
අතීතයේ හින්දි සිනමාවේ සුපිරි තරු ලෙස වැජඹුණේ දිලිප් කුමාර්, රාජ් කපූර්, රාජේෂ් කන්නා වැනි නළුවන්ය. ඒ අතරට වර්තමානයේ එක්ව සිටින්නේ ෂාරුක් ඛාන්ය. ඔහු බොලිවුඩ් සිනමාව තුළ හැඳින්වෙන්නේ “කිං ඛාන්” නමිනි ඔහු බොලිවුඩ් චිත්‍රපට 80 කට වැඩි ගණනක රඟපා ඇති අතර ෆිල්ම් ෆෙයාර් සම්මාන 14 ක් ඇතුළුව සම්මාන රැසක් දිනා සිටින්නෙකි.. ලොව පුරා ආසියානු සහ ඉන්දියානු ඩයස්පෝරාව තුළ ඔහුට ආදරය කරන රසික රසිකාවන් විශාල පිරිසක් සිටී. 2020 වන විට, ෂාරුක් ඛාන්ගේ ශුද්ධ වත්කම දළ වශයෙන් ඩොලර් මිලියන 690 ක් හෙවත් ඉන්දියානු රුපියල් කෝටි 5131ක් පමණ වෙතැයි පැවසේ. ෂාරුක් ඛාන් සතුව බොහෝ ව්‍යාපාර පවතින අතර ඉන්දියාවේ ධනවත්ම නළුවා වන්නේද ඔහුය.
සුඛෝපභෝගී මෝටර් රථ 9ක්, (මෙම රථ ඉන්දියානු රුපියල් කෝටි 1සිට කෝටි 12 දක්වා වන අගයකින් යුතුය.) පෞද්ගලික ජෙට් යානා, මුම්බායි, ඩුබායි, ලන්ඩන්හි නිවාස කිහිපයක් සහ දේපල වෙළඳාම් ආයෝජන සමාගම් ඔහු සතුය. මනාට්හි ඇති ඔහුගේ නිවස සුඛෝපබෝගී විලා 10කින් යුක්තය. එහි අගය ඉන්දියානු රුපියල් කෝටි 250ක් පමණ වේ. ලොව පුරා ස්ථාන 30 ක ක්‍රියාත්මක වන පුද්ගලිකව පවත්වාගෙන යනු ලබන ගෘහස්ථ පවුල් විනෝදාස්වාද මධ්‍යස්ථාන සමූහයක් වන “කිඩ් ෂානියා” නමැති ව්‍යාපාරයෙන් 26%ක හිමිකම ඇත්තේ ෂාරුක්ට බව බොහෝ දෙනෙක් නොදනිති. ඒවාට වසරකට මිලියන 9 ක ජනතාවක් පැමිණෙති. .මධ්‍යම ලන්ඩනයේ පාක් වීදියේ ඩොලර් මිලියන ගණනක් වටිනා මහල් නිවෙසක්ද ඔහු සතුය. ඩුබායිහි පාම් ජුමේරියා වෙරළාසන්නයේ පිහිටි නිවෙසද ඉන්දියානු රුපියල් කෝටි 200කට වඩා වටිනාකමින් යුක්තය.

චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් සහ එහි අනුබද්ධ ඩ්‍රීම්ස් අන්ලිමිඩට් වැනි සමාගම්වල සම සභාපතිවරයා වන ෂාරුක් ඛාන් ඉන්දියානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන කොල්කොතා නයිට් රයිඩර්ස් සහ කැරිබියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ ට්රින්බගෝ නයිට් රයිඩර්ස් හි සම හිමිකරුද වේ. කොල්කොතා නයිට් රයිඩර්ස් හි ෂාරුක් ඛාන්ට පෞද්ගලික කොටස් නොමැති වුවද ඔහුගේ නිෂ්පාදන ආයතනය වන රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් සමාගමට ඉන් 55% ක කොටස් හිමිය. ඒ අනුව වක්‍රව එහි හිමිකරු වන්නේ ෂාරුක්ය. ෆිනෑන්ෂල් එක්ස්ප්‍රස් සඟරාවේ පළවූ වාර්තාවකට අනුව, කොල්කොතා නයිට් රයිඩර්ස් ක්‍රීඩකයන්ගේ ඇඳුමේ පිටුපස අනුග්‍රාහක ලාංඡනය ප්‍රදර්ශනය කිරීම සඳහා ඉන්දියානු රුපියල් කෝටි 10 ත් 12 ත් අතර ප්‍රමාණයක් සහ ඉදිරිපස සඳහා රුපියල් කෝටි 8 ත් 22 ත් අතර ප්‍රමාණයක් එහි හිමිකාර ආයතනයට ගෙවීමට සිදුවේ.
සාමාන්‍යයෙන් චිත්‍රපටයක රඟපෑම සඳහා ෂාරුක් ඉන්දියානු රුපියල් කෝටි 40-50ත් අතර මුදලක් අය කරයි. මේ වන විට ඔහු රඟන චිත්‍රපට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන්නේ ඔහුගේම නිෂ්පාදන සමාගමක් වන රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් සමාගම මගිනි. එම චිත්‍රපට සඳහා හිමිවන ලාබයෙන් කොටසක් ඔහුට හිමි වේ.
සිංගප්පූරුවේ වෙල්ත් එක්ස් නැමති වෙබ් අඩවිය සඳහන් කරන පරිදි ෂාරුක් ඛාන්ගේ වත්කම හොලිවුඩ් නළු ටොම් කෘස්ගේ වත්කමද ඉක්මවා ඇති අතර ලොව ධනවත්ම නළුවන් අතර දෙවන පුද්ගලයා ෂාරුක්ය. ප්‍රථම ස්ථානයේ සිටින්නේ ඩොලර් මිලියන 820 ක වත්කම්වලට හිමිකම් කියන හොලිවුඩ් නළු ජෙරී සයින්ෆීල්ඩ්ය.
ෂාරුක්ගේ ඉපැයීම් වාර්තාවලට අනුව 2015 වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 440ක්ද, 2018 වසරේ ඩොලර් මිලියන 500ක්ද, 2019 වසරේ ඩොලර් මිලියන 560ක්ද 2020 ඩොලර් මිලියන 600ක්ද උපයා ඇති අතර මේ වනවිට ඔහු සතු සමස්ත වත්කම ඩොලර් මිලියන 690කි. මේ ආදායම උපයා ඇත්තේ චිත්‍රපට, වෙළෙඳ දැන්වීම් ,ප්‍රවර්ධන වැඩසටහන් සහ ආයෝජන මගිනි. ඔහුගේ ආදායම සෑම වසරකම 8%කින් පමණ ඉහළ ගොස් තිබේ. 2025 වන විට ඔහුගේ සමස්ත වත්කම් ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවන බවට ගණන් බලා තිබේ.
විවාහ මංගල්‍යයන් සැමවිටම ඉන්දියාවේ විශාල ගනුදෙනුවක් වී ඇති අතර එය ලොව පුරා ජනප්‍රිය වී ඇත්තේ බිග් ෆැට් ඉන්දියන් වෙඩිංග්ස් ලෙසිනි. ධනවතුන්ගේ විවාහ මංගල සාදවල උත්කර්ෂවත් අවස්ථා වන්නේ බොලිවුඩයේ ජනප්‍රිය පුද්ගලයින්ගේ සහභාගිත්වයයි. ෂාරුක් ඛාන් මෙම විවාහ මංගල උත්සව සඳහා වඩාත් ජනප්‍රියම තැනැත්තා වේ. විවාහ මංගල්යල්යකට සහභාගී වීම සඳහා කිං ඛාන් ඉන්දියානු රුපියල් කෝටි 4 සිට 8 දක්වා මුදලක් අය කරන බව වාර්තා වේ.
ඔහුගේ රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් ආයතනයද ඉතා ලාභදායි ආයතනයකි. දි ඉකොනොමික් ටයිම්ස් පුවත්පතට අනුව, එහි වාර්ෂික පිරිවැටුම ඉන්දියානු රුපියල් කෝටි 500 ක් පමණ වේ.


1965 නොවැම්බර් 2 වැනි දින නවදිල්ලියේදී මීර් ටජ් මොහොමඩ් ඛාන් සහ ලතීෆ් ෆාතිමාට දාව උපත ලද ෂාරුක් අධ්‍යාපනය ලැබුවේ ‘ශාන්ත කොලොම්බා විද්‍යාලයෙන් සහ හන්ස්රාජ් විද්‍යාලයෙනි. ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂ උපාධියක් සතු ඔහු රංගනයට එක් වූයේ 1988 නිර්මාණය කෙරුණු ‘දිල් දාරියා’ නමැති ටෙලිකතා මාලාවෙනි. ඉන් වසරකට පසු ‘ෆවුජි’ නමින් තවත් රූපවාහිනි මාලා නාටකයට දායක විය. දුරදර්ශන් රූපවාහිනීයේ ෆවුජි නමැති ටෙලි කතා මාලාවේ එක් කථාංගයක රඟපෑම වෙනුවෙන් ඔහුට ලැබුණේ ඉන්දියානු රුපියල් 50කි. 1988 සිට වර්තමානයේ බොලිවුඩයේ රජු ලෙස කිරැළු පැළඳීම සඳහා ඔහු බොහෝ වෙහෙසක් දැරීය. 2011 ටෙලි කතා මාලාවක රඟපෑම සඳහා එක් කතාංගයකට ඔහුට ඉන්දියානු රුපියල් කෝටි 2.5ක් ගෙවන්නට නිෂ්පාදකයන්ට සිදුවූයේ ඒ වනවිට ඔහු අත්පත් කරගෙන සිටි ජනප්‍රියත්වය හේතුවෙනි.
2007 දී ෂාරුක් ජනප්‍රිය ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් වූ ‘කෞන් බෙනෙගා ක්රොර්පති’ නමැති වැඩසටහන් ඉදිරිපත් කළ අතර, පසුව ක්යා ආප් පන්ච්වි පාස් සේ තෙස් හයින්, සෝර් කා ජත්කා, වැනි රූපවාහිනී වැඩසටහන් කිහිපයක්ම මෙහෙය වීය.
1992 දී දීවානා නමැති සිනමාපටයෙන් ඔහු බොලිවුඩ් සිනමාවට පිවිසියේය. ඔහුගේ වෘත්තීය දිවියේ මුල් අවදියේදී බාසිගර්, ඩාර්, සහ අංජම් වැනි චිත්‍රපටවල ඔහු රඟපෑවේ දුෂ්ට චරිතය. පසුව ඔහු දිල්වාල් දුල්හානියා ලෙ ජයෙන්ගේ , දිල් තො පගල් හේ, කුච් කුච් හෝතා හේ, මොහබ්බතීන් සහ කබී කුෂි කබී ගම් යන චිත්‍රපටවල ප්‍රේමවන්තයා විය. දේව්දාස්, ස්වදේශ්, චක් දේ වැනි චිත්‍රපටවල ඔහුගේ රංගනය විචාරකයන්ගේ පැසසුමට ලක් විය.. මයි නේම් ඊස් ඛාන්, චෙන්නායි එක්ස්ප්‍රස්, හැපි නිව් ඉයර්, දිල්වාලේ, රීස් වැනි චිත්‍රපට විශාල ආදායම් වාර්තා තැබීය.
සමාජ සේවා කටයුතු සඳහා මිලියන ගණනින් තම ධනය වැය කරන ෂාරුක් ඛාන් සෞඛ්‍ය ආරක්ෂණය සහ ආපදා සහන සඳහා දක්වා ඇති දායකත්වය විශාලය. ඒ උදෙසා ඔහුට යුනෙස්කෝවේ පිරමිඩ් කොන් මාර්නි සම්මානය හිමි වූ අතර, ඉන්දියාවේ කාන්තා හා ළමා අයිතිවාසිකම් දිනා ගැනීමේ ක්‍රියාවලියට නායකත්වය ලබා දීම උදෙසා ලෝක ආර්ථික සංසදයේ ක්‍රිස්ටල් සම්මානය ද හිමි විය.
ෂාරුක් ඉන්දියානු සංස්කෘතියේ වඩාත්ම බලගතු පුද්ගලයින්ගේ ලැයිස්තුගත කිරීම්වල ඔහු ඉදිරියෙන්ම සිටින්නෙකි. 2008 නිව්ස්වීක් සඟරාව ඔහු ලොව බලවත්ම පුද්ගලයින් පනස් දෙනාගෙන් කෙනෙකු ලෙස නම් කළේය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා