2021 ජනවාරි 16 වන සෙනසුරාදා

කොළඹ නගරය තවමත් අවදානමේ

 2021 ජනවාරි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 16

දිනපතා කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. මේ නිසා කොළඹ දිස්ත්‍රික්කයේ අවදානම තවමත් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

“කොළඹ දිස්ත්‍රික්කයේ තවමත් ඒ අවදානම තියෙනවා. පහුගිය කාලවලදී කොළඹ සහ ගම්පහ අතර වැඩි පරතරයකින් ආසාදිතයන් වාර්තා වුණත් අවසන් වූ දින කිහිපය තුළදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන්ගේ වාර්තා වීමේ අඩුවීමක් දක්නට ලැබුණා. මීට මාසයකට පෙර වාර්තා වූ ආසාදිතයන් සමඟ වර්තමානය සංසන්දනය කළ විට කොළඹට සාපේක්ෂව අනෙක් පළාත්වල අවදානමේ වැඩිවීමක් දක්නට තියෙනවා. මාසයකට පෙර දිනකට වාර්තා වන ආසාදිතයන්ගෙන් 80%ත් 85%ත් අතර ආසාදිතයන් වාර්තා වූයේ බස්නාහිර පළාත ආශ්‍රිතවයි. නමුත් අද වන විට 50% - 55%ක් දක්වා අඩු වී තියෙනවා.” යැයි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් දේශයට අදහස් දක්වමින් පැවසීය.

මේ වන විට බස්නාහිර පළාත ආශ්‍රිතව කොළඹ දිස්ත්‍රික්කයෙන් සොයාගනු ලබන ආසාදිතයන්ගේ යම් මට්ටමක අඩුවීමක් පැවතියද කොළඹ නගර සීමාව තුළින් ආසාදිතයන් වාර්තා වීම තවමත් දක්නට ලැබේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයන්ගෙන් 90%කට වැඩි ප්‍රමාණයක් තවමත් වාර්තා වන්නේ කොළඹ නගර සභා සීමාව තුළිනි.

මාස ගණනාවක් රාජ්‍ය හා පෞද්ගලික සේවකයන්ගෙන් බොහොමයක් නිවෙස්වල සිටම online ක්‍රමයට තම රාජකාරි කටයුතුවල නිරත වුවද නව අවුරුද්දත් සමඟ බොහෝ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක සේවිකාවෝ සුපුරුදු පරිදි කාර්යාලවලට වාර්තා කරමින් රාජකාරී කටයුතුවල නිරත වෙමින් සිටිති. එබැවින් පොදු ප්‍රවාහන සේවයේ පැමිණීමේදී පසුගිය කාලවලදී මෙන් මගීන්ගේ අඩුවීමක් දක්නට නැත. බොහෝ බස් රථ සහ දුම්රිය මගීන්ගෙන් පිරී පවතී. මේ නිසාම එම කිසිදු මගියකු අතර මීටරය දුරක් නැත. රජය මගින් 2020 නොවැම්බර් මාසයේදී බස් ගාස්තු සංශෝධනයක් සිදු කර සෞඛාරක්ෂක මාර්ගෝපදේශ අනුව ආසන ගණනට මගීන් ගෙන යාමට තීරණය කළද අද වන විට දක්නට ලැබෙන්නේ සුපුරුදු පරිදි පොල් පටවා බස් රථ ගමන් කිරීමේ තත්ත්වයකි. ආසන ගණනට මගීන් ගෙන යනවා වෙනුවට බස් රථයේ එකිනෙකාට ගෑවෙන සේ ගමන් ගන්නා මගීන් පිරි බස් රථ ඕනෑ තරම් කොළඹ නගරයෙන් දැකගත හැකිය. නමුත් වැඩි වූ බස් ගාස්තුවේ කිසිදු අඩුවීමක් නැත. හැමදාමත් මෙන් මෙවරද පාඩු සිදුවන්නේ මගීන්ටමය.

“පොදු ප්‍රවාහනය විතරක් මේ රෝගය ව්‍යාප්ත වීමට බලපාන්නේ නැහැ. නමුත් එයත් එක ප්‍රධාන හේතුවක්. මෙම ආසාදනයෙන් වැළකී සිටීමට සෞඛ්‍යාරක්ෂිත මූලික ක්‍රම තුනක් පිළිබඳව මාර්තු මාසයේ සිට අද දක්වාම අපි අවධානය යොමු කරලා තියෙනවා. ඒ සම්බන්ධව අපි නිරන්තරයෙන් ජනතාව දැනුවත් කරනවා. ඒ නිසි පරිදි මුව ආවරණ පැළඳීම, සබන් හෝ විෂබීජහරණයකින් දෑත් නිවැරදිව සේදීම සහ මීටරයේ දුර පවත්වාගෙන යාම ආදියයි. එයින් පුද්ගල දුරස්ථභාවය බස් එකේදිවත්, දුම්රියේදිවත් තියාගන්න හරි අමාරුයි. අපි කියන මූලික පුරුදු තුනම එකට යාමෙන් තමයි මෙය සාර්ථකව පාලනය වෙන්නේ. එයින් යම් මූලික පුරුද්දක් බිඳවැටුණොත් එහි සාර්ථකත්වය අඩු වෙනවා. පුරුදු දෙකක් බිඳවැටුණොත් එහි සාර්ථකත්වය බොහෝ අඩු වෙනවා. එය අවදානම් තත්ත්වයක්. පොදු ප්‍රවාහන සේවයේදී කොහොමටවත් මීටරේ දුර පවත්වාගෙන යන්න බැහැ. ඒ නිසා එහි අවදානම වැඩියි. ඒ දේ ජනතාව තේරුම් ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ තැන්වලදී අනිවාර්යෙන්ම මුව ආවරණ නිසි පරිදි පැළඳීමත්, විෂබීජහරණයකින් නිරන්තරයෙන් දෑත් සේදීමත් ඉතා වැදගත් වෙනවා. හැමෝම මේ දේ හිතට ගෙන කටයුතු කළොත් තියෙන අවදානම යම් ප්‍රමාණයකින් අඩුකර ගන්න පුළුවන් වේවි.” රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම මූලික පුරුදු තුන නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීමෙන් ආසාදිතයන්ගේ වර්ධනයක් ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. පොදු ප්‍රවාහන සේවයේ ගමන් කිරීම ලංකාවේ ඕනෑම ප්‍රදේශයක රෝගීන් වැඩිවීමට හේතු විය හැක. 
“පසුගිය දින කිහිපය තුළදී කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් වාර්තා වීම යම් තරමකින් අඩු වී තිබුණා. ඒ අඩුවීමෙන් කොළඹ සම්පූර්ණයෙන්ම කොවිඩ්-19 පාලනය වී තිබෙන බව කියන්න නම් බැහැ. තවදුරටත් කොළඹින් ආසාදිතයන් වාර්තා වෙනවා. මේ වන විට කොළඹට බැහැරව වෙනත් පළාත්වලින් එකදිගට බලාපොරොත්තු නොවුණු අන්දමින් ආසාදිතයන් වාර්තා වෙනවා. විශේෂයෙන් පොළොන්නරුව, වරකාපොළ, වවුනියාව, මාතර, වැලිගම, ගාල්ල වැනි ප්‍රදේශවලින් බලාපොරොත්තු නොවුණු වැඩි ආසාදිතයන් පිරිසක් මේ වන විට වාර්තා වෙමින් පවතිනවා. රට සාමාන්‍යකරණය වීමත් සමඟ මිනිසුන්ට අපි සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ කොච්චර කිව්වත් ඇතැමුන් ඒවා තවමත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ නැහැ. මේ වන විට තවමත් අපිට සොයා ගැනීමට නොහැකි වුණු ආසාදිතයන් සමාජයේ සාමාන්‍ය මිනිසුන් අතර ජීවත් වෙනවා. ඔවුන්ගෙන් ආශ්‍රිතයන් වාර්තා වී අවසානයේදී යම් පොකුරක් ලෙස වාර්තා වෙනවා. එය අවදානම්. කෙසේ වෙතත් මේ වන විට කොළඹ යම් තරමින් ආසාදිතයන් වාර්තා වීම අඩු වුවත් තවමත් යම් අවදානමක් පවතිනවා.” යැයි මහජන සෞඛ්‍ය නිලධාරීවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දේශයට පැවසීය. 

බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණි අයකු එරට පැතිර යන නව කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදිතයකු බවට හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

“බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණි අයකුට එම වෛරස් ප්‍රභේදය වැළඳී ඇති බව කරනු ලැබූ මූලික පරීක්ෂණයෙන් තහවුරැවෙලා තියෙනවා. මේ සඳහා තියෙන පරීක්ෂණ කිරීම සඳහා අපිට තිබෙන පහසුකම් හරි සීමිතයි. පී.සී.ආර්. මැෂිමකින් මේ වැළඳී ඇත්තේ අලුත් වෛරස ප්‍රභේදයක්ද, පරණ වෛරස ප්‍රභේදයද කියලා නිවැරදිව කියන්න අමාරුයි. ඒ සඳහා ජාන විද්‍යාත්මක පරීක්ෂණ සිදු කළ යුතු වෙනවා. ඒ සඳහා දැනට පහසුකම් තියෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙයි. එහිදී කරනු ලැබූ මූලික වාර්තාව පදනම් කර ගනිමින් අලුත් ප්‍රභේදය සහිත රෝගියකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා. ඒ රෝගියා සහ රෝගියාගේ ආශ්‍රිතයන් මේ වන විටත් නිරෝධායනය කරල තියෙන නිසා ලොකු කලබලයක් විය යුතු වන්නේ නැහැ. නමුත් රට ඇතුළේ මෙම ප්‍රභේදය සහිත තවත් රෝගීන් සිටිනවාද, දැනටමත් මෙය රට තුළ ව්‍යාප්ත වී තිබෙනවාද අපි දන්නේ නැහැ. නමුත් මේ ප්‍රභේදය වෙනස් වුණාට අපිට කරන්න තියෙන දේ එකමයි. ඒ නිසා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයට අනුව නිසි පරිදි අපි පරිස්සම් වීම ඉතා වැදගත් වෙනවා.” රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා දේශයට පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න