
ශ්‍රී ලංකාවේ ආර්ථිකය දිනෙන් දින අසීරු තත්ත්වයකය. විනිමය හිඟය බරපතළ ප්රශ්නයකි. ආනයන සීමාකරන නමුත් එයින් වැඩි වාසියක් ලැබී නැත. කොවිඩ් - 19 වයිරසයේ බලපෑමට නතු වී අවුරුද්දකුත් මාසයක් ගත වී තිබේ. තවත් කොපමණ කාලයක් අසීරු වාතාවරණයක පසුවනු ඇතිද යන කාරණය අවිනිශ්චිතය. අවදානම මැද ජනජීවිතය නගා සිටුවන පියවර ගත යුතුව ඇත. රජයේ ආදායම වර්ධනය කරගැනීම අවශ්‍යම කාරණයකි. වියදම පාලනය කරගැනීමට සිදුවෙයි. ආදායම හා වියදම අතර පරතරය වැඩිවෙමින් පවතින අතර එය ආර්ථිකයට තියුණු පීඩනයක් ඇති කරමින් සිටී.
එක පැත්තකින් රාජ්‍ය ආදායම හා වියදම සම්බන්ධ දේශීය වශයෙන් නැගී එන ප්‍රශ්න තිබියදී විදේශ විනිමය හිඟයටද මුහුණ පාන්නට සිදුවිය හැකිය. දිගින් දිගටම ජාත්‍යන්තර වාණිජ ණය ගැනීම උත්තරයක් නොවේ. විදේශ ණය ආපසු ගෙවීම සඳහා අලුතින් ණය ගන්නට සිදුවී ඇති අතර එය ඉතා බරපතළය. පසුගියදා පාත්ෆයින්ඩර් පදනම නිවේදනයක් නිකුත් කළේය. වර්ධනය අරමුණු කරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තාවකාලික ණය සංචිතයක් උපයා ගැනීම අනුවන අදහසක් නොවන බව පෙන්වා දී තිබේ. අරමුදල යෝජනා කරන ප්‍රතිපත්ති රාමුව වැඩදායක ආරම්භයක් විය හැකි බව දැක්වෙයි.
• පාත්ෆයින්ඩර් පදනම දක්වන පරිදි ආර්ථිකය
වසංගත තත්ත්වය පාලනය කරමින් ස්ථාවර ක්ෂුද්‍ර ආර්ථික පදනමක් සඳහා ළඟාවන උත්සාහයක් ආණ්ඩුවට තිබේ. දැනට පවතින උද්ධමනය නරක නැති සියයට 4-6 අතර මට්ටමක පවත්වාගෙන ඇත. වර්ධනය වන වෙළෙඳ පරතරය පවා ගෙවුම් ශේෂය සම්බන්ධ ධනාත්මකව බලපා තිබේ. පොලී අනුපාත ඉතිහාසයේ වාර්තාගත අඩු මට්ටමක පවතී. එයට අමතරව විනිමය අනුපාතිකය තරමක ස්ථාවර භාවයක් පෙන්වයි. එය ආනයන පාලනයේ ප්රතිඵලයකි. ලෝකයේ සමහර රටවල ආර්ථිකය සෘණාත්මකය. ඉල්ලුම හා සැපයුම අතර පවතින පීඩනය හා ලෝක ආර්ථික වර්ධනය අඩාලවීම හේතුවෙන් විදේශීය රටවල මිලදී ගැනීම මෙයට හේතුවී ඇත. ලෝකයේ රටවල් ගණනාවකට වඩා ශ්‍රී ලංකාවේ ස්වභාවය යහපත්ය. කෙසේ වෙතත් මෙම වාසිදායක රාමුව කිසියම් ආකාරයකින් ආපසු හැරෙන්නට ඉඩ ඇති අතර සැලකිය යුතු අවදානමක් එල්ලවෙමින් තිබේ. අඩු පොලිය මත භාණ්ඩාගාර බිල්පත් හා බැදුම්කර ගැනීමට හැකිවීම ඉදිරියේ රජයේ ණය ගැනීම පෞද්ගලික අංශයේ ප්‍රමාණය ඉක්මවයි. එසේම විනිමය අනුපාතිකයද අවදානම් තැනකය. ආනයන සීමාව හා ප්‍රාග්ධන වියදම අඩුවීම රුපියල ආරක්ෂා කිරීමට හේතු වී තිබේ. ආනයන වලට ඇති ඉල්ලුම, බොරතෙල් මිල, ප්‍රධාන පාරිභෝගික ද්‍රව්‍ය ආනයනයට යන පිරිවැය සලකා බලනවිට ඉදිරියේ දී ඩොලර් ඉල්ලුම තවදුරටත් ඉහළ නගිනු නිසැකය. විනිමය හිඟය හේතු කරගෙන රටට ණය ගම්දෝ නොගම්දෝ වැනි පසුබිමක් නිර්මාණය වී තිබේ.
ආනයන සීමාව හා ප්‍රාග්ධන පිරිවැය බාධා වර්තමානයේ දී අවශ්‍යම කරන ආර්ථික වර්ධනය ප්‍රමාද කරන්නට හේතු වී ඇති කාරණයකි. රැකීරක්ෂා සහ ආදායම් උත්පාදන මාර්ග නැංවීම පවතින වසංගත තත්ත්වය හමුවේ වහා උවමනා කර ඇති නමුත් එහිලා ඇති බාධා සැලකිල්ලට ගත යුතුය.
ගෙවුම් ශේෂය ආර්ථික ස්ථාවරත්වයක් සඳහා විශේෂයෙන් බලපාන කරුණකි. ශ්‍රී ලංකාවේ විදේශ ණය ගෙවීමේ ඉදිරි මාස හය තුළ අනිවාර්යයෙන් මුහුණ දිය යුතු අභියෝගාත්මක එකකි. හදිසි ප්‍රතිචාර අවශ්‍යය. නොවුණහොත් සමාජ හා දේශපාලනික ප්‍රශ්න ඇති කරන්නට හේතුවකි. ඉකුත් දෙසැම්බර් 31 වනවිට ආණ්ඩුවේ ශුද්ධ විදේශ වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 5.7 කි. එය රන් සංචිතය ඇමරිකානු ඩොලර් මිලියන 400ක් ද සහිතවය. මෙම වසරේ පෙබරවාරි සිට ජූලි දක්වා විදේශ ණය සම්බන්ධ පියැවීම් කිහිපයකි. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පියැවීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක් උවමනා කෙරේ. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වෙනුවෙන් අවශ්‍යතාව ඇමරිකානු ඩොලර් මිලියන 980 කි. ණය පොලිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 482 ක් බව අවශ්‍ය බව සඳහන්ය. එයට අමතරව ඉන්දීය රිසව් බැංකුවට සාක් ණය සංචිතය අනුව ඇමරිකානු ඩොලර් මිලියන 400ක් පියැවීමට සිදුවෙයි. මේවා කෙටිකාලීන වහා පියවර ගතයුතු අවස්ථා වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාණ්ඩලික මටට්මින් ණය සංචිත පහසුකමක් ඇතිකර නොගතහොත් විසඳුමක් නැති බව පෙන්වාදීම අවශ්‍යය. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර පියැවීමකින් තොරව නැවත බැඳුම්කර බවට හරවයි. පසුගිය වෙන්දේසියේදී කල්පිරුණු ඇමරිකානු ඩොලර් මිලියන 200 කින් සියයට විසි පහක් පමණක් නැවතත් බැදුම්කර බවට හරවන්නට හැකි වූ බව මතක් කළ යුතුය. කල්පිරෙන සංවර්ධන බැඳුම්කර මුදල එනම් ඇමරිකානු ඩොලර් මිලියන 980 කින් ඉදිරි මාස හය තුළ නැවතත් ආපසු හරවාගැනීමට හැකිවේද යන්න අවධානය යොමු කළ යුතුය. විනිමය හිගය කෙටිකාලීන ණය ගැනීමට පොළඹවනු ඇති අතර ඒවාද මාස හයක් වනවිට කල් පිරෙන්නට ඉඩ ඇත.
• තීරණාත්මක ඉදිරි හය මාසය
ණය ගෙවන්නට විනිමය හිඟ වාතාවරණය ඉදිරි හය මාසය තුළ අත්‍යවශ්‍යයෙන්ම රටට මුහුණදෙන්නට සිදුවන ඉතාම බරපතළ අවදානමකි. සැලකිය යුතු විනිමය උත්පාදනයක් නොතිබුණහොත් දේශීය වෙළඳ පොළට නරක ප්‍රතිවිපාක ඇතිවෙයි. සමහර සංශෝධන ඇති කළයුතු වන අතර ඒවා වේදනාත්මකය. ආර්ථික පුනර්ජීවනයට බාධා කෙරේ. ආර්ථිකය තව දුරටත් සංකෝචනය වන අවදානමක් ඇත. ණය ගෙවීමට කරන වියදම රටට අමිහිරි අත්දැකීමක් විය හැකිය.
ශ්‍රී ලංකාවේ සංවර්ධන පාර්ශවකරුවන් එනම් රටවල් හා බහුජාතික සමාගම් මෙම 2021 වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියන 1.1ක් රටට ගෙන එනු ඇතැයි අපේක්ෂා කෙරේ. සමහර ආදායම් ඉදිරි මාස හය තුළ ලැබේ. කෙසේ වෙතත් ව්‍යාපෘති හා වැඩසටහන්වලට වෙන්කරන ධනය වන හෙයින් මෙම විනිමය ප්‍රමාණය විදේශ සංචිත තර කරන උපායකට භාවිතා කළ නොහැකිය. මෙම පසුබිම හමුවේ ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම අඩමාන සගහත තැනකට විය හැකි අතර එය ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළට දැරිය හැකි පොලී අනුපාතයකට ප්‍රවේශ වන අවස්ථාව අවහිර කරනු නිසැකය.
අද වනවිට තහවුරු කර ඇති රටට ඇති විනිමය හිඟය පියවනු සඳහා උපකාරී වන විශේෂිත මාර්ග ගණනාවක්ද තිබේ. චීන සංවර්ධන බැංකුව සපයන කාලීන ණය වශයෙන් නිකුත් කරන ඇමරිකානු ඩොලර් මිලියන 700 එයින් එකකි. චීනයේ මහජන බැංකුවෙන් හෙජිං ණය වශයෙන් යුවාන් බිලියන දහයක් ලැබෙන අතර එය ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ප්රමාණයකි. ඉන්දීය රිසව් බැංකුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක් ලැබෙන්නට නියමිතය. එය වරාය සංවර්ධනය හා දැනට බලපවත්වන ආනයන පාලනය මත රඳන තීරණයකි. මෙකී පාර්ශවකරුවන් සමග කරන ගනුදෙනුවේ ප්‍රමාදය තවදුරටත් දුෂ්කරතා ඇති කරනු නිසැකය.

• ණය ග්‍රහණය ඇමරිකානු ඩොලර් බිලියන විසි තුනකින් ඉහළට
මෙම තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කරගෙන නොයෙක් තැන්වලින් ලැබෙන අරමුදල් සමග පවා වසර 2021-25 කාලය තුළ ශ්‍රී ලංකාවේ ණය බර තවත් ඇමරිකානු ඩොලර් බිලියන 23 කින් ඉහළ යා හැකිය. එහෙයින් අනෙක් ආකාරයකින් රටට විදේශ විනිමය උපයාගත හැකි පුළුල් පදනමක් සකස් කරගැනීම අවශ්‍යය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය එක උත්තරයකි. එය විවිධාකාරයේ ණය ක්‍රම අතර වැදගත් අංශයකි. රටවල් හැත්තෑවක් පමණ පවතින කොවිඩ් අර්බුදයෙන් ආර්ථිකය කඩා වැටෙන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හදිසි සහාය ලබාගෙන තිබේ. එය මෑතකාලීන ප්රවණතාවයකි. එම පහසුව ඇමරිකානු ඩොලර් මිලියන 830 ක් දක්වා විය හැකිය. එය සමඟ ආසියානු සංවර්ධන බැංකවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් සහ ලෝක බැංකුවෙන් ලබා ගත හැකි ඇමරිකානු ඩොලර් මිලියන 300 කට සෘජුව සම්බන්ධ කළ හැකිවේ. මෙවැනි ධනෝපායන මාර්ග ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේදී හොඳ තත්ත්වයක් ලබාගැනීමට සාධකයකි. එය පදනම් කරගෙන අඩු පොලියකට වාණිජ ණයවලට සම්බන්ධවීමට බැරිකමක් නැත. මූල්‍ය අරමුදලේ සම්බන්ධතාව විදේශ ආයෝජකයන්ට විශිෂ්ට විශ්වාසයක් ඇති කරනු ඇත. කෙසේ වෙතත් ලෝකයේ පවතින සෘජු විදේශ ආයෝජන කෙටිකාලීන වාසි වෙනුවෙන් පෙනී සිටීම නිරීක්ෂණය කළ හැකි තත්ත්වයකි. එයින් ලැබෙන පිටිවහල ශුද්ධ විදේශ වත්කම් නංවන්නට හෝ ආනයන වෙනුවෙන් දරන විනිමය හෝ විදේශ ආයෝජකයන් වෙනුවෙන් ගෙවන්නට පිටිවහලක් නොවේ. කෙසේ නමුත් මධ්‍යකාලීන ණය සේවා ගෙවීම් වෙනුවෙන්ද, නිෂ්පාදනය වැඩි කර වෙළෙඳාමෙන් උපයාගත හැකි විදේශ විනිමයට ද අවස්ථාවකි. මූල්‍ය අරමුදලේ සහාය ණය බර ස්ථාවර කරන අතර එයට බාධාවන තැන් හඳුනා ගැනීමද වැදගත්ය. දැනට පවතින රාමුව අනුව ව්‍යුහාත්මක ගැලපුම්, වෙළඳපොළට ගැලපෙන තීරණ සහ සහන වැඩසටහන් සමාලෝචනය වැදගත්ය. එවැනි පියවරක දී අය වැය හිඟය සහ ගෙවුම් ශේෂය සම්බන්ධ ගැටලු පාලනය කර වර්ධනය පදනම් කරගත් තැනකට ගමන් කරන්නට ආර්ථිකයට හැකිවෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වර්ධනයට උපකාරීවන උපදෙස් සපයන අතර එය රටක බර අඩු කරන යෝජනාය. ශ්‍රී ලංකාවට ආර්ථික වර්ධනය සඳහා තිත්ත තීරණගත යුතුය. වෙනසක් කරන්නට උත්සාහ නොකිරීම අනාගතයේ දී දැඩි සීමා පනවන්නට හේතු විය හැකිය. ශ්‍රී ලංකාව ද්‍රවශීලතා ප්රශ්නය වෙනුවට අර්බුදයකට මුහුණ දෙන්නට කැමැති බව පෙනේ. එය අවසානයේ දී පොලී අනුපාත වැඩිවීම, විනිමය කඩාවැටීම හා ඉතා දරුණු පටි තද කරගැනීමකින් අවසන්විය හැකි අතර එය ජනතාවට පමණක් නොව ක්‍රමයටද බලපෑමක් ඇති කරනු ඇත. මුලික ප්‍රශ්න දෙස බලා තිරසාර පැවැත්මක් වෙනුවෙන් ණය ගෙවීම සම්බන්ධයෙන් අනුගමනය කළ හැකි දීර්ඝ කාලීන විසඳුමකින් අය වැය හිඟය අඩු කරනු ඇත. වර්ධනය සඳහා පියවරකි. ආර්ථික ක්රමයේ ඵලදායීතාව හා තරඟකාරීත්වය ඇතිකරන ව්‍යුහාත්මක වෙනස්කම් යෝජනා අවශ්‍යය. සෘජු විදේශ ආයෝජන හිතකර තත්ත්වයක් ඇති කරන අතර අපනයනය අරමුණු කරගත් නිෂ්පාදන අංශයෙහි වර්ධනයක් අපේක්ෂා කළ හැකිය. පාත්ෆයින්ඩර් පදනම 2020 මැයි මාසයේදී රාමුවෙන් එපිට ආර්ථික පුනර්ජීවනයක් උදෙසා වූ දර්ශනයක් සහිත වැඩපිළිවෙළක් හඳුන්වා දුන් බවද මෙහිදී මතක් කිරීම අවශ්‍යය.
(ආර්ථික තත්ත්වය අලලා තාක්ෂණික කරුණු සහිතව, පාත්ෆයින්ඩර් පදනම නිකුත් කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු විය යුතු හේතු පැහැදිලි කරන ලද වැදගත් ලිපියක සංක්ෂිප්ත අනුවාදයකි.)
ගාමිණී සරත් ගොඩකන්ද