
එක්සත් ජාතික පක්ෂයට අර්බුදය අරුමයක් නොවූ බව ලාංකීය දේශපාලන ඉතිහාසය දත් සැවොම දන්නා කරුණකි. නමුත් ඉතිහාසයේ කිසිදාක එක්සත් ජාතික පක්ෂයට මෙවන් ඛේදවාචකයකට මුහුණදීමට සිදුවූයේ නැත. සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ පිරිස නික්ම යාම සමඟ එක්සත් ජාතික පක්ෂය 2020 මහමැතිවරණයේ යම් අර්බුදයකට මුහුණපානු ඇතැයි බොහෝ දෙනා සිතූ බව සැබෑවකි. එහෙත් මෙතරම් ඇදවැටීමක් කිසිවකුත් අපේක්ෂා කළේ නැත.
1947 පළමු පාර්ලිමේන්තුවේ පටන් අඛණ්ඩව ව්‍යවස්ථාදායකය තුළ නියෝජනය වූ, ශ්‍රී ලංකා දේශපාලනයේ පැරණිතම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය, 2020 මැතිවරණයේදී තමන් ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවිය නව පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය (2020 අගෝස්තු 20) ආරම්භය වනවිටත් නම් කරගැනීමට අසමත්ව සිටියේය.
දේශපාලන පක්ෂයක් ලෙස සංවිධානය වීමෙන් වසරක් තරම් කෙටිකාලයක් තුළ එක්සත් ජාතික පක්ෂය 1947 මහ මැතිවරණයේදී වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගත් පක්ෂය බවට පත්වෙමින් සෙසු පක්ෂවලද සහයෝගය ඇතිව අගමැති ඩී.එස්. සේනානායකගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවා ගනිමින් ඉතිහාසයට එක්වුණේ ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු ආණ්ඩු පක්ෂය වශයෙනි.
ඉන් අනතුරුව 2020 මහමැතිවරණය තෙක් පවත්වා ඇති සියලු මැතිවරණවලදී ආණ්ඩුබලය දිනාගැනීමට හෝ නොඑසේනම් අඩුතරමින් විපක්ෂය ලෙස හෝ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට එම පක්ෂය සමත් විය.
වර්තමාන එජාප බිඳවැටීමට හේතු වූ ප්‍රතිරෝධ නිර්මාණය වූයේ 2001 එජාප ආණ්ඩුවේ බිඳවැටීම සමඟයි. රනිල් වික්‍රමසිංහගේ නායකත්වය පිළිබඳව කලක් තිස්සේ තිබූ කලකිරීම ප්‍රසිද්ධයේ දලු ලෑමට පටන් ගත්තේ අනතුරුවයි. එහි ප්‍රතිඵලයක් ලෙස අභ්‍යන්තර අරගල කිහිපයක් පසුගිය වසර විස්සකට ආසන්න කාලය තුළ නිර්මාණය විය.
2020 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලබාගත්තේ සමස්ත ඡන්ද දෙලක්ෂ හතළිස් නවදහස් හාරසීය තිස් පහක් පමණි. (249435) එය මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් දෙකයි දශම එකයි පහක් (2.15) විය. කිසිදු මන්ත්‍රී ආසනයක් දිස්ත්‍රික් මට්ටමින් දිනාගැනීමට එක්සත් ජාතික පක්ෂ අසමත් වූ අතර හිමිවූ එකම අසුනද ඔවුනට හිමිවූයේ ජාතික ලැස්තුවෙනි.
එජාපයෙන් වෙන් වී ගිය සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තරයේම පවසා සිටියේ එජාපය විනාශ වීමට හේතුව නායකත්වයේ වෙනසක් සිදු නොවීම බවය. එවකට එජාපය නියෝජනය කළ එජාපයේ ප්‍රධාන පෙලේ තනතුරු දැරූ මන්ත්‍රීවරුන් සමගි ජනබලවේගගයට එක් වීමත් සමගම එජාපයේ තනතුරු ගණනාවක්ම පුරප්පාඩු විය.
එලෙස එජාපයෙන් වෙන් වී සමගි ජනබලවේගය වෙත එක් වූ මන්ත්‍රීවරුන් දරන ලද එජාපයේ තනතුරු සඳහා නව නිලධාරීන් මඩුල්ලක් පත්කර ගැනීමට පසුගිය 21 වැනිදා එජාපය යළිත් කටයුතු කළේය. එහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම්, සභාපති වජිර අබේවර්ධන, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සහ භාණ්ඩාගාරික එම්. එස්.එම්. මිස්බා යන මහත්වරුන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි.
පක්ෂය ගොඩනගන සැලැස්ම දැනටම සූදානම්ව
ජිර අබේවර්ධන එක්සත් ජාතික පක්ෂයේ සභාපති
හැමෝම හිතන කාරණයක් තමයි දැන් එජාපයක් නැහැ. ආයේම එජාප බලයක් සහිත ආණ්ඩුවක් එන එකක් නැහැ කියන කාරණය. නමුත් මම පැහැදිලිව කියන්න කැමතියි මේ පක්ෂය නැවත ගොඩනගන වැඩපිළිවෙළ අපි මේ වනවිටත් සූදානම් කරගෙන යනවා අපි කිසිවිටකත් අපිත් සමග සිටි සැබෑ එජාප පාර්ෂිකයන් අසරණ කරන්නේ නැහැ. වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනතාව මේ වනවිටත් කළකිරීමෙන් ඉන්න බව පේන්න තිබෙනවා. ආණ්ඩුවේ අඩුපාඩු කියන්න ප්‍රබල විපක්ෂ භූමිකාව ඉටුකරන්න විපක්ෂයට අද නොහැකි වී තිබෙනවා. ඒ නිසා අපි නැවතත් මේ එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කරමින් දේශපාලන භූමිකාවට පණ පෙවීමට සූදානම් කරමින් ඉන්නවා.
එජාපය යළි පණ ගසන බව අපේ විශ්වාසයයි
අකිල විරාජ් කාරියවසම් එජාපයේ උපනායක
පක්ෂයේ පසුගිය කාලයේ තිබුණ යම් යම් අර්බුද නිසා පක්ෂය විනාශවෙලා ගියා. කිසියම් පිරිසක් පක්ෂය විනාශ මුඛයට ඇද දැමීමක් සිදුකළා කිවහොත් එය නිවැරදියි. දැන් අපි නව නිලධාරීන් මණ්ඩලයක් පත්කරලා තියෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා නැවත එජාපය පණ ගසා එයි කියලා. අපි එක්සත් ජාතික පක්ෂය සමග සිටින සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ අපිත් සමග එකතු වෙන්න කියලා.
එජාපය කවදාවත් වට්ටන්න බෑ
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර
නායකත්වයට තිබුණ බලලෝභීකම නිසා මෙරට මුල්ම දේශපාලන පක්ෂය වුණ එක්සත් ජාතික පක්ෂය කඩා දැමීමට පක්ෂයේම පිරිසක් උත්සාහ කළා. ඔවුන්ට ඕනෑවුණේ පක්ෂයේ තනතුරු තාන්න මාන්න විතරයි. පක්ෂය සහ පාක්ෂිකයන් ගැන ඔවුනට කිසිදු වගවීමක් තිබුණෙ නැහැ. නමුත් අද වනවිට එලෙස පක්ෂයට වින කටින කිසිම අයකු ඉතිරිවෙලා නැහැ. පක්ෂය කඩාගෙන ගිය බොහෝ පිරිසකගේ දේශපාලන ආයුකාලය කොහොමත් අඩුයි. ඒ වගේම හැමෝම හිතුවේ එක්සත් ජාතික පක්ෂය නැත්තටම නැතිවෙලා යයි කියලා. නමුත් මම වගකීමෙන් කියනවා එක්සත් ජාතික පක්ෂය කියන්නේ කිසිදවසක වට්ටන්න පුළුවන් පක්ෂයක් නෙවෙයි. ගහක් කපන්න කපන්න දලු දානවා වගේම එජාපයත් නැවත ප්‍රතිසංවිධානය වෙනවා. කවදාවත් එජාපය මේ දේශපාලනයෙන් ඉවත් කරන්න බැහැ.
සටහන: හසිත් අංජන