
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මෙවර පැවැත්වීමට කටයුතු කෙරුණේ කොවිඩ් අවදානම මධ්‍යයේය. විභාගය අවසන් වීමෙන් පසුව ඇතැම් විභාග මධ්‍යස්ථාව ආශ්‍රිතව සිසුන් කලහකාරී ලෙස හැසිරීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබී තිබුණි. එවැනි යමක් වේ නම් විභාග පනත යටතේ දැඩි දඬුවම් පැනවීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. කොවිඩ් අවදානම මැද වුවද පැවැත්වීමට සූදානම් කළ විභාගයේදී ඇතැමුන් විභාග වංචා සිදු කිරීමට උත්සාහ ගත් බවද වාර්තා විය.
කොව්ඩ් වසංගතය නිසා මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය නීතියක් විය. එය වාසියට ගත් ඇතැමුන් විභාග අපේක්ෂකයන් වෙනුවට වෙනත් පිරිස් යොදවා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට ක්‍රියා කළ අවස්ථා වාර්තා වී තිබේ. මේ ආකාරයට මෙවර වාර්තා වී ඇති විභාග වංචා ගණන හතරකි. එම විභාග වංචා සිදුවීම් වලස්මුල්ල, බලංගොඩ, වව්නියාව සහ හිදෝගම ප්‍රදේශවලින් වාර්තා වී තිබෙන බවට විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම සෑම විභාග වංචාවක් සම්බන්ධයෙන්ම අදාළ ප්‍රදේශවල පොලිස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. මේ කියන එක් සිදුවීමක් මාතර වලස්මුල්ල ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි. වාර්තා වන පරිදි සිදුවීම මෙසේය.
වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි. කලකට පෙර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඔහු විෂය දෙකක් අසමත්ව ඇතැයි කියති. පසු අවස්ථාවක විභාගයට පෙනී සිට ඇතත් නිසි ප්‍රතිඵල ලබාගැනීමට අපොහොසත් තරුණයා නැවත මේ වසරේ පෞද්ගලික අයැදුම්කරුවකු වශයෙන් විභාගයට ඉල්ලුම් කර ඇත. ප්‍රතිඵල සටහන් එකම සහතික පත්‍රයක ලබාගත යුතු බවට වූ අදහසින් විෂයන් අටකට බාහිර අපේක්ෂකයකු ලෙස ඉල්ලුම් කළ ඔහු කොරෝනා අවදානම වාසියක් කොටගෙන තිබිණි. ඒ අනුව ඔහු මුඛ ආවරණ පැළඳීම නිසා කෙනකු නිවැරදිව හඳුනා ගැනීමට අසීරු බැවින් එම තත්ත්වය සිය වාසියට හරවාගෙන ඇතැයි පැවසේ.
ඔහුගේ වැඩිමහල් සහෝදරියකගේ පුතෙකි. ඔහු 19 හැවිරිදිය. සාමාන්‍ය පෙළ විශිෂ්ට ලෙස සමත්ව ගණිත අංශයෙන් උසස් පෙළට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඔහු නිවෙසේ සිටින්නෙකි. ඥාතිත්වය අනුව සිය මාමා වන චතුරංග නැමැත්තා යෝජනා කර ඇත්තේ තමා වෙනුවට විභාගයට පෙනී සිටින ලෙසය. ඊට එකඟ වූ පුත්‍රයා මාමා අයැදුම් කළ විභාගයේ විෂයන් සියල්ල සඳහා ඉදිරිපත් වීමට තීරණය කළේය. ඒ සඳහා මුඛ ආවරණය භාවිත කිරීමට ඇති හැකියාවද වාසියක් කොටගෙන තිබිණි. මේ අයුරින් සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 5ක් අවසන් වන තෙක් සැකකරු මාමා වෙනුවෙන් විභාගය ලියා ඇතැයි කියති.
මාමා සහ බෑණා කරන මේ නාඩගම සම්බන්ධයෙන් ඇසගසා සිටි ගම්වැසියෙකි. දෙදෙනා එක්ව සිදු කරන වංචාව සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් සිටින ඉසුරුපාය වෙත දුරකථන මගින් දන්වා තිබුණි. ඒ අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වලස්මුල්ල ජාතික පාසලේ ක්‍රියාත්මක වෙමින් තිබූ සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපති වෙත කරුණු පැවසූහ. ඔහු මැදිහත්ව අදාළ තරුණයා පිළිබඳව සොයා බලා තිබූ අතර තොරතුරුකරුගේ තොරතුර සනාථ කරමින් සැකකරු විභාගයට පෙනී සිට ඇතැයි හඳුනා ගැනුණි. ඔහු විභාග අයැදුම්කරුගේ ජාතික හැදුනුම්පත අතැතිව වෙනත් අපේක්ෂකයකු වෙනුවෙන් පෙනී සිට ඇති බව තහවුරු විය. සැකකරුවන් හඳුනා ගැනීමට අසීරු වී ඇත්තේ මුඛ ආවරණ පැළඳ සිටීම නිසාය.
මේ අවස්ථාවේ ශාලාධිපති ක්‍රියාත්මක වී සිදුවීම වලස්මුල්ල පොලිස් ස්ථානය වෙත දන්වා ඇති අතර ඒ මොහොතේ ජංගම සංචාරයේ නිරත නිලධාරීන් අදාළ මධ්‍යස්ථානයට පැමිණි විට ශාලාධිපති විසින් පැමිණිල්ල සටහන් කර ඇත. අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර රුපියල් ලක්ෂ 3ක ශරීරඇප මත ඔවුහු නිදහස් කරනු ලැබූහ.
මෙලෙස මාමා වෙනුවට බෑණා විභාගයට ඉදිරිපත් වී විෂයන් 5කට පිළිතුරු සපයා තිබූ බව වාර්තා වන අතරතුර හිදෝගම කළුවිල සේන මහා විද්‍යාලයේ පැවති විභාග මධ්‍යස්ථානයේ අයැදුම්කරුවකු වෙනුවෙන් වෙනත් අයකු විභාගයට පෙනී සිටියදී අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබිණි. අත්අඩංගුවට ගත් පුද්ගලයා තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙකි. ඔහු වීරවිල නිවාඩු නිකේතනයක සේවය කරන්නකු වන අතර විභාග අපේක්ෂකයාගේ ඥාතියෙකි. සැකකරු ගණිත විෂය සඳහා පෙනී සිටියදී ශාලාධිපතිට ඇතිවූ සැකයක් මත අත්අඩංගුවට ගනු ලැබීය.
පසුගිය 8 වැනිදා මේ සිදුවීම වාර්තා වූ අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු වංචාව වාර්තා වී තිබුණේ මුලතිව් සිලාවත්ත විභාග මධ්‍යස්ථානයෙනි. එයද විභාග අපේක්ෂකයා වෙනුවෙන් වෙනත් තරුණයකු විභාගයට පෙනී සිටි සිදුවීමකි. මේ අතර බලංගොඩ පැවති විභාග මධ්‍යස්ථානයකදී රුසියානු භාෂාව පැවති දිනයේ විභාග අපේක්ෂකයා වෙනුවට වෙනත් තරුණයකු පෙනී සිටීමට උත්සාහ කළ මොහොතේ ඔහු අත්අඩංගුවට ගත් බව බලංගොඩ පොලීසිය වාර්තා කළේය.
මේ ආකාරයට මෙවර වාර්තා වූ සාමාන්‍ය පෙළ විභාගයේ වංචා සිදුවීම් හතරම වෙනත් පුද්ගලයන් වෙනුවෙන් පෙනී සිටීමට උත්සාහ කිරීම්ය. මෙම සැකකරුවන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය (402) වගන්ති ප්‍රකාරව සහ විභාග අපරාධ යටතේ විභාග නීතිය ඔස්සේ ද නීතිමය පියවර ගැනීමට නියමිතය.
සමන්ත විල්තෙර