
හදිසි නීතිය නැතිව වුවත් හමුදාව කැඳවීමට බලය
විශේෂ අධිකරණයක් හා නඩු ඇසීම දිනපතා
බෝම්බකරුවන්ගේ දේපල රාජසන්තකයි
සහරාන් පසුපස බලවේග හා ඉලක්ක
පාස්කු ඉරුදින ම්ලේච්ඡ ප්‍රහාරයේ මහමොළකරු ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් බවට ප්‍රකටය. 2019 අප්‍රේල් 21දා මෙරට කතෝලික දේවස්ථාන හා ප්‍රධාන පෙළේ හෝටල් ඇතුළු ස්ථාන 8කට එල්ල වූ ප්‍රහාර 10ක් හේතුවෙන් මිනිසුන් 269ක් පමණ ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් බරපතළ තුවාල ලැබූහ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කරනු ලැබීය. වසරකට වැඩි කාලයක් පැවති එම කොමිෂන් සභාවේදී පුද්ගලයන් 440 දෙනෙකුගෙන් සාක්ෂි ලබාගෙන සකස් කළ අවසන් වාර්තාව පිටු 530කින් සමන්විතය. එම ආන්දෝලනාත්මක වාර්තාව ඉකුත්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභා නිර්දේශයේ දෛවෝපගත සිදුවීම එම කොමිසම පත්කිරීමට නියෝගය ලබාදුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටම එරෙහිව දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරිය හැකිදැයි සොයාබැලීමට නිර්දේශ කිරීමය. එසේම ඔහු ජනාධිපති ධුරය හෙබවූ යහපාලන ආණ්ඩුවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු යැයිද නිර්දේශ කර ඇත. එසේම මේ පිළිබඳව බරපතළ ලෙස දක්වා ඇත්තේ ප්‍රහාරය වැළැක්වීමට රජය හා වගකිවයුතු නිලධාරීන් අපොහොසත් වීම රටේ රාජ්‍ය පරිපාලනය හා නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ ආයතන වෙතින් එතෙක් මෙතෙක් කල් වාර්තා කළ විශාලතම හා බරපතළම අත්වැරුද්ද ලෙස සඳහන් කරමිනි.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව ප්‍රහාරය එල්ල වූ සමයේ රටේ ආරක්ෂාව බාරව වගකීම දැරූ එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරුන්ට එරෙහිවද දණ්ඩ නීති සංග්‍රහයෙන් නියමිත විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීමට නීතිපතිවරයා මගින් සලකා බැලිය යුතු බවද සඳහන් කර ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පෙන්වා දෙන්නේ එවකට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඉස්ලාම් අන්තවාදය සම්බන්ධව ලිහිල් ප්‍රවේශයකින් සිතා කටයුතු කර ඇති බවය. ඒ සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව ක්‍රියාශීලී පියවර නොගැනීම ප්‍රහාරය පසුපස ප්‍රධාන හේතුවක් වශයෙන් සටහන් තබා තිබේ. මේ හේතුව ඉස්ලාම් අන්තවාදය පාස්කු ප්‍රහාරය දක්වා ගොඩනැංවීමට ශක්තියත් වී ඇතැයිද තහවුරු කර ඇත.

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව එවකට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාටත් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාටත් එරෙහිව චෝදනා එල්ල කෙරිණ. නමුත් රිෂාඩ් අමාත්‍යවරයා සම්බන්ධයෙනුත් වාර්තාව දක්වා ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනුකිරීම පමණය. මේ අතර හිස්බුල්ලා මහතාගේ ක්‍රියාකලාපය කාත්තන්කුඩි ප්‍රදේශයේ අන්තවාදය ව්‍යාප්තවීමට හේතුවක් බවද කොමිසම් වාර්තාවේ සඳහන්ය.
ප්‍රහාරය සිදුවීමට මත්තෙන් එනම් 2019 අප්‍රේල් 16-21 අතර කාලයේ හිටපු ජනපතිවරයා විදේශ සංචාරයකට එක්වී ඇත. නමුත් එම අවස්ථාවේ ආරක්ෂක ඇමැති ධුරය සඳහා වැඩබැලීමට සුදුස්සෙකු පත්කර නැත. එමගින් සහරාන්ගේ අරමුණට චේතාන්විතවම මගපාදා ඇතැයිද වාර්තාවේ දක්වා තිබේ. 2015 වසරේ සිට ජාතික සමගිය හා සංහිඳියාවට ප්‍රමුඛත්වය ලබාදී ඇතත් ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ලබාදී නැති බවත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පෙන්වා දෙයි. එමෙන්ම අන්තවාදීන්ගේ තර්ජනය පිළිබඳව වැටහීමක් නොලැබීමට අගමැති හා ජනපති අතර පැවති අවිශ්වාසය හේතුවක් වී ඇතැයිද පෙන්වා දී ඇත. මෙහිදී වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ බුද්ධි අංශවල පැවති තරගය නිසා බුද්ධි තොරතුරු බෙදාගැනීමට නොහැකි වී ඇති බවය.
රටේ බෞද්ධ අන්තවාදයක් පැවති අතර මුලදී එය නිසි කළමනාකරණයකින් තොරවීම නිසා ඉස්ලාම් අන්තවාදය වර්ධනය වී ඇතැයිද තවදුරටත් පෙන්වා දී තිබේ. අයි.එස්. සංවිධානය හා සම්බන්ධ වීමට මෙරට පුද්ගලයන් 32ක් සිරියාවට ගොස් ඇති බව හිටපු ජනපති - අගමැති දෙදෙනාම දැන සිටි නමුත් පිළියමක් නොකළ බව වාර්තාව සඳහන් කරයි.
බොදුබල සේනා සංවිධානය මෙරට තහනම් කළයුතු බව දක්වන කොමිෂන් සභා වාර්තාව දක්වන්නේ සහරාන් නැමැත්තා 2009 වසර සිටම සිය දේශන හරහා අනුගාමිකයන් රැස්කර ඇති බවය. මේ හේතු පදනම්ව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිවත් අපරාධ නඩු පැවරීමට නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව දක්වා ඇත. ඊට අමතරව ජමාත් ඉස්ලාම් අන්තවාදී සංවිධාන මෙන්ම වහබ්වාදය මෙරට තහනම් කළයුතු බව තරයේ දක්වා තිබේ.

සහරාන් විසින් පුහුණු සැසි පැවැත්වූ දින හා ස්ථාන මෙන්ම පළමු පුපුරණ ද්‍රව්‍ය අත්හදා බැලීම සිදුකිරීම පිළිබඳවද මාවනැල්ල බුදුපිළිම කඩාදැමීමට අණදීම සම්බන්ධයෙනුත් තොරතුරු සඳහන්ව පවතී. මේ අතර එවකට හිටපු විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී එම්.ආර්. ලතීෆ් මහතාට බුද්ධි තොරතුරු ලැබී තිබියදී ක්‍රියාත්මක නොවීම පුදුමයක් ලෙස සඳහන් කර ඇත. එසේම පොලීසිය නියෝජනය කරන බස්නාහිර පළාත භාරව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාට එරෙහිව අපරාධ නඩු පැවරීමටත් කොළඹ උතුර නියෝජ්‍ය පොලිස්පතිව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකිරීමටත් කොමිසම මගින් දක්වා තිබේ.
පාස්කු වින්දිතයන්ගේ නඩු ඇසීමට විශේෂ අධිකරණයක් හා දිනපතා නඩු ඇසීම නිර්දේශ කිරීමද මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ දේපළ රාජසන්තක කිරීමද එහි සඳහන්ය. එසේම ප්‍රහාරයෙන් මියගිය අයට මිලියන දෙකක් හා තුවාල ලැබූවන්ට ලක්ෂ පහක වන්දියක් මාවනැල්ලේදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ තස්ලීම් යන අයට රජයේ වියදමින් බ්‍රිතාන්‍යයෙන් ප්‍රතිකාර ලැබීමට පහසුකම් සැලසීම හා හදිසි නීතිය පැනවීමකින් තොරව පොලීසියට හමුදාව කැඳවීමට අවශ්‍ය බලය ලැබෙන හා ත්‍රස්තවාදයට එරෙහි නව නීතියක් පැනවීමටද කොමිසම නිර්දේශ කර තිබේ. මද්‍රසා පාසල් නියාමනය හා රාජ්‍ය නොවන සංවිධාන නියාමනය සම්බන්ධයෙන් නිර්දේශ සටහන් කර ඇති වාර්තාව සහරාන් ඇතුළු විසි දෙනෙකු පමණ පාස්කු ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ බව දක්වා ඇත. ප්‍රහාරයට සම්බන්ධ වූවන් අද ජීවත්ව නැතත් ප්‍රහාරකයන්ගේ අරමුණ කුමක්ද? ඒ පසුපස වූ බලවේගය හා නියෝග කළවුන් කවුද? යන්න සඳහනක් නැති බව පැවසේ. වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක සංවිධානයේ මූලික පසුබිම හා කාගේ අදහසකට කුමන ඉලක්කයක් අරමුණු කොටගෙන ප්‍රහාරය සිදුකළේද ගැටලුවකි.
එබැවින් ප්‍රහාරය සමයේ ආරක්ෂාව හා වගකීම් දැරූ නිලධාරීන්ට එරෙහි හා ඇතැම් සංවිධානවලට එරෙහිව චෝදනා නගා තිබුණද සැබැවින්ම ප්‍රහාරය එල්ල කළ හා සැලසුම් කළ පිරිසට එරෙහි දඬුවමක් නියම කර නැත. ඒ අනුව එවැනි පියවරක් අපේක්ෂා කළ හැක්කේ නීතිපතිවරයා විසින් කරුණු සලකා බැලීමෙන් අනතුරැව ගනු ලබන පියවර අනුවය.
සමන්ත ප්‍රදීප් විල්තෙර