පාස්කු ඉරුදින අහිංසක මිනිසුන්ගේ ජීවිත උදෙසා යුක්තිය ඉටුවේද? පාස්කු ප්‍රහාරයෙන් වසර එකහමාරට පමණ පසුවත් මෙම ප්‍රශ්න අසන්නට සිදුවීම කණගාටුවට කරුණකි. ලොවක් කම්පිත කළ මෙම ඛේදවාචක පිළිබඳ නැවත නැවතත් විමසීමට සිදුවන්නේ මෙවන් පසුබිමකය. මෙම සටහනට නිමිත්ත වන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියාර් අද්මිරාල් සරත් විරසේකර මහතා සහ අධිකරණ අමාත්‍ය අලිසබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා සිදුකළ ප්‍රකාශයන්ය.
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වූ සැකකරුවන් තිස් දෙදෙනකුට එරෙහිව නඩු පැවැරීම සඳහා ලිපිගොනු නීතිපතිවරයාට යොමුකර ඇතැයි සරත් වීරසේකර අමාත්‍යවරයා පැවැසීය. එය යුක්තිය පිළිබඳ අපේක්ෂාවන් දලුලා වැඩීම වුවත් අගමුල සහිත මෙම මෙම ප්‍රකාශ කියවා ගැනීමට අපි සරත් වීරසේකර අමාත්‍යවරයා සම්බන්ධ කරගතිමු.
“මෙහෙමයි පාස්කු ප්‍රහාරයේ සිද්ධීන් අටක් වුණා. එම බෝම්බ ප්‍රහාරවලට සෘජුව සහ වක්‍රව සම්බන්ධව වුණු තිස් දෙදෙනෙකුගේ ලිපිගොනු අටක් මේ වනවිටත් අපි නීතිපති වෙත යොමුකර අවසන්. දැන් නීතිපති විසින් තමයි මනුෂ්‍ය ඝාතනය සහ කුමන්ත්‍රණ චෝදනා යටතේ ඔවුන්ට විරුද්ධ නඩුපැවරීය යුතු වෙන්නේ. එහෙත් දැන් නීතිපතිට සිදුවී තිබෙනවා පාස්කු ප්‍රහාරය සම්බන්ධ පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව එනතුරු බලා ඉන්න. ඒ හරහාත් ඉදිරිපත්වන නව සාක්ෂි තිබෙනවා.”
සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකිරීම කොමිසම හරහා ලැබුණ නව සාක්ෂිද වැදගත්ය. අමාත්‍යවරයා පෙන්වා දෙන පරිදි නීතිපතිවරයා බලා සිටින්නේ ඒ වෙනුවෙනි. කෙසේ නමුත් ජනවාරි 31 වැනිදා වනවිට පාස්කු කොමිසමේ අදාළ වාර්තා නීතිපතිවරයා වෙත ලැබෙනු ඇතැයි දැනගන්නට ලැබේ. ඒ අනුව මනුෂ්‍ය ඝාතන, තුවාල සිදුකිරීම, දේපළ විනාශ කිරීම, කුමන්ත්‍රණ කිරීම යනාදී චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීම සිදුවනු ඇතැයිද කියැවේ. සරත් වීරසේකර මහතාගේ පැහැදිලි කිරීම අනුව ජනාධිපති කොමිසමේ වාර්තාවේ නිර්දේශ ලැබුණු වහාම හැකි ඉක්මණින් නීතිපතිවරයා පාස්කු ප්‍රහාරයට අදාළ නඩු පැවරීම සිදුකරනු ඇත.
“මීට අමතරව දෙසීය හතළිස් එක් දෙනෙක් ඉන්නවා රැඳවුම් නියෝග මත සහ රිමාන්ඩ් බන්ධනාගාර තුළ. ඔවුන්ට එරෙහිව තිබෙන චෝදනා වෙන්නේ අවි ආයුධ සැපයීම, පාසල් මගින් අන්තවාදය පැතිරීම, අන්තවාදීන්ට මුදල් ලබාදීම ආදිය. මේ වැරදිවලට අදාළ විමර්ශන කටයුතුත් ඉතා ඉක්මනින් අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”
පුහුණුවීම් කළ අවි ආයුධ ගෙනා, මද්‍රසා පාසල් හරහා අන්තවාදය වැපිරූ පිරිසක් ද මෙම පිරිස අතර සිටින බව දැනගන්නට ලැබේ. එම නිසාම මෙම පිරිසට හුදෙක් දඬුවම් ලබාදී සෑහීමකට පත්විය නොහැකි බව පාස්කු ප්‍රහාර සම්බන්ධව විශේෂ අවධානයකින් ක්‍රියාකරන පාර්ශ්වයෙන් පෙන්වා දෙයි. දඬුවම සේම පුනුරුත්ථාපනය ද විධිමත් අයුරින් ක්‍රියාත්මක විය යුතුව තිබේ. යම් දිනක දඬුවම අවසන් කරන විට මෙම දෙසීයකට ආසන්න පිරිසෙන් කිහිප දෙනෙක් අන්තවාදය කරපින්නා ගෙන සමාජ ගතවුවහොත් තවත් සහරාන්ලා මෙරට තුළ නිර්මාණය වීමට ඉඩ තිබේ.
මේ අතර මෙම සැකකරුවන්ගේ හා ඔවුන්ගේ ඥාතීන්ගේ වත්කම් හා දේපල සම්බන්ධයෙන්ද මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන පවත්වාගෙන යන බවද අමාත්‍ය සරත් වීරසේකර මහතා පෙන්වා දෙයි. පාස්කු ප්‍රහාරය යනු එක සිදුවීමක් නොව අන්තවාදී ක්‍රියාකාරකම් දාමයක ප්‍රතිඵලයකි. එම නිසාම අන්තවාදය මර්දනයට රජය ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳවද අප ප්‍රශ්න කළ යුතුය. අසාත් සාලි වැනි අය තවදුරටත් නිදහසේ වෛරී සහගත අන්තවාදී ප්‍රකාශ කරමින් සිටිති. වීරසේකර මහතාගෙන් අප මේ පිළිබඳවද විමසීමු.
“අසාද් සාලි වැනි අය මෙවන් ප්‍රකාශ කරන්නේ වීරයෝ වෙන්න හිතාගෙන. ඔහුව අත්අඩංගුවට ගත්තොත් ඔහු ඇප පිට නිදහස් වෙන්නේ මුස්ලිම් ජනතාව අතර වීරයෙක් වෙලා. ඔය වගේ ප්‍රකාශ කරන්නේ අත්අඩංගුවට පත්වීමේ අරමුණින්. හැබැයි අපි හදිස්සි වෙන්නේ නෑ. ඒ වුණත් යම් සිංහල මුස්ලිම් ජාතිවාදී ගැටුමක් නිර්මාණය වීමට ගියොත්, අපි ඉස්සෙල්ලාම අත්අඩංගුවට ගන්නේ අසාද් සාලිව.”
වර්තමාන ආණ්ඩුවේ ඡන්ද පොරොන්දු අතර අන්තවාදයට වැට බැඳීම යනු අංක එකේ පොරොන්දුවක් වූයේය. පාස්කු ප්‍රහාර මතින් නිර්මාණය වූ කාති උසාවි, මුස්ලිම් විවාහ නීතිය සම්බන්ධව රජයේ තීරණයද අපි ප්‍රශ්න කළෙමු.
“කාති උසාවි කියන දේ ගෙවල් ඇතුළේ හොරෙන් කරන වැඩක්. ඒක විවෘත උසාවියක නඩු අහනවා වගේ වෙන දෙයක් නෙවෙයි. බොහොම රහසිගතව වෙන දෙයක්. ඒවාට ගොදුරුවෙන අයත් තොරතුරු දෙන්නේ නෑ. තොරතුරු නැතිව පියවර ගන්න අපිට බෑ. නමුත් යම් තොරතුරක් ලැබුණොත් අපි ක්‍රියාත්මක වෙනවා. අනිවාර් යෙන් නවත්වනවා.”
මුස්ලිම් විවාහ නීතිය සම්බන්ධව කටයුතු සිදුවන බව පසුගියදා අධිකරණ අමාත්‍ය අලිසබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී පැවැසුවේය. කෙසේ වෙතත් අන්තවාදයේ නැවත නැගී සිටීමක් සිදුනොවේ යැයි අපිට ඇති සහතිකය කුමක්ද යන්න අද බොහෝ දෙනෙක් ප්‍රශ්නය කරමින් සිටිති. යම් යම් ප්‍රකාශ මෙන්ම සිදුවීම්ද ඊට හේතුසාධක වී තිබේ.
“ඒ සඳහා අපි අපේ බුද්ධි අංශය ශක්තිමත් කරලා තිබෙනවා. වෛරී ප්‍රකාශ කරන අය ගැන ඇත්තවශයෙන්ම අපි සොයා බලනවා. අපේ අවධානය මත තමා අවි ආයුධ පුපුරණ ද්‍රව්‍ය වගේ දේවල් සොයා ගැනීම සිදුවුණේ. යහපාලන රජය සමයේ බුද්ධිඅංශ අකර්මණ්‍ය කරපු නිසා තමයි රටේ මෙවන් තත්ත්වයක් ඇතිවුණේ. දැන් අපි සියලුම තොරතුරු එකතු කරලා ජාතික බුද්ධි ප්‍රධානී සමඟ සතියකට සැරයක් කතා කරනවා. ඒ නිසා දැන් අපිට පුළුවන් අනතුරක් ප්‍රහාරයක් හෝ යම් සිදුවීමක් වෙනවා නම් කල් ඇතිව ඒ තොරතුරු දැනගන්න.”
පාස්කු ප්‍රහාරය මූලික කරගෙන ඇතිවෙන මෙම සංවාද අතර පාස්කු ප්‍රහාර සම්බන්ධ සිදුකෙරෙන අනෙනෙකුත් විමර්ශන පිළිබඳව සොයාබැලිය යුතුය. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවද මෙහිදී අපට අමතක කළ නොහැක. අද වනවිට එය හුදු කාලය මිඩංගු කිරීමක් බවට පත්වන බව පෙනී යයි. ඊට හේතුව නම් ඒ හරහා හෙළිදරව් කර නොගැනුණු කරුණු රාශියක් ජනාධිපති කොමිසම හෙළිදරව් කරගෙන ඇති බැවින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පිළිබඳ වත්මන් රජය සෑහීමට පත් නොවන බවත් පැවසීමයි.
අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහසක් මෙම සංවාදයේදී මතුකළ යුතුය. පාස්කු දින ප‍්‍රහාරය දේශපාලනීකරණය හෝ ජාතිවාදී නොකළ යුතු බවත් එසේ කළහොත් ඇත්ත වශයෙන්ම ජාතිවාදී චින්තනයේ සිටින මිනිසුන්ව සොයා නොගෙන නිවැරදි මිනිසුන් පසුපස යාම සිදුවන බවත් ඔහු පවසා තිබුණි. කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයද දේශපාලනය සමස්තයක් ලෙස ජාතිවාදී වී ඇති වර්තමානයේ පෙනී යයි.
ඒ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත්ම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිදු වැරදිකරුවකුට කිසිම සමාවක් නොදෙන බව අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අවධාරණය කර තිබුණි.
“කොමිසම කටයුතු කරන්නේ ඉතාම ස්වාධීන ලෙස. ඒකට අපිට මැදිහත් වෙන්න බෑ. ඇත්තටම වගකිවයුතු අය මේකට වගකියන්න ඕනේ. ඇත්ත වශයෙන්ම මේ චින්තනයේ ඉන්න මිනිස්සුන්ව හොයාගන්න ඕනේ.” යනුවෙන්ද මෙහිදී අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය.
කෙසේ වෙතත් ලැබී ඇති තොරතුරු අනුව පාස්කු කොමිසමේ කටයුතු ඉතා ස්වාධීනව සිදුවන බවත් අවසාන වාර්තාව ලැබුණු විගසම ඒ සම්බන්ධයෙන් අධිකරණයේ අධි චෝදනා නිකුත් කරන බව නීතිපතිවරයාද සඳහන් කර ඇත. සැබවින්ම පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුවීම පිළිබඳ රටට ඇති අවසාන බලාපොරොත්තු එයයි.
චමිඳු නිසල් ද සිල්වා