
මානව ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට වන බලපෑම ක්‍රමයෙන් වර්ධනය වනවිට පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ ගැටලුව ක්‍රමයෙන් වර්ධනය වී තිබේ. පසුගිය දශකය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින වකුගඩු රෝගය මෙහි අහිතකර සාධකය ලෙස හඳුනාගත හැකිය.
ලෝකයේ බොහෝ රටවල භූගත ජල ප්‍රතිපෝෂණය ඉතා ප්‍රචලිත වී ඇති බව දැකිය හැකිය. ශ්‍රී ලංකාවේද නොයෙකුත් ආයතන මේ සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළද එය තවම ප්‍රායෝගිකව එතරම් ජනප්‍රියතාවක් අත්කොටගෙන නැත.

ලංකාවේ භූගත ජලය ප්‍රධාන වශයෙන් පෝෂණය වන්නේ වර්ෂාපතනය මඟිනි. ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඝන කිලෝමීටර 130ක වර්ෂාවක් ලැබෙන බවට සැලකෙන නමුත් එම වැසි ජලයෙන් ඝන කිලෝමීටර 50ක් පමණ මතුපිට ජලය සේ ගලාගොස් ගංගාවලට එක්ව මුහුදට ගලාගෙන යයි. තවත් ඝන කිලෝමීටර 40ක් පමණ ගංගා, ඇළ දොළ, ජලාශ, වැව්වල ගබඩා වන අතර මහ පොළොවට උරාගන්නේ ඝන කිලෝමීටර 40ක් පමණ ප්‍රමාණයකි.
කෙසේ වෙතත් මෙරට භූගත ජල පද්ධතිය ආරක්ෂා කරගනිමින් ජලය කළමනාකරණය කොට ජනතාව වෙත ලබාදීමට ජල සම්පාදන අමාත්‍යාංශය මේ වනවිට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. ගංගා, ඇළ දොළ වෙත මෙන්ම මහා සාගරය වෙත මුදාහරින මළ අපද්‍රව්‍යවලින් තොරව මෙරට ජල පද්ධතිය සුරක්ෂිත කොට ජනතාවගේ අනාගතය වෙනුවෙන් මුදාහැරීම මෙහි අරමුණ ලෙස දැක්විය හැකිය.
එපමණක් නොව භූගත ජලය ප්‍රතිපෝෂණය ඇරඹීමත් සමඟ අවට ප්‍රදේශයේ භූගත ජලයේ ගුණාත්මක තත්ත්වය වෙනස් වීම සඳහා අදාළ, සාම්පල පරීක්ෂාවක්ද ආරම්භ කිරීම අනිවාර්ය වේ.
නාගරික ජල පෝෂක විනාශවීම අර්බුදයක්
ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම
“නාගරික ප්‍රදේශවල භූගත ජලයේ ගුණාත්මක බව දරුණු ලෙස විනාශවෙලා තිබෙනවා. ඒ නිසා කඩිනමින් එයට පිළිතුරක් ලබාදිය යුතුයි. ක්‍රමානුකූලව රටේ ජලයේ ගුණාත්මක බව පහළට යන එක රටක ආර්ථිකයට අනිවාර්යයෙන්ම බලපාන සාධකයක් වෙනවා. ඒ නිසා අවස්ථාවක් එනවා රජයේ අවධානය මේ වෙනුවෙන් යොමුවන. විශේෂයෙන්ම මේ නගර ආශ්‍රිතව තිබෙන ඇළ, දොළවල තිබෙන ජල පෝෂක සුරැකීමට වැඩපිළිවෙළක් සැකසිය යුතුයි. ඇත්තටම ලංකාවේ බොහෝ තැන්වල මළ අපද්‍රව්‍ය දාන්නේ ජලයට ඒ නිසා ජලය දූෂණය වීමක් වගේම පරිසර දූෂණයකුත් සිදුවෙනවා. ඇතැම්විට බොහෝ දෙනා සිතන්නේ ගලාගෙන යන ජලයට මේ මළ අපද්‍රව්‍ය බැහැර කළාම එයින් ජලයට හානියක් සිදුවෙන්නේ නැහැ කියලා. ඒ ජලය බැස යන ජලය නිසා. නමුත් එය ඉතා වැරදි ආකල්පයක්. එලෙස මළ අපද්‍රව්‍ය ජලයට එකතු වුණාම ජල පෝෂක විනාශ වෙනවා. ඇත්තටම එය ලොකු අර්බුදයක්. ඒ වගේම අපේ අමාත්‍යාංශය මගින් ක්‍රම හතරක් යටතේ තමයි මෙම අපද්‍රව්‍ය ජලයට බැහැර කිරීමෙන් වෙන විනාශය නවත්වන්න පියවර ගනිමින් ඉන්නේ.”
මෙය භූගත ජල ප්‍රතිපෝෂණ හා මෙරට ගංගා ඇළ දොළ යන සියල්ලෙහිම ජල සම්පත් සුරැකීම සම්බන්ධව ප්‍රායෝගිකව හා පරීක්ෂණාත්මකව අරඹන වැඩසටහනකි. එය භූගත ජල අංශය මගින් භූගත ජල ප්‍රතිපෝෂණය වෙනුවෙන් අරඹන ලද සාර්ථක වැඩසටහනක් වනු දැකීම සැමගේ අපේක්ෂාවය.
සටහන: හසිත් අංජන