනුත් අහන්න.
මම කැමතියි සර්, නාලන්දෙට එන්න ලැබීම මගේ වාසනාවක්.
හෙන්රි නාලන්දයට එන විට සිංහල ගුරුවරයා සිරි අයියාය. හෙන්රි කලාවට, සාහිත්‍යයට ඇල්මක් දැක්වූ පන්ති සගයන් සමඟ ඇසුරට පත්විය. ගුණදාස අමරසේකර, කරුණාරත්න අබේසේකර, රිජ්වේ තිලකරත්න, හරිස්චන්ද්‍ර විජේතුංග, චිත්‍රානන්ද අබේසේකර, සුමන අක්මීමන, සුගතමුණි ඥානසිරි, මිනුවන් පී. තිලකරත්න මේ පිරිසය.
මම නාලන්දේ ඉගෙනගන්න කාලේ අපේ සිංහල ගුරුවරයා (සිරි අයියා) විසින් නිෂ්පාදනය කළ හරිස්චන්ද්‍ර නාට්‍යයේ රෝහිත කුමාරයාට රඟපෑවා. මේ නාට්‍ය නැරඹීමට ආ මහාචාර්ය ගුණපාල මළලසේකර මහත්තයා සිරි අයියාගෙන් අහල තියෙනවා, කවුද? අර රෝහිත කුමාරයට ඇක්ට් කරන්නේ කියලා. සිරි අයියා මාව පෙන්නුවාම මළලසේකර මහත්තයා මගේ හිස අතගාලා මෙහෙම කිව්වා.
This boy has a good future as a actor
එදා ඉඳලා මම නාලන්දේ ප්‍රසිද්ධ වුණේ රෝහිත පුතා කියලා. හෙන්රි කියා තිබුණි.
1931 ජූලි 06 වැනිදා ගම්පහ බ්‍රුන්ඩියමුල්ලේදී උපන් බස්තියන් කෝරළයේ හෙන්රි බස්තියන් ජයසේනගේ පියා බස්තියන් කෝරළගේ ඇල්බට් රුද්‍රිගෝ ජයසේන වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. එසේම ඔහු දක්ෂ ඉංග්‍රීසි ගුරුවරයෙකි. මව නවගමුවේ සිසිලියා පෙරේරාය. හෙන්රි පියාගෙන් ගෙදරදී සිංහල, ඉංග්‍රීසි, ගණිතය ඉගෙන ගම්පහ බ්‍රුයන්ඩියමුල්ලේ කතෝලික ප්‍රාථමික පාසලට ඇතුළත් විය.
හෙන්රි 1950 දී ඉංග්‍රීසි උප ගුරුවරයකු ලෙස මුලින්ම පත්වීමක් ලබා නුවරඑළියේ දෙනියේ පදියපැල්ලේ ප්‍රාථමික විද්‍යාලයේදී තම ප්‍රථම නාට්‍ය වූ ජානකී නාට්‍ය නිෂ්පාදනය කළේය.
මහාචාර්ය රෝලන්ඩ් අබේපාල විසින් සංස්කරණය කළ හෙන්රි ජයසේන අභිනන්ද කෘතියට ලිපියක් ලියූ මාධ්‍යවේදී සනත් බාලසූරිය විසින් ලංකාදීප පත්‍රයට ලියූ ලිපියක මෙසේ සඳහන්ව තිබුණි.
සත්‍ය ලාංකික වේදිකාවෙන් හා ප්‍රේක්ෂකයාගෙන් මුවා කර දමා තිබූ කඩතුරා වැරහැළි කර දමන්නට දායක වූ යුග පුරුෂයෙක් කැලෑ ගස්වැල් මල්වලින් සරසා පැට්‍රෝමැක්ස් ලාම්පුවෙන් එළිය කරන ලද ඩෙස්ක් බංකු වේදිකාවක් මත 1951 දී තම කුරුඳුල් නාට්‍ය ජානකී එළිදැක්වීය. ඔහු වේදිකාවේ පතාක යෝධයකු සේ සැලකුම් ලබන හෙන්රි ජයසේනය.
හෙන්රිගේ නාට්‍ය නිර්මාණ අතර මනමාලයෝ, වැදගත්කම, පව්කාරයෝ, ජනේලය, කුවේණි, තවත් උදෑසනක්, මනරංජන වැඩවර්ජන, හුණුවටයේ කතාව, අපට පුතේ මඟක් නැතේ, දිරිය මව, මකරා, කිහිපයකි. වේදිකා නාට්‍ය සඳහා සම්මාන රුසක් දිනූ හෙන්රි තම නාට්‍යවලට අත්දැකීම් මට නව යුගය පත්‍රය සඳහා විස්තර කර තිබුණේ මෙසේය.
නාලන්දේ ඉගෙන ගනිද්දී මගේ සිත කවියට යොමු වුණා. මම පුංචි කාලේ ඉඳලම තනිවම ජීවත් වූ ළමයෙක්. මමත්, අම්මත් ජීවත් වුණේ ගම්පහ කතෝලික පල්ලියක් අසල නිවසක. රාත්‍රී කාලයේ පල්ලියෙන් එන ගීතිකාවලට මා කන් දෙන්නේ සතුටකින්. මේ මිහිරි ගී අසනකොට තනිව සිටින අම්මා ගැන මට දුකක් ඇතිවුණා. කුඩා කාලයේ මා ලැබූ කටුක අත්දැකීම් රුසක් පසුව මගේ නාට්‍යවලට බලපෑවා. මගේ නිව්ටන් අයියා මිහිරි හඬින් කුවේණි අස්න කියවන විට මා තුළ ඇතිවූ හැඟීම් කියා නිම කරන්න බැහැ.
සුසුම් ලා යකින්නී
නෙත් කඳුළු ඉසින්නී
අයියා කී මේ මිහිරි කවි ඔස්සේ මැවුණු චිත්තරෑපය තුළින් කුවේණි නාට්‍ය බිහි වුණේ. ජීවිතයේ තනි වූ ගැහැනියක් ගැන නාට්‍යයක් ලියන්න ඒ අත්දැකීම් බලපෑවා. කුවේණියට සිදුවූයේද අද පවා ඇතැම් අභාග්‍ය සම්පන්න ස්ත්‍රියකට සිදුවන දේවල්මයි.
හෙන්රි රචනා කොට නිෂ්පාදනය කළ තවත් නාට්‍යයක් සඳහා ද එවැනි සත්‍ය සිදුවීමක් පසුබිම් වුණාලු.
අපි ගම්පහ තාත්තා සමඟ ජීවත් වූ කාලයේ අපට කිරි පට්ටියක් තිබුණා. මේ කිරි පට්ටියේ වසු පැටවුන් අතර එක් දුර්වල හීලෑ වසු පැටවකු කෙරෙහි මගේ ආදරය වඩාත් හිමි වුණා. රබ්බඩයා යි නම් ලද මේ වසු පැටවා කෙරෙහි අප කාගේත් ළෙන්ගතුකමක් ඇතිවුණා. මා රබ්බඩයාට කොයි තරම් ආදරේ ද කියතොත් පසුව තාත්තා ඌව මටම බාර කළා. මම තණකොළ කපා ඌට කන්ඩ දී සාත්තු කොට හොඳින් රුකබලා ගත්තා. යුද්ධය අවසන්ව අප ගෙවල් මාරුකොට කොළඹ පැමිණියේ කිව නොහැකි දුකකින්. වසු පැටවා පිළිබඳව මා තුළ සාංකාවක් ඇතිවුණා. ටික කලකට පසු ගමේ සිට කොළඹ පැමිණි කෙනෙක් රබ්බඩයා පාළු ළිඳක වැටී මැරී සිටි බව කී පසු මගේ සිත තවත් සසල වුණා. මේ සසල වීම හේතුව නිසා මම තවත් උදෑසනක් නාට්‍ය රචනා කළා.
හෙන්රි ජයසේන චිත්‍රපට නළුවකු ලෙස රඟපෑ චිත්‍රපට 19 අතුරෙන් දහසක් සිතුවිලි, මරුවා සමඟ වාසේ, පළඟැටියෝ, හංස විලක්, හඳයා, ගඟ අද්දර, බැද්දේගම, සොල්දාදු උන්නැහැ, කලියුගය, තණ ගිරව් කැපී පෙනෙයි. ඔහු ඇතැම් චිත්‍රපට සඳහා සම්මානද ලැබීය. Shadow of the Cobra, Ganesh, Ghost can’t do it චිත්‍රපට තුනක රඟපෑවේය. ඔහු සැඩොල් කඳුළු (1967) චිත්‍රපටයේ මුල්වරට තිර රචනය ද ගීත දෙකක් ද රචනා කළේය. සංගීත නිර්මාණය අමරදේවගෙනි.
දස මස කුස දරා ඉඳ වදන දරුවන්
රස මසවුලු කවා කුස සදන දරුවන්
විස පල වැල් නොදී නිති රකින දරුවන්
රොස ගෙන දනෝ මුසපත් කරන දරුවන්
(ගායනය - නන්දා මාලිනි)
තෙරක් නැති ආශා
අතෘප්ත වූ ආශා
අඳුරු පටලෙන් වැසුණු
දුරාතීතේ පටන්
හිරු නුදුටු ආශා
(ගායනය - සනත් නන්දසිරි)
අතීතයේ කතාවක් චිත්‍රපටයේ තිර නාටකය ද, මඟ හොඳට තිබේ නම් දියවැඩියා රෝගය ගැන තැනූ වාර්තා චිත්‍රපටයේද පිටපත් රචනය හෙන්රිගේය.
හෙන්රි දඩබ්බර, හිතුවක්කාර, තනි තීරණයක සිටි මිනිසෙකි. එහෙත් ඔහු උතුරා යන මානව දයාව ඇති මිනිසෙක් ද විය. ඔහු අධික ලෙස දුම්පානය කළේය. කලියුගය චිත්‍රපටය කරද්දී ඔහුගේ දුම්පානය නවත්වන ලෙස පුණ්‍යා හීන්දෙණිය කාරුණිකව ඉල්ලා සිටියාය. කෝපයට පත් ඔහු කීවේ මේ වදන් පෙළය.
Are you my mother to tell me not to smoke? (යකෝ, උඹ මගේ අම්මද මට සිගරට් බොන්න එපා කියන්න)
පුණ්‍යා ගැන දුක සිතුණු හෙන්රි කීවේ මම දුම්බීම නවත්වන්න වෑයම් කරන්නම්. කියාය.
පිළිකා රෝගකාරක ප්‍රතිකාරවලින්ද, ශල්‍යකර්මයකින් පීඩා සහ අත්දැකීම් ලැබූ හෙන්රි බාල්ග ගිලානෝ කෘතිය රචනා කළේය. ඊට පෙර ඔහු මිනිසුන් වූ දරුවෝ, ලාසරස් හා නිළියකගේ කතාවක් නවකතා ද, කරළියක කතාවක් හා නිම් නැති කතාවක් චරිතාපදාන ද හිතට හිතෙන කවි, කතන්දරේ හැංගිලා ළමා සාහිත්‍ය කෘතිද නාට්‍ය පිටපත් කිහිපයක් ද මුද්‍රණයෙන් නිකුත් කළේය. 1962 වසරේ මානෙල් ඉලංගකෝන් සමඟ විවාහ වූ හෙන්රි තම එකම පුතු සෞම්‍ය සුධාරක හුණුවටය කතාවේ පුංචි මයිකල් කුමාරයා ලෙස වේදිකාවට හඳුන්වා දුන්නේය. ගොලු හදවත ටෙලිනාට්‍යයේ සුගත් වූ සුධාරක එහි දමයන්තිට රඟපෑ අනෝමා හේරත් හා විවාහ විය. හෙන්රි රන්දිර මුණුපුරා සමඟ හුදෙකලාව ගත කළේ තම සෙවණැල්ල බඳු ආදරණීය බිරිය මානෙල් (හුණුවටයේ ගෘෂා) මිය යාම නිසාය.
වේදිකාව, සිනමාව, පුංචි තිරයේ නොමැකෙන සටහන් තැබූ ආචාර්ය හෙන්රි ජයසේන නම් මහා කලාකරුවා 2009 නොවැම්බර් 11 වැනිදා ජීවිතයෙන් සමුගත්තේය.