2021 ජනවාරි 02 වන සෙනසුරාදා

ඔත්තුකරුගේ අතපය කපා පොලිසියෙන් මැරුම්කෑ බෙවන්වත්තේ නිශා

 2021 ජනවාරි 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 299

මග නැවැත්වූ ත්‍රිරෝද රථයකි. සිගරට්ටුවක් උරමින් රැඳී සිටි දෙදෙනා පෙනුමින් දාමරිකය. හැසිරීමෙන් නම් යම් ගොදුරකට ඉව අල්ලනවා වැනිය. එතැන පසුකර ගිය යතුරුපැදියකි. එහි ගිය පිය පුතු දෙපළ ගමේ හාඩ්වෙයාර් වෙළෙඳසලට ගොඩවූයේ නිවසේ වැඩකට සිමෙන්ති මිටියක් මිලට ගැනීමටය. ඔවුන් පසුපස ගිය මැරයෝ රථය පණගන්වා තිබියදීම බිමට බැස්සෝය. එකෙක් ඉහළට එසවූ අතකින් පිට මැද්දේ කමිසය යට සඟවා තිබූ කඩුවක් ඇද කඩපිලේ උන් අයකුට පහර පිට පහර එල්ල කළේය.

ප්‍රහාරයට ලක්වූ අයගේ එක අතක් වෙන් වී බිම වැටෙද්දී අනෙක් අත බාගෙට කැපී එල්ලිණි. එක් පාදයක විළුඹ අසල කොටසක් කැපී වෙන්වෙද්දී එම පාදයේ ඇඟිලි කොටස කැපී විසිවී ගියේය. කඩු ප්‍රහාරය නවත්වනවාත් සමඟ “දීපං මම කෙටුවේ නෑනේ...” කියමින් අනෙක් මැරයා බලෙන්ම කඩුව අතට ගෙන ප්‍රහාරයට ලක්වූ අයගේ පාදයට වැරෙන් පහරක් එල්ල කළේය. වෙන්ව ගිය කකුල අතට ගත් එක් මැරයකු දාමරිකයන් හමුවේ තිගැස්සී සිටි දරුවාගේ මුවගට පියාගේ කපාගත් පාදය දික්කොට “තෝ දැනගන්.... මේ ගැන වචනයක් හරි පොලීසියට කිව්වොත් තොටත් මේකමයි වෙන්නේ...” යැයි කියා පියාගේ වෙන්කරගත් කකුලත් රැගෙන ක්ෂණිකව පළාගොස් තිබුණි.

වේයන්ගොඩ රජවත්ත පන්සල ආසන්නයේදී වූ මෙකී මැර ප්‍රහාරය ලැව්ගින්නක් සේ අසල්වාසීන් අතර ප්‍රචාරය වෙමින් තිබිණ. වැඩිවේලාවක් යන්නට මත්තෙන් එතැනට පැමිණි වේයන්ගොඩ පොලිසියේ නිලධාරීන් පිරිසක් විමර්ශනය කොට යළිත් පිටව ගොස් තිබුණි. තත්ත්වය සමතයකට පත්වීමෙන් පසු හාඩ්වෙයාර් වෙළඳසල සාමාන්‍ය පරිදි කටයුතු ආරම්භ කෙරිණි. එසේ හෝරා දෙකක් පමණ ගෙවුණු පසුව වෙළෙඳසල් හිමියා හදිසියේ පොලිසියට ලබාගත් දුරකතන ඇමතුමකි. “අර මනුස්සයාගේ කකුලේ ඇඟිලි පහක් එක්ක කපපු කෑල්ලක් කඩේ ඇතුළේ තියෙනවා.” යැයි කී පණිවුඩය අනුව යළිත් පැමිණි පොලිසිය එම කොටස නැවත රැගෙන ගියේ පෙර සිදුකළ පොලිස් පරීක්ෂණවල හොඳකම ගම්මුන්ට පෙන්වමිනි.

මෙම ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රදේශය පුරා පැවතියේ දැඩි කතාබහකි. මත්පැන්, මත්ද්‍රව්‍ය සමඟ ජාවාරම්කරුවන් නිතර සැරිසරන ප්‍රදේශයේ ගම්මුන් අතර පැවැතියේ භීතියකි. මැර ප්‍රහාරයේ සුලමුලක් නොදන්නා ගම්මුන්ට කඩපිලකදී කපා කොටා දැමීමේ සිද්ධියේ උණුසුම යන්නට මත්තෙන් එම සිදුවීමට දින දෙකකට පසුව අසන්නට ලැබුණේ මෙවැන්නකි.

“හාඩ්වෙයාර් එක ළඟදී කපලා කොටලා දාපු කෙනාගේ හොයාගන්න තිබුණේ නැති කකුල අන්න කඩේ ළඟට ගෙනත් දාලා.” මෙම ආන්දෝලනාත්මක කතාව ප්‍රදේශය පුරා පැතිරීමත් සමඟ වේයන්ගොඩ රජවත්ත ආශ්‍රිතව පැවතියේ දැඩි භීෂණ ස්වභාවයකි. ප්‍රදේශවාසීන් සිදුවීම නිසා භීතියටත් තැති ගැන්මටත් පත්වුවද අදාළ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලීසිය ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නොතිබිණ. මේ අතර ප්‍රහාරයට ලක්වූ තැනැත්තා සමඟ සිටි ඔහුගේ 15 හැවිරිදි පුත්‍රයා තවමත් පසුවන්නේ දැඩි මානසික පීඩනයකය.

බස්නාහිර පළාත ආශ්‍රිතව වාර්තා වූ මැර ප්‍රහාරය ආන්දෝලනාත්මක එකක් වුවද ඒ සම්බන්ධයෙන් වන විමර්ශන පිළිබඳව සෑහීමට පත් නොවූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුවීම නිරීක්ෂණය කළේය. ඉන්පසුව එම විමර්ශන බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී මහතාට දන්වා පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ඕ.කේ.ටී. නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් එම ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත ධර්මකීර්ති සමඟ පොලිස් පරීක්ෂකවරුන් වන අජිත් සේනානායක හා පතිරාජසූරිය යන නිලධාරීන් පිරිසකට බාරදී තිබුණි.මේ අතර අදාළ ප්‍රහාරයේ සැකකරුවකු හෝ හඳුනාගැනීමට නොවුණු පසුබිමක අදාළ විමර්ශන බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට බාරකළ බව මාධ්‍ය මගින් ප්‍රචාරය කොට තිබිණ. ඒ අනුව ලැබුණු හෝඩුවාවන් කිහිපයක් ඔස්සේ විමර්ශන නිලධාරීන් නොරොච්චෝලෙ, හලාවත හා පානදුර ප්‍රදේශවල සෝදිසි මෙහෙයුම් සිදුකර තිබිණි.

මේ වනවිටත් අත පය වෙන් වී බරපතළ තත්ත්වයෙන් පසුවූ පුද්ගලයා හරහා හෙළිකර ගැනුණු තොරතුරකි. දින කිහිපයක පටන් ඔහුට අයකුගෙන් මරණ තර්ජන එල්ල වී තිබිණ. අදාළ තර්ජනය කළ පුද්ගලයා ඔහුව සොයා නිවසට පැමිණ කිසිවිටෙක මොහු මුණගැසී නොතිබිණ. එල්ලවන මරණ තර්ජනය හේතුවෙන් බෙවන්වත්තේ නිශා හෙවත් යෝධපේඩිගේ නිශාන්ත කුමාරසිරි නැමැති ප්‍රදේශයේ දාමරිකයකුට එරෙහිව පැමිණිලි කිරීමට වේයන්ගොඩ පොලීසියට අවස්ථා තුනකදී ගොස් තිබුණි. එහෙත් පැමිණිල්ල සටහන් නොකොට යළි පැමිණ තිබුණේ එම පොලිස්ස්ථානයේ සේවය කරමින් සිටි ඔහුගේම ඥාතියකු පැමිණිල්ල සටහන් නොකරන ලෙස කළ දැනුම්දීම අනුවය. එම ඥාතියා වේයන්ගොඩ පොලිසියේ රියැදුරෙකි. 

අනතුරැව සැකකාර බෙවන්වත්තේ නිශා සොයා පොලිසිය විමර්ශන සිදුකරන අතරතුර ඔහු හා ප්‍රහාරයට ලක්වූ අයගේ සබඳතාව හෙළිකරගෙන තිබිණ. බෙවන්වත්තේ නිශා ප්‍රදේශය භීතියට පත්කොටගෙන මහා පරිමාණයෙන් මත්කුඩු හා මත්පැන් ජාවාරමේ නිරත වූවෙකි. ඒ නිසාම යහමින් අතමිට සරිකර ගත්තෙකි. ප්‍රදේශවාසීන්ගේ කතාවට අනුව ඔහු පස්පංගුව අලෙවි කරන්නෙකි. එනම් හෙරොයින්, අයිස්, ගංජා, කේරළ ගංජා හා කසිප්පු ජාවාරම් සියල්ල සිදුකිරීමයි. වේයන්ගොඩ ප්‍රදේශයේ සිය පාතාල මැර බලය පතුරවමින් ජාවාරම් කරන ඔහු හමුවට ගිය රජවත්ත ප්‍රදේශයේ මේසන් බාස්වරයෙකි. “කොරෝනා නිසා වැඩක් කරන්න යන්න විදිහක් නෑ. අතේ කීයක්වත් නෑ. මට ගංජා ටිකක් දෙන්න හෙමින් සීරුවේ විකුණගන්නම්” කියා තිබූ ඔහු කොරෝනා පළමු රැල්ලේදී සෑහෙන ගංජා ප්‍රමාණයක් ඉල්ලාගෙන විකුණා තිබුණි. වැඩිදිනක් එම ජාවාරම නොකළ ඔහු පළමු වතාවේම එය නවතා දමා ඉන් මිදී ඇත.

මේ අතර දිනක බෙවන්වත්තේ නිශා නැමැත්තා දුරකථන ඇමතුමක් ලබාදී අනුරාධපුර සිට වේයන්ගොඩ දක්වා ගංජා තොගයක් ප්‍රවාහනය කොටගෙන ඇත. හදිසි වැටලීමකදී එම තොගය වේයන්ගොඩ පොලීසියට කොටු වී තිබුණේ මැර ප්‍රහාරයට ලක්වූ අය ගංජා ජාවාරම නැවැත්වූ දාට දින දෙකකට පමණ පසුවය. ඒ මොහොතේ පටන් බෙවන්වත්තේ නිශා සැකකරමින් සිටියේ තමාගේ ගංජා තොගය පිළිබඳ ඔත්තුව පොලිසියට දුන්නේ මේසන් බාස් බවටය. ඊට පළිගැනීමක් වශයෙන් ඔහුගේ අතපය හතර කපා දමා පාඩමක් ඉගැන්වීමට සිතාගෙන ඇත. අවස්ථා කිහිපයකදිම බාස් සොයා නිවසට ගියත් ඔහු නොසිටි බැවින් මරණ තර්ජනය කොට පැමිණ ඇති අතර මගදී ඔහු අල්ලා ගැනීමට තීරණය කොට තිබුණි. ඒ අනුව ප්‍රහාරය එල්ලකොට තිබුණේ දෙසැම්බර් 19 වැනිදා උදේය. ඒ සඳහා බෙවන්වත්තේ නිශාගේ සහායට තවත් අයකු පැමිණ තිබුණි. ඔහු නිශාගේ සොහොයුරකු වන්නට ඇතැයි සැකකෙරේ.

මැර ප්‍රහාරයෙන් සතියක් පමණ ගතව තිබුණු නමුත් සැකකරු හඳුනාගැනීම අසීරු කරුණකි. ඔහු විටින් විට ස්ථාන මාරුකරගෙන සැඟවී සිට ඇත. මහාධිකරණයේ විභාග වන නඩු සමඟ කුලියාපිටිය හා ගම්පහ අධිකරණවල මොහුට එරෙහිව ඇති නඩු ගණන පහකි. ඒ වෙනුවෙන් කතාකරන හිතවත් නීතිඥවරයෙක්ද වෙයි. එවැන්නකු හරහා මෝසමක් මාර්ගයෙන් පොලිසියට බාරවීමට සැකකරු උත්සාහ ගනිමින් සිට ඇත්තේ එනපොට හොඳ නැති බව අවබෝධයෙනි. එහෙත් එම මෝසම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කොට තිබුණි.

එහිදී වෙනත් සැලසුමක් ක්‍රියාත්මක කළ මොහු ඩිස්ප්‍රින් පෙත්තක් කුඩුකර ඒවා ළඟ තබාගෙන සිටින අතරතුර කුරුවිට පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබාගෙන ඇත. ඔහුගේම ඇඳුම පැළඳුම පිළිබඳ විස්තර දක්වා ඔහු කුඩු ජාවාරමකු බවට සැක යැයි කියා ඇත. ඒත් සමඟ පැමිණි පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව කුරුවිට පොලිස් ස්ථානාධිපති හා සැකකරු කතාබස් කරමින් සිට ඇත. සැකකරුගේ පදිංචිය වේයන්ගොඩය. ඔහුගේ සොහොයුරකු සතු ප්‍රසිද්ධ ජංගම දුරකථන අලෙවිසලක් වේයන්ගොඩ නගරයේ වේ. එම පුද්ගලයා කුරුවිට ස්ථානාධිපතිගේ අතිජාත මිතුරකු බවද කියති. ඒ වසර තුනක් තිස්සේ එම නිලධාරියා වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති වශයෙන් සේවය කළ නිසාය.

මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දැනුම්වත් වන්නේ මේ අතරය. අදාළ කරුණු පොලිස්පතිවරයාට ඉදිරිපත් කර සැකකරු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත බාරගැනීමට අවසර ලැබෙන්නේ ඉන්පසුවය. ඒ අනුව එම නිලධාරීන් කුරුවිටට ගොස් සැකකරු බාරයට ගෙන තිබුණේ ඉකුත් 24 වැනිදාය. පසුගිය 19 වැනිදා සිදුකළ කඩු ප්‍රහාරය ගැන සැකකරැ කිසිවක් හෙළි කිරීමට කටයුතු කළේ නැත. පසුව විමර්ශන නිලධාරීන් කිහිප පොළක් ඉදිරියේ ප්‍රශ්න කිරීමේදී එකිනෙක කරුණු හෙළිකරන්නට විය.

අදාළ ප්‍රහාරය සිදුකළේ තමා බවත් තමාට එරෙහි නඩු 5ක් විභාග වන බවත් කොල්ලකෑම්, බෝම්බ ළඟ තබාගැනීම, හෙරොයින්, අයිස්, ගංජා ජාවාරම මෙන්ම කසිප්පු ජාවාරම සම්බන්ධයෙන් නඩු සිය ගණනක් ඇති බවත් කියා ඇත. දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ 19 වැනිදා ප්‍රහාරය සඳහා යොදාගත් කඩුව සහ පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සඟවා ඇතැයිද කඩු ප්‍රහාරයෙන් පසුව රැගෙන ගිය කකුල දින දෙකකට පසුව එතැනට ගෙනැවිත් දැම්මේ තම හයිය පෙන්වීමට බවද කියා ඇත. සැකකරුගේ ප්‍රකාශය අනුව එදිනම රාත්‍රියේ කඩුව හා පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් වේයන්ගොඩ දෙසට ගොස් ඇත. ඒ සඳහා කැබ් රථයක් හා ජීප් රථයක් එක්ව තිබිණ. කැබ් රථයේ පසුපස අසුනේ නිලධාරීන් දෙදෙනකු මැදිකර මාංචු සහිතව සැකකරු රැගෙන ගොස් තිබූ අතර ප්‍රථමයෙන් වේයන්ගොඩ හුරීකොටුව උඩුගම කනත්ත ඉදිරිපිට කොස්ගසක් මුල සඟවා තැබූ කඩුව සොයාගෙන තිබේ. ඊට අමතරව සැකකරුගේ පියා සිටියදී ඔහු සතු වූ අත්බෝම්බ දෙකක්, ජෙලග්නයිට් කූරු කිහිපයක් හා බෝම්බ පිපිරවීමට ගන්නා වයරයක් සඟවා තිබූ හල්ගම්පිටිය කැලෑබද ප්‍රදේශයකට ගොස් ඇත. එම පාර්සලය ආරක්ෂිතව එහි තැනක සඟවා තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.

එතැන් සිට මීටර් 50ක් 60ක් පමණ දුර යන්නට මත්තෙන් සැකකාර බෙවන්වත්තේ නිශා අත් මාංචු දමා තිබියදී කැබ් රථයේ රියැදුරු පොලිස් කොස්තාපල් (9055) සංජීවගේ ගෙල සිරකර තිබේ. එසැණින් කැබ් රථය මාර්ගය පුරා ගොස් කාණුවකට වැටී ඇත. මේත් සමඟ සැකකරු දකුණු පසින් සිටි පොලිස් කොස්තාපල් අමිල වෙඩි තබා තිබුණේ සැකකරු බිය ගැන්වීමටය. එසැණින් අසුනේ දකුණු පස සිටි පොලිස් පරීක්ෂක අජිත් සේනානායක මහතා රථයේ දොර අරිනවාත් සමග සැකකරු බිමට පැන තිබුණේ එම නිලධාරියා පෙරළා දුවයාමටය. එසැණින් පොලිස් කොස්තාපල් අමිල සැකකරු මතට පැන ග්‍රහණයට ගැනීමට උත්සාහ කිරීමේදී සැකකරු පිස්තෝලය උදුරා ගැනීමට තැත්කර ඇත. එහිදී සිදුවූ පොරබැදීම අතර ක්‍රියාත්මක වූ පිස්තෝලයේ උණ්ඩය සැකකරුගේ හිසට වැදී තිබිණ. එහිදී තුවාල ලැබූ සැකකරු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පොලිස් රියැදුරුගේ ආරක්ෂාව සඳහා ඔහු ගම්පහ රෝහලට ඇතුළත් කොට තිබුණි.

වෙඩි ප්‍රහාරයෙන් මියගිය බෙවන්වත්තේ නිශා ප්‍රදේශයට පිළිලයක් වූ අයෙකි. ඔහුගේ මරණය සැලවීමෙන් ප්‍රදේශවාසීන් කිරිබත් උයා ඇති බව වාර්තා විය. මෙම සැකකරු ගමේ තරුණයන් කුඩුවලට ඇබ්බැහි කරවාගෙන ඇති අතර එවැනි ඇතැමුන්ගේ අඹුවන් සිය ඇසුරට ගෙන ඇත්තේ කුඩු පානය කරනවුන්ගේ බලකිරීම හමුවේය. ඩයලොග් ආයතනයට අයත් ලක්ෂ 18ක මුදල් කුලියාපිටිය ප්‍රදේශයේදී කොල්ලකෑම, වේයන්ගොඩ චීන ජාතිකයන් සතු වැඩබිමක පඩි සල්ලි ලක්ෂ 10ක් කොල්ලකෑම, අත්තනගල්ල ප්‍රදේශයේදී භාණ්ඩ සමඟ ලොරි රථයක් සොරාගැනීමෙන් ලක්ෂ 20ක් වංචා කිරීම වැනි චෝදනාද මොහුට විරුද්ධව පවතී. සුඛෝපභෝගී නිවෙසක්, අති නවීන වෑන් රථයක් සතු මොහුගේ පියා බොස්ටල් මහතුන් නැමැති අපරාධකරුවෙකි. ඔහුට බිරින්දෑවරු දස දෙනකුට අධික සංඛ්‍යාවක් සිටි බවද නිශාගේ මව එක් තැනැත්තියක් බවද කියති. එම පුද්ගලයාට දාව කාන්තාවන් දස දෙනකුට පමණ දරුවන් සිටින අතර ඒ අතර බෙවන්වත්තේ නිශා පියාගේ අඩිපාරේ ගිය දාමරික පුතෙක් විය.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් බස්නාහිර පළාත උතුර බාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජයශ්‍රී, පෑලියගොඩ අපරාධ කොට්ඨාස අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ඕ.කේ.ටී. නානායක්කාර මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පෑලියගොඩ අපරාධ කොට්ඨාස ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත ධර්මකීර්ති, පොලිස් පරීක්ෂකවරුන් වන පතිරාජසූරිය, අජිත් සේනානායක. උප පොලිස් පරීක්ෂක කපුරු බංඩාර, පොලිස් සැරයන් (41291) මංජුල, පොලිස් කොස්තාපල්වරුන් වන (38088) අමිල චන්දන, (48914) කපිල ජයසිංහ (73380) අමිල මුණසිංහ සමඟ පොලිස් කොස්තාපල් රියැදුරු (9055) සංජීව හා (94813) ගයාන් යන නිලධාරීහු වැටලීමට දායක වූහ.

සමන්ත ප්‍රදීප් විල්තෙර