2021 ජනවාරි 23 වන සෙනසුරාදා

වේදිකාවෙන් ඇසෙන නාට්‍යකරුවන්ගේ දුක් ගීතය

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 328

රටක ඇතිවූ බොහෝ ව්‍යසනයකදී පළමුව පීඩාවට පත්වූයේ මෙරට සෞන්දර්යාත්මක කලාවය. මෑත කාලයේදී මෙරට සියලුම ජනතාව මුහුණ පා සිටින කොවිඩ්-19 වසංගතය හමුවේදී කලාවට අත්වූ ඉරණමද එයමය. කොවිඩ් වසංගතයේ මුල්ම ආසාදිතයා මෙරටින් වාර්තා වීමත් සමඟ මාර්තු මාසයේදී මුලින්ම වසා දමන ලද්දේ වේදිකා නාට්‍ය ශාලා සහ සිනමාහල්ය. සංගීත ප්‍රසංග කලාවට අත්වූ ඉරණමද එසේමය.

මාස කිහිපයකට පසුව කොවිඩ් වසංගතයේ යම් මර්දනයක් සිදුවූ පසුව නැවතත් සිනමාහල්, වේදිකා නාට්‍ය ශාලා විවෘත වුවද දෙවැනි රුල්ලෙන් ඉතා සීඝ්‍රයෙන් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමත් සමඟ නැවතත් කලාවට අත්වූ ඉරණම පෙර පරිද්දෙන්ය. නමුත් මීට සති කිහිපයකට ඉහත නැවතත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිනමාහල් විවෘත කෙරුවද තවමත් වේදිකා නාට්‍ය ශාලා විවෘත වන වගක් පෙනෙන්නට නැත. වේදිකා නාට්‍යකරුවන් තවත් ජීවත්වන්නේ නිවෙස්වලමය.
මේ පවතින කොවිඩ් වසංගතය මුලු කලාවටම දැඩිව බලපෑවා. සජීවීව වූ ප්‍රබලම කලාව වුණු නාට්‍ය කලාවට දැඩි ලෙසම බලපෑවා. මේ ප්‍රශ්නෙදී එක් පැත්තකින් නාට්‍යකරුවෙක් විදිහට මම මේ ප්‍රශ්නයට මුහුණපානවා. ඒ වගේම නාට්‍ය කළමනාකරණ ආයතනයක් විදිහට ටවර් හෝල් රඟහල් පදනමේ අධ්‍යක්ෂ විදිහටත් මම මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා. මේ නිසා මේ ප්‍රශ්නයේදී මම මා සමඟත් අරගලයක නියැලෙන අතර නාට්‍යකරුවන් සමඟත් සංවාදයක යෙදෙනවා. කොවිඩ් වසංගතය ලංකාවට ආ මුල්ම වතාවේම නාට්‍ය පෙන්වීම මුළු රටෙන්ම නතර කළා. නමුත් නැවතත් ඒවා විවෘත වූවායින් පසුව රංග ශාලාවලට ප්‍රේක්ෂකයන් ගෙන්වා ගැනීම සඳහා අපි &ප්‍රේක්ෂා රංග කලා මහෝත්සවය* නමින් ටවර්හෝල් සහ එල්ෆින්ස්ටන් රංග ශාලා දෙකේ විශාල නාට්‍ය උළෙලක් පැවැත්වූවා.

යැයි ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රවීණ නාට්‍යවේදී නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා දේශයට පැවසීය.
මෙම ප්‍රේක්ෂා නාට්‍ය උළෙල^ ඉතා සාර්ථක නාට්‍ය උළෙලක් විය. මේ නිසාම නාට්‍යකරුවන් විසින් නැවතත් මෙවැනිම උළෙලක් සංවිධානය කරන ලෙස ඉල්ලා තිබිණි. එබැවින් නාට්‍යකරුවන් වැඩි දෙනකුට සහභාගී වීමට හැකි වන සේ 2020 වසරේ අගෝස්තු මස සිට ඔක්තෝබර් මස තුන්වැනිදා තෙක් දීර්ඝ නාට්‍ය උළෙලක් ටවර් සහ එල්ෆින්ස්ටන් රංග ශාලා දෙකෙහි වේදිකාගත වුණි. ඒ රංග ශාලා නාට්‍යකරුවන්ට ලබාදෙන ලද්දේ නොමිලේය. කොරෝනා මුල් රැල්ලෙන් හෙම්බත්ව, අසරණව සිටි නට්‍යකරුවන්ට එය මහඟු අවස්ථාවක් වූ අතර මාස කිහිපයක් කොරෝනා වසංගතයෙන් පීඩා විඳි ප්‍රේක්ෂකයන්ටද නාට්‍ය නැරඹීමේ අවස්ථාව ලැබීමත් සමඟ නැවතත් ප්‍රේක්ෂකයෝ රංග ශාලා වෙත ඒකරාශී වූහ.
එවැනි සාර්ථක නාට්‍ය උළෙලක් රට තුළ පැවැතෙද්දී නැවතත් කොවිඩ් වසංගතය හිස එසවූවා. මෙවර සිදුවූයේ ඉතා භයානක තත්ත්වයක්. පාලනය කළ නොහැකි, සීමාවන් නැති, අසීමිතව පැතිරුණු, ගම් නගර හුදෙකලා කරපු ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. දින වෙන්කර ගත්තායින් පසුව එම නාට්‍යය වේදිකාගත වෙන්නේ අඩුම ගණනේ තව මාස තුනක් හෝ ගතවූවායින් පසුවයි. ඒ කාලය තුළදී සංවිධායකවරුන්ට වගේම නාට්‍යකරුවන් කළයුතු වැඩ රාජකාරි බොහෝමයක්ම තිබෙනවා. අද වෙද්දි නාට්‍යකරුවන්ට එවැනි අනාගතයක් පිළිබඳව නිශ්චිතභාවයක් නැහැ. යැයි නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.

නාට්‍යකරුවන්ට, සංවිධායකවරුන්ට පමණක් නොව ප්‍රේක්ෂකයන්ටද නාට්‍ය පිළිබඳව නිශ්චිතභාවයක් නැත. විශේෂයෙන් නාට්‍ය වේදිකාගත කරන ප්‍රධානම රංග භූමි දෙකක් වන ටවර් සහ එල්ෆින්ස්ටන් රංග ශාලා දෙකම පිහිටා ඇත්තේ මරදාන නගරයේය. කොවිඩ් දෙවැනි රුල්ලත් සමඟ මරදාන ප්‍රදේශය කාලයක්ම පැවතියේ හුදෙකලාවේය. හුදෙකලා වුණු නගරයක කාලයක් යනතුරු මිනිසුන් සැරිසරන්නේ බයෙනි. ගම්වල පිහිටි වේදිකා ශාලාවලට කොළඹ ජීවත්වන කලාකරුවන්ගෙන් වීමද අවදානමකි. මෙය වේදිකා නාට්‍ය රංග ශිල්පි ශිල්පිනියන්ට දැඩි සේ වැදුණු පහරක් විය. මෙවැනි දැඩි අවදානමකට ශ්‍රී ලාංකික කලාකරුවන්ට මුහුණදීමට සිදුව තිබේ. මේ නිසාම පළමු රුල්ලටත් වඩා දෙවැනි රුල්ල සඳහා විසඳුම් සෙවීම ඉතා සංකීර්ණ තත්ත්වයක් බවට පත්විය.

නාට්‍යයක් පෙන්වීමේදී සජීවීව ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. සජීවී රංග ශිල්පීන් ඇතුළු නාට්‍ය කණ්ඩායමක් ඉන්නවා. මේ ක්‍රියාදාමය තුළ මොවුන් අතරින් කොරෝනා රෝගියා කවුරුන්දැයි නිශ්චිතවම හඳුනා ගැනීමේ හැකියාවක් නැහැ. මේ නිසා මෙය හරිම සංකීර්ණ තත්ත්වයක්. අද වෙද්දී මේ රෝගය පිළිබඳව අපි තුළ ඇත්තේ අනියත බියක්. ඒක මරණයෙන් අවසන් වේදැයි කියන බය අපිට ඕනෑම කෙනෙක්ගේ හිතේ තියෙනවා. අපේ කලාකරුවන් අතරේද දියවැඩියා, හෘද රෝග, අධි රුධිර පීඩන, කොලෙස්ටරෝල් වැනි බෝ නොවන රෝග තියෙන්නට පුළුවන්. නමුත් අද අපි හැමෝම ඒ රෝගවලට වඩා මේ රෝගයෙන් බයවෙලයි ඉන්නේ. යැයි නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා තවදුරටත් පැවසීය.
මේ අවදානම් තත්ත්වය හමුවේ වේදිකා නාට්‍යකරුවන් පසුවන්නේ දැඩි අවිනිශ්චිතභාවයකිනි. නාට්‍ය වේදිකා ගත කිරීම් නතර කර තිබුණද මේ වනවිට ඇතැම් නාට්‍යකරුවෝ තම නාට්‍ය පුහුණුවීම්වල නිරත වෙති. ඇතැම්හු නාට්‍ය පිටපත් රචනා කරමින් සිටිති. පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඔවුහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඇමැති විදුර වික්‍රමනායක මහතාද ඇතුළු විද්වත් කමිටුවක් සමඟ සාකච්ඡා කළහ. වේදිකා නට්‍යවලට සම්බන්ධ සියලුම ක්ෂේත්‍ර නියෝජනය කරමින් තෝරාගත් නාට්‍ය කලාකරුවන් පන්සීයකට ජීවිත රක්ෂණයක් සහ හදිසි අනතුරු රක්ෂණයක් ලබාදීමට මෙහිදී සාකච්ඡා විය. එය හදිසි අනතුරකට මෙන්ම ඖෂධ හා ප්‍රතිකාර ලබාගැනීමටද බලපානු ලබන රක්ෂණයකි. එය නොබෝ දිනකින් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කලාකරුවන්ට ලබාදීමට නියමිතය.

වේදිකා නට්‍යකරුවෝ ඉතා වෙහෙසකාරී කටයුත්තක නියැලෙති. ප්‍රේක්ෂකාගාරය වේදිකාව මතට ගෙන එන්නේ මාස ගණනක කරනු ලබන පුහුණුවීමක ප්‍රතිඵලයකි. ඇතැම් වේදිකා නාට්‍යවල සිටිනා මේ නාට්‍යකරුවන් අදද පුහුණුවීම්වලට සහභාගි වන්නේ පොදු ප්‍රවාහන සේවයෙනි. නාට්‍යයක් අවසානයේදී බස් රථයක, දුම්රිය රුය ගත කරමින් නිවෙස් බලා යන නාට්‍යකරුවෝ එදා මෙන්ම අදද සිටිති. 

මගේ නාට්‍ය ජීවිතය පටන් ගනිද්දී ලුම්බිණි ශාලවේ ගාස්තුව වුණේ රුපියල් අනූවයි. ඒ එක නාට්‍ය දර්ශනයකයි. නාට්‍ය දර්ශන දෙකකට ඒ කාලයේදී ගත්තේ රුපියල් එකසිය දහයයි. ඒ කාලේදී එක දවසකට රුපියල් එකසිය දහයකට හෝල් එකක් වෙන්කරගන්න පුළුවන්. ඒ කාලේ අපි නළුවෙක්ට ගෙව්වේ රුපියල් පහයි. උපරිමයෙන් ගෙව්වේ රුපියල් පහළොවයි. අද වෙද්දී ඒක රුපියල් පහළොස් දහසක් වගේ මුදලකට පැමිණ තිබෙනවා. අද වෙද්දී සමහර නාට්‍යයක නාට්‍යකරුවන් විස්සක් තිහක් පමණ ඉන්නවා නම් ඒක ටිකක් අවදානම්. වේශ නිරෑපණය කරන පොඩි කාමර කොටසක් වැඩි පිරිසක් එකට සිටීම අවදානම්. නමුත් අපේ නාට්‍යකරුවන්ට මෙම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් පිළිබඳව හොඳ අවබෝධයක් අද තිබෙනවා. මේ නිසා ඉතා ඉක්මණින් ඒ ක්‍රමවේදවලට අනුව නාට්‍ය පෙන්වීමට හැකිවේවි යැයි අපි විශ්වාස කරනවා.* යැයි නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා දේශයට පැවසීය.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මුණගැසී තමා මේ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වූ බවත් සිනමාපට සඳහා අවසරය ලබාදුන් පරිදිම ඉතා ඉක්මනින් වේදිකා නට්‍ය වේදිකාගත කිරීමටද අවසරය ලබාදිය හැකි යැයි ඔහු පැවසූ බවත් සිරිවර්ධන මහතා පැවසීය.
කෙසේ වුවද තවමත් කොළඹ නගරයේ අවදානම පහව ගොස් නැත. ප්‍රධාන රංග ශාලා දෙකම මරදාන නගරයේ පිහිටා තිබීම නිසාවෙන් වේදිකා නාට්‍ය වේදිකා ගත කරන්නට තවත් ටික කාලයක් හෝ ගතවනු ඇත. පළමු කොරෝනා රැල්ලෙන් පසුව විවෘත වූ වේදිකා ශාලාවල ප්‍රේක්ෂකයන්ට අසුන් ගැනීමට අසුන් වෙන්කර තිබුණේ ආසනයක් හැර ආසනයක් ලෙසය. වර්තමානයේදී එක් නාට්‍යයක් වේදිකාගත කිරීමට රුපියල් එක්ලක්ෂ පනස් දහසක් වැනි මුදලකට රංග ශාලාව වෙන්කර ගැනීම සඳහා සංවිධායකවරු වැය කරති. අනෙකුත් වියදම් සඳහාද තවත් මුදලක් වියදම් කිරීමට සිදුවෙයි. එවැනි විශාල මුදලක් වැයකොට නාට්‍යය රංග භූමියක වේදිකාගත කිරීමේදී ආසනයක් හැර ආසනයක් සඳහා ටිකට් පත්‍ර වෙන්කරලීම කිසිසේත්ම ප්‍රායෝගික වන්නේ නැත. එවිට එක් ටිකට් පතකට විශාල මුදලක් අයකළ යුතුවේ.

වේදිකා නාට්‍යය නැරඹීම සඳහා විශාල ප්‍රේක්ෂකාගාරයක් නොමැති අප වැනි රටකට මෙය දරාගත නොහැකි තත්ත්වයකි. මේ පවතින තත්ත්වය හමුවේ බොහෝ ප්‍රේක්ෂකයෝ රංගභූමියට එක්වන්නට බයක් දක්වති. ජනතාවට මේ රෝග බය නැතිවන තාක්කල් බොහෝ ප්‍රේක්ෂකයෝ වේදිකාවට එක්වන්නට බියක් දක්වති. මේ නිසාම අනාගතයේදී මරණය අමතක කොට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකට අනුව කලාව රසවින්දනය කිරීමට අපට සිදුවනු ඇත. රංග ශාලාව මේ වනවිටත් සූදානම් වෙමින් පවතී. නමුත් ප්‍රේක්ෂකාගාරය තවමත් එයට සූදානම්දැයි යන්න නම් සැකයකි.

 දිශානි ජයමාලි කරුණාරත්න