2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

නීතිය ඉංග්‍රීසියෙන් පමණයි

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 541

ශ්‍රී ලංකා නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා පෙනී සිටීමට අවශ්‍ය අවම සුදුසුකම් සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 2020 දෙසැම්බර් 30 වැනි දින නිකුත් කර ඇති එම ගැසට් නිවේදනය අනුව 2021 වසරේ සිට නීති ප්‍රවේශ විභාගය සඳහා පෙනී සිටිමේ අවම සුදුසුකම, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සම්මාන සාමාර්ථ 2ක් සහ එක් සාමාන්‍ය සාමාර්ථයක් දක්වා සංශෝධනය කර තිබේ. මෙතෙක් නීති විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා පෙනී සිටිමේ අවම සුදුසුකම ලෙස අවශ්‍ය වූයේ උසස් පෙළ විභාගයට සාමාන්‍ය සාමාර්ථ 3ක් ලබා තිබීමය.

මීට අමතරව විදේශීය විශ්වවිද්‍යාලවලින් නීති උපාධිය ලබා ගන්නා සිසුන්, විශේෂ තෝරා ගැනීමේ පරීක්ෂණයකින් පසුව මෙරට නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයට පෙනී සිටිම සඳහා තෝරා ගැනීමට කටයුතු කරන බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්ය. මෙතෙක් සිංහල සහ ඉංග්‍රීසි සහ දෙමළ යන මාධ්‍යවලින් පැවැත්වූ නීති විද්‍යාලයීය අධ්‍යයන පාඨමාලා සහ විභාග ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීමට  නියමිත වන අතර 2024 වසරේ සිට අවසන් වසර විභාගය ඉංග්‍රිසි භාෂාවෙන් පමණක් පැවැත්විය යුතු යැයි එම ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ මෙලෙසිනි.

(1) ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පවත්වනු ලබන සියලු පාඨමාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වනු ලැබිය යුතුය. (2) විභාග පිළිබඳ අනිවාර්ය මාධ්‍ය ඉංග්‍රීසි විය යුතු අතර එය පහත දැක්වෙන පරිදි හඳුන්වා දෙනු ලැබිය යුතුය. (අ) 2022 වර්ෂයෙන් ආරම්භව, පළමු වසර - අවම වශයෙන් විෂයයන් තුනකට ඉංග්‍රීසි මාධ්‍යයයෙන් පිළිතුරු සැපයිය යුතුය (ආ) 2023 වර්ෂයෙන් ආරම්භව, දෙවැනි වසර - අවම වශයෙන් විෂයයන් පහකට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පිළිතුරු සැපයිය යුතුය. (ඇ) 2024 වර්ෂයෙන් ආරම්භව, අවසන් වසර - සියලු විෂයයන් සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පිළිතුරු සැපයිය යුතුය. යනුවෙනි.

නීති උපාධියේ ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා මෙවැනි තීරණයකට එළඹ ඇතැයි වාර්තා වේ.. මෙරට වෛද්‍ය උපාධිය ඉංග්‍රීසියෙන් හැදෑරිය යුතු වන අතර නීති විද්‍යාල පාඨමාලා ද ඉංග්‍රීසියෙන් හැදෑරීමෙන් විදේශීය නීති උපාධිධරයන් හා මෙරට නීති විද්‍යාලයෙන් බිහිවන නීතිඥයන් අතර සමාන ප්‍රමිතියක් ඇති කරගත හැකි වනු ඇතැයි යන්න නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මතය වී තිබේ.

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය සුදුසුකම්වල වෙනසක් කිරීමේ අරමුණ සම්බන්ධයෙන් අප නීති විද්‍යාලයේ ලේඛකාධිකාරිවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ නීති කවුන්සලය හා නීතීඥ සංගමය ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කොට ගන්නා ලද තීරණයක් වන හෙයින් ඒ පිළිබඳව තමාට කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැකි බවටය.

සාමාන්‍යයෙන් වර්ෂයකට දෙවරක් නීති විද්‍යාලයට ඇතුළුවීම සදහා අයැදුම්පත් කැඳවනු ලබයි. වසරකට අයැදුම්පත් 2000ක් පමණ ලැබෙන අතර බඳවා ගැනීමේ පරීක්ෂණයෙන් වරකට 250ක් පමණ ඇතුළත් කරගනු ලැබේ. ප්‍රථම විභාගය, මධ්‍යම විභාගය සහ අවසාන විභාගය ලෙස වසර තුනකදී විභාග තුනකට මුහුණ දීමට ඔවුනට සිදුවන අතර සිව්වැනි වසරේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයකු යටතේ මාස හයක කාලයක් පුහුණුව ලැබිය යුතුය. 2021 සිට පළමු වසර සඳහා ඇතුළත්වීමේ ගාස්තු හා විභාග ගාස්තු ඇතුළු වෙනත් ගාස්තු වශයෙන් රුපියල් 17000ක මුදලක්ද දෙවැනි වසර සඳහා 15,000ක මුදලක්ද තෙවැනි වසර සඳහා 19,500ක මුදලක්ද ගාස්තු වශයෙන් අය කෙරේ.

මෙතෙක් පැවැති ක්‍රමය අනුව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම විභාගවලට මුහුණ දීමට හැකි වූ අතර 2024 සිට සියල්ලන්ට ඉංග්‍රීසි බසින් පමණක් විභාවලට මුහුණ දීමට සිදු වේ. මෙම නව තීන්දු ගනු ලැබුවේ නීති කවුන්සලය හා නීතිඥ සංගමය විසින් බැව් පැවසුණු හෙයින් අප ඒ සම්බන්ධයෙන් විමසා බැලුවේ නීතිඥ සංගමයේ සභාපති  ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාගෙනි. ඔහු සඳහන් කළේ මෙවැන්නකි. “ඔව් ඒක අප විසින් ගන්නා ලද තීරණයක්. ඒ සම්බන්ධයෙන් මම ප්‍රකාශයක් කරන්න කැමති නැහැ. මේ පිළිබඳව දැනුම්වත් කළ යුතු පිරිස දැනුම්වත් කර තිබෙනවා. වෘත්තියක පාලනයක් කිරීම එම වෘත්තියේ උන්නතිය සඳහා සිදු කළ යුත්තක්. ඒ සම්බන්ධයෙන් වෙනත් කිසිවකුට ප්‍රශ්න කළ නොහැකියි. ඒ හැර කිසිවක් ප්‍රකාශ කළ නොහැකියි” යනුවෙනි.

ඉංග්‍රීසි බසින් පමණක් විභාග පැවැත්වීමෙන් සිංහල හා දෙමළ බසින් උගත් පිරිසට අසාධාරණයක් සිදුවන්නේදැයි යන්න අප විමසා සිටියේ අනිද්දා පුවත්පතේ කර්තෘවරයා හා සමාජ ක්‍රියාකාරිකයකු වන නීතිඥ කේ. ඩබ්ලිව්. ජනරංජන මහතාගෙනි. ඔහුගේ මතය වන්නේ  මෙලෙස ඉංග්‍රීසි බසින් විභාග පැවැත්වීමට ගත් තීරණය වැදගත් බවයි.“ නීතිය පිළිබඳ දැනුම සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වැඩි වශයෙන් පවතින්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය සහ මහාධිකරණය යන අධිකරණ පද්ධතිය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය තුළ සම්පූර්ණයෙන්ම හා මහාධිකරණයේ බොහෝ දුරටත් කටයුතු සිදුවන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. නීතිය සම්බන්ධයෙන් ඇති නව දැනුම එන්නෙත් ඉංග්‍රීසි බසින්. එම දැනුම සිංහල හෝ දෙමළ බසින් ඇත්තේ සුළු වශයෙනුයි. එමෙන්ම නීති විද්‍යාලය තුළ ඉංග්‍රීසි බසින් ඉගැන්වීම අද ඊයෙ ආරම්භ වූවක් නොවෙයි. එය සෑහෙන කාලයක් පුරා පැවති දෙයක්. දේශන ඉංග්‍රීසි බසින් පැවැත්වෙන අතර විභාගවලදී සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් පිළිතුරු ලිවීමේ අවස්ථාව ශිෂ්‍යයන්ට හිමිවුණා. ඒ නිසා මෙම වෙනස් කිරීම එකවර සිදුවූවක් නොවෙයි. ඉංග්‍රීසි බසින් අවසාන විභාගය පැවැත්වීමට තීරණය කර තිබෙන්නේ 2024 සිටයි. ඒ නිසා සිසුන්ට ඒ සඳහා සූදානම් වීමට කාලය තිබෙනවා.

අපේ රටේ වෛද්‍ය විද්‍යාව සම්පූර්ණයෙන්ම  උගන්වන්නෙත් විභාග පවත්වන්නෙත් ඉංග්‍රීසි බසින්. සිංහලෙන් හෝ දෙමළ බසින් උසස් පෙළ දක්වා උගත් සිසුන් වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වුණාම ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලැබිය යුතුයි. නීති විද්‍යාලය මගින් අවසන් විභාග ඉංග්‍රීසියෙන් පමණක් පැවැත්වීමට තීරණය කිරීමෙන් සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් අපොස උසස් පෙළ හැදෑරූ සිසුන්ට අසාධාරණයක් වන්නේ නැහැ. පහසුකම් ඇති ප්‍රදේශයකින් හෝ දුෂ්කර ප්‍රදේශයකින් පැමිණියා කියා ප්‍රශ්නයක් ඇතිවන්නේ නැහැ. වෛද්‍ය උපාධිය හදාරන සිදුන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කිරීමට ඔවුන් පුහුණු විය යුතුයි.  ලංකාවේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පිළිබඳව ගැටලුවක් තිබෙනවා. එමෙන්ම ඉංග්‍රීසි උගත් අතලොස්සක් දෙනා කිසියම් ආධිපත්‍යයක් හිමිකරගෙන සිටිනවා. මේ තත්ත්වය වෙනස් කිරීමට නම්  ලංකාවේ සෑම දිසාවකින්ම එන පිරිස් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම කළ යුතුයි. අද ලංකාවේ තරුණ තරුණියෝ රුසියාව, චීනය වැනි රටවල අධ්‍යාපනය ලබනවා. ඔවුන් එහෙ ගියාම ඉගෙන ගන්නේ එම රටවල භාෂාවෙන්. ඔවුන් කෙසේ හෝ එම භාෂාවන් ඉගෙනගෙන අධ්‍යාපන ලබලා උපාධිය ලබාගන්නවා. ඉතින් ලංකාවේදි ඒක කරන්න බැරි ඇයි? ඒ නිසා. නීති විද්‍යාලය තුළ සිදුකර ඇති මෙම වෙනස්කම් යහපත් කාර්යයක් ලෙසයි මා දකින්නේ.”

නීතිඥ කේ. ඩබ්ලිව් ජනරංජන එසේ සඳහන් කළද විවෘත විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ රාජා ගුණරත්න මහතා පවසන්නේ මෙය එක්තරා පන්තියක් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බටහිර ගැති පිරිසක් විසින් නිර්මාණය කරන ලද්දක් බවයි. 

“ඉංග්‍රීසි විශ්ව භාෂාවක් නිසා නීතිය සඳහා පමණක් නොව ඕනෑම විෂයයක් සඳහා ඉංග්‍රීසි බස හැදෑරීම වැදගත්. එය විශ්ව දැනුම ලබා ගැනීමට විශාල රුකුලක් වනවා. එහෙත් ඉංග්‍රීසි භාෂාව යම් විෂයක ප්‍රවීණතාව, දැනුම, කුසලතාව මනින මිම්මක් කර නොගත යුතුයි. නීතිය සම්බන්ධයෙන් විශ්වීය ලෙස පිළිගන්නා මූලධර්ම කිහිපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න ‘සෑම පුද්ගලයකුම නීතිය දැන සිටී’ යන පූර්ව නිගමනය. දෙවැන්න ‘නීතිය නොදැනීම සමාවට කාරණයක් නොවේ‘ යන්න. මේ මූලධර්ම දෙක නොමැතිනම් නීතියක් ක්‍රියාත්මක කළ නොහැකියි. එසේ සෑම පුද්ගලයකුම නීතිය දැන සිටිය යුතු නම් සෑම පුද්ගලයකුට තේරෙන බසින් එය ඉගැන්විය යුතුයි. මේ කලාපයේ ඇති විශ්වවිද්‍යාල සෑම එකකම නීතිය උගන්වන්නේ එම රටේ භාෂාවෙන්. එහෙත් ඔවුන් ඉංග්‍රීසි භාෂාව අතුරු විෂයක් හැටියට අනිවාර්ය කර තිබෙනවා. අපේ විශ්වවිද්‍යාලවලත් එහෙමයි. නීති උපාධිය සිංහලෙන් කරලා සමත් වුවත් ඉංග්‍රීසි විෂය අසමත් නම් උපාධිය දෙන්නේ නැහැ. ඒ ලොව ඇති දැනුම ලබාගැනීමේ යතුර ලෙස ඉංග්‍රීසි බස සලකන නිසා. එහෙත් ඉංග්‍රීසි භාෂාවෙන්ම නීතිය හැදෑරිය යුතු බවට නීති ගෙන ඒම වැරදියි. ස්වභාෂාවෙන් ඉගෙන ගැනීමට ඇති අයිතිය  මූලික මිනිස් අයිතිවාසිකමක්.

ඉංග්‍රීසි බසින් පමණක් නීතිය ඉගැන්විය යුතු බවට  ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශ කර තිබෙන්නේ නීති කවුන්සලය මගින්. ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව වැනි විශයන් පාලනය කරන කවුන්සිල තිබෙනවා. එම කවුන්සල මගින් ඉංග්‍රීසි බසින් පමණක් ඉගැන්විය යුතු බවට ගැසට් මගින් නියෝග කර නැහැ. නීතිය දැන සිටීම සෑම මිනිසකුගේම යුතුකමක් සහ වගකීමක් ලෙස සලකන බැවින් මෙවැනි නීතියක් ගෙන ඒම වැරදි ක්‍රියාවක්. ඉංජිනේරු විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සෑම මිනිසකුම දැන සිටිය යුතුය කියා පූර්ව නිගමනයක් නැහැ. නමුත් නීතිය සම්බන්ධයෙන් එවැන්නක් තියෙනවා. ඒ නිසා නීතිය ඉගැන්විය යුත්තේ එරට ස්ව භාෂාවෙන්. සිංහලෙන් හෝ දෙමළ භාෂාවෙන් නීතිය ඉගැන්වීමට කිසිදු බාධාවක් නැහැ. නව නීති නිසා සිංහල භාෂාවෙන් සහ දෙමළ භාෂාවෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලද සිසුන්ට විශාල අසාධාරණයක් සිදු වෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමය තුළ ඉංග්‍රීසි ඉගෙන ගැනීම සඳහා නිසි පහසුකම් තියෙනවද? ඉංග්‍රීසි බසින් නීතිය හැදෑරිය යුතුය කියන අය මේ රටේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම වර්ධනය කරන්න යමක් කර තිබේද? යනුවෙන් ප්‍රකාශ කළේය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා