
මීට දශක කිහිපයකට ඉහත මුහුදු කරයේ වෙරළ තීරයේ පුරා නෙත ගැටුණු එකිනෙක ඈඳෙන ලද හැර බැඳි පොල් රුප්පාවන් අද දකින්නට නැත. අතුරේ ඇවිද යන රා මදින මිනිසුන්ද අද නෙතට විරල දසුනකි. සියල්ලට හේතුව රා කර්මාන්ත මෙරට අභාවයට යමින් තිබීම බව අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් පසුගියදාක අපූරු පුවත් දැන්වීමක් අප දුටුවෙමු. එයින් කියවුණේ රා මදින්නකුට රුපියල් එක්ලක්ෂ පනස්දහසක පැකේජයක් ලබාදීමට එක්තරා පෞද්ගලික සමාගමක් සූදානම් බවය. මේ නිසාම රා කර්මාන්තයේ නියුතු රා මදින්නකු සමඟ සංවාදයක් ඇතිකර ගැනීමට අපි උත්සුක වීමු.
කළුතර දිස්ත්‍රිකයේ රා කර්මාන්ත යම් පමණක ශේෂව තිබෙන ගමක ජීවත්වන වයස අවුරුදු හතළිහ ඉක්මවූ මැදිවියේ පසුවන මේ රා මැදීම සිය වෘත්තීය කරගත් පුද්ගලයා අපූරු මිනිසෙකි. ඔහු සංවාදය පූර්වයේ අපෙන් විශේෂ ඉල්ලීමක් කළේය.
මහත්තයෝ නම ගම නම් දාන්න එපා. දරුවෝ කැමති නෑ. ලක්ෂයක් නෙවෙයි කෝටියක් දෙනවා කිව්වත් තාත්තා මදින්නෙක් කියන්න උන් කැමති නෑ. ඒකට එක අතකට උන් හරි. මේ රස්සාවට පිළිගැනීමක් නෑ. ඉස්සර අපිව කොන්කරලා තිබ්බේ මදින්නෝ කියලා. දැන්නම් මිනිස්සුන්ට කුල මල ගණනක් නෑ. වැඩේ වෙනවා නම් එච්චරයි.
රා මදින්නන්හට කර්මාන්තය සරුවට කෙරෙන කාලයට ජීවත්වීමට සරිලන මුදලක් අද වනවිට ලැබෙන බව ඔහු හා කතාබහ කරන විට අපට වැටහුණි. එහෙත් රුකියාවේ අවදානම සැලකූවිට නම් මෙම මුදල ප්‍රමාණවත් නැත.
දැන් බලන්න විනාකිරි අරක්කුවල ගණන්. ඒ වුණාට රා වල මිල නගින්නේම නෑ. මේකෙන් ලාබගන්න වෙනම කට්ටියක් ඉන්නවා. මාස ගණනක් අතුර කපන්න දවස ගානේ ගස් බඩ ගෑවත් අපිට ඉහළ යෑමක් නෑ. රස්සාව නැති කාලවලට ගස් ගෙඩි කඩන්න තමයි වෙන්නේ. ගහෙන් වැටිලා මළොත් පවුලම අනාථයි. මේ දරුවෝ උස් මහත් කළේ මේ රස්සාවෙන්. ලොකු ළමයා දැන් උසස් පෙළ කරනවා. දුව කියනවා මට මේ රස්සාව කරන්න දෙනේ නෑලු. එයා රස්සාවක් කරනවාලු.
එහෙත් අප දුටු දැන්වීමට අනුව පුහුණුවක් සහිත අවුරුදු 21ත් 35ත් අතර අයට මෙම රුකියාව වෙනුවෙන් ලක්ෂ ගණන් වැටුප් ලැබිය හැකිය. නුපුහුණු සේවකයන්ද මාස හයක වෘත්තීය පුහුණුවෙන් පසුව රුකියාව ලැබේ. එම පැකේජයට අනුව මූලික වැටුපට අමතරව සේවයට පැමිණීමේ දීමනාව, රා ලීටරයක් සඳහා ගෙවන දිරි දීමනාව, වාර්ෂික ජීවිතාරක්ෂණාවරණයක්ද රුකියා සඳහා ලබාගන්නා රා මදින්නාට හිමිවේ. අප ඒ පිළිබඳවද මේ අපූරු මිනිසාගෙන් විමසා සිටියෙමු.
එහෙම හම්බවෙනවා නම් හොඳයි. ඒත් දුරක ගිහිල්ලා මේ රස්සාව කරන්න නම් දැන් කැමැත්තක් නෑ. ඔය කිව්වාට එහෙම හම්බවෙයිද කියලා හරියට කියන්න පුළුවන් කාටද? අනික අද ඉන්න කොල්ලො කවුද කැමති ගස් මදින්න. ඉස්සර මේ රස්සාව කරන්න මිනිස්සු නැතිවෙනවා. අනික දැන් ලංකාවේ මදින රා නෙවෙයි හදන රා වැඩියි. ඔය කොම්පැණිවලට වැඩක් නෑ පොල් ගහෙන්ද කොහෙන්ද රා එන්නේ කියලා. අද අරක්කුවල තියෙන්නේ වැඩිපුර විස.
ඔහුට අනුව කෘත්‍රිම රා කර්මාන්තය නිසා වේගයෙන් ස්වභාවික රා කර්මාන්තය විනාශ වීම විශාල ගැටලුවක් බව පෙනී යයි. රා කර්මාන්ත සඳහා වන බලපත්‍ර විනාකිරි නිෂ්පාදන සඳහා වන බලපත්‍ර දේශපාලනීකරණය වී තිබේ. ස්වභාවික රා සමඟ කෘත්‍රිම රා කලවම් කර විශාල ලාභ ලැබීමට මෙම රා මුදලාලිලා පෙළඹී සිටිති. ඔවුන්ට විරුද්ධ වීමට හෝ ඒ පිළිබඳ සොයා බැලීමට බලධාරීන් උනන්දු වන බවක් නොපෙනෙයි.
ඔය වෙන රස්සාව වගේ අපිට නිවාඩු නෑ. රා ගැලුමකට ලැබෙන්නේ පොඩි ගණනක්. රස්සාව කරලා බැරිවුණ කාලෙක කිසිම ඉතිරියක් නෑ. ලෙඩක් දුකක් හැදුණොත් ඔක්කොම ඉවරයි. මේ රස්සාව කරපු අපිත් එක්ක තරුණ කාලේ හිටපු ගොඩක් අය අද වෙන වෙන දේවල් කරනවා. දන්න කීපදෙනෙක් ගස්වලින් වැටිලා මැරුණා. සමහරු ඔත්පල වුණා. කවුරුත් ඒ පවුල් ගැන බැලුවේ නෑ. ඔය කවුරුත් ලොකුවට කතා කළාට රටම අරක්කු බිව්වාට අපි විඳින්නේ මහ දුකක්.
තවත් අතකින් ඔහු පෙන්වා දෙන ආකාරයට අතීතයේ සිට තවමත් ලණු කඹයේ එල්ලී රා මදින ක්‍රමය තවමත් පවතී. තාක්ෂණයේ හෝ ශිල්පයේ වෙනසක් සිදුවී නොමැත. ඒ අනුව ලෝකයම ඉදිරියට යනවිට රා කර්මාන්ත එකම තැනක නතර වී ඇති බව පෙනීයයි.
රා කර්මාන්තය ගොඩක් ප්‍රදේශවල නෑ. ඉස්සර අපි පොඩි කාලේ මුහුද අයිනේ එක දිගට තිබුණේ පොල් රුප්පාවල්. අද ඒ තැන්වල තියෙන්නේ හෝටල්. ඉතින් පොල් ගස් හිඟ නිසා මිනිස්සු ගස් මද්දන්න කැමති නෑ. පොල් කන එක හොඳයි කියලා හිතනවා. මදින්න ගස් තියෙන පළාත්වල මදින්න මිනිස්සු නෑ. ආණ්ඩුව මේ ගැන හොයලා බලන්නෙත් නෑ. දැන් මේ කර්මාන්තය ජාවාරමක් වෙලා තියෙන්නේ.
රා කර්මාන්තයට පුහුණු ශ්‍රමිකයන් නොමැති ගැටලුව පසුගිය වසරේ විශාල වශයෙන් කතාබහට ලක්විය. ඉන්දියාවේ සිටින පුහුණු ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගතයුතුව ඇතැයි මෙම ව්‍යාපාර හිමිකරුවෝ පැවසූහ. මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ කම්කරුවන් ගෙන්වා ගැනීමට අවස්ථාව සලසන ලෙස ඉල්ලන යෝජනාවක් සුරාබදු දෙපාර්තමේන්තුවට ලැබී තිබුණි. ශ්‍රමිකයන් ගෙන්වා ගන්නේ නම් ආගමන විගමන නීති හා සුරාබදු නීති මත පදනම්ව ප්‍රබල සීමා මායිම් යටතේ ගෙන්වීම සිදුකළ යුතු බවට සාකච්ඡාවක්ද ඇතිවිය. අදාළ යෝජනාව දැනට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමුකර ඇති බව කියැවුණි.
සංවාද ඇසුරින් සටහන: චමිඳු නිසල් ද සිල්වා
සේයාරූ: අන්තර්ජාලයෙන්