2021 මාර්තු 06 වන සෙනසුරාදා

පාස්කු වාර්තාවෙන් පස්සේ ශ්‍රීලනිපය ඇතුළේ කැළඹිල්ල

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 17

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති කිරීමේ සටනට දායක වුණේ පොහොට්ටුවත් ශ්‍රීලනිපයත් අතර ඇති කරගත් රහසිගත ගිවිසුමකට අනුවය. එම ගිවිසුමට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිහිටුවන ආණ්ඩුවක ශ්‍රීලනිපයට හිමි වරප්‍රසාද සඳහන් කර තිබුණි. එම වරප්‍රසාද බලය ලැබීමෙන් පසුව දෙන බවට ලබාදුන් පොරොන්දුව අනුව ශ්‍රීලනිපය ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමේ මල්වට්ටියට අත ගැසීය.

එහෙත් ජනාධිපතිවරණයත්, මහ මැතිවරණයත් නිම වී මාස කිහිපයක් ගතවීමත් සමඟ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා විශාල ප්‍රහාරයක් ආණ්ඩුවට එල්ල කරමින් පවසා සිටියේ ජනාධිපතිවරණයේදී තමන්ට ලබාදුන් පොරොන්දු එකක් හෝ හරිහැටි ඉෂ්ට කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවය. කොටින්ම ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හමුවීමට අවස්ථාවක් පවා ලබා නොදෙන තැනකට පත්ව ඇති බව ඔහු එළිපිට කීවේය. 

මේ හේතුවෙන් ශ්‍රීලනිපයත් පොහොට්ටුවත් අතර බැඳීමේ පලුද්දක් ඇතිවෙමින් පවතින බව බැලූ බැල්මට පේන්න තිබුණේය.

කෙසේ වෙතත් ශ්‍රීලනිපයත් පොහොට්ටුවත් අතර තිබු ගිවිසුම කුමක්ද යන්න ඒ කිසිම අවස්ථාවක කිසිවකු කීවේ නැත. එහෙත් අප සොයාගත් කරුණු අනුව එම ගිවිසුමේ ප්‍රධාන වශයෙන් මෙම කරුණු අන්තර්ගතව තිබූ බව අනාවරණය විය.
01. මහ මැතිවරණයට අදාළව දිස්ත්‍රික්ක අපේක්ෂක ලැයිස්තුවෙන් 1/3ක් ශ්‍රීලනිපයට හිමිවිය යුතුය.

02. පිහිටුවන ආණ්ඩුව තුළ කැබිනට් අමාත්‍යධූර 04ක් හා රාජ්‍ය අමාත්‍යධුර හෝ නියෝජ්‍ය අමාත්‍යධූර 3ක් හිමිවිය යුතුය.

03. ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර දෙකක් හිමිවිය යුතුය.

04. ආණ්ඩුකාර පදවි දෙකක් හිමිවිය යුතුය.

05. වෙනත් තනතුරු සංඛ්‍යාවක් ලැබිය යුතුය.

මේ යෝජනා පහෙන් එකක් හෝ රජය විසින් තමන්ට ඉටුකළේ නැතැයි ශ්‍රීලනිපය කියයි. මේ නිසා ශ්‍රීලනිපයේ කලකිරීම එන්න එන්නටම ඉහළ යන්නට විය.

මේ කලකිරීම මත ශ්‍රීලනිපය බලා සිටියේ කෙසේ හෝ පාස්කු කොමිසම හරහා තම නායකයා වන හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ල නොවී තිබෙනු ඇතැයි කියාය. එහෙත් ඒ සියල්ල කණපිට හරවමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ කොමිසමෙන්ම ඔහුට විරුද්ධව අපරාධ චෝදනා යටතේ නඩු පවරන ලෙසට නිර්දේශ කර තිබුණි. ශ්‍රීලනිපය කිසිදු මොහොතක එවැනි ප්‍රතිඵලයක් අපේක්ෂා නොකළ අතර ශ්‍රීලනිපයේ ඉහළ ස්ථරය තව තවත් ආණ්ඩුව කෙරෙහි කලකිරීම දෙගුණ තෙගුණ විය.

ඒ නිසාම බොහෝ දෙනා බලා සිටියේ මේ හරහා ශ්‍රීලනිපය ආණ්ඩුවට එරෙහි කුමන තීන්දුවක් ගනු ඇතැයිද කියාය. ඒ අනුව පළමු වෙඩි ප්‍රහාරය එල්ලකරමින් ශ්‍රීලනිපය සඳහන් කර සිටියේ මේ වාර්තාවට අනුව වැරුදිකරුවන්ට දඬුවම් ලබා නොදී ඇති නිසා මෙය පිළිගත නොහැකි බව කියාය. මෙම ප්‍රශ්නය අවසානයේ ශ්‍රීලනිපයේ විධායක කමිටුව තෙක් ඇදී ආවේ මේ කොමිසම් වාර්තාවේ අවුල් සහගත තැන් සාකච්ඡා කිරීමේ අරමුණ ඇතිවය. එහිදී එම විධායක කමිටුවේ නිර්දේශ වුණේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොමිසම පත්කරනු ලැබූ මූලික පරමාර්ථය ඉටු නොවී ඇති බවය. එනම් රාජ්‍ය සේවකයන් මේ සඳහා වගකිව යුතුද යන්න කොමිසමට සෙවීමට බලතල ලබාදුන් බවත් එහෙත් කොමිසම බලය ඉක්මවා කටයුතු කර ඇති බවත් එහිදී තිරණය වී තිබෙන බවය.

විධායක කමිටුවේදී දිගින් දිගටම සාකච්ඡා වී ඇත්තේ පාස්කු කොමිසම මගින් මෛත්‍රීපාල සිරිසේන මහතාට චෝදනා එල්ල කිරීම වරදක් බවය. ඒ නිසා අසම්පූර්ණ සහ සකස් නොකරන ලද වාර්තාවක් ලබාදීම නිසා කොමිෂන් වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට මෙහිදී විධායක කමිටුව තීරණය කර තිබේ.

කෙසේ වෙතත් පාස්කු වාර්තාව සමඟ ශ්‍රීලනිපය තුළ කැළඹීම උත්සන්න වී ඇත. ඊට කදිම උදාහරණයක් වන්නේ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි විසින් සිදුකළ ප්‍රකාශයකි. ආසන බල මණ්ඩල රුස්වීමට චන්දිම වීරක්කොඩිට ආරාධනා නොකිරීම හේතුවෙන් ඇති වූ අවුලක් මේ රිදෙන ප්‍රකාශයට මූලික වී තිබිණි. ඔහු සඳහන් කර සිටියේ ආණ්ඩුව ක්‍රමයෙන් ජනතාවගේ අප්‍රසාදයට යන බවත් තවදුරටත් තම පක්ෂය අත්හැර ආණ්ඩුව යන්නේ නම් ජනතාව සමඟ එකට හිටගන්නා බවත්ය. විශේෂයෙන් ආණ්ඩුවේ ගමන සම්බන්ධයෙන් ඔහු දැඩි විවේචනයක් ඉදිරිපත් කළේය.

මේ ආකාරයෙන් ආණ්ඩුව සමඟ ඇති අවුල එන්න එන්න උග්‍ර අතට හැරෙමින් පවතින මොහොතක පසුගිය දවසක මධ්‍යම කාරක සභාවට යොමුකළ යෝජනාවකදී සඳහන් වුණේ ඉදිරි මැතිවරණවලදී පොහොට්ටුව සමඟ සන්ධානගත නොවිය යුතු බවය. එසේම යම් සන්ධාන ගතවීමක් සිදූවනවා නම් එහි නායකත්වය ශ්‍රීලනිපය ගතයුතු බවත් එම යෝජනාවල සඳහන් වී තිබුණේය. මේ ආකාරයෙන් පොහොට්ටුව සමඟ ගැටෙන තැනකට පත්ව ඇති මොහොතක එහි ඇතැම් සාමාජිකයන් යෝජනා කර ඇත්තේ මීළඟ පළාත් සභා මැතිවරණය සඳහා වෙනම තරග කළයුතු බව කියාය. ඒ අනුව බහුතරයක් දෙනා සූදානම්ව සිටින්නේ වෙනම ගමනක් යාම සඳහාය. විශේෂයෙන් නාමයෝජනා ලබාදීමේදී අසාධාරණයට ලක්වුණු බොහෝ දෙනෙක් සිටින්නේ වෙන්ව ගමනක් යාමටය. එහෙත් ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සිටින්නේ පොහොට්ටුව සමඟ එක්ව ගමනක් යායුතු කියන තැනකය. යම් ආකාරයකින් පොහොට්ටුවෙන් ඉවත්ව ශ්‍රීලනිපය තනිව ගමනක් යාමට උත්සාහ කළහොත් කිහිපදෙනෙක් ශ්‍රීලනිපයෙන් ඉවත් වීමටද මෙහිදී තීරණය කර ඇත.

මේ වෙන්ව යාමට හදන ගමනත්, ආණ්ඩුව විවේචනයත් නිසා ශ්‍රීලනිපය තුළද යම් ගැටුමක් වර්ධනය වන්නට පටන් ගෙන ඇත. ඒ පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ එම තනතුරෙන් ඉවත් කරන ලෙසට පිරිසක් මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටීම හේතුවෙනි. එහෙත් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබී ඇති අතර එය බහින් බස්වීමක් දක්වා ඉහළට ඇදී ගිය බව දැනගන්නට ඇත.

දැනුම් දී ඇත. එහෙත් පුදුමය නම් ශ්‍රීලනිපය විරෝධතා දක්වන්නේ ඔවුන්ගේ නායකයා විසින්ම ජනාධිපතිවරයා සමයේ පිහිටවූ කොමිසමකට එරෙහි වීමය. ඒ නිසා ඒ ගැන පොහොට්ටුවට ඇති තරම් උත්තර ඇත. එහෙත් තවම ඒ උත්තර ලැබී නැත. කෙසේ වෙතත් කෙතරම් කෑ ගැසුවත් දේශපාලන භූමියේ ඇතැම් අවස්ථාවල කියන තරම්ම දෙයක් වෙන්නේ නැත. ශ්‍රීලනිප මේ රුල්ල කුමක් සඳහාද, කුමක් වෙනුවෙන්ද යන්න දන්නේ නැත. ඒ නිසා මේ සියල්ල බලාගත හැක්කේ ඉදිරියේදීය. එතෙක් මේ සංවාද, කතා ගැලරියෙන් විසිල් වදින තෙක් පමණි.

ගයාන් ගාල්ලගේ I