2021 ජනවාරි 09 වන සෙනසුරාදා

කොළඹ හදවතේ එළිමහන් අවන්හල සහ වන උයන

 2021 ජනවාරි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 256

පුරවැසි ජනතාවගේ මෙන්ම සුවහසක් සංචාරකයන්ගේ පීඩාව නිවන ජලය ආශ්‍රිත හරිත පරිසරයක් මත නිර්මාණය කරනු ලබන “සෞභාග්‍යයේ දැක්ම” යථාර්ථයක් බවට පත් කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනපතිගේ උපදෙස් මත ඉදිකළ “බේරේ වැව එළිමහන් අවන්හල” 2020 දෙසැම්බර් මස 30 වැනිදා ජනතා අයිතියට පැවරුණි.

කාර්යබහුල වූ කොළඹ නගරයේ ඉදිවුණු මෙම “බේරේ වැව එළිමහන් අවන්හල” මගින් නිදහසේ, සුන්දර වටපිටාවක ආහාරපාන ගැනීමේ හැකියාව පවතී. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් නාලක ගොඩහේවා රාජ්‍ය ඇමැතිවරයාගේ මඟපෙන්වීම මත ඉදිවුණු මෙම එළිමහන් අවන්හල විවෘත කරන ලද්දේ වෛද්‍ය රමේෂ් පතිරණ ඇමැතිවරයාගේ සුරතිනි. එළිමහන් අවන්හල මෙන්ම ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඉදිවුණු ගාලු මුවදොර ඉදිරිපස බාලදක්ෂ මාවතේ “නාගරික වන උද්‍යානය” ද එදිනම ජනතා අයිතියට පැවරුණි. එය විවෘත කරන ලද්දේ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙනි.

බේරේ වැව එළිමහන් අවන්හල් ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ මහජනතාව නගර මධ්‍යස්ථාන කරා පදික මංතීරු ඔස්සේ ගමන් කිරීමට දිරිගැන්වීමය.

2020 වසරේ ජූනි මස 08 වැනිදා ඉදිකිරීම් ආරම්භ වුණු “බේරේ වැව එළිමහන් අවන්හල” ඉදිකිරීම් අවසන් කරන ලද්දේ 2020 වසරේ නොවැම්බර් මස 19 වැනිදාය. මෙය කොවිඩ් වසංගතය තුළ ආරම්භ කර කොවිඩ් වසංගතය තුළම අවසන් කරන ලද ව්‍යාපෘතියකි.

හෙක්ටයාර් 0.8ක් සහිත භූමි ප්‍රදේශයක ඉදිවුණු මේ ව්‍යාපෘතියට වැය කරන ලද මුදල රුපියල් මිලියන 60කි.

“බේරේ වැව එළිමහන් අවන්හල” මෙන්ම අලුතින් ඉදිවුණු ගාලු මුවදොර නාගරික වන උද්‍යානය ජනතාවගේ විවේකය, විනෝදාස්වාදය මෙන්ම නාගරික වන උද්‍යාන, ජල උද්‍යාන සමඟ කාලය ගත කිරීමට අවස්ථාව උදා කර තිබේ.
යුද හමුදා මූලස්ථානය පැවති භූමියේ ගාලු මුවදොර පිටිය හා සම්බන්ධ කර ගනිමින් අලුතින් ඉදිකළ බාලදක්ෂ මාවත ඔස්සේ මෙම ව්‍යාපෘතිය නිර්මාණය කර ඇත.

මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය අදියර තුනකින් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව අදියර 1 ලෙසින් රථ ගාලක් සහ එළිමහන් අවන්හලක් ඉදිකිරීම (ටාජ් සමුද්‍ර හෝටලය පිටුපස භූමිය), අදියර 2 ලෙසින් යුද හමුදා මූලස්ථානය සඳහා භාවිත කළ පැරණි ගොඩනැගිලි දෙක සංරක්ෂණය හා වැඩිදියුණු කර නව භාවිතයට නැවත යෙදවීම සහ තුන්වැනි අදියර ලෙසින් නාගරික වන උයනක් සැකසීම මගින් හරිත අපර ව්‍යුහ සැලැස්මෙහි ප්‍රධාන අංගයක් සනිටුහන් කිරීම සඳහන් වේ. මෙයින් පළමු හා තෙවැනි අදියර පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජනතා අයිතියට ලබා දුන් අතර සිව්වැනි අදියර ලෙසින් ගාලු මුවදොර පිටිය හා ගාලු පාර සම්බන්ධ කරමින් සැලැස්මක් ඉදිරියේදී ක්‍රියාත්මක වේ. මෙම නාගරික වන උද්‍යානය අක්කර දෙකකින් සමන්විත වේ.

කොළඹ නගරය හරිත නගරයක් ලෙස දකුණු ආසියාවේ වේගවත්ම නැගී එන අග නගරය බවට පත් කරලීම සඳහා පරිසරය හා බද්ධ වූ භූමි අලංකරණය නාගරික ජනතාවට විඳීමට අවස්ථාව ලබාදීම හා එයට ආර්ථිකමය වටිනාකමක් එක් කරලීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ. ශ්‍රී ලාංකිකයන්ගේත් ඉදිරි කාලයේදී පැමිණෙන සුවහසක් සංචාරකයන්ගේත් සිත, ගත සහ නෙත නිවන හරිත පරිසරයක් කොළඹ අග නගරයේ නිර්මාණය කිරීම සියලු දෙනාටම අලුත් අත්දැකීමකි.

මෙම ව්‍යාපෘතියේ නිර්මාණය, භූ දර්ශන උපදේශකත්වය හා ගෘහ නිර්මාණය නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදු කරන අතර ප්‍රධාන ව්‍යාපෘතිය කොන්ත්‍රාත්කරැ ලෙස ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කටයුතු කර තිබේ.

 දිශානි ජයමාලි කරුණාරත්න
     සේයාරූ - සුමුදු හේවාපතිරණ

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03