2021 ජනවාරි 23 වන සෙනසුරාදා

රුපියල් 100න් ඇරඹුණු ගණිකා දඬුවම

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 50

අයාල ආඥා පනත (Vagrants)

මෙම ආඥා පනත 1841 වසරේදී සම්මත කරනු ලදුව, වර්ෂ 1873 අංක 07, 1889 අංක 07, 1899 අංක 17, 1889 අංක 19, 1891 අංක 12, 1894 අංක 03, 1904 අංක 03, 1919 අංක 21,  1930 අංක 03, 1941 අංක 51, 1947 අංක 20 දරන පනත් මගින් සංශෝධනය කෙරිණි. මේ දක්වාම මෙම පනත ක‍්‍රියාත්මක වේ. මුල් පනත සම්මත කොට අවුරුදු 180ක් වන අතර, අවසාන වශයෙන් සංශෝධනය කර ඇත්තේ වසර 96කට පූර්වයේය. එමෙන්ම, මෙම ආඥා පනත එදින සිට මේ දක්වා 11 වතාවක් සංශෝධනය කර තිබේ.

මෙම පනතේ සඳහන් වැරදි සඳහා අධිකරණය බලය ඇත්තේ මහේස්ත‍්‍රාත් අධිකරණයට වුවද, 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනත මගින් ප‍්‍රාථමික අධිකරණයට, අධිකරණ බලය ලබා දී ඇත.

මෙම ආඥා පනත ‘අයාල ආඥා පනත’ යනුවෙන් හඳුන්වනු ලබන අතර, ගණිකා වෘත්තියේ යෙදෙන තැනැත්තන්/තැනැත්තියන් සහ කිසිම වැඩක් නොකරන සමාජයේ තැනින් තැන ඇවිද ගොස් සිඟමන් යදින සහ නොහික්මුණු තැනැත්තන් සම්බන්ධයෙන් ප‍්‍රතිපාදන සලසා ඇත.

ප‍්‍රසිද්ධ පාරක, මහා මාර්ගයක, කලහකාරී ලෙස හෝ නොහික්මුණු ලෙස හැසිරෙන සෑම තැනැත්තෙක්ම රුපියල් පහ (රු. 05/=)කට නොවැඩි දඩයකට යටත් වන්නේය. එසේ වුවද, හතර වතාවක් එවැනි හැසිරීමකට වරදකරු වූ තැනැත්තෙක් ඉන්පසුව කරනු ලබන සෑම වරදකටම රුකියාවක් හෝ වෙනත් මාර්ගයකින් තමාව නඩත්තු කරගත හැකි නමුත්, හිතාමතාම එසේ කිරීම ප‍්‍රතික්‍ෂ්ප කරන හෝ නොසලකා හරින යම්කිසි පොදු ස්ථානයක, වීදියක, මහා මාර්ගයක, කොටුවක ඉබාගාතේ ඇවිදගෙන යන, ආගමික භාරයන් ඉටුකරන පූජකවරුන් සහ බැතිමතුන් හැර හිඟාකන, දානය එකතු කරන තමාගේ පවුලේ යම් සාමාජිකයෙක් එසේ කිරීමට පොළඹවන සෑම තැනැත්තෙක්ම,

පොදු වීදියක හෝ මහා මාර්ගයක හෝ ප‍්‍රසිද්ධ ස්ථානයක ඇවිදිමින් දුරාචාරය හෝ අශෝභන ලෙස හැසිරෙන සෑම ප‍්‍රසිද්ධ ගණිකාවක්ම,

ජීවත්වීමට පැහැදිලි යැපීම් මාර්ගයක් නොමැතිව, තමා ගැන පැහැදිලි විස්තරයක් ලබාදීමට නොහැකි, කිසියම් එළිමහන් ස්ථානයක වැරුන්ඩාවක, මඩුවක හෝ යම්කිසි ගොඩනැගිල්ලක, කරත්තයක, වාහනයක හෝ වෙනත් ස්ථානයක එහි හිමිකරුගේ අවසරයක් නොමැතිව වාසය කරන සෑම තැනැත්තෙක්ම,

යම්කිසි ගොඩනැගිල්ලක හෝ නිවසක, පැත්තක, බිත්තියක එම ගොඩනැගිල්ලේ පදිංචිකරුගේ හෝ හිමිකරුගේ අවසරයක් නොමැතිව කිසියම් නිවේදනයක්, දැන්වීමක් හෝ අශෝභන හෝ අපහාසාත්මක දෑ ලියන හෝ අඳින සෑම තැනැත්තෙක්ම,
යම්කිසි වාප්පුවක, ජැටියක, වීදියක, පාරක, ඇවිදින ගමන් මාර්ගයක හෝ ඉස්තෝප්පුවක හෝ මහජනතාවට ප‍්‍රවේශ වීමට හැකි ප‍්‍රකාශ කරන ලද ස්ථානයක හෝ වෙනත් ස්ථානයක නීත්‍යානුකූලව නිදහසට කරුණක් නොමැතිව යම් තැනැත්තෙකුගේ කැමැත්තක් නොමැතිව වචනයෙන් හෝ සංඥාවෙන් හිංසාකරන සෑම තැනැත්තෙක්ම, මෙම අයාල ආඥා පනතේ සැබෑ අර්ථය තුළ අලස සහ නොහික්මුණු තැනැත්තකු ලෙස සැලකිය යුතු අතර, පළමුවරට වැරදිකරුවකු කිරීමේ බරපතළ වැඩසහිතව හෝ රහිතව දින 14කට නොඅඩු කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් 10/=කට නොවැඩි දඩයකට යටත් විය යුතුය.

එමෙන්ම, මෙම වැරදි සඳහා අලස සහ නොහික්මුණු ලෙස හැසිරෙන සෑම තැනැත්තෙක් වරෙන්තුවක් නොමැතිව පොලිස් නිලධරයෙකුට අත්අඩංගුවට ගත හැකිය. මෙම වැරදි අතර දුරාචාර සහ අශෝභන ලෙස හැසිරෙන ප‍්‍රසිද්ධ ගණිකාවන්ද ඇතුළත් වේ.
මෙම ඡේදයේ ප‍්‍රකාශිත ‘ප‍්‍රදේශයක්’ යනුවෙන් හැඳින්වෙනුයේ අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශ කරන ලද ප‍්‍රදේශයකි.

දෙවැනිවරටත් නොහික්මුණු සහ අලස ලෙස හැසිරෙන ඔහුව අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරියෙකුට බාධා කරන සෑම තැනැත්තෙක්ම,

යම්කිසි වීදියක, පාරක මහා මාර්ගයක, කොටුවක හෝ පටු මාර්ගයක හෝ වෙනත් ස්ථානයකදී අන් අයට පිළිකුළට හෝ අප‍්‍රසන්තාවයට පත් කරමින් අශෝභන අයුරින් තම රහස් අංග නිරාවරණය කරන හෝ යම් කිසි අසභ්‍ය පින්තූර මුද්‍රණ ප‍්‍රදර්ශනය කරන සෑම තැනැත්තෙක්ම,

යම්කිසි පොදු ස්ථානයක, වීදියක, මහා මාර්ගයක, කොටුවක හෝ පටු මාර්ගයක සිටිමින්, තැනින් තැන ඇවිද යමින් යම් කිසි තුවාලයක්, විකෘති ශරීර අංගයක්, ලාදුරු රෝගයක් හෝ පිළිකුළ උපදවන වෙනත් රෝග පෙන්වමින් සිඟමන් යදින සහ සිඟමන් යැදීමට උත්සාහ කරන සෑම තැනැත්තෙක්ම,

යම්කිසි ආකාරයකින් හෝ වංචනික හෝ ව්‍යාජ මවාපෑමක් කරමින්, තමා වෙනුවෙන් හෝ වෙනත් තැනැත්තන් වෙනුවෙන් පුණ්‍යාධාර හෝ දානය එකතු කරන්නෙකු හෝ රැස් කරන්නෙකු ලෙස තැනින් තැන ඇවිද යන සෑම තැනැත්තෙකුම,
මෙම අයාල ආඥා පනතේ සැබෑ අර්ථය සහ අරමුණ තුළ පාදඩයෙකු සහ රස්තියාදුකාරයෙකු ලෙස සැලකිය යුතු අතර, මාසයකට නොවැඩි කාලයක් සඳහා බරපතළ වැඩ සහිතව හෝ රහිතව බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් 20/=කට නොවැඩි දඩයකට යටත් විය යුතුය.

අලස සහ නොහික්මුණු බවට 03 වතාවක් හෝ ඊට වැඩි වාර ගණනක් වරදකරු වූ සෑම තැනැත්තෙක්ම මෙම ආඥා පනත යටතේ නීතියෙන් නියම කර ඇති කාලය ඉක්මවීමට පෙර සිරකඳවුරකින් හෝ වෙන යම් ස්ථානයකින් පැනයන සෑම තැනැත්තෙක්ම මෙම පනතේ සැබෑ අර්ථය තුළ හික්මවිය නොහැකි රස්තියාදුකාරයෙක්, පාදඩයෙක් වශයෙන් සලකා මාස 04කට නොඅඩු කාලයක් සඳහා බරපතළ වැඩසහිතව හෝ රහිතව බන්ධනාගාරගත කිරීමකට හෝ කස පහරවල් 24ක් නොඉක්මවන කස පහරින්ද දඬුමකට ලක්විය යුතුය.

මෙම කස පහරින් දඬුවම් දීම 2005 අංක 23 දරන පනතින් අහෝසි කර ඇති නිසා එම දඬුවමට යටත් නොවේ.

මුරණ්ඩු හා හික්මවිය නොහැකි රස්තියාදුකාරයෙකු ලෙස වරදකරුවකු වන සෑම තැනැත්තෙක්ම ඉහත දක්වන ලද දඬුවම්වලට අමතරව ඔහු නිදහස් වීමෙන් පසු එක් වර්ෂයක් සඳහා යහපත් කල්ක‍්‍රියාවෙන් සිටින බවට සහතිකයක් (ඇපයක්) ලබා දිය යුතු අතර, එම ඇප සහතිකය පැහැර හැරීමේදී දඬුවමට අතිරේකව මාස 04කට නොඅඩු කාලයක් සඳහා බරපතළ වැඩසහිතව බන්ධනාගාරගත වීමකට යටත් විය යුතුය.

පොදු ස්ථානයක හෝ එම ස්ථානයේ ආසන්නයේ සිට යම්කිසි තැනැත්තෙකු හෝ නිශ්චිතව සඳහන් කරනු ලබන තැනැත්තෙකු සමග හෝ වේවා නීතිවිරෝධී, අශෝභන ක‍්‍රියාවක් කිරීම සඳහා හෝ ලිංගික සංසර්ගයේ යෙදීම සඳහා පොළඹවන ඇවිටිලි කරන යම්කිසි තැනැත්තෙක්,

 ලබන සතියට....