2021 මාර්තු 06 වන සෙනසුරාදා

පාස්කු වාර්තාවේ දෝංකාරය

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 19

මේ මොහොතේ ලාංකීය දේශපාලනයේ ප්‍රමුඛ තේමාව පාස්කු කොමිසමේ වාර්තාවයි. ඒ වටා ගොඩනැගෙන දේශපාලන සහ සමාජ සංවාද විවිධාකාරය. පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා අද (14) කළු ඉරිදාවක් ලෙස ද අගරදගුරුතුමෝ නම් කළහ. එනිසාම ආගමික නායකයන්, දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පාස්කු වාර්තාව පිළිබඳ මතු කරමින් සිටින අදහස් දෙස අපි අවධානය යොමු කළෙමු. එම අදහස් සම්පිණ්ඩනය කොට ඉදිරිපත් කිරීම මේ සම්බන්ධව ඇති සමාජ දේශපාලන මතවාද කියවා ගැනීමට උපකාරී වනු ඇත. මේවා කළු ඉරිදාවට ආසන්න දින කාලය තුළ මතු වූ අදහස්ය.

විධිමත් පරීක්ෂණයක් කෙරුණෙත් නෑ: වාර්තාවෙත් නෑ
ආචාර්ය නාරම්පනාවේ ආනන්ද හිමි අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී 

“ජාත්‍යන්තරය පවා වැරදි ආකල්පයක් ඇතිකරගන්න පුළුවන් මේක මේ සිංහල, බෞද්ධයන් කරපු වැඩක් කියලා. පරීක්ෂණවලින් අහුවුණා විවිධ තැන්වල ආයුධ, පුපුරණ ද්‍රව්‍ය. ඒවා සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් එදා කෙරැණෙත් නෑ. මේ වාර්තාව තුළ හරියට ඉදිරිපත් කරලත් නෑ. ඒ වගේම මේ අන්තවාදීන් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධව ඒ ඇතිවුණු පසුබිම මේකේ කොහේවත් කතා වෙන්නේ නෑනේ. මේක මෙරට සැලසුම් කරපු එකක්ද? නැත්නම් පිටරටක සැලසුම් කරපු එකක්ද? එහෙම නම් ඒකේ ඍජු වගකිවයුත්තා කවුද කියලා මේකේ පැහැදිලි කරලා නෑ. එහෙම නැතුව එදා හිටපු ජනාධිපතිවරයයි පොලිස්පතිවරයයි නම් කරලා. ඒ රජයේ යම් අඩුපාඩුවක් වෙන්නත් පුළුවන්. පැහැදිලිවම මේ වාර්තාවේ තියෙන නිගමනයන් ගැන අපිට සතුටු වෙන්න පුළුවන්කමක් නෑ.”

ප්‍රහාරකයන් අල්ලන්න ආණ්ඩුවට අමතක වෙලා
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
 

මේ රජය විපක්ෂයේ  ඉන්නකොට කිව්වා පාස්කු ප්‍රහාරක ත්‍රස්තයන් අල්ලනවා කියලා. මම ආණ්ඩුවෙන් අහන්න කැමැතියි කෝ පාස්කු ප්‍රහාරක ත්‍රස්තයන් අල්ලනවා කියපු ක්‍රියාවලිය? ආණ්ඩුවට පාස්කු ප්‍රහාරක ත්‍රස්තයන් අල්ලන්න අමතක වෙලා. 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නාම ජනාධිපතිවරණයේදී, 68 ලක්ෂයක් ඡන්දෙ දීලා තවත් විවිධ ක්‍රමෝපායන් තුළින් තුනෙන් දෙක හදාගත්තාම, විසි වැනි සංශෝධනය දමලා තිබුණු බලයට වැඩිය තවත් බලයක් එකතු කර ගත්තාම, ආණ්ඩුවට පාස්කු ත්‍රස්තයන් ඇල්ලුවත් එකයි නැතත් එකයි. පැහැදිලිවම මේ රජය පාස්කු ත්‍රස්තයන් ඇල්ලීමේ ව්‍යායාමය සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා තිබෙනවා. ඒ දුන්නු පොරොන්දු ආණ්ඩුවට අමතකයි. අපේ දේශපාලන ව්‍යාපාරයට එල්ල කරපු ලොකුම ප්‍රහාරය මොකක්ද? මේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධානීන් අපි ඇල්ලුවෙ නැහැ කිව්වා. 

කොමිෂන් වාර්තාව දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයක් වගේ
රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍ය - එක්සත් ජාතික පක්ෂ නායක

“සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර අප්‍රේල් මස 9 වැනි දින රැස්වූ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් ලැබුණු කිසිදු තොරතුරක් පිළිබඳව කතා කළේ නැහැ. සියලුම හමුදා ප්‍රධානීන්, රහස් පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් ඇතුළු රටේ ආරක්ෂාව සම්බන්ධ සියලු දෙනා රැස් වූ එම රැස්වීමේදී හෙළි නොකළ කරුණු ඊට පසුව සාකච්ඡා කළාදැයි සිතිය නොහැකියි. ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාවේ අලුතින් කිසිවක් සඳහන් කර නැහැ. එය නිකම්ම නිකම් එක රටක් එක නීතියක් ලෙස සඳහන් දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයක් වගේ. උඩරට නීතිය අහෝසි කරන්න ජනාධිපති කොමිසම නිර්දේශ කරනවා. ජාතීන් වශයෙන් සලකා ඉඩම් බෙදීම ප්‍රායෝගිකද? දහම් පාසල් පාලනයක් ගෙන එන්න හදන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරය අහෝසි කිරීමටයි.

වාර්තාවේ වගකීමක් ආණ්ඩුවට ගන්න බෑ
කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය අමාත්‍ය - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

“සාධාරණය ඉටුවුණේ නැත්නම් ඒ සම්බන්ධයෙන් රජය CID, TID දෙකටම දන්වලා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරගෙන යනවා. කොමිෂන් සභාවේ තියෙන වාර්තාවන් එක කණ්ඩායමකට අවාසිදායක තත්ත්වයකට නිර්මාණය වෙලා තියෙනවා. ඒක ස්වාධීන කොමිෂන් සභාවක්. ඒ සම්බන්ධයෙන් වගකීම පක්ෂයක් හෝ රජය, ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලය හෝ මන්ත්‍රී කණ්ඩායම කොහෙත්ම භාරගන්නේ නෑ. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා.*

කොමිසමෙන් බලාපොරොත්තුවූ දේ ඉටු වී නැහැ
නිමල් සිරිපාල ද සිල්වා කම්කරු අමාත්‍ය - උප සභාපති ශ්‍රීලනිප

අපි විතරක් නෙවෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මහා සංඝරත්නය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. පාස්කු කොමිසමෙන් බලාපොරොත්තු වුණු දේ නෙවෙයි ඉෂ්ඨ වෙලා තියෙන්නේ.  පාස්කු කොමිසම පත් කළේ මේ ප්‍රහාර කළේ කවුද්? එහි මොළකරුවෝ කවුද? ආධාර අනුබල දුන් අය කවුද? මේකට ජාත්‍යන්තර සබඳතාවක් තියෙනවද? කියලා හොයන්න. නමුත් ඒ ගැන සොයන්නේ නැතුව බුද්ධි අංශ නිලධාරීන්ගේ දේශපාලනඥයන්ගේ නොසැලකිලිමත්කම ගැන තමා සොයා තියෙන්නේ. ඒ නිසා පාස්කු කොමිසම තමන්ට භාරදුන්න රාජකාරි හරියාකාරව ඉටු කරලා නෑ. ඒ නිසා තමා අපි මේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්නේ.

වින්දිතයන්ට සාධාරණයක් 
ඉටු වී නෑ අනුර කුමාර දිසානායක ජාතික ජන බලවේගයේ නායක

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව දැන් නිකුත් වී ඇත. එහෙත් කොමිෂන් සභා හා කොමිෂන් සභා වාර්තා යටගැසීම තුළ එහි වරදකරුවන් හා මහා මොළකරුවන්ද දේශපාලන බලය වෙනුවෙන් අන්තවාදය පාවිච්චි කළවුන්ද සැඟව නොපෙනී යන ඓතිහාසික සන්දර්භයක් තුළ මෙම අවස්ථාවේදීද වින්දිතයන්ට සාධාරණයක් ඉටු නොවන බව පොදු අදහස බවට පත්ව ඇත. එමෙන්ම පාස්කු කොමිසම් වාර්තාවද තවත් ප්‍රහේලිකා මතු කරනු විනා ප්‍රහේලිකාව විසඳා නැති බවද ඒ පිළිබඳව විවිධ පාර්ශ්වයන්ගෙන් නැගෙන මැසිවිල්ලයි.

යුක්තිය වෙනුවෙන් හඬ නැගීම පොදු මානවීය අයිතියකි. උක්ත සන්දර්භය තුළ අදාළ ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ශ්‍රී ලාංකේය කතෝලික සභාව 2021 මාර්තු 07 වැනි දින කළු ඉරිදාවක් කර යුක්තිය ඉල්ලා සිටී. ජාතික ජන බලවේගය ලෙස ඊට අපගේ පූර්ණ සහයෝගය පළ කරන අතර තවත් ප්‍රමාද නොකර මේ පිටුපස සැඟව සිටින මහ මොළකරුවන් හා වැරදිකරුවන් හෙළිදරව් කර, ලේ කඳුළට නෛතිකව යුක්තිය ඉටු කරන ලෙස ආණ්ඩුවට හා අදාළ නීති අංශවලට බලකර සිටිමු.”

අපි ඇත්ත දන්නව
චිරන්ත අමරසිංහ අධ්‍යක්ෂ - මහජන අයිතීන් සුරුකීමේ පදනම

මේ ප්‍රහාර පිටුපස ඉන්නේ කවුද කියලා මං දන්නවා. මම වගේම කාදිනල් හිමිපාණනුත්  දන්නවා. ප්‍රශ්නය තියෙන්නේ අපි දැනගෙන ඉඳලා තැන් තැන්වල කියලා වැඩක් නෑ. සාක්ෂි ඕනෑ. සාක්ෂි මං ගාව තියෙනවා. 2011 සැප්තැම්බර් මාසේ 30 වැනිදා විමල් වීරවංශ කරපු ප්‍රකාශයකින් මම සාක්ෂි හොයාගන්නේ.  මට මේවා මාධ්‍ය ඉදිරියේ ජනතාවට කියලා සාක්ෂි නැතිකර ගන්න ඕනේ නෑ. ඉන්දියාවේ සම්බන්ධකමක් තියෙනවා. ඉන්දියාවේ සංවිධානවලත් නම් අපි දන්නවා. ඒ සංවිධානවල වැඩපිළිවෙළත් මොකක්ද කියන එක අපි දන්නවා. 

 චමිඳු නිසල්