2021 මාර්තු 06 වන සෙනසුරාදා

ජාත්‍යන්තර කරළියේ යළි දිග හැරෙන සෞදි මාධ්‍යවේදියාගේ ඝාතනය

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 26

සෞදි මාධ්‍යවේදියකු වූ ජමාල් කෂෝගි ඝාතනය සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් විසින් අනුමත කර ඇතැයි ඇමෙරිකානු බුද්ධි අංශ වාර්තාවක් මගින් පසුගිය සතියේ අනාවරණය කර තිබේ.  කෂෝගි ඝාතනයට සෞදියේ කිරුළ හිමි සල්මාන් කුමරු සම්බන්ධ බවට මින් ඉහත ද චෝදනා කෙරිණි. එහෙත් මෙවන් නිල වාර්තාවකින් එය අනාවරණය කෙරුණු පළමු අවස්ථාව මෙය වේ. අමෙරිකානු බුද්ධි අංශ වාර්තාවේ සඳහන් වන්නේ  සෞදි රජ පවුලට එරෙහි පුවත් නිතර පළ කළ කෂෝගි මරාදැමීමේ සැලැස්මට සල්මාන් කුමරුගේ සෘජු අනුමැතිය හිමිව ඇති බවය. මෙම වාර්තාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්  සෞදි රජය සඳහන් කර ඇත්තේ  තමන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි..

සෞදි මාධ්‍යවේදියකු වූ ජමාල් කෂෝගි තුර්කියේ පිහිටි සෞදි කොන්සල් කාර්යාලයේදී ඝාතනයට ලක්වූයේ 2018 ඔක්තෝබර් 2දාය. 60 හැවිරිදි කෂෝගි සෞදියේ ‘අල් ඇරබ්’ ප්‍රවෘත්ති නාළිකාවේ ප්‍රධානියා ලෙසද, ‘අල් වටන්’ පුවත්පතේ කතුවරයා ලෙසද සේවය කළ මාධ්‍යවේදියෙකි. වරක් ඔහු ඔසාමා බින් ලාඩන් සමඟ කළ ප්‍රවෘත්ති සාකච්ඡාව හේතුවෙන් කීර්තිමත් මාධ්‍යවේදියෙක් ලෙස ලෝක අවධානයට පාත්‍රව සිටියේය. එමෙන්ම ඔහු එංගලන්තයේ ඩයනා කුමරියගේ පෙම්වතා වූ හැරඩ්ස් වෙළෙඳසල් ජාලයේ හිමිකරු වූ ඩෝඩි අල් ෆයඩ්ගේ ඥාති සොහොයුරා විය.

ජමාල් කෂෝගි ඝාතනය කිරීම පසුපස ඇත්තේ ඔහු සෞදි අරාබියේ සල්මාන් රජු සහ ඔටුන්න හිමි කුමාරයා වන මොහොමඩ් බින් සල්මාන්ගේ ක්‍රියා කලාපය නිර්දය විවේචනය කිරීම බව පැවසේ. වරක් යේමන රාජ්‍යය වෙත සෞදි අතපෙවීමද ඔහු විවේචනය කළේය. එහි ප්‍රතිඵලය වූයේ සෞදි රජය ඔහුගේ ට්විටර් ගිණුම තහනම් කිරීමය. ඉන්පසු රජය විවේචනය කෙරෙන පුවත්පත් ලිපි ලිවීමද ඔහුට තහනම් විය. තමනට පැනවුණු වාරණය හමුවේ තවදුරටත් සෞදි අරාබියේ සිටීම අනතුරුදායක බැව් වටහා ගත් කෂෝගි 2017 ජූනි මාසයේ ඇමෙරිකාවට පලා ගියේය. 

එම වසරේ සැප්තැම්බරයේ සිට ඇමෙරිකාවේ ‘වොෂිංටන් පෝස්ට්’ පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස සේවය ආරම්භ කළ ඔහු නොනවත්වාම සෞදි රජයේ දුර්වලතා විවේචනය කළේය. කටාරයට තහංචි පැනවීමද, ලෙබනනය සමඟ පවතින මතභේදයද, කැනඩාව සමඟ පවතින රාජ්‍යතාන්ත්‍රික මතභේදයද, රට තුළ විසම්මුතියට ඉඩක් නොමැති වීම සහ මාධ්‍යයට එල්ලවන තර්ජනද ඔහුගේ විවේචනයට ලක් විය. කාන්තාවන්ට රිය ධාවනයට අවසර දීම වැනි ඔටුන්න හිමි කුමරයා වන මොහොමඩ් බින් සල්මාන්ගේ ඇතැම් ප්‍රතිසංස්කරණ ඔහු අගය කළේය. එහෙත් කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිනියක හා අරාබි ලෝකයේ බලවත්ම කාන්තාවන් 100 දෙනා අතර තුන් වැනි ස්ථානය හිමි කාන්තාව වන ලොව්ජේන් අල් හත්ලොවුල් අත්අඩංගුවට ගැනීම ඔහුගේ දැඩි විවේචනයට ලක්විය. 

2018 දී ඔහු ‘අරාබි ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය’ නමින් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට පියවර ගත්තේය. එය සෞදියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන්ට එරෙහි දේශපාලන තර්ජනයක් ලෙස පෙනී ගියේය. සෞදි රජය වහාබි සම්ප්‍රදායට තහංචි පැනවීම සම්බන්ධයෙන් ඔහු 2018 අප්‍රේල් මාසයේ තීරු ලිපියක් මගින් කියා සිටියේ සෞදි රජය යළි 1979ට පෙර පැවැති යුගය වෙත ගමන් කළ යුතු බවටය. කාන්තාවට පුරුෂයන් හා සමාන හිමිකම් ලැබිය යුතු බවද එමෙන්ම සියලු සෞදි වැසියන්හට සිරගත කරනු ඇතැයි යන බියෙන් තොරව නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දිය යුතු යැයිද කෂෝගි කියා සිටියේය. 

කෂෝගි අවසන් වරට දුටුවේ 2018 ඔක්තෝබර් 2 දින තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලයේදීය. කලින් විවාහයෙන් දික්කසාද වී සිටි ඔහුට තම තුර්කි ජාතික පෙම්වතිය වන හතිස් සෙන්ගිස් විවාහ කර ගැනීම සඳහා දික්කසාද සහතිකය අවශ්‍ය වී තිබිණි. ඔහු සෞදි කොන්සල් කාර්යාලය වෙත ගියේ එම සහතිකය ලබා ගැනීම සඳහාය. තම පෙම්වතිය කොන්සල් කාර්යාලය ඉදිරිපිට නැවතූ කෂෝගි දහවල් 1.30ට පමණ කොන්සල් කාර්යාලයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු විය. කාර්යාල වේලාව සවස 3.30 දක්වා වුවද සවස 4.00 වන තෙක් ජමාල් නොපැමිණි හෙයින් හතිස් කොන්සල් කාර්යාලයෙන් ඔහු පිළිබඳ විමසා සිටියාය. එවිට කොන්සල් කාර්යාලයේ පිළිතුර වූයේ ජමාල් පසුපස දොරටුවෙන් නික්ම ගිය බවයි. තම පෙම්වතා අතුරුදන් වී ඇති බවට ඇය පොලිසියට පැමිණිලි කළේ ඉන් අනතුරුවය. 

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ තුර්කි පොලිසිය සඳහන් කළේ ජමාල් කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවටය. එය සෞදි බලධාරීන් විසින් එය ප්‍රතික්ෂේප කෙරිණි. සෞදි අරාබියේ ඉහළම මට්ටමේ රාජකීය අධිකරණයක් මගින් කෂෝගි ඝාතනය කළ යුතු බවට නියෝග කර ඇති බවද, ඒ අනුව 15 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් තුර්කියට පැමිණ ඔහු ඝාතනය කොට සිරුර කැබලිවලට කපා දමා ඇති බවද වාර්තා වී ඇතැයි 2018 ඔක්තෝබර් 10 වැනි තුර්කි බලධාරීහු ප්‍රකාශ කළහ. සිරුරු කොටස් ඉතා රහසිගතව කොන්සල් කාර්යාලයෙන් ඉවත් කර ඇති අතර එම මෙහෙයුම සාර්ථකව ඉටු කළ බවට සාක්ෂි පිණිස මේ සියල්ල විඩියෝ ගත කර එම විඩියෝ පටය සූක්ෂ්ම ලෙස තුර්කියෙන් පිටකර ඇති බවද ඇතැම් පොලිස් ප්‍රකාශ මගින් පැවසිණි. 

එදින ආරක්ෂක කැමරාවල සටහන් වී තිබූ කොන්සල් කාර්යාලය තුළ සිදුවීම් සියල්ල මකා දමා ඇතැයි තුර්කි පොලිසිය සඳහන් කළේය. එහෙත් කොන්සල් කාර්යාලය ඉදිරිපිට තිබූ ආරක්ෂක කැමරාවේ ඔහු එහි පිවිසෙන අයුරු සටහන් ව තිබුණද, ඉන් පිටවනු සටහන්ව නොතිබිණි.  කොන්සල් කාර්යාලය ඉදිරිපිට ඇති පෙර පාසල් ගොඩනැගිල්ලේ සවි කර ඇති ආරක්ෂක කැමරාවේද කෂෝගි කොන්සල් කාර්යාලය තුළට පිවිසෙනු සටහන් වී තිබුණද ඔහු ඉන් පිටතට පැමිණෙනු සටහන් වී නොමැති විය. කෂෝගි එහි පැමිණි දිනයේ සෞදි කොන්සල් කාර්යාලයේ සේවකයන් හට නිවාඩු ලබා දී තිබූ බවද තුර්කි පොලිසිය සඳහන් කර තිබිණි.
ජමාල් කෂෝගි ඝාතනය කිරීමේ මෙහෙයුම මොහොමඩ් බින් සල්මාන් විසින් ‘අල් මුඛාබරාට් අල් අමාහ්’ නමැති සංවිධානයේ නියෝජ්‍ය නායකයා වන අහ්මඩ් අසිරි වෙත පවරා තිබූ බවට වාර්තා වන්නේ යැයි ‘අල් වක්ත්‘ පුවත්පත සඳහන් කර තිබිණි. ඔහු සමඟ 15 දෙනකුගෙන් යුත් ඝාතක කල්ලියක් ඉස්තාන්බුල්හි සෞදි කොන්සල් කාර්යාලය වෙත පැමිණ ඇතැයි ද සඳහන් විය. මෙම සිදුවීමෙන් පසු කළු පැහැති වාහනයක් කොන්සල් කාර්යාලයේ සිට කොන්සල්වරයාගේ නිවෙස කරා ගමන් කර තිබිණි. 

කෂෝගි සෞදි කොන්සල් කාර්යාලයට පැමිණ සුළු මොහොතකින් යළි ඉන් පිටව ගිය බැව් සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරා වන මොහොමඩ් බින් සල්මාන් කියා සිටියේය. කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් පැතිර යන කටකතා සියල්ල අසත්‍ය යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ සෞදි තානාපති කාලිඩ් බින් සල්මාන් කුමරුද ප්‍රකාශ කර තිබිණි. 

කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් හිටපු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමු විය. ඇමෙරිකානු වැසියකු වන කෂෝගි සෞදි බලධාරීන් විසින් ඝාතනය කර ඇත්නම් සෞදි අරාබියට දැඩි දඬුවම් විඳින්නට සිදු​වන්නේ යැයි ඔහු කියා සිටියේය. එම ඝාතනය සම්බන්ධයෙන් බොහෝ යුරෝපා රටවලින්ද සෞදි අරාබියට චෝදනා එල්ල විය. 

ඇමෙරිකා එක්සත් ජනපදය හා යුරෝපා රටවලින් සෞදියට එල්ල වන චෝදනා සෞදි රජය ප්‍රතික්ෂේප කළේය. ඇමෙරිකාව තමනට සම්බාධක පනවන්නේ නම් එයට එරෙහි ක්‍රියා මාර්ග ගැනීමට තමන් සූදානම් යැයි සෞදි රජය ප්‍රකාශ කළේය. ලොව තෙල් නිෂ්පාදකයන් අතර ප්‍රමුඛ ස්ථානයක සිටින සෞදි රජයට සම්බාධක පනවන්නේ නම් ගෝලීය ආර්ථිකයට විශාල බලපැමක් සිදු කිරීමට තමන්ට හැකි යැයි ඔවුන් ප්‍රකාශ කර තිබිණි. 
ජමාල් කෂෝගි සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සඳහා සෞදි සහ තුර්කි නිලධාරීන්ගෙන් සමන්විත හවුල් විමර්ශන කණ්ඩායමක් යොදවන බවට තුර්කි ජනාධිපති එර්ඩොගන් හා සෞදි අරාබියේ සල්මාන් රජු 2018 ඔක්තෝබර් 14 දින ප්‍රකාශ කළේය. ජමාල් කෂෝගි සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ  තුර්කි කණ්ඩායමෙන් ලබාගත් තොරතුරු මත පදනම්ව  ‘මිඩ්ල් ඊස්ට් අයි’ නමැති පුවත් සේවය කෂෝගිගේ අවසාන මොහොත සිදුවූ ආකාරය පසුව වාර්තා කර තිබිණි. ඒ අනුව කෂෝගි කොන්සල් කාර්යාලයට පැමිණෙන තෙක් බලා සිටි ඝාතක කණ්ඩායම කොන්සල්වරයාගේ කාමරයට යාබද කාමරයකට ඔහු ඇදගෙන ගොස් එහි මේසයක් මත හොවා ජීවත්ව සිටියදීම සිරුර කැබලිවලට කපා ඇතැයි සඳහන්ය. සිරුර කොටස්වලට කපා ඇත්තේ සෞදි අධිකරණ වෛද්‍යවරයකු වූ සාලා මුහමඩ් අල් ටුබයිගි විසිනි. සිරුර කැබලි කිරීම සඳහා ගතවී ඇත්තේ විනාඩි 7ක පමණ කාලයකි. වෛද්‍යවරයා කෂෝගිගේ සිරුර කැබලි කරන තෙක් අනෙක් ඝාතකයෝ සංගීතයට සවන් දෙමින් සිටි බැව් පැවසේ. සෞදි රජයේ අවසරය මත කොන්සල් කාර්යාලයට තුර්කි බලධාරීන් පැමිණෙන විට ඝාතනය පිළිබඳ සියලු සාක්ෂි ඉවත් කර තිබිණැයි ඔවුන් මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.. 

එක්සත් ජනපද බුද්ධි වාර්තාව අනුව කෂෝගි ඝාතනය කිරීමට සෞදි අරාබියේ ඉහළ නිලධාරීන් 21 දෙනකු සහභාගී වී ඇතැයි අනාවරණ කර තිබේ. කෂෝගි සෞදි රාජ්‍යයට තර්ජනයක් ලෙස සැලකූ ඔටුන්න හිමි කුමරු ඔහු  නිහඬ කිරීමට ප්‍රචණ්ඩකාරී ක්‍රියාමාර්ගයක් ගැනීමට  පුළුල් ලෙස සහාය දක්වා ඇතැයි එම වාර්තාවේ සඳහන්ය. කෂෝගිට එරෙහි නිෂ්චිත පියවරක් ගැනීමට සෞදි නිලධාරීන් විසින් කලින් සැලසුම් කර තිබුණද, ඔහුට හානියක් කිරීමට සෞදි නිලධාරීන් කොපමණ කාලයකට පෙර  තීරණය කළාදැයි වාර්තා නොවූ බව* එම වාර්තාව කියා තිබේ.

ඇමෙරිකාවේ පළවන පොලිටිකෝ පුවත්පතට අනුව, සෞදි බුද්ධි අංශ හිටපු නියෝජ්‍ය ප්‍රධානී ජෙනරාල් අහමඩ් අල් අසිරිට කෂෝගි ඝාතනය  සම්බන්ධයෙන් සම්බාධක පැනවීමට නියමිතය. කෂෝගි ඝාතනයට සම්බන්ධ සෞදි ඉහළ නිලධාරීන් රුසකට දැනටමත් අමෙරිකානු සම්බාධක පනවා ඇති නමුත් බුද්ධි වාර්තාව මගින් චෝදනා එල්ල වී ඇති මොහොමඩ් බින් සල්මාන් කුමරුට එරෙහි කිසිදු සම්බාධකයක් පැනවීමට අමෙරිකාව මෙතෙක් කටයුතු කර නොමැති යැයි එරට පුවත්පත් වාර්තා කර තිබිණි.

මෙම ඝාතනයට වගකිවයුතු සෞදි ජ්‍යෙෂ්ඨ නායකයන්ට දඬුවම් කරන බවට ජනාධිපති බයිඩන් මැතිවරණ සමයේ පොරොන්දු වුවද, ඔටුන්න හිමි කුමරු සම්බන්ධයෙන් සම්බාධක පැනවීමක් පිළිබඳව මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත. මෙම ඝාතනය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම සෞදි රජයේ ඉහළ නිලධාරීන් පිරිසක් විසින් භාර ගෙන ඇති බවත්, ඔවුන්ගේ කිසිදු සැලසුමක් පිළිබඳව තමන් නොදැන සිටි බවත් මොහොමඩ් බින් සල්මාන් වරක් ප්‍රකාශ කර තිබිණි.
ඇමෙරිකානු බුද්ධි අංශ වාර්තාව පළවූ විගස සෞදි රජය මගින් මෙහෙයවන සෞදි පුවත්පත් ඒජන්සිය හරහා වාර්තාවට ප්‍රතිචාර දැක්වීය. වාර්තාවේ එම්බීඑස් නමින් හැඳින්වෙන මොහොමඩ් බින් සල්මාන් මෙම ඝාතනය මෙහෙයවූ බවට කර ඇති  ප්‍රකාශය හෙළා දකිමින් සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශය පහත සඳහන් ප්‍රවෘත්ති නිවේදනය නිකුත් කළේය.

“මෙම වාර්තාව අසාධාරණ හා සාවද්‍ය නිගමන සහිතව නිකුත් කිරීම සැබවින්ම අවාසනාවකි. සෞදි රජය මෙම කුරිරු අපරාධය පැහැදිලිවම හෙළා දැක ඇති අතර, එවැනි ඛේදවාචකයක් නැවත කිසි දිනෙක සිදු නොවීමට රාජ්‍ය නායකත්වය අවශ්‍ය පියවර ගත්තේය. අපගේ රාජ්‍යයේ නායකත්වය, ස්වෛරීභාවය සහ එහි අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය උල්ලංඝනය කරන ඕනෑම ක්‍රියාවක් ප්‍රතික්ෂේප කරන්නෙමු යනුවෙන් එහි සඳහන් විය.

35 හැවිරිදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, කෂෝගි ඝාතනයට තමා නියෝග කළ බවට වන චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, ඝාතකයන් සම්බන්ධයෙන් පියවර ගත් බව පවසා ඇත. කෂෝගිගේ ඝාතනයට සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයන් අට දෙනෙකු සෞදි රජය මගින් අත්අඩංගුවට ගැනුණු අතර ඉන් පස් දෙනෙකුට මරණ දඬුවම නියම කළද පසුව  පසුව සියල්ලන්ම සිර දඬුවමකට යටත් කෙරිණි.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා