
මුදල් වංචා දූෂණ හා අල්ලස් ගැනීම ඇතුළු අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. මේවාට ආණ්ඩුවේ උසස් නිලධාරීන් ගණනාවක්ම වරදකරුවන් වී සිටිති. ඒ තුළ මැති ඇමැතිවරු පිළිබඳව වාර්තා වන්නේ එමටය. ඔවුන් අතරට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සිට සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් විදුහල්පතිවරු මෙන්ම ග්‍රාමසේවක දක්වා නොයෙක් තරාතිරම්හි නිලධාරීහු අයත් වෙති. එවැනි පිරිස් අතර රජයේ ඉහළම ශ්‍රේණියේ සිට ග්‍රාමීය මට්ටම දක්වා පුද්ගලයෝ කොටු වී සිටිති.
උසස් නිලධාරීන්ගේ අක්‍රමිකතා සම්බන්ධයෙන් දැනුම්වත් වන ඇතැම්හු සර්ට, මැඩම්ට හොඳ නම් අපිට බැරිද? යැයි අසති. එසේ අසන යම් ආයතනවල කම්කරු, ආරක්ෂක නිලධාරි, රියැදුරු යන පිරිස්ද ආර්ථික වාසි අපේක්ෂාවෙන් විවිධ අකටයුතුකම්වලට සම්බන්ධ වෙති. නොයෙක් විට එවැනි සිදුවීම් අසන්නට ලැබේ. මේ ආකාරයට අක්‍රමිකතාවන් සිදු නොවන රාජ්‍ය අංශයේ ආයතනයක් පිළිබඳ ඇසීමද විරළ අත්දැකීමකි.
මෙකී නොකී ජාවාරම් අක්‍රමිකතා මිනීමැරුම් හමුවේ වරදකරුවන් වූ පසුව කවුරැත් ආණ්ඩුවේ බෝඩිමට සේන්දු වෙති. කල්දේරම් බත උයන බන්ධනාගාරයේ නවාතැන් ගැනීම ඇතැමුන්ට වාසියකි. බන්ධනාගාර පාලනාධිකාරියට සම්බන්ධ වී රජයේ වැටුප් ලබමින් රාජාකාරිය කරන අතරතුර අල්ලස් මගඩිවලට එහා ගිය ජාවාරම්වල නිරත අතලොස්සක් ගැනද විටින් විට වාර්තා වෙයි. ඔවුන් නිසි ලෙස රාජකාරියේ නිරත නිලධාරීන්ටද පිළිලයකි.
බූස්ස බන්ධනාගාරයේ සේවයේ නියුතුව සිටි උසස් නිලධාරියකු විසින් සිදුකර ඇතැයි කියන්නේ එසේ මෙසේ සුළුපටු වංචාවක් නොවේ. වාර්තා වන පරිදි ආසන්න වශයෙන් එකී වංචාව රුපියල් කෝටි හත්සියයද ඉක්මවයි. මේ කියන වංචනික ක්‍රියා පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකර අදාළ වාර්තාව ලබාදෙන ලෙස ජනාධිපති කාර්යාලයේ ඔම්බුඩ්ස්මන් එස්.එම්. වික්‍රමසිංහ මහතා විසින් පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇතැයිද දැනගන්නට තිබේ.
රුපියල් කෝටි 700 ඉක්මවන බන්ධනාගාර උසස් නිලධාරියාගේ වංචනික ක්‍රියා සම්බන්ධයෙන් මේ වනවිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙතද පැමිණිල්ලක් යොමුකර ඇති බව වාර්තා වේ. බන්ධනාගාර නිලධාරියකු සේ සේවය කරන අතරතුර සිය නිල ඇඳුම හා නිල වාහන අවභාවිත කරමින් මෙකී වංචාවල නිරත වීමට සැකකරු උත්සාහ කර ඇතැයි චෝදනා එල්ල වී තිබේ. එහිදී මූල්‍යමය වශයෙන් සිදුකරන ගනුදෙනුවලට අමතරව ඉඩම් හා දේපළ සම්බන්ධයෙන් ගනුදෙනු කර වංචා සිදුකර තිබෙන බවටද තොරතුරු ඇතැයි කියති.
සැකකරැ විසින් කොළඹ හා ගාල්ල ප්‍රදේශයේ වටිනා ඉඩම් වංචනික ලෙස තමන් දන්නා පාර්ශ්ව වෙත අලෙවිකර ඇතැයිද එමගින් අතිවිශාල ධනයක් රැස්කරගෙන ඇතැයිද පැවසේ. සැකකාර බන්ධනාගාර නිලධාරියා තම සොහොයුරකු හා සම්බන්ධ වී සිදුකර තිබෙන මෙම වංචාවලින් රජයට සිදුකර ඇති පාඩුව කෝටි ගණනකි. විවිධ ස්ථානවල තිබෙන ඉඩම් වංචනික ලෙස විකිණීම හා පවරාගැනීම සඳහා ඔහු පාතාලයේ සහාය ලබාගෙන තිබෙන බවද කියැවේ. ඒ අනුව සැකකරු බන්ධනාගාරගතව සිටින පාතාල නායකයන්ගෙන් නොමඳ සහායක් ලබාගෙන ඇතැයි වාර්තා වේ.
එපමණක් නොව සිය නිල බලය අයුතු ලෙස භාවිතා කරමින් තමා යටතේ සේවයේ නියුතු සෙසු නිලධාරීන්ගේද සහාය මේ සඳහා යොදාගැනීමට බන්ධනාගාරයේ චූදිත උසස් නිලධාරියා ක්‍රියාකර ඇතැයි දැනගන්නට තිබේ. මෙම පුද්ගලයා ව්‍යාපාරික මට්ටමින් පොලියට මුදල් ලබාදීම සිදුකර ඇත. එම කටයුතු සඳහා සිය නිල ඇඳුම අනිසි ලෙස භාවිත කළ බවට චෝදනා පවතී. එසේම ඒ සඳහා බන්ධනාගාරයේ රාජකාරි කරන සෙසු නිලධාරීන් පිරිසක් යොදාගෙන තිබූ බවද කියැවේ.
මෙම සැකකාර බන්ධනාගාර නිලධාරියාට එල්ල කෙරෙන චෝදනා අතර ගාල්ල කොටු පවුර තුළ පිහිටි රුපියල් කෝටි 250ක් පමණ වටිනා නිවාස දෙකක් සහිත ඉඩම් කැබලි දෙකක් හිමිකරගෙන තිබෙන බවට චෝදනාවක්ද වෙයි. ඊට අමතරව පන්නිපිටිය, කොට්ටාව පාරේ වටිනා ඉඩම් මංකොල්ලයක් සිදුකර තිබෙන බවටද චෝදනාවකි.
මෙතරම් බරපතළ චෝදනා එල්ල වුවද සැකකාර බන්ධනාගාර නිලධාරියා මේ වනවිටත් බන්ධනාගාර මූලස්ථානයේ සේවයේ යෙදෙමින් සිටී. මොහුගේ තනතුර නිල ඇඳුම හා යටහත් නිලධාරීන්ට අමතරව ඔහුට ඉහළ බලපෑමක් කළහැකි ජගතකු සිටින බව තවමත් රහසකි.
අදාළ චෝදනා හරහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කැළලක් සිදුවන සේ කටයුතු කරන බන්ධනාගාර නිලධාරීන් ගණනාවක් සිටින බව කිව යුතුය. කෙසේ වෙතත් චෝදනා හරහා එම දෙපාර්තමේන්තුවේ නම එක හෙළාම කියැවෙන බැවින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරැත්ථාපන) චන්දන ඒකනායක මහතාගෙන් මේ ගැන විමසීමක් කළෙමු. එහෙත් ඊට ඔහු නිසි පිළිතුරක් ලබාදුන්නේ නැත.
සමන්ත ප්‍රදීප් විල්තෙර