2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා

කොවිඩ් එන්නත වටේ ගොඩනැගෙන “ජාවාරම”

 2021 පෙබරවාරි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 27

කොවිඩ්-19 වයිරසය අනාවරණය වී අවුරුද්දකුත් මාසයක් ගත වී තිබේ. චීනයේ වූහාන් ප‍්‍රාන්තයෙන් පළමු රෝගියා වාර්තා වන විට ස්වභාවය මෙපමණ දරුණු වනු ඇතැයි තක්සේරුවක් නොතිබුණි. දෙතුන් දෙනා වාර්තා වන තත්ත්වය දහස් ගණනට වැඩිවන විට ලෝක සෞඛ්‍ය සංවිධානය 2020 වසරේ ජනවාරියේ දී හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කළේය. මාර්තු අවසානය වන විට තත්ත්වය තවත් භයානක තැනට හැරිණි. වසංගත තත්ත්වයක් බවට නිවේදනය කළ අතර සියලු රටවල් වසංගතයට මුහුණදෙන අරගලයට අවනත විය.

ඉතාමත් කෙටි කාලයක් තුළ වයිරසයට ඔරොත්තු දෙන එන්නත් නිෂ්පාදනය කරන්නට සමත්ව තිබේ. වෛද්‍ය පර්යේෂණ කණ්ඩායම් යුහුසුළු වූ අතර රටවල් ගණනාවක් දැනටමත් සාර්ථක ප‍්‍රතිඵල ලබා ඇත. සාමාන්‍යයෙන් එන්නතක් නිපදවන අතර එහි සායනික පරීක්ෂණ අවසන් කර ස්ථිර භාවිතයට එන්නට වසර දෙක තුනක් ගතවෙයි. පවතින අවදානම එම රාමුව වෙනස් කර තිබේ. වහා එන්නත්කරණයට අවසර දෙන්නට ලෝක සෞඛ්‍ය සංවිධානයට සිදු වී ඇත.

ජනතාව ගලවාගැනීමට හදිසි තීරණ

අලුත් වාර්තා දක්වන අන්දමට වයිරස් ව්‍යාප්තියෙහි වේගවත් පාලනයක් නැත. සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍ය විධි විධාන තිබිය දී ලෝකයේ සියලුම රටවල්වලින් ආසාදිතයෝ අනාවරණය වෙති. සමහර රටවල තෙවැනි හා සිව්වැනි වටයට ද ව්‍යාප්තියක් බව දැක්වේ. වෙනස් වයිරස් ප‍්‍රභේද දක්වා වැඩි දියුණු වී ඇති බව ද රසායනාගාර පරීක්ෂණ හෙළි කර ඇත. අලුත් තොරතුරු අනුව ආසාදිතයන මිලියන 104.4 ඉක්මවා ඇත. පූර්ණ සුවය ලැබූවන් මිලියන 76.3කි. ජීවිතක්ෂයට පත් ප‍්‍රමාණය මිලියන 2.26ක් බව ප‍්‍රකාශ වෙයි. අමෙරිකාව, ඉන්දියාව හා බ‍්‍රසීලය රෝගීන් වාර්තා වන රටවල් අතර පෙරමුණේ වෙයි.

ලෝක ඉතිහාසයේ දැවැන්ත ඛේදවාචක අතර කොවිඩ් වසංගතය ද සටහන් ව ඇත. විශාල ආර්ථික පරිහානියක් පමණක් නොව එයින් පසු උදාවන අලුත් ආර්ථිකයක් ගැන ද සාකච්ඡා වෙයි. ජාත්‍යන්තර පර්යේකයන්ගේ ගණන් ගැනීම අනුව වසර 2020 ලෝක ආර්ථිකය සියයට දෙකකින් ඍණ අගයක් සනිටුහන් කළේය. නමුත් වසර 2021 මෙම ගෙවී යන අවුරුද්දේ දී ආර්ථික වර්ධනය සියයට හතරක් විය හැකිය. එයට අවශ්‍ය ප‍්‍රතිසංස්කරණ සහ ආයෝජන සිදුවෙයි. විශාලම ආයෝජනය සෞඛ්‍ය හා සත්කාරක අංශයෙහි බව අනාවරණය වන වැදගත් කරුණකි. රෝහල් නවීකරණය, අලුත් එන්නතක් සොයා ගැනීම හා එය ලොව පුරා බෙදාහැරීම ඔස්සේ ධනය යොදවන කර්මාන්ත හා ව්‍යාපාර බිහි වී ඇත. එය මෙතෙක් වේදනාත්මක පැත්ත පමණක් නිරීක්ෂණය කළ බලධාරීන්ගේ අවධානයට යොමු වූ පැත්තකි. එන්නතක් හෝ ස්ථිර ප‍්‍රතිකාරයක් සඳහා පර්යේෂණ අරඹන ලද සමාගම් ගණන පන්සියය ඉක්මවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් තහවුරු කරන අවස්ථා පමණකි. නොයෙක් සංවිධාන හා පුද්ගලයන් ධනය යොදවන ලද ව්‍යාපෘති ගණන සොයා ගැනීමටත් අපහසු තරම්ය. සෑම රටකින්ම කරුණු වාර්තා වෙයි. ඒවා ආර්ථිකයේ කොටස්ය. අමුද්‍රව්‍ය යෙදවෙන අතර විද්‍යාඥයන් සහ පර්යේෂකයන් කරන අත්හදා බැලීම්වලින් ධනෝපායන මාර්ග විවෘත වෙයි. මැදි ආදායම් රටක් වන ශ‍්‍රී ලංකාවේ බුද්ධිමත් ජනතාව පවා නොයෙක් ව්‍යාපෘති හා ප‍්‍රතිකාර යැයි කියා ගන්නා දේ වෙනුවෙන් වෙහෙසුණු හා ඒ වෙනුවෙන් මුදල් වියදම් කරන ලද තරම පවා මෙරට ආර්ථිකයෙහි එක පැතිකඩක් බව පෙන්වා දිය යුතුය. හදිසි තීරණ, නොයෙක් විධිවිධාන, සහන සැපයීම, ණය යෝජනා ක‍්‍රම හා අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීම දක්වා නොයෙක් පැතිවලින් එය තවත් ව්‍යාප්ත වූ බව විවිධ රටවල වාර්තා සනාථ කරයි. 

එන්නතක් සෙවීම වෙනුවෙන් විදයම් කරන ලද ධනය 

කෙනප් පදනම නමැති ජාත්‍යන්තර ආයතනයක් කරන ලද පර්යේෂණයකට අනුව පසුගිය වසරේ දී කොවිඩ් එන්නතක් වෙනුවෙන් රටවල් වැය කළ ධනය අමෙරිකානු ඩොලර් බිලියන 126කි. එක මාවත් එක තීරයක් මෑත ඉතිහාසය තුළ ජාත්‍යන්තර ආයෝජනයෙහි දැවැන්ත ව්‍යාපෘතියකි. චීන සමූහාණ්ඩුව යෝජනා කළ එහි ප‍්‍රතිඵලයක් වශයෙන් නැගෙනහිර ආසියාවේ සිට යුරෝපය යා කරන සේද මාවත මුහුදෙන් නිර්මාණය කෙරේ. එයට වැය කරන ධනය අමෙරිකානු ඩොලර් බිලියන හතළිහකි. කොවිඩ් වසංගතය මර්දනයට එන්නතක් සඳහා සේද මාවත මෙන් තුන් ගුණයක මුදලක් ලෝකය පුරා ආයෝජනය වී තිබේ. එන්නතක් වෙනුවෙන් පමණක් බව අවධාරණය කළ යුතු කරුණකි. මෙම ධනයෙන් සියයට තිස් දෙකක් අමෙරිකාවෙන් ආයෝජනය වී ඇත. සියයට විසි හතරක් යුරෝපා ප‍්‍රජාවගෙන්ය. තවත් සියයට දහ තුනක් ජපානයෙන් හා දකුණු කොරියාවෙන් දරණ ලද වියදම් බව දැක්වෙයි. ඇසියාව, සිංගප්පූරුව, ඉන්දියාව ඇතුළු වෙනත් රටවල වියදම ඉතිරි කොටස තුළ තිබේ. චීනය කරන ආයෝජනය සම්බන්ධ නිල වාර්තා නැත. කෙසේ වෙතත් අමෙරිකාව, බ්‍රිතාන්‍ය, චීනය, ඉන්දියාව හා රුසියාව එන්නත් සොයාගෙන තිබේ. ඒවායේ සාර්ථකත්වය සම්බන්ධ වෙනම ප‍්‍රතිශත ඇත. එහෙත් භාවිත කරන්නට අවසර දී තිබේ. රටවල් හා බහුජාතික ඖෂධ සමාගම් එකතු වී ඉකුත් ජනවාරි 19 වැනිදා වන විට එන්නත් මිලියන තිස් නමයක් නිෂ්පාදනය කරන්නට සමත් වී ඇත.

බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සොයා ගත් එන්නත ඉන්දියාවේ නිපදවන ලද අතර ශ‍්‍රී ලංකාවට එන්නත් ලක්ෂ පහක් පරිත්‍යාග කරන්නේ ද මෙම එකතුවෙනි. ඉන්දියාවේ එන්නත් නිපදවන ශ්රීම් ඉන්ස්ටිටියුට් ලෝකයේ විශාලතම එන්නත් නිපදවන රසායනාගාරයකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බාරගත් එම එන්නත් දැනටමත් මුල් පෙළ ආරක්ෂා කරනු සඳහා භාවිත කර තිබේ. චීනයේ ජාතික ඖෂධ අධිකාරිය නිෂ්පාදනය කළ ෂිනෝෆාර්ම් එන්නත ලක්ෂ තුනක් මෙම මස මැද වන විට නිල වශයෙන් පිරිනමන බව චීන තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ. 

එන්නත් වෙළෙඳාම ඇති කරන කලබැගෑනිය

ඉන්දියාව එන්නත නිපදවන නමුත් එහි අයිතිය බ්‍රිතාන්‍ය සතුය. නිසි අවසරය රහිතව නියමිත ප‍්‍රමාණය ඉක්මවා නිපදවන්නට පුළුවන්කමක් නැත. ලෝක ජනගහණය මෙන් දෙගුණයක් එන්නත් අවම වශයෙන් අවශ්‍ය වනු ඇතැයි ගණන් බලා තිබේ. ජනගහණය බිලියන 7.8කි. බිලියන 15ක් එන්නත් නිපදවන්නට වසර හතරක් හෝ පහක් කල් ගත විය හැකිය. අවසානයේ දී එය විශාල වෙළෙඳ තරගයක් විය හැකි අතර නැවත වටයකින් එන්නත මිල දී ගත හැකි හා එයට බලය සහිත වශයෙන් ලෝකයේ රටවල ඇති නැති පරතරයක් නිර්මාණය වන ලකුණු පහළ වී තිබේ. දැනට වාර්තා වන පරිදි සංයුතිය හා බලපත‍්‍රය නිකුත් කළහොත් ලෝකයේ රටවල් හතළිස් එකකට එන්නත් නිපදවන හැකියාවක් තිබේ. කර්මාන්තශාලා පහසුකම් ඇත. වසංගත තත්ත්වය තුරන් වන තෙක් ඖෂධ සඳහා ඇති පේටන්ට් අයිතිය තාවකාලිකව ඉවත් කරන ලෙස ඉන්දියාව හා දකුණු අප‍්‍රිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ. දියුණු වෙමින් පවතින රටවල් සෑහෙන ප‍්‍රමාණයක් එය ඉතා සුදුසු බව දක්වා ඇත. කෙසේ නමුත් අමෙරිකාව, බි‍්‍රතාන්‍ය හා යුරෝපා රටවල එයට කිසිම කැමැත්තක් නැති බව අනාවරණය වන තවත් වැදගත් කරුණකි. දිනපතා ලෝකයේ නොයෙක් තැන දස දහස් ගණනින් මිය යන නමුත් එන්නත රහිතව තවත් වසර හතරක් පමණ දුක් විඳින්නට සමහර රටවල දුප්පත් ජන කොටස්වලට සිදුවන බව පැහැදිලිය. 

එන්නත විවෘත වෙළෙඳපොළේ මිල දී ගැනීමට නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් බෙදාහැරිය යුතු ආචාරධර්ම ප‍්‍රකාශයට පත් කරන නමුත් නිපදවන තැන සිට මිල දී ගන්නා රටවල් දක්වා ප‍්‍රවාහනය පවා සුළු පටු දෙයක් නොවේ. ගුවන්යානා හත්දහසක බලඇණියක් අවශ්‍ය වෙතැයි ගණන් බලා ඇත. ඒවා ඇසිරීම, ලැබිය යුතු තැන සඳහන් කිරීම හා අවශ්‍ය උණුසුම සහිතව ප්‍රවේශමෙන් ප‍්‍රවාහනය ඉතාම සංකීර්ණ තත්ත්වයකි. එන්නත් මිල පවා විෂම ව්‍යුහයක් ඇති කර තිබේ. කෙළින්ම ආණ්ඩු කරන ගනුදෙනුවලදී පවා ප‍්‍රශ්න මතු වී තිබේ. මේවා නිපදවන්නේ ආණ්ඩු නොවේ. පෞද්ගලික සමාගම්ය. ඒවා සැපයුම්කරැවන්ට හා මිල ගණන් කැඳවන්නන්ට එම අවස්ථාව අනුව මිල දක්වන බව දැක්වෙයි. සාමාන්‍යයෙන් පර්යේෂණ සඳහා වැය වූ මුදල් පියවා ගැනීමට ඉතා ඉහළ මිලක් මුලින් නියම කරන එකම එන්නත පසුව සෑහෙන මිල අඩුවෙන අතර දැන් ඉල්ලන තරගය තුළ වැඩිම වියදමක් දරන රටවලට තවත් වසර තුන හතරකින් සුළු පිරිවැයක් දරා එන්නත් පහසුවෙන් මිල දී ගැනීමට අවස්ථාව හැදෙන්නට බැරි නැත. එම පසුබිම වරදවා වටහාගන්නා පටු දේශපාලනඥයන් හා රාජ්‍ය නොවන සංවිධාන මෙම එන්නත් මිල දී ගැනීම තුළ මහා ජාවාරමක් හෝ දූෂණයක් ගැන මතයක් ඇවිළවුවහොත් එය පුදුම වෙන්නට කාරණාවක් නොවේ.

බලවත් ආණ්ඩු හැසිරෙන අන්දම නරක බව කියැවෙයි

අමෙරිකාව හා බ්‍රිතාන්‍ය වැනි රටවල් සිය ජනගහණයට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා එන්නත් ඇනවුම් කර තිබේ. මුදල් ගෙවා වෙන් කරගෙන ඇත. සිංගප්පූරුව ද එවැනි රටකි. බහරේන් රාජ්‍ය ජනගහණයේ ප‍්‍රතිශතයක් වශයෙන් ලෝකයේ වැඩිම එන්නත් ප‍්‍රමාණයක් දැනටමත් භාවිත කර ඇති බව අනාවරණය වෙයි. දෙවැනුව ඊශ‍්‍රායලයයි. මෙම රටවල් සිය ධනය ඉක්මනින් යෙද වූ අතර පරීක්ෂණ අවස්ථාවේදීම දන්වන ඕනෑම මිලක් ගෙවන්නට සූදානම් වූ රටවල්ය. මෙක්සිකෝව හා තවත් රටවල් ගණනාවක් ඇසුරුම් නොකරන ලද තොග මිල දී ගෙන තිබේ. ඒවා ගෙන්වා ගැනීමෙන් පසු තමන්ට රිසි පරිදි රසායානාගාරවලදී අසුරා ජනතාවට එන්නත් කරන වැඩපිළිවෙළක් අරඹා ඇත. දක්ෂ හා උපායශීලී අදහස්වලට වේගයෙන් දොරටු විවෘත වී තිබේ. දේශපාලන කැළඹිලි සහිත සහ තීරණයක් ගැනීමේ දී විවිධ ආකාරයෙන් සොයා බලා පරෙස්සම් වන රටවල් තවමත් මෙම සටනෙහි ‘‘අන්තිම පේළියේ’’ බව දැක්විය යුතුය. 

සෑම රටකටම සාධාරණ අවස්ථා සපයන බවට සපථ කරන ව්‍යාපාර පවා ඇති වී තිබේ. කොවැක්ස් එවැනි ආයතනයකි. ලෝක සෞඛ්‍ය සංවිධානය හා එකතු වී අරමුදලක් හදා තිබේ. ජනගහණය සලකා බලා සියයට විස්සක ප‍්‍රතිශතයකට කොවිඩ් එන්නත් ලබා දෙන විධික‍්‍රමයක් නිර්මාණය කර ඇත. රටවල් එකසිය අසූවක් එම රාමුවට එකතු වන බව නිල වශයෙන් දක්වා තිබේ. සමහර ධනවත් රටවල් සහ මහජන හිතකාමී සංවිධාන බිලියන ගණනින් ධනය පරිත්‍යාග කර ඇති අතර එම මුදල් තෝරාගත් රටවලට නොමිලේ එන්නත් සැපයීමට වෙන් කරනු ඇත. එය බලවත් මහජන ප‍්‍රසාදයක් ලැබී ඇති වැඩපිළිවෙළකි. නරක අන්දමට ක‍්‍රියා කර තමන්ට පමණක් එන්නත් වෙන්කර ගන්නා අතරවාරයේ යහපත් තීරණවලට කැමැති වන අවස්ථා ද ඇත. කෙසේ වෙතත් කොවිඩ් වසංගතය ඇති කරන ලද කලබැගෑනිය තුළ සොයාගත් එන්නත නැවත වටයකින් ලෝකයේ ස්වභාවය  මැනැවින් පිළිබිඹු කරන්නට සමත්  වී තිබේ. 

 ගාමිණී සරත් ගොඩකන්ද