2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

රටම පෙළන ආනයන තහනම

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 421

ආනයන සීමා කර තිබුණද, 2020 වසරේ භාණ්ඩ ආනයනය සඳහා රජය වැය කර ඇති මුදල අමෙරිකානු ඩොලර් කෝටි 1500ක් බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. පසුගිය වසරේ ආනයන හා අපනයන අතර හිඟය අමෙරිකානු ඩොලර් කෝටි 400ක් වන අතර විදේශ ණය හා පොලී ගෙවීම් යටතේ අමෙරිකානු ඩොලර් කෝටි 4300ක් ගෙවා ඇති බවද සැලවේ. මෙම තත්ත්වය නිසා විදේශ අංශය මත ඇතිවන පීඩනය මේ වසර තුළ දැඩිව පවතින අතර සංචාරක ව්‍යාපාරයේ අද පවතින තත්ත්වය වෙනස් වීම හා විදේශවල සේවය කරන අයගෙන් ලැබෙන විදේශ ප්‍රේෂණවල මෙරටට ගලා ඒම යථා තත්ත්වයට පත්වූ පසු මෙම පරිසරය වෙනස් වනු ඇති බව මුදල් අමාත්‍යාංශයේ විශ්වාසය වෙයි.

වර්තමාන රජය බලයට පත් වූ පසු ආනයන වියදම අඩු කිරීම සඳහා ක්‍රම දෙකක් අනුගමනය කළේය. ඇතැම් භාණ්ඩ ආනයනය කිරීම මුළුමනින්ම තහනම් කළ අතර විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා මෙරටට ආනයනය කරන භාණ්ඩ අකර්මණ්‍ය කිරීමට කටයුතු කර ඇත. මෙම ක්‍රමවේද 2021 අයවැය ලේඛනය මගින් මෙන්ම එයට පෙර 2020 වසරේ මුල සිටම ක්‍රියාත්මක කළ බව දක්නට හැකි විය. මේ වන විට වාහන ආනයනය මුළුමනින්ම තහනම් කළ අතර, වාහන ආනයනය සඳහා පසුගිය සමයේ නිකුත් කළ ආනයන බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය ද නවතා ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට අනුග්‍රහ වාහන බලපත්‍ර නිකුත් කිරීම නවතා ඇති අතර ඒ අයට අවශ්‍ය වාහන රටේ ඇති වාහනවලින් තෝරාගන්නා ලෙසට ද උපදෙස් දෙනු ලැබිණි. වාහන ආනයනය තහනම් කිරීම නිසා තම ව්‍යාපාර සම්පූර්ණයෙන් බිඳවැටී යැපෙන්නන් දහස් ගණනක් මහමගට වැටී ඇති බවට වාහන ආනයනකරුවන් පැමිණිලි කළද, වාහන ආනයන තහනම මෙතෙක් යථා තත්ත්වයට පත් කර නැත.

එසේම පසුගිය වසරේ මැයි මස 07 දින මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2007 අංක 48 දරණ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය ප්‍රකාරව ආනයනය කරන ආහාර ද්‍රව්‍ය රැසකට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවූ අතර, එමගින් බොහෝ ආනයනික ආහාර ද්‍රව්‍යවල බද්ද සියයට 200ක පමණ ප්‍රමාණයකින් ඉහළ දැමීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ ආහාර ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම විශාල වශයෙන් අඩු විය.
එසේ වුවද පසුවන විට විවිධ හේතු සහ බලපෑම් හමුවේ රජයට මුල් ස්ථාවරය වෙනස් කර ඇතැම් භාණ්ඩ සඳහා සහන සැලසීමට සිදුවිය. කෙසේ වුවද රටේ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් පැවතුණු විට රජය කරන්නේ කිසිදු කරුණු සොයා බැලීමකින් තොරව ඒවා ආනයනය කිරීමය. එයට ප්‍රධානතම උදාහරණය වන්නේ මෙරට සහල් මිල ඉහළ ගිය විට රජය අවිචාරවත් ලෙස සහල් ආනයනය කිරීමය. මෙලෙස ඉන්දියාවෙන් සහ පකිස්ථානයෙන් ගෙනෙන බාල වර්ගයේ සහල් පාරිභෝජනයට පාරිභෝගිකයන් අකැමැති වීම නිසා පසුගිය සමයේ එසේ ගෙන්වූ පොන්නි සම්බා වැනි සහල් විශාල වශයෙන් දිරාපත් වී අලාභයක් සිදුවිය. අදද සිදුවෙමින් පවතින්නේ එම තත්ත්වයයි.

කෙසේ වුවද අද ආනයන තහනම් කර තිබෙන වකවානුවේ වුවද අත්‍යවශ්‍ය නොවන එළවළු, පළතුරු, නිමි ආහාර ද්‍රව්‍ය, මස් මාංශ ආදිය විවිධ හේතු දක්වමින් තවදුරටත් ආනයනය කෙරේ. ආනයන තහනම් කළද, බදු මට්ටම ඉහළ දැමීමද කුමන ආකාරයකින් හෝ ඇතැම් අනවශ්‍ය භාණ්ඩ රට තුළට පැමිණීම නිසා බදු නීති පැනවීමෙන් රජය බලාපොරොත්තු වූ අපේක්ෂා ඉටුවේද යන්න ප්‍රශ්නාර්ථයකි. එසේම මෙසේ විටින් විට ආනයන බදු ඉහළ පහළ දැමීම නිසා ව්‍යාපාරිකයන් මෙන්ම, පාරිභෝගිකයන්ද අමාරුවේ වැටෙන අතර රජය අපේක්ෂා කරන විදේශ විනිමය පාලනය ද ඉටු නොවන බව පෙනේ.

කෙටිකාලීනව හොඳක්: දිගුකාලීනව ලෙඩක්

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න පවසන්නේ රටකට ආනයන සම්බාධක පැනවීම දිගටම කළ හැකි දෙයක් නොවේය යන්නයි. හදිසි අවශ්‍යතා සඳහා ආනයන සීමා කළද, එය දිගටම පවත්වාගෙන යාම රටේ ආර්ථිකයට අහිතකර බවයි. ආනයනය සඳහා සීමා පැනවීමට රජය පසුගිය කාලයේ කටයුතු කිරීම නිසා මේ වන විට ඇතිවෙමින් පවතින අහිතකර ප්‍රතිඵල මෙයට හොඳ උදාහරණ ලෙස පෙන්වා දිය හැකි යැයි ඔහු කියයි. ආර්ථිකය ප්‍රසාරණය වීමට නම් විදේශ සබඳතා අවශ්‍ය වේ.

අපේ රටේ ආනයන තහනම් කළේ රටේ පැවැති ආර්ථික අර්බුදයට පිළියමක් වශයෙන්. පසුගිය සමයේ රටේ විශාල ලෙස ආර්ථික ගැටලු ඇතිවීමට ප්‍රධාන කරුණු දෙකක් බලපෑවා. වර්තමානයේදී කොරෝනා වසංගතය සමඟ උද්ගත වූ ආර්ථිකය කඩාවැටීම එකක්. අනෙක් කරුණ වන්නේ කොරෝනා වසංගතය පැමිණීමටත් පෙර සිට වර්ගවාදී යුද්ධයෙන් පසු අපි ආර්ථික අර්බුදයක් කරා ගමන් කරමින් සිටීමයි. ඒ කාලයේදීද යම් යම් ආනයන සීමා කිරීම් කරන්නට සිදු වුණා. ගැටලුවට විසඳුමක් ලෙස නොකළ යුතු දේද කරන්නට සිදු වුණා.

ඔහු පවසන්නේ විදේශ ණය ගෙවීමට පමණක් අමෙරිකානු ඩොලර් බිලියන 4 – 5 පමණ වැය කරන්නට සිදුව ඇත යන්නය. මේ සඳහා අපට ඩොලර් නොතිබුණු බැවින් ආනයන තහනම් කර එයට වැයවන විදේශ විනිමය රුකගන්නට සිදුව තිබුණි. දිගටම ආයාත සීමා කරන්න අපහසු වන්නේ රටේ ජාතික ආදායම එයින් පහත වැටෙන නිසාය. ඒ අතරම රුපියලේ විදේශ අගය පසුගිය දිනවල ක්‍රමයෙන් පහත වැටීමද විදේශ විනිමය අර්බුදය තීව්‍ර කරන්නට හේතු වූ බව ඔහු කියයි. ඔහු මෙසේ ද පවසයි.
ලෝකයේ වෙන රටවල් සමඟ සැසඳූ විට ආයාතවලට විශාල ලෙස අපේ රටේ බදු පනවා තියෙනවා. එය සියයට 17ක් පමණ වෙනවා. වෙන රටවල සියයට 5ට අඩුයි. සිංගප්පූරුව වැනි දියුණු රටවල සියයට 0 ක් පමණයි. එයට හේතුව ආයාත දිරිමත් කිරීම රටේ ආර්ථික දියුණුවට හේතු වන බව පිළිගන්න නිසයි. අපේ රටේ සියයට 17 කියන්නේ අති විශාල බද්දක්. අපේ ආණ්ඩුව වෙළෙඳාමෙන් ලැබෙන බදු මත රඳා පවතින බව කිව යුතුයි. ආනයන තහනම් කළ විට මෙම බදු ආදායම පහළ වැටෙනවා. එයට විකල්පයක් සොයාගත නොහැකියි.

අනිත් අතට අපේ ආයාතවලින් සියයට 80ක් පමණ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය, මෙවලම්, උපාංග සහ අමතර කොටස්ය. පාරිභෝගික භාණ්ඩවලට වැය වෙන්නේ සියයට 20 පමණයි. උදාහරණ ලෙස අපේ ඇඟලුම් කර්මාන්තය ගතහොත් එයට අවශ්‍ය රෙදි පමණක් නොව බොත්තම්, සිප්, පටි, කටු ආදී උපාංග ද ආනයනය කරනවා. මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ද එසේයි. කොටස් ගෙනත් මෙහෙ එකලස් කරනවා. ප්‍රාග්ධන භාණ්ඩ ද ගෙනෙනවා. ආනයනය තහනම් කළ විට ඒ සමස්ත නිෂ්පාදනයම කඩා වැටෙනවා. ජනතාවට රුකියා නැතිවෙනවා. එයට සම්බන්ධ අතුරු ව්‍යාපාර නැතිවෙනවා. මේ තත්ත්වය රටේ ආර්ථිකයට අහිතකරයි.

ඊළඟට රට තුළට හොරෙන් බඩු ආනයනය කරනවා. වෙනත් බඩු අස්සේ සඟවලා ගෙනෙනවා. නැතිනම් අදාළ නිලධාරීන් නතු කරගෙන හොරෙන් ගේනවා. ඒවා වළක්වන්නට අවශ්‍ය නීති රීති තනන්න රජයට සිදුවෙනවා. ඊළඟට හමුදාව, පොලීසිය හා නිලධාරීන් යොදවා ඒවා මර්දනය කරන්න සිදුවෙනවා. ඒ අයට වැටුප් සහ දීමනා ගෙවන්න විශාල වියදමක් යනවා. මෙයින් රටේ ආර්ථිකයට සිදුවන වාසියක් නැහැ. එය රජයට අමතර වියදමක්. නීති හා රෙගුලාසි වැඩි වන විට දූෂණයට ඇති ඉඩකඩ ද පුළුල් වෙනවා. අපතේ යන අනවශ්‍ය වියදම වැඩි වෙනවා. මෙලෙස හොර පාරෙන් බඩු ගෙන්වන බොහෝ දෙනා අපේ දේශපාලනඥයන්ට මොන ලෙසකින් හෝ සම්බන්ධ අයයි. ඔවුන් මර්දනය කිරීම දුෂ්කරයි. විශාල වියදමක් දරන්න වෙනවා.*
ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ කෙටි කාලයකට ආයාත සීමා කිරීම හොඳ වුවත් දීර්ඝකාලීනව අහිතකර ප්‍රතිඵල ලැබෙන බවයි. ඒ නිසා අපේ රටේ අද පවතින ආයාත තහනම ඉක්මනින් ලිහිල් කළ යුතු බව ඔහුගේ අදහසයි.
සාර්ථක උපාය මාර්ගයක් නොවෙය

දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර:

රජය ආනයන භාණ්ඩ ඇතැම් විට තහනම් කරමින් සහ බදු ඉහළ දමමින් කටයුතු කිරීම නිසා පසුගිය වසරේ ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 1500ක් දක්වා පහත වැටී තිබෙනවා. සාමාන්‍යයෙන් අපේ වාර්ෂික ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 2000ක් පමණ වන අතර පසුගිය වසරේ ඩොලර් මිලියන 500ක් පමණ අඩුව තිබෙන බව පෙනෙනවා. එහෙත් සමහර අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය මුළුමනින්ම තහනම් කිරීම නිසා ඒවා රට තුළ සම්පූර්ණයෙන්ම හිඟ වුණා. ඒ අනුව බලනවා නම් මෙයට වඩා ආනයන වියදම පහළ බැසිය යුතුයි. මෙහිදී අපට යම් සාධාරණ සැකයක් ඇතිවෙනවා මේ තුළ ඇතැම් නිලධාරීන් යම් වංචාවක් සිදු කළාද කියලා.

ආනයන තහනම් කළේ තාවකාලිකවයි. මෙය උපාය මාර්ගයක් ලෙස එතරම් සාර්ථක නැහැ. එය ඇතැම් නිලධාරීන් තමාට වාසි ලබාගැනීම සඳහා හඳුන්වා දුන් සූක්ෂම කූට ක්‍රමයක් යැයි අපට සැක පහළ වෙනවා. ආනයන කිරිපිටි සහ තිරිඟු පිටි ආදිය පාරිභෝජනය අඩු වූ බව කියනවා. එහෙත් ආනයන ප්‍රමාණය අඩුවෙලා නැහැ. තිරිඟු පිටි වාර්ෂික ආනයනය මෙට්‍රික් ටොන් අනූදාහක් පමණයි. කිරිපිටි මෙට්‍රික් ටොන් ලක්ෂ 18ක් පමණ ආනයනය කරනවා. පසුගිය සමයේ තිරිඟු පිටි බදු කිලෝවට රුපියල් 28ක් අඩු කර ඇති අතර, කිරිපිටි කිලෝවේ පැකැට්ටුවක බදු රුපියල් 223කින් පහත හෙළා ඇත. සීනි බද්ද කිලෝවට ශත 25 දක්වා අඩු කළා. මේ නිසා ආනයනය වැඩි වෙනවා. මෙහිදී බදු අඩු කිරීම නිසා ඇතැම්විට ව්‍යාජ බිල් යොදා ඩොලර් පිටරට යවන විනිමය වංචාවක් සිදුවෙන්න ඉඩ තිබෙනවා.

මෙහිදී මුදල් අමාත්‍යාංශයේ ප්‍රබල නිලධාරීන්ගේ යම් මැදිහත් වීමක් සිදුවන බවට සැක පහළ වෙනවා. භාණ්ඩවල බදු අඩු කිරීමේ ක්‍රමවේදයද තමන් අතට ගැනීමට ඔවුන් උත්සාහ කරනවාදැයි සැකයක් පහළ වෙනවා. භාණ්ඩවල බදු වෙනස් කිරීමට බලය ඇත්තේ අමාත්‍ය මණ්ඩලයටයි. අනතුරුව පාර්ලිමේන්තුවෙන්ද සම්මත කර ගත යුතුයි. මෙහිදී ඇතැම් නිලධාරීන් බදු පැනවීම වෙනුවට තාවකාලික භාණ්ඩ ආනයන තහනමක් ඇති කරන්නට කැමැතියි. එලෙස වරින් වර ආනයන තහනම් කරලා යළි තහනම ඉවත් කිරීමේ ක්‍රමවේදයක් පවතින බව පෙනෙන්නට තිබෙනවා. මෙහිදී සිදුවෙන්නේ කැබිනට්ටුවේ හා පාර්ලිමේන්තුවේ බලය මුදල් අමාත්‍යාංශ නිලධාරියා අතට ගැනීමක්.
එලෙස මුළු භාණ්ඩයම ආනයනය තහනම් කළ විට බදු පැනවිල්ල සිදුවන්නේ නැහැ. නිලධාරියා බොරුවට තහනම් කරලා ටික කලකින් යළි දෙනවා. අදාළ විෂය භාර ඇමැතිවරයා හෝ මුදල් අමාත්‍යවරයා මේ ගැන දන්නේ නැහැ. මෙහිදී අයථා ලෙස මුදල් උපයා ගැනීමේ අවස්ථාවක් ඔවුන්ට ලැබී තිබෙනවා.

පසුගියදා සීනි ආනයන බද්ද රුපියල් 50 සිට ශත 25ට බැස්සවීමේදීද මෙවැනි අයථා ගනුදෙනුවක් සිදු වූ බවට ආරංචි පළ වුණා. මේ බදු අඩු කිරිල්ල ගැසට් කිරීමට පෙර ඇතැම් සමාගම් නිලධාරීන් මගින් දැනගෙන විශාල ලෙස සීනි ආනයනය කළා. බදු අඩු කිරීමට ඔන්න මෙන්න කියද්දි ගෙනා සීනි මෙට්‍රික් ටොන් 8000ක් පමණ බැහැර කර නාගෙන ගුදම්වල තබාගෙන සිට බදු අඩු කළ පසු ගොඩබෑවා. එවිට බදු වැදුණේ නැහැ. මෙය සැලසුම් සහගතව කළ වංචාවක්. අපේ බදු ආදායම ඇතැම් සමාගම්වල සාක්කුවලට දැම්මා. මෙය ඇතැම් වෙලාවට ඇමැතිවරුන්ද නොදන්නවා විය හැකියි.

පසුගියදා සිදු කළ කහ ආනයන තහනම ද ඇතැම් අයට මුදල් ආකරයක් වුණා. රටේ කහ අවශ්‍යතාව වසරකට මෙට්‍රික් ටොන් 5000ක්. ඒත් මෙට්‍රික් ටොන් 6000ක් හොරට ගෙනෙනවා. එලෙස ගෙනත් තහනම නිසා වෙළෙඳපොළේ කහ හිඟ වූ විට ඉහළ මිලකට විකුණනවා. රජයට කිසිම බදු ආදායමක් ලැබෙන්නේ නැහැ. පසුගිය සමයේ රට වසා තිබියදී රුපියල් මිලියන 300ක එළවළු හොර පාරෙන් ආනයනය කරලා. මේ කාලයේ හෝටල් වහලයි තිබුණේ. එහෙම නම් එයට පෙර වගේ එළවළු රටින් ගෙනා යුතු නැහැ. එහෙත් ගෙනත් ඇති බව සංඛ්‍යාලේඛනවල තියෙනවා. මෙහිදී කඩදාසි පමණක් පාවිච්චි කර ඩොලර් රට යැවීමේ ව්‍යාපාරයක් ඇති බවට සැක පහළ වෙනවා.

 යසවර්ධන රුද්රිගූ