
පසුගිය ජූලි මාසයේ කුරුණෑගල නගර සභාවට අයත්, ඩෝසර් කළ රාජසභා මණ්ඩපය තවමත් එලෙසමය. එහි අබලි ද්‍රව්‍ය අව්වට වැස්සට තෙමෙමින් පවතී. ඒ අතර පසුගිය සතියේ වාර්තා වුණේ කුරුණෑගල නගරය මැද පිහිටි එකම නාගරික උද්‍යානය වන රජපිහිල්ල උද්‍යානයේ ගස් ඩෝසර් කර බිමට සමතලා කර දැමීමක් ගැනයි.
අක්කර 2ක් පමණ විශාල මෙම උද්‍යානය පොදු වෙළෙඳපොළ අසල පිහිටා තිබෙන අතර නගරවැසියන්ට විවේකය ගැනීමට තිබෙන එකම උද්‍යානය එය වේ. පසුගිය දෙසැම්බර් 2දා එහි අවුරැදු 150කට වඩා පැරණි බුළු, කොස්, කොහොඹ, මාර, නෙල්ලි, ඇහැටු ඇතුළු ගස් 32ක් බිමට පෙරළා කුට්ටි කර තිබේ. මෙම උද්‍යානය අදියර දෙකක් යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර එහි පළමු අදියර ලෙස පෞද්ගලික ආයතනයකට උද්‍යානයේ ගස් ඉවත් කිරීමට ලබා දී ඇති බව පැවසේ. ඒ අනුව ගස් 28ක් ඉවත් කිරීමට සලකුණු කර තිබුණත් ගස් 32ක් බිමට පෙරළා දමා අවසන්ය. නගර සභාවේ අවසරය ඇතිව නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගස් ඉවත් කිරීමට පෞද්ගලික සමාගමකට ලබා දී ඇති බව වාර්තා වේ. එහි ජනතාවට විවේක ගැනීමට ඉදිකර තිබූ මණ්ඩපයක් ද ඩෝසර් කර දමා ඇත.
කුරුණෑගල වන් පර්සන්ට් අයිඩියා සංවිධානයේ සභාපති වෛද්‍ය ආසිරි මුණසිංහ පවසන්නේ මේ නිසා පෞරාණික ගස් රැසක් විනාශ වී ඇති බවයි. “පර්වත හතකින් වට වූ නගරයේ උෂ්ණත්වය පාලනය කිරීමට, පක්ෂින්ට නවාතැනක් ලෙස වගේම නාගරිකයන්ට විවේකය සලසා ගැනීමටත් තිබෙන්නේ මේ උද්‍යානය තමයි. නගරයේ හරි මැද අධික ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටි නිසා එහි අගය ඉහළයි. මේක සංවර්ධනය කිරීම අවශ්‍යයි. නමුත් එහි පරණ ගස් ඉවත් කර සංවර්ධනය කරන්නේ කෙසේද යන්න අපට ගැටලුවක්. කිසිම සාධාරණ හේතුවකින් තොරව වටිනා දුර්ලභ ගස් ඉවත් කිරීම හිතාගන්න බැරි අපරාධයක්.” වෛද්‍ය ආසිරි දේශයට පැවසුවේය.
කුරැණෑගල නගරයේ දිනපතා ජන සංසරණය ලක්ෂ තුනකි. එය නගරයට ඔරොත්තු නොදෙන ජන සංඛ්‍යාවකි. නගරයට ප්‍රධාන මාර්ග 5කින් වාහන විශාල සංඛ්‍යාවක් ද පැමිණේ. දුම්රිය රාශියක් ද නගරය හරහා ධාවනය වේ. මේ නිසා සැලකිය යුතු කාබන් විමෝචනයක් නගර සීමාව තුළ සිදුවේ. ඇතුගල ප්‍රධාන කොටගත් ඉබ්බාගල, ආඳාගල, කුරුමිණියාගල ආදී ගල් පර්වත 6කින් නගරය වටවී තිබේ. මේ සියලුම කාරණා නිසා නගරය තුළ උෂ්ණත්වය ඉහළ ගොස් ඇත. නාගරික සංවර්ධන අධිකාරිය විසින් කළ මහජන අදහස් විමසීමකදී අධික උෂ්ණත්වය ගැටලුවක් බව එයට සහභාගි වූ 80%ක් දෙනා පවසා තිබේ. නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 සිට සමහර දිනවල අංශක 36 දක්වාත් ඉහළ යන බව නිරීක්ෂණය වී තිබේ. මේ නිසා කළ යුතුව ඇත්තේ නාගරික සංවර්ධනය සඳහා පවතින ගස් හැකි තරම් ඉතිරි කර තිරසාර සංවර්ධන සැලසුමක් සකස් කිරීමයි. ඩෝසරයකින් මහ ගසක් පෙරළා දැමීමට ගතවන්නේ විනාඩි ගණනක් වුවද එය හැදී වැඩීමට අවුරැදු 150ක්වත් ගත වේ.
නාගරික සංවර්ධන අධිකාරිය සකස් කළ 2019 – 2030 කුරුණෑගල නගර සංවර්ධන සැලසුමේ සඳහන් වන්නේ “සංවර්ධන සැලසුමක් යනු පුළුල් අරමුණු ඇතුළත් ප්‍රදේශයේ නිසි සැලසුම්කරණය, තිරසාර සංවර්ධනය සඳහා මඟපෙන්වන උපාය මාර්ගික ලියවිල්ලකි.” යනුවෙනි.

එම සංවර්ධන සැලසුමට අනුව රජපිහිල්ල උද්‍යානය ජනතාවට වැඩි ප්‍රයෝජනයක් සැලසෙන සේ වැඩි පහසුකම් සහිතව සංවර්ධනය කිරීමට යෝජිතය. නමුත් තිබෙන ගස් කපා දැමීමක් ගැන එහි සඳහන් නොවේ. එම සැලසුමේ නාගරික උද්‍යාන සහ තෙත්බිම්, කුඹුරු ආදියේ වැදගත්කම අවධාරණය කර තිබේ. නගරයේ සුළං කපොලු, ස්වභාවික තෙත්බිම් හා කුඹුරු ආරක්ෂා කර ගැනීමෙන් උෂ්ණත්වය ඉහළ යාම පාලනය කළ හැකි බව නාගරික සංවර්ධන සැලැස්මේ ඇතුළත්ය. රාජධානි යුගයේ සිට පැවතෙන රජපිහිල්ල උද්‍යානය නගරයේ අනන්‍යතාවය විදහාපාන ප්‍රධාන අංගයක් ලෙස ද නාගරික සංවර්ධන සැලසුම සඳහන් කරයි.
නගරය වටා පිහිටි බඩගමුව, කුඹල්පොළ, හවෙනියවත්ත, සුන්දරාපොළ යෝජිත වන උද්‍යාන ලෙසත්, තවත් කොටසක් රේඛීය උද්‍යාන (නගරය තුළ පිහිටි කුඩා උද්‍යාන) ලෙසත් සංවර්ධනය කිරීමට එහි යෝජනා කර තිබේ.
කොළඹ විහාරමහාදේවි උද්‍යානය නාගරික සංවර්ධන අධිකාරිය විසින් සංවර්ධනය කළේ පැරණි ගස් කපා දමා නොවේ. පසුගිය දෙසැම්බර් 30දා විවෘත කළ ගාලු මුවදොර නුදුරු නාගරික වන උද්‍යානයේ අලුතින් ගස් සිටුවා සංවර්ධනය කිරීමට දැරූ වියදම රුපියල් මිලියන 135කි. රත්නපුර පොම්පකැලේ, කෑගල්ල කුරුළුකැලේ, මහනුවර වේස් උද්‍යානය වැනි නාගරික වන උයන්වලින් එම නගරවලට සිදුව ඇති යහපත මිල කළ නොහැකිය. කුරුණෑගල රජපිහිල්ල උද්‍යානයේද ගස්වැල් සමඟම සංවර්ධනය කළා නම් එහි අගය තවත් ඉහළ යනු නිසැකය.
මේ අතර මධ්‍යම පරිසර අධිකාරියේ වයඹ පළාත් කාර්යාලය මගින් සිදු කළ ක්ෂේත්‍ර පරීක්ෂණයක වාර්තාවක් ජනාධිපතිවරයාට යවා තිබේ. එයට අනුව නගර සංවර්ධන සැලැස්මේ හඳුනාගත් ව්‍යාපෘතියක් සඳහා ගස් 32ක් ඉවත් කිරීමට නියමිත බවත්, ඒ පිළිබඳව ඉකුත් සැප්තැම්බර් 14දා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව දැනුවත් කර ඇති බවත් දක්වා තිබේ.
කුසුම්සිරි විජයවර්ධන