2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

ලංකාවේ රඟදෙන චීන - ඉන්දියා ගැටුම

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 589

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමේ වැදගත්කම හේතුවෙන් මහා බලවතුන් ශ්‍රී ලංකාව පිළිබඳව උනන්දුවක් දැක්වූයේ අද ඊයෙක සිට නොවේ.. ශ්‍රී ලංකාව අත්පත් කර ගැනීම හෝ ඒ මත කිසියම් ආධිපත්‍යයක් ඇති කිරීම ඔවුන්ගේ අරමුණ විය. ඉන්දියානු සාගර කලාපයේ බලවතා ඉන්දියාවය. එම කලාපයේ බලවතා වීමට චීනයටද අවශ්‍ය වී තිබේ.  එහෙයින් මේ දෙරට අතර ඉන්දීය සාගර කලාපයේ බලය තහවුරු කර ගැනීම සඳහා සීතල යුද්ධයක් පවතී. 

ඉන්දීයානු සාගර කලාපයේ ඉතා වැදගත් ස්ථානයක  ශ්‍රී ලංකාව පිහිටා ඇති හෙයින් ශ්‍රී ලංකාව තුළ තම ආධිපත්‍යය පිහිටුවීමට මේ රටවල් දෙකටම අවශ්‍ය වී තිබේ. මේ තත්ත්වය හේතුවෙන් එම දෙරටින් ශ්‍රී ලංකාවට වාසි සහගත මෙන්ම අවාසිදායක තත්ත්වයන් නිර්මාණය කරමින් තිබේ. එයට හොඳම උදාහරණය පසුගියදා මහත් අර්බුදයකට මුහුණ දුන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධ සිදුවීමය. හම්බන්තොට වරාය, පෝට් සිටි ව්‍යාපෘතිය චීනයට ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාවේ හිත රිදී තිබේ. ඉන්දියාවේ සිත් රිදීමට හේතු වූ නවතම සිදුවීම වන්නේ යාපනය අර්ධද්වීපයෙන් පිටත දූපත්වල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට ටෙන්ඩරයක් ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකාව පියවර ගැනීමය. ඇමරිකානු ඩොලර් මිලියන 12ක ව්‍යාපෘතියක් වන මෙය චීනයේ එම්.එස්. / සිනොසාර්-එටෙක්වින් හවුල් ව්‍යාපාරයට ප්‍රදානය කර තිබේ. 

ඉන්දියාව ශ්‍රී ලංකාවට විවිධ බලපෑම් කළේ කලක සිටය. රජිව් ගාන්ධි පාලන සමයේ අපේ ගුවන් සීමාව උල්ලංඝනය කරමින් උතුරට පරිප්පු දැමුවේද, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙරටට පළාත් සභා ක්‍රමය ඇති කිරීමට මූලික වූයේද ඉන්දියාවය. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ ප්‍රබල ව්‍යාපාරිකයකු හා අගමැති නරේන්ද්‍ර මෝදිගේ හිතවතකු වන ගෞතම් අදානිට අයත් සමාගමකට ලබාගැනීම සඳහා බලපෑම් කළේද ඉන්දියාවය. එහෙත් ජනතා විරෝධය හමුවේ රජයට එම තීරණය හකුලා ගැනීමට සිදුවීම නිසා ඉන්දියාවේ හිතහොඳ නැති විය. එයට හිලව්වක් ලෙස බටහිර ජැටියේ සංවර්ධන කටයුතු ඉන්දියාවට හා ජපානයට ලබාදීමේ සූදානමක් පවතී. 

චීනයත් ඉන්දියාවත් ශ්‍රී ලංකාව තුළ තම ආධිපත්‍යය පැතිරවීමට මෙතරම් උනන්දු වන්නේ ඇයි? අප මේ සම්බන්ධයෙන් විමසා සිටියේ මෙරට සිටින ප්‍රවීන දේශපාලන විශ්ලේෂකයකු හා හිටපු රාජ්‍යතාන්ත්‍රිකයකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතාගෙනි. ඔහු සඳහන් කරන්නේ චීනය සහ ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල් භූ දේශපාලනික හා භූ මූලෝපායික වශයෙන් ශ්‍රී ලංකාව කෙරෙහි උනන්දුවක් දක්වන හෙයින් මෙවැනි වාතාවරණයක් නිර්මාණය වී ඇති බවටය. 

මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදය හා චීනය අතර ලෝක නායකත්වය සඳහා බලඅරගලයක නිරතව සිටින අතර ඒ තුළ ඉන්දියාවද ඇමෙරිකාවට නැඹුරුවක් දක්වමින් ස්ථානගත වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ මේ ත්‍රිකෝණාකාර බලඅරගලය තුළයි. එවැනි ක්‍රියාවලියක් ඇතිවීම ස්වභාවික වන අතර ශ්‍රී ලංකාව අසීරුතාවට පත්වීම හෝ පත් නොවීම පවතින්නේ අප එයට ප්‍රතිචාර දක්වන ආකාරය අනුවයි. එය ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිමය හා මූලෝපාය ප්‍රතිචාරය අනුව සිදුවන්නක්.

විවිධ ආණ්ඩුවල පාලන යුගයන් තුළ ඉන්දියාව දෙසට හෝ චීනය දෙසට හෝ වැඩි නැඹුරුවක් දක්වනු දැකිය හැකිය. මහින්ද රාජපක්ෂ පාලන සමයේ චීනය දෙසටත් යහපාලන ආණ්ඩුව සමයේ ඉන්දියාව දෙසටත් නැඹුරුවක් දැක්වූ අතර මෙම ප්‍රතිපත්තිය හේතුවෙන් සිත් රිදීම් ද ඇති විය. ආචාර්ය දයාන් ජයතිලකට අනුව මෙම දෙපාර්ශ්වයම මනාව තුලනය කර ගනිමින් මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් පැවතියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයේ ලක්ෂ්මන් කදිරගාමර් මහතා විදේශ ඇමති ධුරය දැරෑ සමයේය. ඔහු ඉන්දියාව සහ චීනය මනාව තුලනය කර ගනිමින් එම දෙරට සමඟ පමණක් නොව ඇමෙරිකා එක්සත් ජනපදය සමඟද මිත්‍රත්වය පවත්වාගෙන යමින් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය මනාව පවත්වා ගෙන ගියේය. දෙවනුව එවැනි තත්ත්වයක් පැවතියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පළමු ධුර කාලය තුළය. ඒ කාලයේද ඉන්දියාව හා චීනය සමඟ තුලනාත්මක ගනුදෙනුවක් සිදු විය.

ඔහුගේ දෙවැනි ධුර කාලයේ සහ යහපාලන ආණ්ඩු සමයේ මෙම තත්ත්වය වෙනස් විය. රනිල් වික්‍රමසිංහගේ අදූරදර්ශි ක්‍රියාමාර්ග හේතුවෙන් පෝට් සිටි වැනි චීන ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනිණි. එහෙත් පසුව ඔහුට හම්බන්තොට වරාය සහ අවට භූමිය 99 අවුරුදු බද්දකට චීනයට ලබාදීමට සිදු විය. 

ඔහුගේ එම ක්‍රියාවලිය අපි දකින්නේ චීන විරෝධයකින් ආරම්භ වී ඉන්දියාව දෙසට නැඹුරු වූ ආණ්ඩුවක් මහින්ද රාජපක්ෂ යුගයටත් වඩා වැඩි භූමි ප්‍රමාණයක් චීනයට ලබා දීමට පියවර ගැනීමක් ලෙසයි.  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ දැන් අනවශ්‍ය ලෙස චීනයට නැඹුරුවක් දක්වමින් ඉන්දියාව හා ඇමෙරිකාව විරසක කරගෙන ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. එම අමනාපය තුලනය කර ගැනීම සඳහා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්නට ගොස් විශාල ජනතා විරෝධයක් හමුවේ එය අත්හිටුවීමට ආණ්ඩුවට සිදුවුණා. දැන් දකුණු ඉන්දියානු දේශසීමාව ආසන්නයේ ඇති ශ්‍රී ලංකාවට අයත් දූපත්වල චීන බලශක්ති ව්‍යාපෘතියකට අවසර දී තවත් අනුවණ දෙයක් කර තිබෙනවා. මේ සිදුවීම මත ඉන්දියාව යළිත් අමනාප වෙයිද යන සැකය මතුවෙනවා. මේ සියල්ල සිදුවන්නේ නිවැරදි සංකල්ප නොමැතිව එක් පසෙක සිට අනෙක් පසට දෝලනය වීම නිසයි. අතීතය ගත්තොත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයේ ඇය ඉතා දක්ෂ ලෙස චීනය සහ ඉන්දියාව සමඟ මධ්‍යස්ථව කටයුතු කළා. එතුමියට චෞ එන් ලායිගේ මෙන්ම ඉන්දිරා ගාන්ධිගේත් සහයෝගය දිනාගත හැකිවුණා. ඇයට එවැන්නක් කළ හැකි වූයේ එවක පැවැති විදේශ ප්‍රතිපත්තියේ නිරවද්‍යතාව හා නිවැරදි කළමනාකරණය නිසයි. චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ හා මහින්ද රාජපක්ෂ පාලයේ මුල් අවදියේ අපගේ විදේශ ප්‍රතිපත්තිය බොහෝ දුරට නිවැරදි ආකාරයකින් පැවතුණා. වර්තමානයේ එවැනි තත්ත්වයක් දැකිය නොහැකියි.

ශ්‍රී ලංකාව වැඩි අවධානයක් යොමු කළ යුත්තේ චීනය දෙසටද නැතිනම් ඉන්දියාව දෙසටද?

ශ්‍රී ලංකාව වැඩි අවධානයක් යොමුකළ යුත්තේ ලංකාවේ සැබෑ මූලෝපායික, ජාතික අවශ්‍යතාවන් සඳහායි. එය නිවැරදිව තේරුම් ගතහොත් කිසිදු පාර්ශ්වයකට නැඹුරු නොවී මෙම දෙපාර්ශ්වයම තුලනය කර ගනිමින් කටයුතු කළ හැකියි. යුද්ධයෙන් පසු මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ හෝ යහපාලන ආණ්ඩු සමයේ හා වර්තමාන ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සමයේ එවැනි මනා තුලනයක් දැකිය නොහැකියි. අප කළ යුත්තේ මැද මාවතක් තෝරා ගනිමින් සමතුලිත ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි. වසර 10ක පමණ කාලයක සිට එම සමතුලිත භාවය දැකිය නොහැකිවී තිබෙනවා. ශ්‍රී ලංකාවේ පිහිටීම නිසා මහ බලවතුන් අපට වැඳ වැටෙනු ඇතැයි නොසිතිය යුතුයි. ඇතැම් විටක වැඳ වැටෙන්නට ඉඩ තිබුණද ඇතැම් විටෙක දරුණු ක්‍රියාමාර්ග වුව ගැනීමට ඔවුන් පෙළඹිය හැකියි.

ශ්‍රී ලංකාව, චීනය හා ඉන්දියාව අතර පවතින සීතල යුද්ධයේ ගොදුරක් බවට පත්ව සිටිනවා නේද?

ඔව්. එහෙම වුණේ ඇයි? 2009 යුද්ධය අවසන් වීමෙන් පසු චීන ආයෝජන වලින් පශ්චාත් යුද සංවර්ධන කටයුතු සිදුකළා. එය යහපත් කාර්යයක්. හම්බන්තොට වරාය නිසා අපි ණය උගුලකට හසුවුණා යන්නත් පිළිගත නොහැකියි. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර කාලයේ වරදක් සිදු වුණා. දෙමළ ප්‍රශ්නය දේශපාලනික වශයෙන් විසඳීම, 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම, දෙමළ පක්ෂ සමග දේශපාලන සංවාද ක්‍රියාවලියක් ආරම්භ කිරීම වැනි පොරොන්දු කිහිපයක් එතුමා සහ එතුමා නියෝජනය කළ ත්‍රිත්වය වන බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ ලලිත් වීරතුංග විසින් ඉන්දියාවට ලබා දී තිබුණා. මහින්ද රාජපක්ෂ මහතා සද්භාවයෙන් එම පොරොන්දු ලබා දුන්නත් වර්තමානයේ බලවත් චරිත දෙක වන ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් තම තමන්ගේ දැක්ම අනුව යමින් මහින්ද රාජපක්ෂ ඉන්දියාවට ලබාදුන් පොරොන්දු ක්‍රියාත්මක කිරීම අඩාල කළා. ඉන්දියාව සමඟ විරසකය ආරම්භ වූයේ ඒ අනුවයි. 

2012 ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහි ස්ථාවරයක සිටීමෙන් එම විරසකය පැහැදිලිව පෙනුණා. එසේ නොමැති නම් ඉන්දියාවත් චීනයත් යන දෙරටම ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කළා. යුද සමයේ පැවැති මිත්‍රත්වය ඉදිරියට ගෙන යා හැකිව තිබුණා. එසේ කළා නම් චීන ආයෝජනවලින් රට සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව කණස්සල්ලට පත් වන්නේ නැහැ. ඉන්දියාවට දුන් පොරොන්දු ඉටු නොකර චීනයට වැඩි අවස්ථාවක් ලබා දීම හේතුවෙන් ශ්‍රී ලංකාව චීනයට වැඩි නැඹුරුවක් දක්වනවාය යන මතයක් ඉන්දියාවට ඇතිවුණා. චීන සබ්මැරින් දෙකක් ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව ලබා දීම මත මෙම තත්ත්වය තවත් වර්ධනය වුණා. 2015 පැමිණි යහපාලන ආණ්ඩුව වැඩ ආරම්භ කළේ පෝට් සිටි සහ වෙනත් චීන ව්‍යාපෘති තාවකාලිකව නතර කරමින්. ඒ නිසා චීනය විරසක වුණා. එම ව්‍යාපෘති නතර කළත් ඒ සඳහා ගෙවීම් කළ යුතුව තිබුණා. එමෙන්ම එම ව්‍යාපෘති නතර කිරීමෙන් මෙරට ආර්ථික වර්ධන වේගය අඩාල වුණා. මේ ගැටලුවලට මුහුණ දීමට නොහැකි වූ යහපාලන ආණ්ඩුව අංශක 360ක් ආපසු හැරෙමින් චීනයට හම්බන්තොට වරාය සහ අවට භූමිය ලබා දුන්නා. ශ්‍රී ලංකාව මධ්‍යස්ථ මාවතක  නොයන නිසයි ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් අර්බුදවලට මුහුණ දෙන්නේ.

මෙවැනි අර්බුදවලින් ගැලවී සිටීමට කටයුතු කළ යුත්තේ කෙසේද?

ඒ සඳහා පැහැදිලි මූලෝපාය සහ ජාත්‍යන්තර ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. දැනට නම් එවැනි ප්‍රතිපත්තියක් නැහැ. එදා ලක්ෂ්මන් කදිරගාමර් විදේශ ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේ ක්‍රියා කළ අයුරින් මධ්‍යස්ථව සියල්ලන් තුලනය කර ගනිමින් කටයුතු කළ යුතුයි. ජාතික වැදගත්කමත් සහිත ප්‍රශ්න සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුයි. ජාතික ප්‍රතිපත්තියක් යනු සාකච්ඡා හා සංවාද මගින් සම්මුතියකින් අවසන්වන ක්‍රියාවලියක්. එම සාකච්ඡාවලට ජනාධිපතිවරයා සමඟ සියලු පක්ෂ, වෘත්තීය සමිති, ප්‍රාදේශීය නියෝජන සහ හිටපු ජනාධිපතිවරුන්ද ඒ සදහා සහභාගී කරගත යුතුයි. ඒ  අනුව සර්ව පාක්ෂික, සර්ව පාර්ශ්වීය සම්මුතියකට එළැඹිය හැකියි. එවැනි සම්මුතියක් අනුව ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරගත හැකියි. 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා