
මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා මහතා මුහුණුපොතේ සටහන් කළ අපූරු ලිපියක් නිසා පසුගිය දවස්වල තානාපති සේවය සම්බන්ධයෙන් විශාල කතිකාවතක් ඇති විය. මියන්මාරයට වී තමන් පින් පඩියක් ගන්නා බවට ඒ මහතා පවසා තිබීම නිසා මෙරට බහුතර මාධ්‍ය එම කොටස පමණක් උස්සාගෙන ගියේ එය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් වන නිසාය.
කෙසේ වෙතත් එම කතාව ඇත්තද? එවැනි දෙයක් කියා තිබෙනවාද? එවැනි දෙයක් කියා ඇත්නම් එයට හේතුව කුමක්ද? යන්න අපි ඒ මහතාගේ මුහුණුපොතට ගොස් බැලුවෙමු. එකී කතාව අප සම්පූර්ණ වශයෙන් පළ කරන්නේ තානාපති සේවය සම්බන්ධයෙන් තානාපතිවරයකු ලෙස ඔහු දරන මතය මෙරට ජනතාවට දැනගැනීමේ අරමුණ ඇතිවය.
තානාපති බලාපොරොත්තුව
මේ ලිපිය මුහුණුපොතේ මා නමින් ඇති පිටුවේ පළවන නමුත් කලක සිට එය පළකෙරෙන්නේ වෙනත් අය විසින්. මා ලිපිය ලියා ඔවුන්ට යැවීම පමණයි කරන්නේ. මට මුහුණුපොතට එළඹෙන්න බැහැ. ඔබ මට මුහුණුපොත මගින් එවන පණිවුඩ එකක්වත් මට නොලැබෙන බව මතක් කර ගන්නේ නම් හොඳයි. එමෙන්ම ඔබ දක්වන ප්‍රතිචාර ද මට කියවීමට ලැබෙන්නේ නැහැ.
මා ඉන්නා රටේ නම ගැනම මට ප්‍රශ්නයක් තියෙනවා. අප කියන්න පුරුදු වී සිටින්නේ මියන්මාරය කියා. මෙහි වැසියන් තම රටේ නම ශබ්ද කරන්නේ මිය(න්මා) කියා. මා යන්න නාසික ශබ්දයක් ලෙසයි ඇසෙන්නේ. රටේ නම සමහරු ඉංග්‍රීසියෙන් ලියන්නේ Myanma කියා මිස Myanmar කියා නොවෙයි. මේ ඉංග්‍රීසි r අකුර කෙසේ එකතු වූවාදැයි කියන්න දන්නේ නැහැ. Car bar ආදිය ඉංග්‍රීසියෙන් ලියන්නෙ ශබ්ද නොවන r අකුරක් සමඟයි. ඒ අනුව r අකුරක් මියන්මා යන්නට එකතු වන්න ඇති කියල හිතනවා. සිංහල මියන්මාරය යන්න ඒ r ශබ්දය නිසා ඇතිවූවක් වෙන්න පුළුවන්. ඒ ගැන සොයා බලන්න ඕන. දැනට මා මියන්මා කියා ලියනවා.
අපි කුමාර් කියන වචනය Kumar කියා ලියා ඉන්පසු ඉංග්‍රීසියෙහි r ශබ්ද නොවන බැවින් කුමා කියා ශබ්ද කරනවා. කුමා සංගක්කාර එයට උදාහරණයක්. එහෙත් සිංහලෙහි හරි සංස්කෘතයෙහි හරි කුමා කියා නමක් නැති බවයි මගේ විශ්වාසය. කුමා යන්නෙහි තේරුම කුමක්ද කියා අප දන්නේ නැහැ. එහෙත් කුමාර් යන්නට නම් නම් තේරුම් තියෙනවා. මියන්මා යන්න මියන්මාර් වී මියන්මාරය වීම මෙහි අනෙක් පැත්ත ලෙසයි මට හිතෙන්නෙ. මා වැරදි වෙන්න පුළුවන්.
ඒ කුමක් වුණත් මා මියන්මා දේශපාලනය ගැන කිසිවක් කියන්නේ නැහැ. එසේ කීම වියනා සම්මුතියේ 41(1) වගන්තියට පටහැණියි. මෙරට රාජ්‍ය සේවය ලංකාවේ රාජ්‍ය සේවයට වඩා වෙනස්. ඒ ගැනත් මා කියන්නේ නැහැ. එහෙත් මට එකක් කියන්න පුළුවන්. ලෝකෙ හැමතැනම වගේ රාජ්‍ය සේවය කියන්නෙ ඉංග්‍රීසි රාජ්‍ය සේවය ඒ ඒ රටවල සංස්කෘතියෙහි ක්‍රියාත්මක වන ආකාරය.
දැන් මගේ තානාපති රස්සාව ගැන වචනයක් දෙකක් කියන්න ඕන. මගේ පත්වීම දේශපාලන පත්වීමක්. ලංකාවේ රාජ්‍ය සේවයේ අය අවුරුදු හැටෙන් විශ්‍රාම ගන්න ඕන. ඒත් මට දැන් හැට පහුවෙලත් අවුරුදු පහළොවකට වැඩියි. ඒ කියන්නෙ හැටේ ඒවා එකයි කාලකට වැඩියි. ඒත් හැටහුටාමාරක් නම් නොවෙයි. ඒ වුණත් මියන්මාහි මා පින් පඩි ලබාගැනීම නම් බොහෝ දෙනකුට ප්‍රශ්නයක් වී තිබෙන බව පැහැදිලියි.
මාසයකට වරක් ජනාධිපතිතුමාට අනුශාසනා කිරීම සඳහා මහා සඟරුවන රැස්වූ විටක විදේශ සේවාව ගැන ප්‍රශ්න කෙරිලා තියෙනවා. මහා සංඝයා වහන්සේ අවවාද කර තියෙන්නෙ විශ්‍රාම ගිය අය තානාපති සේවයට පත් කිරීම නුසුදුසුය කියා.
උන්වහන්සේ එසේ පවසා ඇත්තේ මා ගැන නොවන්න පුළුවන්. ඒත් උන්වහන්සේ වැඩිදුරටත් අනුශාසනා කර ඇත්තේ තායිලන්තයේ හා මියන්මාහි තානාපති තනතුරු සඳහා දර්ශනයක් ඇති සැදැහැවත් බෞද්ධයන් පත් කළ යුතු බව. මා බෞද්ධ දර්ශනය කියා එකක් ඇති බව නම් පිළිගන්නෙ නැහැ. බුදු දහම ගැන නම් මා කතා කරනවා. මා හිතන්නෙ මට ශ්‍රද්ධාවකුත් තියෙනවා කියලා.
ජනාධිපතිතුමා මගෙන් මුලින්ම විමසුවෙ ආණ්ඩුකාරයකු වෙන්න කැමැති ද කියා. මා ඒ ඉල්ලීම ගරුසරු ඇතිවම ප්‍රතික්ෂේප කළා. පසුව එතුමා මගෙන් ඇහුවා තානාපති සේවයට කැමැති ද කියා. මා කිව්වෙ මියන්මා හරි තායිලන්තය හරි ලැබෙනවා නම් යන්නම් කියලා. මට අවශ්‍ය වුණේ ථෙරවාද රටවල් දෙකක් අතර වඩා ශක්තිමත් සම්බන්ධකම් ගොඩනගා ගන්න. මා මියන්මා රටට ආවෙ එලෙසයි.
කිසිම දෙයක් පහුගිය මාස දහයක පමණ කාලයෙහි කරන්න බැරිවුණු බව නම් ප්‍රකාශ කරන්න ඕන. මා බොහෝ දේ සාකච්ඡා කරන්න ඇති. එහෙත් කිසිවක් ක්‍රියාත්මක වෙලා නැහැ. ඇත්තටම මා කර ඇත්තෙ පින් පඩියක් ගැනීමයි. ඒ ගැන මට දොස් කියන අය ඉන්න බව මා දන්නවා. මගේ සේවා එකඟතාව අවුරුදු දෙකකට.
මේ දිනවල ලංකාවෙ ධීවරයන් පිරිසක් මියන්මා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඉරවෙඩි ප්‍රදේශයේ පොලීසියක රඳවා තියෙනවා. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙහි නිලධාරී මණ්ඩලය (හතර දෙනකු පමණයි) ඉතා ඕනෑකමකින් මෙවැනි කාර්යයන්හි දී මැදිහත් වෙනවා. ඔවුන් ඉතා කාර්යක්‍ෂමයි. ඔවුන්ගේ මැදිහත් වීම නිසා අපට නිල නොවන වශයෙන් එකී ධීවරයන් සමඟ දුරකතනයෙන් සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා. ඔවුන් අධිකරණය ඉදිරියට දැනට දෙවරක්ම පමුණුවා තියෙනවා. එහෙත් ඔවුන්ට විරුද්ධව ඇති චෝදනා මොනවාදැයි අපට තවමත් දැනගැනීමට බැරි වුණා. ඒ ගැන මා පෞද්ගලිකව කනගාටු වෙනවා. ඔවුන්ගේ පවුල්වල උදවිය හා පොදුවේ ශ්‍රී ලාංකිකයන් බලාපොරොත්තු වෙන දේ ඉටු කිරීමට මට නොහැකි වී තිබෙනවා. සමහරවිට ඒ මගේ අදක්‍ෂතාව වෙන්න ඇති. ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවෙන බව නම් දැනගත්තා.
අප රටේ සාමාන්‍ය ජනතාව අතරත් විශේෂයෙන් ජනමාධ්‍යකරුවන් අතරත් තානාපති සේවය ගැන තියෙන්නෙ සුහද හැඟීමක් නොවෙයි. ඔවුන් බොහෝ දෙනකු හිතන්නෙ තානාපති සේවය සුදු අලියකු කියලයි. මියන්මා රටට පැමිණීමෙන් පසු මට කකුල් හතරේ සුදු අලින් නම් දැකගන්න ලැබුණා. මට මෙහිදී මතක් වෙන්නෙ දෙරණෙ කලිඳු කරුණාරත්න රාජ්‍ය ඇමැති තාරක බාලසූරියට කෙළින්ම කී දෙයක්. ඔහු කියා සිටියේ තානාපති කාර්යාලවලින් ඉටුවිය යුතු සේවය ඉටු නොවන බවක්. තාරක බාලසූරිය එය අනුමත කළා යැයි මට හිතෙනවා.
තානාපති සේවය ගැන මට කියන්න බොහෝ කරුණු තියෙනවා. මේ සේවයෙන් ඉවත් වීමෙන් පසුව ඒක කියන්නම්. එහෙත් දැනට මට කියන්න තියෙන්නෙ විද්‍යාඥයකු වීමේ බලාපොරොත්තුව වගේම තවත් බලාපොරොත්තුවක් ඉටු නොවී ඇත යන්න පමණයි."
ගයාන් ගාල්ලගේ