2021 ජනවාරි 23 වන සෙනසුරාදා

පොලිස් දැලට කොටු වූ අනුරාධපුරේ කුඩු ඕ.අයි.සී

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 44

මේ අහළ පහළ හැමතැනකම සැපට කුඩු, ගංජා, අයිස් විකුණනවා. අපි හිතනවාට වඩා ලස්සනට ගේම ගහනවා. මේක කෙරෙන බව මම කලිනුත් කියලා තියෙනවා. ඒක බොරුවක් වෙන්න බෑ. ගොඩක්ම වැඩේ කෙරෙන්නේ ඊසි කෑෂ්වලින් වගේ. වැඩි දවසක් නොයවා මම හරියටම විස්තරේ දෙන්නම්....

අනුරාධපුරය මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපතිවරයාට හිතවත් ඔත්තුකරුවකු මේ කතාව කියා තිබුණේ පැහැදිලි විස්තරයක් පසුවට ඉතිරි කරමිනි. සැබැවින්ම ටික දිනක් ගතවෙද්දී ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතාට ඔත්තුකරුගෙන් ලැබුණු දුරකථන ඇමතුමකි.

එදා කතාව අලුත් වෙන්නයි යන්නේ. ඊසි කෑෂ්වලට මිනිහා කුඩු විකුණනවා. මගේ විශ්වාසය හරි. බයික් එකෙන් ගිහින් පාරේ අඳුරාගන්න පුළුවන් තැනක මිනිහා බඩු තියලා යන්නේ. සල්ලි දාපු කෙනා හෙමිහිට ඇවිත් අරගෙන යනවා. කවදාවත් කෙනෙකුගේ අතට මිනිහා බඩු දෙන්නේ නෑ. හොඳම කතාව මෙයා පොලිසියේම වැඩකරන කෙනෙක්.

මේ කියන තොරතුරු අනුරාධපුරය මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලැබී තිබුණේ මීට මාස තුනකට පමණ ඉහතදීය. හිතවත් ඔත්තුකරුවකු විසින් ලබාදුන් තොරතුරු සම්බන්ධයෙන් අනුරාධපුරය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කිත්සිරි ලංකා ගීගනගේ මහතාව දැනුම්වත් කොට අදාළ කාරණය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට උපදෙස් ලබාගෙන ඇත.

ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතා යටතේ එම පොලිස් ස්ථානයේ ක්‍රියාත්මක විශේෂ වැටලිම් ඒකකයක නිලධාරීහු තිදෙනෙක් විමර්ශනය සඳහා යොදවනු ලැබූහ. එතැන් සිට එම විමර්ශන නිලධාරීහු සැකකටයුතු පුද්ගලයා සම්බන්ධයෙන් ආවේක්ෂණ රාජකාරි කරමින් විස්තර සෙවීමට කටයුතු කළෝය. අදාළ තැනැත්තා යතුරුපැදියක නැගි අනුරාධපුරය අවට මාර්ගවල ගමන්ගන්නා බවත් හිටිහැටියේම තැනින් තැන නවතා මොහොතක් යතුරුපැදියෙන් බැස සිට යළිත් ගමන් ගන්නා බවත් අධ්‍යයනය කර ඇත. බොහෝවිට එසේ යතුරුපැදිය නවත්වන ස්ථානය වෙනත් පාර්ශ්වයක් වෙත පැවසුවහොත් පහසුවෙන් හඳුනාගත හැකි ආකාරයේ ස්ථානයකි. එසේ නවත්වන යතුරුපැදියෙන් බසින පුද්ගලයා ජංගම දුරකථනය අතට ගෙන දුරකථන ඇමතුමක් ලබාගන්නා හෝ කෙටි පණිවුඩයක් යවන ආකාරයද දකින්නට තිබිණ. අවසානයේ මෙම පුද්ගලයා බොහෝ විට අනුරාධපුරය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත යන බවත් විටෙක නිල ඇඳුම ලාගත් පොලිස් නිලධාරියකු වශයෙන් දකින්නට ලැබෙන බවත් හඳුනාගෙන තිබිණ. මේ අනුව ඔත්තුකරු විසින් අනුරාධපුර පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලබාදී තිබූ තොරතුරු සත්‍ය එකක් බවට තහවුරු වෙමින් තිබිණ. වඩාත් පරීක්ෂාකාරී වූ විමර්ශන නිලධාරීන් තහවුරු කරගෙන තිබුණේ සැකකාර පුද්ගලයා අනුරාධපුරය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා බවටය.

මේ කරුණු අනාවරණය කරගත් වහාම ඉහළ නිලධාරීන් දැනුම්වත් කිරීමට පියවර ගත් විමර්ශන නිලධාරීහු සැකකාර පොලිස් නිලධාරියා යන එන ස්ථාන පිළිබඳව දැඩි අවධානයකින් පසුවූහ. මේ අතර කාලයේ පසුගිය 18 වැනිදා ලැබුණු බුද්ධි තොරතුරකින් කියා තිබුණේ ඊසි කෑෂ්වලට කුඩු අලෙවි කිරීමට සූදානමින් සැකකරු පිටත්වන බවය. වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් සැකකරු පසුපස ගමන් ගත්තේ හොර රහසේය.

සැකකරුගේ යතුරුපැදිය වේගයෙන් අනුරාධපුරය කවරක්කුලම ප්‍රදේශයට ධාවනය කොට තිබිණ. කවරක්කුලම ගණදෙවි ප්‍රතිමාව කිට්ටුවෙත්ම යතුරුපැදියේ වේගය අඩුකරමින් ප්‍රතිමාව ඉදිරියේ නවත්වා ඇත. ක්ෂණිකව වටපිට බලා කවුරුත් නොමැති වූයෙන් ඔහු අත වූ යමක් පිළිමය අසළ බිම වැලිමත යට කිරීමට ඔහු තැත් කර තිබිණි. ක්ෂණිකව එතැනට පැමිණි වෙස්වලාගෙන සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඔහු ඉදිරියේය. තමාගේ ජාවාරමේ අවසානය මෙය යැයි සිතූ පුද්ගලයා අත වූ ජංගම දුරකතනය අසළ වෙල්යායට විසිකර දමා යතුරුපැදියත් එතැනම තබා පැනයන්නට උත්සාහ කළේය. එහෙත් ක්‍රියාත්මක වූ පිරිස සැකකරු මෙල්ලකරගෙන අත්අඩංගුවට ගෙන තිබුණේ තරමක පරිශ්‍රමයකින් පසුවය.

පසුව සැකකරු විසිකළ දුරකතනය සොයාගැනීමටද නිලධාරීන් සමත්ව තිබිණ. මේ ආකාරයට මාස තුනකට අධික කාලයක් රහසේ තොරතුරු සොයමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයා ඊසිකෑෂ් ක්‍රමයට මත්කුඩු අලෙවි කළ අයෙකි. ඔහු පොලිසියට අනුයුක්තව රාජකාරියේ නිරත වන්නෙකි. සැකකරු අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා බවට හඳුනාගත් අතර ඔහු පොලිස් පරීක්ෂකවරයෙකි. සැකකරු සන්තකයේ තිබියදී රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා හෙරොයින් පැකට් 77ක් සොයාගෙන ඇත. ඒවා විවිධ ප්‍රමාණයන්ගෙන් ඇසුරුම් කළ ඒවාය

සැකකරු සතුව ජංගම දුරකතන කිහිපයක් හා විවිධ පුද්ගලයන්ට අයත් හැඳුනුම්පත් කිහිපයක්ද සොයාගෙන ඇත. රියැදුරු බලපත්‍ර දෙකක් බැංකු කාඩ්පත් දෙකක් සමඟ සිම්පත් කිහිපයක්ද සැකකරු සතුව තිබියදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සතුව තිබූ හෙරොයින්වල බර ග්‍රෑම් 27යි මිලිග්‍රෑම් 50කි. මෙම පුද්ගලයා රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීම සිදුකරයි.

අනුරාධපුර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් අනුරාධපුරය සහකාර පොලිස් අධිකාරී කේ.එස්. කොඩිසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව මහානාම මහතාගේ මෙහෙයවීමෙන් සැරයන්වරුන් වන බාලසූරිය (28049), ජානක (33910) හා ඩග්ලස් (37292) යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

 සමන්ත විල්තෙර