අලුත් අවුරුදු නැකැත් අනුගමනය කිරීම සහ චාරිත්‍ර විධි ඉටුකිරීම වර්තමාන සමාජයෙන් කෙමෙන් ක්ෂය වෙමින් පවතිනු දැකගත හැකිය. එයට විවිධ සමාජමය හා ආර්ථික හේතු බලපායි. එසේ වුවද මේවා අනුගමනය කිරීම නිසා සමාජය තුළ නැවුම් බවක් සහ අලුත් පිබිදීමක් ඇතිවේ. අලුත් අවුරුදු චාරිත්‍ර විධි ඉටුකිරීම කොතරම් දුරට වැදගත් වන්නේද යන්න පිළිබඳ සමාජයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන කිහිප දෙනෙකුගෙන් අපි විමසීමු.
චාරිත්‍ර නොකළත් අපල නැහැ
සෑම සමාජයකටම ඒ සමාජය සම්මත කරගත් නීති සමුදායක් ඇත. චාරිත්‍ර වන්නේ එලෙස සමාජය සම්මත කරගත් නීති වේ. චාරිත්‍ර යනු එක් අයකු පමණක් සිදුකරන හෝ එක් අයකු පමණක් පටන්ගත් දෙයක් නොවේ. ආදි කාලයේ සිට කරගෙන එන ඒවා තමා චාරිත්‍ර වන්නේ. නීතිය බලය ඇති ඕනෑම කෙනකුට නිර්මාණය කරගෙන පැනවිය හැකි නමුත් චාරිත්‍ර එසේ නොවේ. චාරිත්‍ර නීති මෙන් පොත්වල ලියා ඇත්තේ නැත. එසේ ලියා නොමැති යැයි අනුගමනය කිරීමට කිසිදු බාධාවක්ද නොමැත.
චාරිත්‍ර කොටස් දෙකකට බෙදේ. යහපත් චාරිත්‍ර සහ අයහපත් චාරිත්‍ර වශයෙනි. සෑම චාරිත්‍රයක්ම යහපත් හෝ අයහපත් වන්නේ නැත. යහපත් චාරිත්‍ර අනුගමනය කිරීමෙන් යහපත් ප්‍රතිඵලද, අයහපත් චාරිත්‍ර පවත්වාගෙන යාමෙන් නරක ප්‍රතිඵලද ලැබේ.
සිංහල අවුරුදු සමයේ මේ සිංහල රටේ සකස් කරගෙන අනුගමනය කරන චාරිත්‍ර ඇත. එයට බලපෑම් පැමිණියේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය ඇසුරෙනි. මිනිස් අවශ්‍යතා මත සහ සාරධර්ම අනුව සකස් කර ඇත්තේ එම චාරිත්‍රයි. සෑම යහපත් චාරිත්‍රයක්ම නිර්මාණය වන්නේ කිසියම් සාරධර්මයක් පදනම් කරගෙනය. ඒ තුළ මනෝ විද්‍යාව සහ සමාජ විද්‍යාව අන්තර්ගතය. සාරධර්ම යනු යම් ගුණධර්ම සමූහයකි. එහෙත් ඒවා පින් පවු නොවේ. කුසල් අකුසල්ද නොවේ. පින් පවුවලට සෑම සමාජ චාරිත්‍රයක්ම වැටෙන්නේ නැත. ඇතැම් වෙලාවට යහපතද අයහපතද නොවනවා ඇත. පුද්ගල අවශ්‍යතා මත නිර්මාණය වූ සත්‍ය ඒවාය.
සිංහල අවුරුදු චාරිත්‍ර කොටස් තුනකට බෙදේ.
පරණ අවුරුදු චාරිත්‍ර
පරණ අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමෙන් අදහස් වන්නේ පරණ අවුරුද්ද අවසන් කිරීමය. එය දිගටම පවත්වාගත නොහැකි නිසා අලුත් අවුරුද්ද ආරම්භයේදී පරණ අවුරුද්ද නිමකළ යුතුය. බුද්ධාගම අනුවද පටන්ගැනීමට වඩා නිමකිරීම වැදගත් වේ. පසුගිය වසරේ දින 365 තුළ ගමන් කළ සූර්යයා මේෂ රාශියේ සිට මීන රාශියට එයි. එවිට පරණ අවුරුද්ද අවසන් වේ. මෙතෙක් කරගෙන පැමිණි ක්‍රියාවලිය අවසන් කිරීම තමා පරණ අවුරුදු චාරිත්‍රය වන්නේ. මෙය සෑම ආගමිකයකුටම, ජාතිකයකුටම කළ හැක. සිංහල අපටය කියා සුවිශේෂ තත්ත්වයක් නොමැත.
අලුත් අවුරුදු චාරිත්‍ර
පරණ අවුරුද්දට අත්හල චාරිත්‍ර නැවත පටන් ගනී. මෙය සිදුවන්නේ නැකතට අනුකූල වන ලෙසටයි. අලුතින් ආරම්භ කිරීමෙන් අලුත් ගැම්මක් නැවුම් බවක් ඇතිවේ. එය මුළු අවුරුද්දම සාර්ථක වීමට මහෝපකාරී වේ.
අන්තර් කාලයේ අවුරුදු චාරිත්‍ර
පරණ හා අලුත් අවුරුද්ද අතර ඇති තීරුව පුණ්‍ය කාලය වේ. සංක්‍රාන්ති සමය, නොනගතය, නැකැත් නැති වෙලාව යැයිද මෙය හැඳින්වේ. මෙය ආගමික ආධ්‍යාත්මික ජීවිතය සඳහා වෙන්කළ කාලය වේ. බෞද්ධයා පන්සල්වලට, කතෝලිකයා පල්ලිවලට, හින්දුන් කෝවිල් කරා යනු ඇත.
එහෙත් මෙම චාරිත්‍ර කළා නොකළා යැයි හොඳක් නරකක් සිදුවේද? බුදුන් තරහවේද? දෙවියන් අමනාපවේද? සමාජ විවේචනවලට භාජනය වේද? මෙය සලකා බැලිය යුතුවෙයි. මෙම චාරිත්‍ර යැයි කියන්නේ ආගමික කාර්යයක් පමණක්ම නොවේ. එය ආරම්භයේ සිටම ආගමික උළෙලක් කරගෙන නොමැත. එය ජාතික එකමුතුභාවය, සමගිය වර්ධනය කරන ජාතික අනුරාගය මතුකරන සාමූහකත්වයේ සංකේතය වේ. මේවා ඉටු නොකළා යැයි අපල හෝ පවු සිදුවන්නේ නැත. චාරිත්‍ර කළත් නොකළත් කමක් නැහැ කියන්නේ හුදකලා වූ අයයි. ජනතාව පොදු අවශ්‍යතා සඳහා සමූහගතව කටයුතු කිරීමක් මෙයින් අදහස් කෙරේ.
♦ මහාචාර්ය පාතේගම ඥානිස්සර හිමි
හොඳ සිරිත්වලින් හරි සමාජයක් හැදෙනවා
වත්මනෙහි බොහෝදුරට මවුපිය දූ දරු සම්බන්ධතා, ඥාති සම්බන්ධතා ඈත් වී යන සෙයක් දක්නට ලැබේ. අලුත් අවුරුදු දිනයේ දෙමව්පියන් බැලීමට යාම, බුලත් හුරුල්ලක් දී වැඳීම, ඥාතීන් ගුරුවරුන් හමුවීමට ගොස් පරණ තරහ ඇත්නම් අමතක කොට සුවදුක් විමසා බලා බුලත් දී වැඳීම ආදිය අලුත් අවුරුදු චාරිත්‍ර අතර සුවිශේෂී තැනක් ගනී. මේ දිනයේදී එවැනි වූ සත් කටයුතු මතක් කර දීමෙන් සබඳතා වැඩි දියුණු කොට යහධර්ම ගොඩනැංවීමට මං සැලසෙනු ඇත.
අවුරුදු දිනයේ සෑම ගෙදරකම කිරිබතක් ඉදෙන්නේ එකම නැකැත් වෙලාවකටය. අනුභව කරන්නේද එකම නැකැතකටය. මුළු රටේම ජනයා මෙසේ එක විටෙකදී නැකැත් ඉටුකිරීම සමාජ සාමූහිකත්වය ගොඩනැංවීම සඳහා මහෝපකාරී වනු ඇත. ගෙදර සියලුදෙනාම එකට එකතු වී ආහාර අනුභව කිරීමට ලැබීම ඉතා අගය කොට සැලකිය හැකිය.
එහෙත් අද කාර්යබහුල වූ සමාජය දෙස බලන විට මේවා ක්‍රියාවට නැංවීම සඳහා ඉඩකඩ ලැබේද යන්න ප්‍රශ්නයකි. ගම්බද ප්‍රදේශවල තරමක් හෝ අවුරුදු චාරිත්‍ර ඉටුකරනු දක්නට ලැබුණත් නගරබදව නම් බොහෝ දුරට එසේ නොවේ. අපි කුඩා කාලයේ වැඩිහිටියන් චාරිත්‍ර ගැන උනන්දුවෙන් ඇපකැප වී කටයුතු කරනු දුටුවෙමු. එහෙත් දැන් දැන් එලෙස සිදුවෙන බවක් නොපෙනේ. ගෙවල් පිරිසුදු කිරීම, අලුත් ඇඳුම් මැසීම, තෑගිබෝග පිරිනැමීම ආදිය ගැන එතරම් උනන්දුවක් දන්වන බවක් නොපෙනේ.
මෙයට වත්මන් පරපුර වෙත කිසිසේත් දොස් තැබීමද කළ නොහැකිය. ජීවත් වීම සඳහා නව තාක්ෂණය සමඟ ඇතැවී ඇති සුඛෝපභෝගී ජීවිත ගතකිරීමේ ලැදියා වර්ධනය හා එක්නෙකා පරයා ඉහළින් සිටීමේ නොතිත් ආශාවත් නිසා මිනිස්සු ඉවක් බවක් නැතිව මුදල් ඉපයීම සඳහා වෙහෙසෙති. සාරධර්ම සිරිත් විරිත් දෙවැනි කොටවත් සලකනු නොපෙනේ. ගම්බදින් රැකියා සඳහා නගරබදට පැමිණ සිටින අයට දෙමාව්පියන් ඥාතීන් බැලීමට යාමට කාලය වෙන්කර ගැනීමට අසීරු වී ඇත. කෙරෙන රැකියාව අනුවද සේවා ස්ථානවලින් යාමට හැකියාවක් නැත. බොහොමයක් දූ දරුවන් සිටිනුයේ දුරබැහැර ප්‍රදේශවලය. නැත්නම් රට රටවල්වලය. ඒ නිසා දෙමව්පියන් බැලීමට ඒමට අවකාශයක් නැත. මෙතරම් බණ දහම් දෙසන රටක, දෙමව්පියන් මහමඟ දමා යන, නොසලකා හරිනු ලබන පුවත් නිතර ජනමාධ්‍ය තුළින් දැකගත හැකි වන්නේ ඒ නිසාය. යුතුකම් හඳුනන අතළොස්සක්ද නැතුවා නොවේ.
එමෙන්ම අපේ සංස්කෘතික දායාදයන් වන කෙළිසෙල්ලම් කලඑළි බසින්නේද මෙවැනි දිනකදීය. එල්ලේ චක්ගුඩු, එළුවන් කෑම, පංච දැමීම, වළකජු ගැසීම ආදී බොහෝ ක්‍රීඩා අද දරුවන් හඳුනන්නේවත් නැත. භාවිතයේ නැති මේ ක්‍රීඩා කුමකටදැයි කෙනකු ඇසිය හැකිය. එහෙත් අපේ දේ දරු පරපුර වෙතට යාමටත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය රැකගැනීම සඳහාත්, ජාතික දේවල් අගය කිරීම සඳහාත් මෙය මනා පිටිවහලක් වනු ඇත.
ආයුර්වේද වෛද්‍ය සේවාවේ අගය පෙන්වා දෙන හිසතෙල් ගෑමේ චාරිත්‍රයද, නොනගතය අවස්ථාවේ ආගමික කටයුතු සඳහා වෙන්කොට තිබීමද තවත් වටිනා අංගයක් වේ. පොහෝ දිනයේවත් පන්සල් නොයන අය මෙදිනවත් එය ඉටුකරන්නේ නම් අගය කළ යුත්තකි. අවුරුදු උත්සව පැවැත්වීම තුළින් තරුණ පරපුරේ සහයෝගීතාව එකමුතු බව වර්ධනය වන අතර ඔවුන්ගේ හැකියාවන් පෙන්වීමටද අවස්ථාව උදාවනු ඇත. තනි තනිව මුහුණු පොතටම බැඳී සිටින තරුණ තරුණියන්ට නිදහසේ කණ්ඩායම් හැඟීමෙන් ක්‍රියා කිරීමට ඉඩහසර ලබාදිය හැකි වන්නේය.
♦ විශ්‍රාමික විදුහල්පතිනි, ශාස්ත්‍රපති
සීතා සඳසීලි විල්ආරච්චි
අවුරුද්ද කියන්නේ “සිරිත් විරිත්” මංගල්‍යයක්
සිංහල අලුත් අවුරුදු උත්සවයේදී විශේෂයෙන් කැපී පෙනෙන්නේ නැකැත් අනුව වැඩ කිරීම සහ සිරිත් විරිත් පැවැත්වීමයි. අතීතය හා වර්තමානය සසඳා බැලූ විට පෙනෙන්නේ නැකැත් වෙනස් වී නැති නමුත් ඒවා අනුගමනය කිරීම සහ සිරිත් විරිත් පැවැත්වීම යම් යම් යුගවලදී වෙනස් වෙමින් පැවති බවය. ශතවර්ෂ ආරම්භ වීමට පෙර සිරිත් විරිත් ආරම්භ කළාද නොඑසේනම් ඊට පසුව ආරම්භ වූවාද කියා නිශ්චිතව කිව නොහැකිය. කොයි කාලේ සිරිත් විරිත් පටන් ගත්තාද යන්න පැවසීම අපහසු වේ. විවිධ අවධිවලදී ඒවා වෙනස් වූ බව නම් පෙනෙන්නට තිබේ.
පැරැණි රජ කාලයේදී නොනගතය සම්බන්ධ සිරිත් විරිත් වෙනස් ලෙස අනුගමනය කළ බවක් සඳහන් වේ. පරණ අවුරුද්ද අවසන් වී අලුත් අවුරුද්ද පැමිණෙන විට දැනට වසර 200 – 300කට පෙර ජීවත් වූ ජනතාව තම ගෙදර තිබෙන සියලු බඩු භාණ්ඩ ගෙයින් පිටතට දමන සිරිතක් පැවතුණි. මුළුතැන්ගෙයි ළිප්ගල් පවා ගලවා පිටතට දමයි. ඉන්පසු නොනගත කාලයේදී ඔවුන් නිවෙස්වලින් පිටවී එළියේ ගස් යට ජීවත් වූ බව දැනගන්නට ඇත. එහෙත් අද වනවිට එවැනි සිරිත් නොමැත.
මුල් අවධියේදී අලුත් අවුරුද්දට සඳ බැලීමේ චාරිත්‍රයට ප්‍රමුඛත්වය දුන් අතර ගෙදර මූලිකයා නිවෙස් කඩුල්ල ළඟට වී සඳ පායන තුරු බලා සිට නැකතට ගෙදර සියල්ලන්ම කැඳවා සඳ පෙන්වීම සිදුකළේය. අතීත සමාජය ඉර - හඳ සංකල්පය මත ගොඩනැගුණු නිසා මෙලෙස චන්ද්‍ර චාරිත්‍රයට ප්‍රමුඛත්වය දුන් බව පෙනේ. අතීතයේ තිබුණේ සඳ අනුව සකස් කළ චන්ද්‍ර මාස ක්‍රමයකි. ඒ නිසා සඳ වැදගත් විය. අද රාත්‍රියට “ලයිට්” දිහා බලනවා මිස කුඩා දරුවන් සඳ දෙස බලන්නේ නැත. සඳක් පායනවාදැයි දන්න අයද අඩුය.
නොනගතය ගතකිරීම ඕනෑ කෙනකුට අපහසුවක් නොමැතිව සිදුකළ හැකිය. මෙයින් අදහස් කරන්නේ එක්තරා කෙටි කාලයක් ආහාර ගැනීමෙන් වැළකී කුසට නිදහසක් දීමයි. තුන්සිය හැටපස් දවසේම කුස පිරෙන්නට ආහාර ගැනීමට පුරුදුව සිටින ජනතාවට කෙටි කාලයක් හෝ එයින් නිදහස් වීමට හැකිනම් එය සෞඛ්‍යයට යහපත් වේ.
එසේම එකම වෙලාවකට ගිනි මෙලවීමද අවුරුදු චාරිත්‍රයකි. නැකැතේ සඳහන් වන්නේ ළිප් බැඳ ගිනි මෙලවීමයි. එහෙත් අද අලුතෙන් ළිප් බඳින අය නොමැත. බොහෝ දෙනා තිබෙන ළිපේම නැකැතට ගිනි මොලවයි. අද බහුලව ඇත්තේ ගෑස් ළිප් නිසා ළිප් බැඳීමක් නොමැති අතර නැකැතට බැලිය යුතු පැත්තද බැලීමට නොහැක්කේ ළිප පිහිටා තිබෙන අයුරු නිසාය. ඒ නිසා කුමන පැත්තක් හෝ බලා ළිප් මොලවයි. නැකතට අනුභව කිරීම අද බොහෝවිට කෙරෙන චාරිත්‍රයකි. රටේ ජනතාව සියලු දෙනාම එකම මොහොතක ආහාර ගැනීම අද ලොව කිසිදු රටක කෙරෙන්නක් නොවෙයි.
හිසතෙල් ගෑමේ චාරිත්‍රයද අද වැඩි වශයෙන් සිදුකරයි. ළඟ පන්සලට හෝ වෙනත් ප්‍රභූවරයකුගේ ස්ථානයකට ගොස් හිසතෙල් ගෑමට පුරුදුව සිටින බව පෙනේ. එහෙත් අද වනවිට මෙදින සේවා ස්ථානවල නිවාඩු දිනයක් නොවූ විට එය අනුගමනය කිරීම දුෂ්කර වේ. එවැනි අවස්ථාවල තම තමා සේවය කරන ස්ථානවල හිසතෙල් ගෑමේ අවස්ථා ඇතිකළ හැකිනම් වැදගත් වේ. රැකී රක්ෂා සඳහා නැකැතට පිටත්ව යාම එදාමෙන් අද කළ නොහැකියි.
කෙසේ වුවද අවුරුදු නැකැත් චාරිත්‍ර සම්පූර්ණයෙන් ඉටු නොකර අතහැරීමට වඩා තම තමාට පුළුවන් අන්දමට හෝ ඒවා ඉටුකිරීමට වැදගත් බව කිව යුතුය.
සමහරුන් සිරිත් විරිත් යන්න පටලවාගෙන ඇති අතර සිරිත් යනු අනුගමනය කළ යුතු දේවල් වන අතර විරිත් යනු නොකර සිටිය යුතු දේවල්ය. අවුරුද්දට සිරිත් විරිත් දෙකම අනුගමනය කළ යුතු බව අමතක නොකළ යුතුයි.
♦ රාජ්‍ය සම්මානලාභී ලේඛක
සෝමවීර සේනානායක
අවුරුද්දේ පදනම නැකතයි
පුරා වසරක් රාශියෙන් රාශියට ගමන් කරන සූර්යයා තම අන්තිම රාශිය වූ මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් නව වසරක් උදාවේ. සූර්යයා සියලු සත්ත්වයාටත් ගහකොළ සැමටත් ජීවය ලබාදෙයි. හිරු මේෂ තුළින්ද උච්ච වනවිට මිනිසාගේ සිතුම් පැතුම් ආත්ම වර්ධනය, ජීවගුණය වැඩිදියුණු කරයි. හිරුට දෙවියන් ලෙස මිනිසුන් එදා වන්දනා මාන කළේ ඒ නිසයි. හිරුගේ ශක්තියෙන් මිනිසාට ජීවය ලැබෙන හෙයින් ආදි මුතුන්මිත්තන් හිරු සඳු දේවත්වයෙන් සැලකූ හැටි මේ කවියෙන් පැහැදිලි වේ.
“උදයට පායන හිරු දෙවියන්ටයි
සවසට පායන සඳ දෙවියන්ටයි
මාගේ ගුරුවර දෙමා පියන්ටයි
වැඳ වැඳ පින් දෙමි නිවන් දකින්ටයි”
නැකැත් චාරිත්‍රයේ පළමු අංගය උදාවන්නේ පරණ අවුරුද්දට ස්නානය කිරීමෙනි. නිවසේ සැවොම ස්නානය කරන්නාක් මෙන් තමාට වසර පුරා ගොවිතැනට උදවු කළ මීගවයන් හා කිරියෙන් පෝෂණය කළ කිරි ගවයන්ද නාවා පිරිසුදු කර ඔවුන්ට නිදහසේ ඉන්නට සලස්වනවා ඇත.
පුණ්‍ය කාලය එලැඹෙත්ම මල් පහන් රැගෙන විහාරස්ථානයට එක්රොක් වන ගැමියෝ ආගමානුකූල කටයුතුවල යෙදෙමින් තමාගෙන් සිදුවූ අඩුපාඩු වැරදි සිහිකරමින් ඉදිරි වසරට මුහුණදීමට තෙරුවන් ආශිර්වාදය ලබා ගනිති.
මේ පුණ්‍ය කාලය උපවාස කාලයයි. තුන්වේලක් ආහාර ගන්නා අප ලිප් ගිනි නිවා ඊළඟ නැකැත් වාරය උදාවනතුරු උපවාස කාලයකට යොමුව නිරාහාරව සිටීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට පිටුවහලක් වේ. බුදුන් වහන්සේ පවා වදාළ උපවාස ක්‍රමය භික්ෂූන් වහන්සේලා දෙවේලක් දන් වළදා රාත්‍රියට නිරාහාරව සිටීම, පෙහෙවස් සමාදන්වන උවසු උවැසියන් රාත්‍රියට නිරාහාරව සිටීම, මුස්ලිම් බැතිමතුන් රාමසාන් මාසයක් උපවාස සමය ගත කිරීම වැනි කරුණු සලකා බැලීමේදී පෙනී යන්නේ සිංහල අවුරුද්දක් උදාවන මොහොතක වසරකට වරක් පුණ්‍ය කාලය හෙවත් නොනගතය ඇති විටෙක කෑමෙන් බීමෙන් වැළකී වත් පිළිවෙත්වල යෙදී සිටීම එක්තරා ශීලමය වෘතයක් ද වන බවයි. ශාරීරික නිරෝගී බවටද බෙහෙවින් උපකාරී වෙයි.
පුණ්‍ය කාලය තුළ උදාවන නොනගතය හෙවත් නැකත් නැති කිසිදු වැඩක් නොකරන කාලය උදාවන්නේද වසරකට වරකි. අන් හැම දිනම අප කුමක් හෝ කාර්යයක නිරතවූවත් මේ කාලයේදී ආගමික කටයුතුවලට පමණක් තැන දී කටයුතු කිරීම බෙහෙවින් අගේ කළ යුතුය. වසරක් පුරා වෙහෙසී වැඩකර අලුත් වසරක් උදාවනතුරු වැඩ අත්හැරීම වැදගත්ය.
ළිපගිනි මොලවා ආහාර පිසීම සැලකීමේදී එය ඉතා වැදගත් චාරිත්‍රයකි. මුළු රටේම ජනතාව එකම වේලාවක තමා පිරිසුදු කර සකසා ගත් ළිප මොලවා කිරිබතක් හත්මාලුවක් සකසා ගැනීම නිවසට හා නිවැසි සැමට ආශීර්වාදය පිණිස කිරි ඉතිරවීම අලුත් නැවුම් බලාපොරොත්තුවක් ඇතිකරගන්නකි.
නිවසේ අය වෙනදාට විවිධ වේලාවන්වලදී ආහාර ගත්තත් මෙදින එකම කෑම මේසයකදී එකම දිසාවක් බලා ආහාර ගැනීම සිදුකරයි. අවුරුදු කුමරා සිහිගන්වමින් කෑම ගොටුවක් ගෙයි දොරකඩ තැබීමත් සිදුකරයි. කොවුල් නදත්, රබන් හඬත් නැකැත් සිරිත් එකට එක්ව සමගිය වැඩිහිටි ගෞරවය සුහදත්වය පෙන්නුම් කරන හෙළයේ ජාතික සැණකෙළිය මත්පැන් බෝතලයට, දුම්වැටියට සූදුවට ගොදුරු කර තිබීම අභාග්‍යයකි. මානව දයාවෙන් ප්‍රීති ප්‍රමෝදයට පත්වන මොහොතක මත්වතුරෙන් කුස පුරවා කඳුළ වේදනාව උරුම කරවන්නට තැත් කිරීම නවතාලන්නට කාලය එළැඹ තිබේ.
ගෙදරකින් ගෙදරකට කැවිලි පිඟානක් හුවමාරු කර ගනිමින්, පිඟානකට හාල් පොල් දමා හුවමාරු කරගනිමින් අසල්වැසියන් හා බැඳුණු මිත්‍රත්වය මතු පරපුරට දායාද කිරීමට ඉඩ සැලසීමට සිංහල අලුත් අවුරුද්දේදී අදිටන් කරගනිමු.
♦ ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
සමන් ගුණසේන
අලුත් අම්බලම