2021 ජනවාරි 30 වන සෙනසුරාදා

රුපියලට ටොකු අනින ඩොලරය

 2021 ජනවාරි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 132

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ගැන දක්වන ඉඟියක් වශයෙන් රුපියලේ අගය අවප‍්‍රමාණය වීම දැක්විය හැකිය. විනිමය හිඟ අවස්ථාවේදී රුපියල දුර්වල වන අතර රටට ඇති තරම් විනිමය උපයා ගතහොත් රුපියලේ අගය ශක්තිමත් කරගත හැකිය. ශ‍්‍රී ලංකා මහ බැංකුව පසුගිය දා කරන ලද ප‍්‍රකාශය අනුව විනිමය ප‍්‍රශ්න ආර්ථික හා මූල්‍ය අංශය කළඹන්නට පටන්ගෙන තිබේ. අමෙරිකානු ඩොලරයක විකිණුම් මිල රු. 197.00 තරමට පැමිණ ඇති අතර එය මෙයට වසර දෙකකට පමණ කලින් තිබුණු ඩොලරයක විකිණුම් මිල රුපියල් එකසිය පනහ ඉක්මවා යෑමකි. විනිමය අනුපාතිකය සම්බන්ධ ප‍්‍රශ්න පැන නැගෙන විට එයින් ඇති කරන පීඩනය තියුණුය.

ශ‍්‍රී ලංකා මහ බැංකුව දක්වන පරිදි ඩොලරයේ මිල වැඩිවීම අනපේක්ෂිත තත්ත්වයකි. එය පාලනය කර ගැනීමට හැකිය. ඉදිරි දින කිහිපය තුළ ඩොලරයක විකිණුම් මිල රු. 185ක සීමාවේ තබාගන්නට උපරිමයෙන් වෑයම් කරන බව අඟවා තිබේ. මහ බැංකුව දක්වන පරිදි රටට ඇති විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 5.6 කි. එය වේගයෙන් ආනයන හා අපනයන සිදුවන කාලවකවානුවකට තරම් නොවන නමුත් මෙම පාලිත වකවානුවේ නිශ්චිත අවශ්‍යතා සඳහා පමණක් යම් තරමකට ප‍්‍රමාණවත් බව සැකයක් නැත. අවුරුද්ද අවසානය හා නව වසරක් එළැඹෙන විට දෙස් විදෙස් ගනුදෙනු පියැවීම ව්‍යාපාර හා කර්මාන්ත අංශ අනුගමනය කරන සාමාන්‍ය කාරණයකි. අදාළ විදේශ ගෙවීම් සඳහා ඩොලර් ඉල්ලුමක් ඇතිවෙයි. ඉල්ලුම වැඩිවන විට ඩොලරයේ අගය ඉහළ නැගීම සිදුවිය හැකිය. මෙවැනි අවකාශයක් තුළ සැලැස්මක් අනුව, නිසි පාලනයක් තුළ මෙරටින් විදේශ විනිමය පිට කිරීමට ඉඩදීම උචිතය. ඩොලරයේ වටිනාකම වැඩි වී ඇති කාලය තුළ පිටරටවල රඳවාගෙන ඇති මුදල් මෙරටට ගෙන්වීමට හොඳ කාල පරිච්ඡේදයක් බවද සඳහන් කළ හැකිය. ව්‍යාපාර හෝ අපනයනවල ලැබීම් සහ විශේෂයෙන් විදේශගතව රැකියා කරන පිරිස එවන ප්‍රේෂණ ‍මෙම වාසිදායක අවස්ථාවේ දී රටට ලැබුණහොත් එම ගනුදෙනුවලට වැඩි රුපියල් ප‍්‍රමාණයක් ලබාගත හැකිය. අවසාන ප‍්‍රතිඵලය වශයෙන් මෙරට විදේශ සංචිත තරවීමෙන් නැවත වතාවක් රුපියලේ අගය ශක්තිමත් වනු ඇත.

ඉල්ලුම හා සැපයුම විනිමය අනුපාතයේ සැලකිය යුතු සාධකයකි. ඩොලර් ඉල්ලන තරමට දෙන්නට වත්කමක් නැති අවස්ථාවක මිල ඉහළ නගී. ඉල්ලුම අඩු කළහොත් අවප්‍රමාණය පාලනය කළ හැකිය. ශ්‍රී ලංකාවේ පොදු ජනතාව සිය විනිමය අවශ්‍යතා වෙනුවෙන් ඩොලර් ඉල්ලන අවස්ථාවේ නීති පනවා පාලනය කිරීම යුක්ති සහගත නැත. ඉල්ලුම තෘප්ත කරන්නට පියවර ගැනීම හැර දේශපාලන පොරපිටියේ නායක ඉත්තන් මාරු කිරීමෙන් රුපියල ශක්තිමත් නොවේ.

වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන

රටක විනිමය අනුපාතය තීරණය වෙන්නේ ඒ රට ඇතුළට ගලා එන විදේශ විනිමය ප්‍රමාණය හා රටින් පිටට ගලා යන විදේශ විනිමය ප්‍රමාණය අනුව. ඒ කියන්නේ ඉල්ලුම් සැපයුම් ප්‍රමාණය අනුව තමයි එය තීරණය වෙන්නේ. එහෙම නැතුව කවුරුත් තීරණය කරන කෙනෙක් නැහැ. අපිට නිදහස ලැබෙන්න කලින් අපි ඩොලර් එකකට ගෙව්වේ රුපියල් 4.84යි. ඊට පස්සේ 1977 වෙනකම් තිබුණේ වෙන විනිමය අනුපාත ක්‍රමයක්. ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක්. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව තමයි විනිමය අනුපාතය තීරණය කරන්නේ. ^77 නොවැම්බර් මාසේ එවකට හිටපු මුදල් ඇමැති රොනී ද මැල් මහතා මේ ක්‍රමය වෙනස් කරලා රුපියල ඩොලරය සමඟ පාවෙන්න ඉඩ ඇරියා. එතකොට රුපියල් 8ක් සමානයි අමෙරිකානු ඩොලර් 1යි කියලා තිබුණේ. සීයට සීයක් මෙහිදී රුපියල අවප්‍රමාණය වුණා. එතන ඉඳන් රුපියල පාවී පාවී තමයි තිබුණේ. එය වෙනස් කරන්න කිසිම ආණ්ඩුවකට හැකියාව තිබුණේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුව බාරගන්නකොට තිබුණේ අමෙරිකානු ඩොලරයක් රුපියල් 105 යි. එතකොට මහින්ද රාජපක්ෂ යුගය තමයි මේ රුපියල නිසි ලෙස කළමනාකරණය කරපු එකම ආණ්ඩුව. ඒ වකවානුව තුළ රාජපක්ෂ ආණ්ඩුවට අර්බුද රැසක් තිබුණා. නමුත් අපි එය නිසි ලෙස කළමනාකරණය කළා. එහෙම අර්බුද රැසක් තිබිලත් නැවත අපි ආණ්ඩුව බාරදෙනකොට ඩොලරයට ගෙව්වේ රුපියල් 131 යි. එතකොට ඒ අපි ආණ්ඩු කරපු කාලයේ වෙනස රුපියල් 26යි අවුරුදු දහයකට. ඒ වගේම ඒ අවුරුදු 10ට ඩොලරයට ගෙවපු අඩුම මුදල යටතේ අපි ඩොලරය පාලනය කළා. ඊට පස්සේ නැවත අපි ආණ්ඩුව බාරගන්නකොට රුපියල් 131ට බාරදුන්න ඩොලරය හම්බවුණේ 180කට. එතකොට ලංකා ඉතිහාසයේ රුපියල මස්තබාල්දු වුණේ මේ පසුගිය යහපාලන රජය කාලයේ. ඒ අනුව බැලුවම අවුරැදු පහක් තුළ ඩොලරයට රුපියල් පනහක් ගෙවලා තියෙනවා කිසිම අර්බුදයක් නැතිව. මේක හැමදෙනාටම තේරෙන්න ඕන දෙයක්. යහපාලන රජය තමයි මෙය විනාශ කළේ. දැන් දිගින් දිගටම ඒකපුද්ගල ආදායම අඩුවෙලා ණය බර වැඩිවෙලා තියෙනවා. ඒකට හේතුව තමයි පසුගිය රජයේ ක්‍රියා කලාපය. දැන් අපි 195කට වගේ ඩොලරය තියාගෙන ඉන්නේ විවිධ උපක්‍රමශීලි උපාය මාර්ග භාවිත කරලා. දැන් යහපාලන රජය මේ වෙනකම් තිබුණ නම්  අද වෙනකොට ඩොලරයට රුපියල් 250ක් ගෙවන්න වෙනවා. ඒ පිළිබඳ කිසිදු සැකයක් නැහැ. නමුත් දැන් තවමත් අපිට විපක්ෂය චෝදනා කරනවා රුපියල කඩා වැටිලා කියලා. නමුත් රුපියල වැටුණේ කාගේ පාලන කාලයේද කියලා සියලු දෙනා දන්නවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

ආණ්ඩුවට මේ වන විට දැඩි තීරණ ගන්න වෙලා. බැංකුවලට ඩොලර් ගැනීම අඩුවෙලා. රටේ සංචිත කඩා වැටෙන විට එය ගොඩගැනීමට ක්‍රම තිබුණත් එය “අද නෙවෙයි හෙට” වගේ තමයි ආණ්ඩුව ක්‍රියා කරන්නේ. ඇත්තටම මේ ආණ්ඩුවට දැන් රුපියල අවප්‍රමාණය වෙන එක නවත්තගන්න බැරිවෙලා තියෙනවා. මහ බැංකු අධිපති පසුගිය 26 වැනිදා මහ බැංකුවෙන් හදිසි රෙගුලාසියක් නිකුත් කරලා තිබුණා. එහි සඳහන් වෙලා තිබුණේ වහාම ක්‍රියාත්මක වන පරිදි බැංකුවලට විදේශ විනිමය ඉදිරි ගිවිසුම්වලට අත්සන් කරන්න බැහැ කියලා. උදාහරණයක් ලෙස සීනි, පරිප්පු, බෙහෙත් කුමන හෝ ද්‍රව්‍යයක් ආනයනය කරනව නම් එම ආනයනකරුවා කල්පනා කරනවා ඉදිරි ගිවිසුම්වලට අවතීර්ණය වීමේදී ඩොලරයට සාපේක්ෂව මෙම භාණ්ඩය ලංකාවට එන විට ඩොලරය අවප්‍රමාණය වෙයිද කියලා. දැන් ඩොලරය 185කට ගිහින් තියෙනවා කියලා කබ්රාල් මහත්තයා පාර්ලිමේන්තුවෙදී කිව්වා. නමුත් මේ සාකච්ඡාව කරන අද ආනයනකරුවකුට ඩොලරයකට රුපියල් 201.65ක් ගෙවන්න වෙලා තියෙනවා. ශීඝ්‍රයෙන් රුපියල අවප්‍රමාණය වීගෙන යනවා. ජනතාවගේ බදු බර වැඩිවෙලා තියෙනවා. ඩොලරය නිසි ලෙස කළමනාකරණය කරනවා කිව්වට තවමත් මේ ආණ්ඩුවට බැරිවෙලා තියෙනවා නිසි ලෙස රුපියල කළමනාකරණය කරන්න.

 සටහන: හසිත් අංජන