2021 ජනවාරි 02 වන සෙනසුරාදා

මහපුටු පෙරළුණු සතොස

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

සතොස පිළිබඳ අසන්තෝෂයක් ඇතිවෙන පුවත් පෙළක් පසුගිය සමයේ වාර්තා විය. සතොස සහ ලංකා සතොස සභාපතිවරුන්ගේ ඉල්ලා අස්වීම්, ඉවත් කිරීම් සහ නව පත්වීම් මේ අතර ප්‍රමුඛ විය. එමෙන්ම විවිධ පාර්ශ්වවල ප්‍රකාශ සහ සහ වංචා දූෂණ පිළිබඳව කරුණු ද සතොස සංවාදයේ කොටසක් විය. පුවත් මවන සතොස කතාවේ යථාර්ථයට සමීප වනු රිසියෙන් අපි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ සංවාදයක් ගොඩනගා ගතිමු. මෙම සටහන සැකසෙන්නේ එම සංවාදය ඇසුරිනි.

මෙය අද ඊයේ ඇතිවුණු සිදුවීමක් නොවේ. 2015 සිට සතොස භාරව සිටියේ රිෂාඩ් බදියුදින් අමාත්‍යවරයාය. එම කාලය පුරා අප විසින් නිර්මාණය කර තිබුණු ලක් සතොස ආයතන ක්‍රමයෙන් පරිහානියට පත්විය. වසරෙන් වසර ලක් සතොසේ පාඩුව කෝටි ගණනක් බවට පත්වූ අතර දේශපාලන හිතවතුන් රැසක් ලක් සතොසට බඳවා ගැනීම මීට ප්‍රමුඛ හේතුව විය. එක නගරයේ ශාඛා දෙක බැගින් නොගැලපෙන ස්ථානවල ලක් සතොස ආයතන නිර්මාණය කිරීම ද මෙම පරිහානියට හේතුවක් විය. තවත් පසෙකින් විවිධ අතරමැදියන් හරහා සැපයුම් ලබාගැනීම හේතුවෙන් බෙදාහැරීමේ ජාලය තුළ ද නිර්මාණය වූයේ අක්‍රමවත් දූෂිත තත්ත්වයකි. අවසානයේ මෙම ආයතනය ණයකරුවකු වූ අතර භාණ්ඩ සැපයුම්කරුවන්ට පමණක් ගෙවීමට රුපියල් බිලියන හතකට අධික ණය ප්‍රමාණයක් ඉතිරි වී තිබිණි.

මෙම තත්ත්වයන් නිවැරැදි කර ගැනීම සඳහා වසරක පමණ කාලයක් අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කර තිබේ. එහෙත් සම්පූර්ණයෙන්ම මෙම තත්ත්වය නිවැරැදි කර ගැනීමට ඔවුන්ට නොහැකි විය. එම නිසාම ලක් සතොස නිර්මාණය කරන්නට කැපවූ පුද්ගලයා ලෙස නැවතත් මෙම ආයතනය ගොඩගැනීමට නම් අවශ්‍යයෙන්ම මා විසින් සිදු කළ යුතු වෙනස්කම් රැසකි. ඒ වෙනුවෙන් සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) සහ ලක් සතොස යන ආයතන දෙකම පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කළ යුතුමය. මෙම ආයතන දෙකෙන් සැබෑ මහජන සේවයක් සිදුවීමට නම් වංචා, දූෂණ,  කොමිස් ලබාගැනීම් ආදී සියලු අක්‍රමිකතා මෙම ආයතනයෙන් තුරන් කළ යුතු වේ.

එහෙත් ගෙවුණු වසර තුළ දී අපේක්ෂිත ප්‍රමාණයෙන් මෙම අක්‍රමිකතා වළක්වා ගැනීමට පාලන අධිකාරිය අසමත් විය. එහෙත් පාඩුව අවම විය. නමුත් තීරණ ක්‍රියාත්මක කිරීමේදී ගැටලු ඇතිවිය. අප විසින් සභාපතිවරයා හට යමක් දැනුම් දුන් විට සභාපතිවරයා එය පෙරළා පහළ සිටින පිරිසට දැනුම් දුන්නද එම නියෝග තීරණ නිසි පරිදි ක්‍රියාත්මක නොවුණි. ඊට හේතුව වූයේ රිෂාඩ් බදියුදින් අමාත්‍යවරයා විසින් මෙම ආයතනය තුළ පැල කරනු ලැබූ පිරිසක් පහළ ස්ථරය තුළ සිටීමය. සභාපතිවරයාට ආයතනයේ සහයෝගය නොලැබීමට ද හේතුව මෙයම විය. 2021 වසර වෙනුවෙන් මෙම ආයතන දෙක සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව මේ අනුව මතු විය.

ඒ අනුව අද වන විට ජනාධිපතිතුමාගේ උපදෙස් මත මෙම ප්‍රතිසංවිධානය වැඩපිළිවෙළ යථාර්ථයක් බවට පත්කළ හැකි පළපුරුදු දක්ෂ නිලධාරීන් දෙදෙනකු මෙම ආයතන දෙකෙහි සභාපති ධූර සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් පත්කර තිබේ. බන්ධනාගාර නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල්වරයකු වූ නීතිඥ වෙනුර ගුණවර්ධන මහතා සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ  (සතොස) සභාපතිවරයා ලෙස පත්කර ඇති අතර රියාද් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා ලක් සතොස සභාපතිවරයා ලෙස පත්කර තිබේ. 
මාධ්‍ය තුළ මෙම පත්වීම් මෙන්ම ඉවත්වීම් පිළිබඳවත් නිසි පරිදි පැහැදිලි නොවීය. ඊට ප්‍රධානම හේතුව වූයේ අවම වශයෙන් සතොස සහ ලක් සතොස ආයතන ගැන පවා බොහෝ දෙනා නොදැන සිටීමය. හිටපු සභාපතිවරයා විසින් මෙම ආයතන දෙකෙහිම සභාපති ධූරය දරනු ලැබීය. කලකට ඉහතදී හෙතෙම සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (සතොස) සභාපතිත්වයෙන් ඉවත්විය යුතු බව ඉල්ලා මා වෙත ලිපියක් ඉදිරිපත් කළේය. ඒ ඉවත්වීම භාරගැනීමෙන් පසු සතොස වැඩ බලන සභාපතිවරයා ලෙස අප අමාත්‍යාංශයේ ලේකම්තුමිය පත් කර තිබේ. නීතිඥ වෙනුර ගුණවර්ධන මහතා වර්තමානයේ සභාපතීත්වයට පත්ව ඇත්තේ මෙම ආයතනයේය. එසේම ලක් සතොස ආයතනයේ නව සභාපතිවරයා ලෙස රියාද් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාගේ පත්වීමත් සමඟ හිටපු සභාපතිවරයාගේ පත්වීම අවලංගු වීම සිදුවිය. 

ලබන වසර තුළ අප බලාපොරොත්තු වනුයේ ගුණාත්මක බව ඉහළ භාණ්ඩ පමණ අලෙවි කරන, ඕනෑම තරගකාරී සිල්ලර වෙළෙඳාමකට වඩා සුළු හෝ මිල අඩු කිරීමකට යටත්ව මහජනතාවට සේවය සලසන ආයතනයක් බවට සතොස පත් කිරීමය.  ඒ අනුව සාධාරණය ඉදිරියේ දී සාධාරණ වෙළෙඳ සමාචාර සහිත සිල්ලර වෙළෙඳසල් ජාලයක් බවට සතොස ආයතනය පරිවර්තන වේ. ඒ අනුව සිදුකිරීමට බලාපොරොත්තු වන වෙනස්කම් කිහිපයකි.

සතොස වෙත සැපයුම් සිදුකරන්නන් පිළිබඳ වැදගත් නිර්ණායක කිහිපයක් හඳුන්වා දීමට නියමිතය. ඒ අනුව ඉදිරියේ දී සතොස වෙත සැපයුම් සිදුකිරීමට ඉඩකඩ සැලසෙන්නේ ස්වජාතික නිෂ්පාදකයන්ට සහ ඍජුව භාණ්ඩ ආනයනය කරන අයවලුන්ට පමණි. එම නිසාම තවදුරටත් අතරමැදියන්ට සතොස වෙත කිසිදු භාණ්ඩයක් සැපයීමට නොහැකි වේ. මෙහිදී ස්වජාතික නිෂ්පාදකයන්ට මෙන්ම ඍජු ආනයනකරුවන්ට ද ඉදිරිපත් වන කොන්දේසි දෙකකි. ඔවුන්ගේ සැපයුම් ගුණාත්මක බවින් ඉහළ විය යුතු අතර වෙළෙඳ වටිනාකමට වඩා සුළු හෝ අඩුවක් තිබිය යුතුය. අල්ලස් කොමිස් වට්ටම් දී කිසිවකුට මෙම කොන්දේසි දෙක ඉටු කිරීමට නොහැකිය. 

ඉදිරියේදී අප දේශීය නිෂ්පාදන සමඟ සහ ඍජු ආනයනකරුවන් සමඟ පෙනෙන සංවාදයකට එළැඹීමට නියමිතය. මෙහිදී 2021 වර්ෂය පුරාවටම සැපයුම්කරුවන්ට සතොස වෙත අල, ලූනු, ටින් මාළු, පරිප්පු, සහල් ආදී අත්‍යාවශ්‍ය ආහාර වර්ග 12ක් සාදා මිල අභිප්‍රායන් ඉදිරිපත් කිරීමට අවකාශ සැලසෙයි. ත්‍රිවිධ හමුදාවට බන්ධනාගාර සැපයුම් සිදුකරන සැපයුම්කරුවන් ද වසරකට එක මිලක් රජය වෙත ලබා දෙන්නේ මෙම ක්‍රමය යටතේය. මෙම මිල වසර තුළදී වෙනස් විය හැක්කේ හේතු දෙකක් මත පමණි. ඉන් එකක් නම් එම භාණ්ඩ මත රජය බදු පැනවීමය. අනෙක නම් ආනයනය කරන භාණ්ඩවල විනිමය අනුපාතය වෙනස් වීමය. මේ සම්බන්ධව ජනවාරි මාසයේ දී අපි සැපයුම්කරුවන් සමඟ ගිවිසුමකට එළැඹීමට බලාපොරොත්තුවෙන් සිටිමු.

පාරිභෝගික ආරක්ෂණ පනතට අනුව මෙවැනි වෙළෙඳුන් සමඟ මෙන්ම වෙළෙඳ සංවිධාන සමඟ මිල පිළිබඳ ගිවිසුම්වලට එළැඹිය හැකි බව පැහැදිලිය. සතොස සහ සමූපකාරය මෙම ක්‍රමය යටතේ භාණ්ඩ මිලදී ගැනීමට සමත් වුවහොත් ඉදිරියේදී සමූපකාර සහ සතොස ජාලය හරහා මහජනතාවට සාධාරණ මිලට භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව සැලසෙනු ඇත. මීට අමතරව ඉදිරියේ දී රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව හරහා කුඩා පරිමාණයේ අලෙවිසල් පොදු ස්ථාන ඉලක්ක කරගෙන ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබේ. ඒ අනුවම මෙම වෙළෙඳසල් සතොස සමූපකාර ආදී ජාලයක් හරහා මෙරට මහජනතාවට ගුණාත්මක සහනදායී සේවයක් සැපයීමට අප හට හැකියාව ලැබේ.

 සංවාද සටහන - චමිඳු නිසල් ද සිල්වා