2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

සැෂේ පැකට් ළඟදීම “නොකවුට්”

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 42

එක් වරක් පමණක් භාවිත කර වීසි කරන සැෂේ පැකට් ඇතුළු ප්ලාස්ටික් නිෂ්පාදන කිහිපයක් මේ අවුරුද්දේ ජනවාරි 1දා සිට තහනම් කිරීමට ක්‍රියා කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර කීවේ ගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ සිටය. ජනවාරි 1දා එළඹුණත් තහනම ක්‍රියාත්මක නොවීය. තවමත් සැෂේ පැකට් තොග ගණනින් කඩ සාප්පුවලදී මිලදී ගැනීමට පුළුවන.

පරිසර අමාත්‍යංශය ඒ ගැන පැවසුවේ නිෂ්පාදකයන්ට විකල්ප ක්‍රම සොයා ගැනීමට සහන කාලයක් අවශ්‍ය බවත්, ඒ සඳහා මාස තුනක කාලයක් ලබාදුන් බවත්ය. ඒ අනුව නිෂ්පාදකයන් විකල්ප ක්‍රම සොයාගන්නා තෙක් තාවකාලික සහන කාලයක් හිමිවන අතර තහනම අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වීමට නියමිතය. පසුගිය ජනවාරි 21 දින අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරන්නේ ඒ අනුවය. එහි අඩංගු වූයේ පරිසරයට සැනසුම් සුසුම් හෙළිය හැකි ආරංචියකි.

ඒ අනුව තනි භාවිත සහ කෙටිකාලීන භාවිත ප්ලාස්ටික් මාර්තු 31 දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය. 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතින් පරිසර ඇමැතිවරයාට ලැබී ඇති බලතල අනුව එම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

ප්ලාස්ටික් නියාමනයට අදාළ ගැසට් පත්‍ර දෙකක් නිකුත් කර ඇති අතර, යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා භාවිත කරනු ලබන කෘෂි රසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා පොලිඑතිලීන් ටෙරප්තැලේට් (PET) හෝ පොලිවයිනයිල් ක්ලෝරයිඩ් (PVC) ද්‍රව්‍ය සඳහා එම තහනම ක්‍රියාත්මකය. අංක 2211/5 2021 ජනවාරි 21 දින දරන ගැසට් පත්‍රය මගින් ඒ බව ප්‍රකාශයට පත් කර ඇත. එම ගැසට් පත්‍රයට අනුව යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පහත දක්වා ඇති නිශ්චිත ප්ලාස්ටික් අයිතම හැර සෙසු දෑ භාවිතය තහනම්ය.

1. ශුද්ධ පරිමාව මි.ලී. 20 ශුද්ධ බර ග්‍රෑම් 20ට සමාන හෝ ඊට අඩු සැෂේ (ආහාර සහ ඖෂධ ඇසුරුම් කිරීමට භාවිත කිරීම සඳහා හැර)
2. හුළංවලින් පිරවිය හැකි සෙල්ලම් බඩු (බැලුන් බෝල, දිය මත පාවෙන පිහිනුම් තටාකවලදී භාවිත කරන සෙල්ලම් බඩු සහ ජල ක්‍රීඩා උපකරණ හැර)
3. ප්ලාස්ටික් කූර සහිත කොට්න් බඩ්ස් (වෛද්‍ය/ සායනික ප්‍රතිකාර සඳහා භාවිත කරන ප්ලාස්ටික් කොට්න් බඩ්ස් හැර)

එමෙන්ම 2211/50 2021 ජනවාරි 21 දරන ගැසට් පත්‍රය මගින් ඕනෑම ප්ලාස්ටික් වර්ගයකට අදාළව එම නිෂ්පාදන සඳහා යොදාගත් ප්ලාස්ටික් වර්ගය සඳහන් කිරීම අනිවාර්යය. එමෙන්ම එක් එක් ප්ලාස්ටික් වර්ගය හඳුනා ගැනීම සඳහා යෙදිය යුතු ජාත්‍යන්තරව භාවිත කරන සංකේත ක්‍රමයක් ද හඳුන්වා දී තිබේ. ප්ලාස්ටික් ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය පහසු කිරීමෙන් පරිසර දූෂණය අවම කිරීම එහි අරමුණයි.

විවිධ වෙළෙඳ බාධක මැද මේ අයුරින් හෝ ගැසට් පත්‍රයක් නිකුත් කිරීම මෙරට පරිසරයට හිමි වූ ප්‍රතිලාභයක් ලෙස සැලකිය හැකිය. මෑත කාලයේ සැෂේ ඇසුරුම් භාවිතය විශාල වශයෙන් ඉහළ ගියේය. ෂැම්පු වර්ග, දත්බෙහෙත්, සබන් කුඩු, හිස ගල්වන ජෙල් වර්ග, කිරිපිටි, සෝස් වර්ග පමණක් නොව ඇන්ජින් ඔයිල් පවා සැෂේ පැකට්වල එන්නට පටන්ගෙන තිබේ. 1980 දශකයේ මැද භාගය වන විට සැෂේ මතුවන්නට වුණේ විවෘත ආර්ථිකයේ අධි පරිභෝජනයේ තවත් ප්‍රතිඵලයක් ලෙසිනි. අවශ්‍ය භාණ්ඩ මෙන්ම අනවශ්‍ය භාණ්ඩ ද පරිභෝජනයට මහා පරිමාණයෙන් පාරිභෝගිකයන් හුරු කළ අතර ඔවුන්ගේ ආර්ථික පන්තියට ගැලපෙන සේ වරක් භාවිත කර වීසි කිරීමට සැසේ සංස්කෘතියක් හට ගැනිණි. බෙහෙත් සිල්ලර බඩු කඩවල ඉදිරිපස අලංකාර කර ඇත්තේද සැෂේ වැල්වලිනි.

කලකට පෙර වීදුරු බෝතල්වල දමා තිබූ තුනපහ, කෝපි කුඩු කිරා පත්තර කොළවල ඔතා දුන් අයුරු අපට තවමත් මතකය. සැෂේ තහනමෙන් එදාවේල හොයාගන්නා දුප්පත් පාරිභෝගිකයාට පහර වදින බවත් අමතක නොකළ යුතුය. ඒ නිසා ඔවුන්ට එම නිෂ්පාදන මිලදී ගැනීමට විකල්ප ක්‍රියාමාර්ගයක් හඳුන්වා දිය යුතුය. ජාතික පාරිසරික පනතට අනුව අපද්‍රව්‍ය අවම කිරීමේ තාක්ෂණික ක්‍රමෝපායයත් හඳුන්වා දීමද මධ්‍යම පරිසර අධිකාරියේ විෂය පථයට අයත්ය.

මේ පිළිබඳව අදහස් දක්වන මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන අධ්‍යක්ෂ එන්.එස්. ගමගේ:

“සැෂේ පැකට් මගින් අපේ රටේ පාරිසරික සංවේදී කලාප, ජලාශ දූෂණය වෙලා. මාසෙකට අපේ රටේ සැෂේ පැකට් බිලියනයක් පමණ ඉවත් කරන බව සමීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. මේවා පරිහරණයේදී ඒවා ඉවත් කිරීම ගැන සැලකිල්ලක් නොදැක්වීම නිසා තමයි මේ ගැටලුව නිර්මාණය වෙලා තියෙන්නේ. අපේ පසු භාවිත ප්ලාස්ටික් කළමනාකරණ වැඩපිළිවෙළ ඉතා දුර්වලයි.”

ප්ලාස්ටික් හිසරදය සම්බන්ධව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ පවසන්නේ මෙසේය:

“සැෂේ පැකට් එකක් දිරාපත් වීමට අවුරුදු 1000ක් පමණ කල්ගත වෙනවා. අපි යෝජනා කරන්නේ විස්තීරණ වූ නිෂ්පාදකයාගේ වගකීම. ඒ කියන්නේ ඇසුරුම් ඉවත් කිරීම නිෂ්පාදකයන් විසින් බාරගත යුතු වෙනවා. මිලිග්‍රෑම් 5/ මිලි ලීටර් 5 ෂැම්පු පැකට් ජනතා ඉල්ලීමට කළ දේවල් නොවේ. නිෂ්පාදන සමාගම් තමයි දුප්පත් මිනිසාට සහනයක් කියලා වෙළෙඳපොළ ලොකු කරගන්න මේවා ඉදිරිපත් කළේ. ඒ නිසා වුණේ දුප්පතා පරිසරය විනාශ කිරීමේ ප්‍රධාන කොටස්කාරයෙක් වීමයි. අපට කසළ කළමනාකරණ ප්‍රතිපත්තියක් තිබෙනවා. නමුත් පරිසර ඇමැතිවරු තුන් දෙනෙක් හිටියත් මේ ප්‍රතිපත්තියට කළ දෙයක් නෑ.”

ලංකාව තුළ ගැසට් පත්‍ර නිකුත් කිරීමෙන් ද අඩුවක් නැත. ඒත් ඒවා ක්‍රියාත්මක වීම නම් සිදුවන්නේ අවාරෙටය. පසුගිය යහපාලන ආණ්ඩුවේ පරිසර ඇමැතිවරයා වූ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ මූලිකත්වයෙන්ද පරිසර දූෂණයට හේතුවන පොලිතීන් නිෂ්පාදන කිහිපයක් තහනම් කෙරිණි. ඒ 2017 සැප්තැම්බර් 1දා සිටය. ඒ අනුව මයික්‍රෝන 20 හෝ ඊට අඩු ඝනකමින් යුත් පොලිතීන් නිෂ්පාදන, ලන්ච් ෂීට්, වැඩි ඝනත්ව ෂොපිං බෑග්, ග්‍රොසරි බෑග්, උත්සවවලදී පොලිතීන් සැරසිලි භාවිතය, ප්‍රසාරිත පොලියෙස්ටරින් කෑමපෙට්ටි තහනම් කෙරණි. පොලිතීන් ප්ලාස්ටික් හා අවශේෂ පිළිස්සීමද ඒ තහනම් ක්‍රියාකාරකම් අතරට අයත් විය. ඒත් අද වන විට බොහෝ දෙනාට ඒ තහනම අමතක වී ගොසිනි.

 කුසුම්සිරි විජයවර්ධන