2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

සේප්පු පිටින් සල්ලි වල දාන කුඩු කප්පිත්තෝ

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 141

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උපයාගත් බිලියන ගණනක මුදල්වලින් රුස්කරගත් කෝටි ගණන් වටිනා දේපළ මෙරට මෙන්ම විදේශ රටවලද පවතින බව අනාවරණය වී තිබේ. ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවන් රුසකට අයත් මෙරට වටිනා දේපළ රාජසන්තක කිරීමට රහස් පොලිසිය පියවර ගනිමින් සිටියේය. විදෙස්ගතව සිට මෙරට කුඩු ජාවාරම මෙහෙයවමින් සිටින රතු, නිල් හා කොළ නිවේදනවලට යටත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24 දෙනකු ඊට හඳුනාගෙන තිබිණ. ආයතන ලෙස උපයාගත් මුදලින් රුස්කරගත් දේපළ මෙසේ රාජසන්තක කිරීමට මුදල් විශුද්ධිකරණ පනත යටතේ පියවර ගැනීමද ජාවාරමුන්ගේ බැංකු ගිණුම් පිළිබඳ විමර්ශන ඇරඹීමද ජාවාරම්කරුවන්ට එරෙහි තර්ජනයකි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහි විමර්ශන පුළුල්ව සිදුකිරීමේදී මත්කුඩු ජාවාරම්කරුවන්ගේ මුදල් සංසරණය වන ගිණුම් පිළිබඳවද අවධානය යොමුකෙරිණි. ඒත් සමඟ ජාවාරම්කරුවන් සිය මුදල් ගිණුම්ගත නොකිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වී තිබේ. මේ අතරතුර එකී ජාවාරම්කරුවන්ට සහාය ලබාදුන් බව කියන බැංකු නිලධාරීන් පිළිබඳව විමර්ශන අරඹා ඔවුන් හඳුනාගැනීමට පියවර ගැණින. දීර්ඝ ලෙස සිදුකෙරෙන විමර්ශනවලදී හෙළිව තිබෙන්නේ ජාවාරම්කරුවන් මුදල් බැංකුගත නොකරන රහසිගත සේප්පුවල දමා භූගතව සඟවා තැබීමට උත්සාහ ගන්නා බවය.

මීට ඉහතදී උණ්ඩියල් ක්‍රමයට මුදල් විදේශවලට යැවීමේ ජාවාරම සිදුකළද වර්තමානයේ එයත් අඩාලව ඇත්තේ ඊට එරෙහිව සිදුකරන විමර්ශන නිසාය. කෙසේ වෙතත් එවැනි ජාවාරම් හරහා උපයන ධනය ජාත්‍යන්තරයට පවා දැන් හිරිහැරයක්ව පවතී. මෙම නීතිවිරෝධී මුදල් කළු සල්ලි වශයෙන් හඳුන්වන අතර මෙම කළු ආර්ථිකය ලෝක ආර්ථිකයෙන් 2% සිට 5% දක්වා පරාසයක පවතින බවද කියැවේ. අතිමහත් ධනස්කන්ධයක් වන මෙය වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 800 සිට ට්‍රිලියන දෙක දක්වා මුදලක් විය හැකි යැයි එක්සත් ජාතින්ගේ සංවිධානය නිලවශයෙන් ප්‍රකාශකර තිබුණේ මීට ඉහතදීය. මේ ආකාරයට වාර්තාවන්නේ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම කළු සල්ලි උපයන ප්‍රධාන මාර්ගයක් බවය.

ගංජා, හෙරොයින්, අයිස්, හෂීස් වැනි මත්ද්‍රව්‍ය ලෝක මට්ටමින් ව්‍යාප්ත වී පවතී. රටවල් අතර බෙදාහැරීම රහසිගතව සිදුකරන අතර ආයුධ, ඖෂධ, පරිගණක මෘදුකාංග, ගණිකා, කැසිනෝ ආදියත් කළුසල්ලි මවන ව්‍යාපාර අතර බොරතෙල්, රත්තරන් හා ගෑස් අලෙවිය ප්‍රධාන තුනක් ගනී. මේ හරහා රට රටවල අදාළ බලධාරීන් ගැනුම්කාර පාර්ශ්ව හා රටවලින් කොමිස් වශයෙන් අල්ලස් ගන්නා බවද නොරහසකි. මේ ආකාරයේ ජාවාරම් සල්ලි රාජ්‍ය නිලධාරීන්ට දේශපාලනඥයන්ට මෙන්ම රාජ්‍ය බැංකු වෙතද ලැබෙයි. මේ ආකාරයට කළුසල්ලි රටේ සම්මත ආර්ථිකයට ඇතුළත්වීම සිදුවේ. විවිධ ජාවාරම් හරහා උපයන කළුසල්ලි සුදුකරන මෙහෙයුම් ඉතා සූක්ෂමය. ඒවා නවීන තාක්ෂණයට හා ආරක්ෂක ක්‍රමවේදවලට පිටින් සිදුකිරීම බරපතළ අවදානමකි. මෙවැනි වටාපිටාවකදී කුඩු ජාවාරමේ නිරත ජාවාරම්කරුවෝ තවදුරටත් මඩිය තදකර ගැනීමට උත්සාහ කරති. 

මත්කුඩු ජාවාරමුන්ගේ මුදල් සංසරණය කෙරෙන ගිණුම් සම්බන්ධයෙන් විමර්ශන ඇරඹී තිබුණේ ඔවුන්ට අයත් වෙනත් දේපොළ පිළිබඳ සොයන අතරය. ජාවාරමට සහාය පළකළ ඇතැම් බැංකු නිලධාරීන් හා උපදේශකවරුන් පවා පොලීසියට කොටුවෙද්දී ජාවාරම්කරුවන්ගේ ජාලය ඔවුන් සතු මුදල් බැංකුගත කිරීම අත්හිටුවා ඇති බව හෙළිව තිබේ. ඒ අනුව මත්කුඩු ජාවාරම හරහා දිනකට උපයන බවට අනුමාන කරන රුපියල් කෝටි තුනකට ආසන්න මුදල් රහසේ ගබඩාකරගෙන සිටින බව අනාවරණය වී ඇත.

එවැනි එක් අවස්ථාවක් මීට මාස කිහිපයකට පෙර කඩුවෙල මාලබේ ප්‍රදේශයේදී හඳුනා ගැනිණි. එහිදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කුඩු ජාවාරම්කරුවකු පිළිබඳ විමර්ශන සිදුකරන අතරතුර හෙරොයින් ග්‍රෑම් 300ක් සමඟ සැකකරුවකු කොටු කරගෙන තිබිණ. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසුව නිවෙසක සඟවා තිබූ රුපියල් පන්කෝටි අනුඑක් ලක්ෂයක් වටිනා මුදල් තොගයක් අත්අඩංගුවට ගැණින.

රත්මලාන හා ගල්කිස්ස ආශ්‍රිතව කුඩු ජාවාරම සිදුකරන මර්වින් ජානා නැමැත්තාගේ කුඩු ජාලයේ රුපියල් කෝටි 14ක් අඩංගු ගිණුමක් පිළිබඳව අනාවරණය කර ගැණින. එය ජාවාරම්කරුට අයත් බේකරියක සේවයකුගේ නමට තිබූ එකකි. මෙම ජාවාරම්කරුගේ සහෝදරියක සතු ගිණුමක ලක්ෂ 423ක් තැන්පත්කර තිබියදී වරෙක සොයාගෙන තිබිණ. මෙම ගිණුම් මෙහෙයවීම සම්බන්ධයෙන් රාජ්‍ය බැංකුවක විශ්‍රාමික නිලධාරියකු අත්අඩංගුවට ගනු ලැබීය. එසේම කුඩු අංජු නැමැත්තාට අයත් රුපියල් ලක්ෂ 4000 තිබු බැංකු ගිණුමක් සොයාගෙන තිබෙන අතර ඒ සඳහා සහාය වූ බැංකු නිලධාරියකුද හඳුනාගෙන ඇත. 

කුඩු ජාවාරම්කරුවන්ගේ දේපළ රාජසන්තක කරමින් නීතිය ක්‍රියාත්මක කරන අතරතුර ඔවුන්ට අයත් බැංකු ගිණුම් හා ඊට සම්බන්ධ නිලධාරීන් පිළිබඳව දීර්ඝ විමර්ශන සිදුකෙරිණ. ජාවාරමුන්ට බරපතළ ගැටලුවක් වූ මේ තත්ත්වය හමුවේ ඔවුන් සතු මුදල් සේප්පු වළදැමීමට පියවර ගන්නා බැව් වාර්තා වේ. එවැනි සේප්පු රාජසන්තක කිරීමේ මෙහෙයුමකට අදාළව පොලීසිය විමර්ශන ආරම්භ කොට පවතී.

 සමන්ත විල්තෙර