
ගෙවී යන සියවස අවදිවීම් හා විනාශවීම් බහුල කාල පරිච්ඡේදයකි. ඉතාම නවීන තාක්ෂණය කරා අවතීර්ණ වී තිබේ. මිනිස් මොළය අභිබවා යන කෘත්‍රිම බුද්ධිමත් රොබෝවරු නිර්මාණය කරගත හැකිවනු ඇතැයි සැලකේ. කෙසේ වෙතත් ලෝකයේ රටවල් අතර පවතින උග‍්‍ර තරගය හා දේශපාලන ව්‍යාකූලතා කෙළවරක් නැත. කොවිඩ් වයිරසයෙන් ඇතිකර තිබෙන පීඩනය එය තවත් සංකීර්ණ ස්වභාවයකට පත්කර තිබේ. මෙතෙක් අවිආයුධ හා මත්ද්‍රව්‍ය ඇතුළු ජාවාරම් ගැන බලවත් විමර්ශනයක සිටි පාලකයන්ට වයිරසයේ බලපෑම තවත් කරදර කරන සටනක් වී ඇත.
නිෂ්පාදනය, වෙළඳපොළ සහ තීරණ ගැනීම අරභයා පවතින විවිධ වෙනස්කම් ඉසිලිය නොහැකි බර රටවල් තුළ ඇති කර තිබෙන අතර ජනී ජනයාගේ අතෘප්තිය එහි කේන්ද්‍රය බවට පත්ව තිබේ. පවතින සමාජ මාධ්‍ය වටපිටාව කරන සෘජු කථෝපකථනය පවතින පරිසරය අවුල් ජාලයක් කරන බව පැහැදිලිය.
• ජාත්‍යන්තර ප‍්‍රවණතා සහ ස්වදේශිකත්වය
යමක් ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව බව විශ්වාස කළ යුගය හමාරය. මනුෂ්‍ය සංහතිකය තමන්ගේ අභිලාශ සඳහා නවතම සොයාගැනීම්හි නිරත වෙති. ලැබෙන දෙය නොව ලබා ගැනීම සඳහා යොමුවෙයි. පවතින දෙයට ඇබ්බැහිවීම සුදුසු නැත. පරිවර්තනයක් තුළින් අලුත් සේ සොයා යා යුතුව තිබේ. එයට ගැලපෙන නවතම ව්‍යුහ ශක්තිමත් කර ඇත. ලෝකය එකම තැන තිබුණේ නැත. ගල් අඟුරු යුගයේ සිට ඛණිජ තෙල්වලටත්, එයින් පසු ස්වභාවික විදුලිය බවට හරවන තැනටත් පත්ව තිබේ. සූර්ය බලය පමණක් නොව සුළඟ, මුහුදු රළ බලශක්තිය බවට හැරවීමට සමත්ව තිබේ. කර්මාන්ත යුගයේ සිට තාක්ෂණික යුගය දක්වා ගමන් කර ඇති අතර අනාගතය කොතැනකද යන්න නිශ්චිත නැත. මෙවැනි පසුබිමක රටක නැගීම සහ පසුබෑම ප‍්‍රතිපත්ති තීරණ පදනම් කරගෙන සිදුවෙයි. රටවල් පාලනය කරන ක‍්‍රමය හා තීරණ ගැනීමේ විලාශය දියුණුවට හේතුවකි. පසුගිය දශකය තුළ එක්සත් ජනපදයේ සිදුවූ වෙනස්කම් ලෝක ආර්ථිකයට බරපතළ බලපෑමක් කළේය. ඇමරිකාව හා චීනය අතර වෙළඳ තරඟයක් හටගත් අතර පාර්ශ්ව අතර තිබුණ මතබේද වෙළෙඳාම අඩාල කරන්නට හේතු විය. අවසානයේදී ලෝක ආර්ථිකයට අවාසි සහගත තැනකට පත් වූ බව නොරහසකි. ට‍්‍රම්ප් හිටපු ජනාධිපතිවරයා ගේ තීරණ එයට බලපෑවේය. අලුතින් බලයට පත් වූ බයිඩන් ජනාධිපතිවරයා ගේ නැඹුරැව කරන වෙනස්කම් ගැන ජාත්‍යන්තරය බලවත් අවධානයක සිටී.
ලෝකයේ සිදුවන වෙනස්කම් ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයටද එක සේ එල්ල විය. යුරෝපා හවුලේ තීන්දු, ඇමරිකාවේ ආර්ථිකය, චීනයේ නැඹුරුව හා ඉන්දියාවේ ආර්ථික වර්ධනය එහි ලා ප‍්‍රධාන සාධක සේ සැලකේ. කෙසේ නමුත් රට තුළ පැන නැගුණ මතවාද ජාතික ප‍්‍රතිපත්ති තීරණය කිරීමේ දී ගැටලු ඇති කළේය. දේශපාලනය හා ආර්ථික තීන්දු අතර පරස්පරතා මතු කරන්නට සමත්විය. මැතිවරණ වේදිකාව එයට හේතුවූ බව සඳහන් කළ යුතුය. ඡන්ද කාලයේදී රට හා ජනතාව ගැන කරනන අන්තවාදී ප‍්‍රකාශ බලයට පත් වූ පසු ප‍්‍රශ්න ඇති කරයි. ස්වදේශිකත්වය හා ජාතික අනන්‍යතාව එකකි. ආර්ථිකය සම්බන්ධ තීරණ ගැනීමේදී ලෝකයේ සිදුවන වෙනස්කම් අනුව ක‍්‍රියා කරන්නට සිදුවීම අනෙකකි. විවෘත ආර්ථික ක‍්‍රමය අනුගමනය කරන්නට සිදුවෙයි. තරගකාරීත්වය ගැන අවධානය යොමු කළ යුතුය. දේශීයත්වය ආරක්ෂා කරගෙන ජාත්‍යන්තර ආර්ථික ප‍්‍රවනතාවලට අනුව තීරණ ගැනීමට සිදුවෙයි.
• දේශපාලන ප‍්‍රබන්ධ දෙස අලුත් කෝණයකින්
ආර්ථිකය හා දේශපාලනය පැති දෙකකි. විපක්ෂයක උත්සාහය අසාර්ථකත්වය ගැන විවේචනය කිරීමය. වර්තමානයේ බලයේ සිටින ආණ්ඩුව විපක්ෂයේ සිටියදී එවකට තිබුණ යහපාලන ආණ්ඩුව අනුගමනය කරන ප‍්‍රතිපත්ති අපරාධ වශයෙන් අවධාරණය කළේය. තීරණ රහිතව වෙනස්කමක් සිදුවෙන්නේ නැත. රට බෙදීම හෝ රට විකිණීම හුදු සටන් පාඨ පමණකි. ආයෝජකයන්ට රටවල් තුළ අවස්ථා ඇතිකරන තීරණ අනුව කිසියම් රටක් වෙන්දේසි වෙන්නේ නැත. දේශපාලනයේදී කරන චෝදනා රටක පැවැත්ම අවදානමකට ලක්කරයි. එක ආණ්ඩුවක් ගන්නා තීරණ අනෙක් ආණ්ඩුව බලයට පත් වූ වහා වෙනස් කිරීම සුදුසු නැත. ආයෝජන විශ්වාසය පලුදු කරන හේතුවකි. එයින් අත්පත්වන අවාසි අවසානයේ රටට සහ ජනතාවට බලපාන බව පෙන්වා දිය යුතුය.
ලෝකයේ කිසිම රටක් ආර්ථික අර්බුදයකින් විනාශ වී නැත. රටකට සිදුවූ විශාලතම හානි අතරින් ජපානය එක උදාහරණයකි. දෙවැනි ලෝක යුද්ධයේ දී ජපානය ලෝක ප‍්‍රජාවගෙන් කොන් වූ අතර ජගත් ප‍්‍රජාව වන්දි ඉල්ලා සිටියේය. එහෙත් පරමාණු බෝම්බ ප‍්‍රහාරවලින් විනාශ වී බිංදුවට වැටී තිබුණ ජපානය සාර්ථකව හිස එසවීය. අලුත් වාර්තා අනුව ලෝකයේ කෘත්‍රිම බුද්ධිය භාවිතා කරන රටවල් අතර පෙරමුණට පත්වන්නට ජපානය දැනට සමත්ව තිබේ. දකුණු කොරියාව මහත් ආර්ථික ව්‍යසනයක සිටියේය. ප‍්‍රධාන සමාගම් බිඳ වැටුණි. දශක දෙකක් තුළ පසුබිම වෙනස් වී තිබේ. බ‍්‍රසීලය ණය ගෙවා ගත නොහැකිව සිටි අතර අද බ‍්‍රසීලය ලෝකයේ ප‍්‍රධාන ආර්ථිකය සහිත රටවල් පහක් අතර එකකි. ජර්මනිය යුරෝපා ප‍්‍රජාවේ බලවත්ම රට වී තිබේ. ග්‍රිසිය ආර්ථික අර්බුදයකට මුහුණපෑවේය. මූල්‍ය අරමුදල දැඩි කොන්දේසි පනවන ලද අතර රටට අවශ්‍ය මූල්‍ය ආධාර වෙනුවෙන් වට ගණනාවක බලකිරීම් කරනලද බව මතක් කර දිය යුතුය. එරට ආණ්ඩු ගණනාවක් බිඳ වැටුණ අතර පසුව එම පසුබෑම වළකා ස්ථාවර වන්නට සමත්ව ඇත. වියට්නාමය ගොදුරු වූ ප‍්‍රහාර ගණන කෙළවරක් නැත. දිග කාලයක් ඇමරිකාව සමඟ යුද්ධයක පැටලී සිටියේය. මෑත කාලය තුළ ආයෝජනය හා සංවර්ධනය අතින් වැඩිම අවධානයට ලක් වූ රටවල් අතලොස්ස අතර වියට්නාමය පෙරමුණ ගෙන තිබේ. මේවායෙන් පෙන්වන එක පොදු කාරණයක් තිබේ. පසුබෑමක් සමඟ වර්ධනයක්ද තිබේ. නිසි අවස්ථාවේ දී තීරණ ගත යුතුය. ප‍්‍රතිවාදීන්ගේ දේශපාලන ගොදුරක්වීම වෙනුවට අභියෝගයක් වන තරමට ප‍්‍රතිපත්ති සකස් කිරීම බලධාරීන්ගේ වගකීමකි.
• ලෝකයේ තිබුණ ප‍්‍රධාන ආර්ථික බිඳ වැටීම් සමහරක්
නිවාස සංවර්ධනයට ගත් ණය ආපසු ගෙවාගත නොහැකිවීම හේතුවෙන් 2006 වසරේ ඇමරිකාවේ සිදුවූ ආර්ථික ව්‍යසනය අමතක නැත. සුප‍්‍රකට සිටි බැංකුව පවා බංකොලොත් ප‍්‍රකාශ කළේය. ඇමරිකානු රජය එහි කොටස් මිලදී ගෙන විනාශය වළක්වා ගත්තේය. නිසි ප‍්‍රතිසංස්කරණවලින් පසු එම අර්බුදය අවසානයක් කරා පැමිණ ඇත. එය ලෝක ඉතිහාසයේ සිදුවූ ආර්ථික කැළඹීම් පහක් අතරින් එකක් සේ සැලකෙයි. 1973 දී ඔපෙක් සංවිධානයේ තීරණ අනුව ලෝක තෙල් සංචිත සම්බන්ධ අර්බුදයක් නැවත වතාවක් ජාත්‍යන්තරයට ප‍්‍රශ්න ඇති කරන ලද අතර අග්නිදිග ආසියාවේ රටවල ආයෝජන ආපසු ගැනීමෙන් ඇති වූ අර්බුදය එයට දෙවැනි කළ හැකිය. තායිලන්තයෙන් ඇරඹුණ එය පසුව තායිවානය, මැලේසියාව දක්වා සියලුම රටවල් වලට පැතිර ගියේය. බටහිර රටවල බලවත් සමාගම් කර තිබුණ ආයෝජන ආපසු ගත් අතර එයට හේතුව අනපේක්ෂිත භීතිය බව පසුව අනාවරණය කරගත හැකිවිය. ආයෝජන සුරක්ෂිතභාවය හා දේශපාලන ස්ථාවරත්වය වැනි කරුණු ගැන අවධානය යොමුකරන්නේ එයින් ඉනික්බිතිවය.
ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන හා ආර්ථික ප‍්‍රතිපත්ති සම්පාදකයෝ මෙකී පැති ගැඹුරින් අධ්‍යයනය කර පිළියම් යොදන්නට සමත්වූහ. ප‍්‍රධාන ආර්ථික ව්‍යුහ වල තිබුණ බාධක නැවත ප‍්‍රතිසංස්කරණය කළහ. ඒවායෙන් ඇති වූ පිබිදීම ජනී ජනයා ගේ ජීවිත සුරක්ෂිත කරන ලද අතර අලුත් රැකියා අවස්ථා සහ ආදායම් මාර්ග විශාල වශයෙන් බිහි කළේය. විවෘත ආර්ථික ක‍්‍රමය හැර අනෙක් ආකාරයක් අද ජාත්‍යන්තරය තුළ නැත. එහි ප‍්‍රශ්න තිබේ. සාමාන්‍ය රටකට විවෘත ආර්ථිකයේ ඇති බිහිසුණු තරගකාරීත්වයට ඇතුළුවීම පහසු නැත. ශ‍්‍රී ලංකාව 1978 වසරේ සිට එයට උත්තර සොයා තිබේ. ආනයන හා අපනයන සඳහා සම්පූර්ණයෙන් දොරටු විවෘත කරන ආර්ථිකයකට ශ‍්‍රී ලංකාව කිසිම අවස්ථාවක ඉඩ දී නැත. යම් පාලන තත්ත්වයක් තුළ තීරණ ගෙන තිබේ. බලයේ සිටි ආණ්ඩුවල ප‍්‍රතිපත්ති අනුව ආර්ථිකයේ පාලනය, විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් ලබාදීම හා දැන් කරගෙන යන නොයෙක් අංශවලින් අඩාල කර පවත්වන තත්ත්වය දක්වා විවිධ මුහුණුවරක් ගත් බව දැක්වීම අවශ්‍යය. අවසාන තීරණයේ දී ජනතාව ගැන අවධානය යොමු කළ යුතුය. අභියෝග වලින් බැහැර අලුත් රාමුවක් නැත. ජනතාවට කරැණු පෙන්වා දිය යුතු අතර තීරණ ගැනෙන්නේ රටත් ජාතියත් වෙනුවෙන් බව දක්වන්නට සමත්වීම අවශ්‍යය.
• ඉක්මනින් හැසිරවුවහොත් ඉදිරියෙන් සිටින පරිසරයක්
කොවිඩ් වයිරසයේ බලපෑම සමග ලෝක ආර්ථිකය බලවත් පසුබමකට ලක්විය. පර්යේෂකයන්ට අනුව පසුගිය 2020 වසර තුළ සියයට දෙකක පමණ පසුබෑමක් සිදුවිය. එය මෑත ඉතිහාසයේ නොවූ අනපේක්ෂිත තත්ත්වයකි. එහෙත් එයින් නතර නොවේ. පසුබෑම මැඩගෙන නැවත නැගී සිටින බව දැක්වෙයි. 2021 වනවිට නැවතත් ලෝක ආර්ථිකය සියයට හතරකින් වර්ධනය වන බව වාර්තා අනාවරණය කරයි. කොවිඩ් ප‍්‍රතිකාර සොයා ගැනීම හා ප‍්‍රතිසංස්කරණ වලින් ලැබෙන ප‍්‍රතිඵල එයට හේතු වී ඇත. මෙතෙක් පැවැති තාක්ෂණය වැඩි දියුණුව තවත් වටයක වර්ධනයට බලපා ඇත. තොරතුරැ හුවමාරැව හා දත්ත මත පදනම්වන ආර්ථිකය එහි ලා ප‍්‍රයෝජනයට ගැනෙන බව සඳහන්ය. මුලින් දක්වන ලද කෘතීම බුද්ධියද එහි ලා සැලකේ. මෙම පසුබිම තුළ ශ‍්‍රී ලංකාවට අලුත් අවස්ථාවක් තිබේ. ප‍්‍රතිසංස්සකරණවලට ඉඩ දිය යුතුය. අඩාල වූ ආර්ථිකය නගා සිටුවන පියවර අවශ්‍යය. දියුණුවෙමින් පවතින මැදි ආර්ථිකයක් සහිත රටවලට වඩා වේගයෙන් හා ඉක්මනින් තීරණගතහොත් පළමු අවස්ථාව ලබාගන්නට නොහැකියාවක් නැත.
දක්වන පුරෝකථන අනුව 2021 වසරේ සියයට 3.3 ඉක්මවන වර්ධනයක් අපේක්ෂා කළ හැකිය. එයට කලින් අවුරුද්දේ දී සියයට හතරක පමණ පසුබෑම අභිබවා නැගී සිටින අවස්ථාවකි. එහෙත් නිසි පියවර ගැනීම අවශ්‍යය. ආර්ථිකය සක‍්‍රීය කරන තීරණවලට යා යුතුය. ආයෝජන දිරිමත් කළ යුතු අතර අපනයනය පදනම කරගත යුතුව තිබේ. පසුගිය වසරේදී මෙරට අපනයන ආදායම දුර්වල විය. සංචාරක ඉපැයීම් පහළටම වැටිණ. එහෙත් විදේශගත ශ‍්‍රමිකයන් එවන ලද විනිමය වාර්තාගත සේ ඉහළ නැග ඇති බව පෙනේ. මෙරට මානව සම්පත වෙනත් රටක සේවය කර එවන ධනය වෙනුවට රට තුළින් ජවයක් ලබාගැනීමට අවශ්‍ය තීන්දු තීරණ ගැනීම අවශ්‍යය. මෙහිදී රට බෙදන, රට විකුණන වැනි පටු අදහස් වලින් පලක් නැත. ලෝකයේ ඇති අවස්ථා ඩැහැ ගැනීමට ඇති තරගය ඉදිරියේ පවතින වාද විවාද වලින් නැවත නැවතත් ශ‍්‍රී ලංකාව ඉහළ ආදායම් ස්ථරයට එසැවෙන තැන අවහිර කරනු නිසැකය. මැදි ආදායම් මටට්මක සිට ඉදිරියට ගමන් කිරීම සඳහා නිර්භීත තීරණ නිසි අවස්ථාවේදී ගන්නට සිදුවන බව සඳහන් කරන්නට අවශ්‍යය.
ගාමිණී සරත් ගොඩකන්ද