
නව වසරක් උදා වී තිබේ. දින දර්ශනයක අලුත් දවසක් නමුත් මුහුණ දෙන්නට සිදුවී ඇති ප‍්‍රශ්න නොවෙනස්ය. ස්ථිර විසඳුමක් කරා ගමන් නොකළහොත් පුන පුනා මුහුණ දෙන්නේ එකම ඉරණමට බව ප‍්‍රකාශ කළ යුතුව තිබේ. ශ‍්‍රී ලංකාව ඉතාමත් තීරණාත්මක තැනක පසුවෙයි. ආර්ථිකය එපමණ යහපත් නැත. බලවත් ගැටලු ඇති බව සඳහන් කළ යුතුය. ආදායම හා වියදම පාලනය කරගැනීම පහසු නැත. කොවිඩ්-19 වසංගත තත්ත්වයෙහි අවසානයක් නොපෙනේ. පසුගිය වසරේ දෙවැනි කාර්තුවෙන් මතු වූ ව්‍යසනය මෙම වසරේ අවසානය තෙක් ගමන් කරනු ඇති බවට සැකයක් තිබේ. ජන ජීවිතය අවුල්වන අතර සියලුම දෙනා අපහසුවෙන් අඩු ආදායම් තත්ත්වයකින් පීඩාවට පත්වීම වැළැක්විය නොහැකි බව පෙනේ.
ගැලවීමක් සඳහා එකම පියවර කොවිඩ් වලින් ආරක්ෂා වීම පමණකි. ලෝකයේ නොයෙක් රටවල් ජන සමාජය එන්නත් කරන තීරණ වලට අවතීර්ණ වී ඇත. රජය එන්නත ගැන තීරණ ගැනීමට ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පත්කර ඇත. රාජ්‍ය සේවයේ හසළ අත්දැකීම් ඇති එතුමා පැති ගණනාවකින් අවධානය යොමුකර සුදුසු තීරණය නිර්දේශ කරනු ඇත. සෞඛ්‍ය අංශ සහ ජන සමාජය එක අරමුණක තබා ගැනීම ඉතාම වැදගත්ය. පටු පරමාර්ථ සහිත අන්තවාදී දේශපාලන කණ්ඩායම් උගුල් ඇටවුවහොත් සමාජය පමණක් නොව මෙරට ආර්ථිකය පවා දරැණු අවසානයකට මුහුණ දෙන බව අවධාරණය කළ යුතුය.
• ඩොලර් පෙරනිමිති පහළ වෙමින් පවතින අවස්ථාවක්
ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ගැන දක්වන ඉඟියක් වශයෙන් රුපියලේ අගය අවප‍්‍රමාණයවීම දැක්විය හැකිය. විනිමය හිඟ අවස්ථාවේදී දුර්වල වන අතර රටට ඇති තරම් විනිමය උපයාගතහොත් රුපියලේ අගය ශක්තිමක් කරගත හැකිය. ශ‍්‍රී ලංකා මහ බැංකුව පසුගිය දා කරනලද ප‍්‍රකාශය අනුව විනිමය ප‍්‍රශ්න ආර්ථික හා මූල්‍ය අංශය කළඹන්නට පටන්ගෙන තිබේ. ඇමෙරිකාන ඩොලරයක විකිණුම් මිල රු. 197.00 තරමට පැමිණ ඇති අතර එය මෙයට වසර දෙකකට පමණ කලින් තිබුණු ඩොලරයක විකිණුම් මිල රුපියල් එකසිය පනහ ඉක්මවන පසුබිමක් බව පෙනේ. විනිමය අනුපාතිකය සම්බන්ධ ප‍්‍රශ්න පැන නැගෙන විට එයින් ඇති කරන පීඩනය තියුණුය.
ශ‍්‍රී ලංකා මහ බැංකුව දක්වන පරිදි ඩොලරයේ මිල වැඩිවීම අනපේක්ෂිත තත්ත්වයකි. එය පාලනය කරගැනීමට හැකිය. ඉදිරි දින කිහිපය තුළ ඩොලරයක විකිණුම් මිල රු. 185 ක සීමාවේ තබාගන්නට උපරිම වෑයම් කරන බව අඟවා තිබේ. මහ බැංකුව දක්වන පරිදි රටට ඇති විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 5.6 කි. එය වේගයෙන් ආනයන හා අපනයන සිදුවන කාලවකවානුවකට තරම් නොවන නමුත් මෙම පාලිත වකවානුවේ නිශ්චිත අවශ්‍යතා සඳහා පමණක් යම් තරමකට ප‍්‍රමාණවත් බව සැකයක් නැත. අවුරුද්ද අවසන් හා නව වසරක් එළැඹෙන විට දෙස් විදෙස් ගනුදෙනු පියැවීම ව්‍යාපාර හා කර්මාන්ත අංශ අනුගමනය කරන සාමාන්‍ය කාරණයකි. අදාල විදේශ ගෙවීම් සඳහා ඩොලර් ඉල්ලුමක් ඇතිවෙයි. ඉල්ලුම වැඩිවන විට ඩොලරයේ අගය ඉහළ නැගීම සිදුවිය හැකිය. මෙවැනි අවකාශයක් තුළ සැලැස්මක් අනුව, නිසි පාලනයක් තුළ මෙරටින් විදේශ විනිමය පිට කිරීමට ඉඩදීම උචිතය. ඩොලරයේ වටිනාකම වැඩිවී ඇති කාලය තුළ පිටරටවල රඳවාගෙන ඇති මුදල් මෙරටට ගෙන්වීමට හොඳ කාල පරිච්ජේදයක් බවද සඳහන් කළ හැකිය. ව්‍යාපාර හෝ අපනයනවල ලැබීම් සහ විශේෂයෙන් විදේශගතව රැකියා කරන පිරිස එවන ප්‍රේෂණ මෙම වාසිදායක අවස්ථාවේ දී රටට ලැබුණහොත් එම ගනුදෙනුවලට වැඩි රුපියල් ප‍්‍රමාණයක් ලබාගත හැකිය. අවසාන ප‍්‍රතිඵලය වශයෙන් මෙරට විදේශ සංචිත තරවීමෙන් නැවතවතාවක් රුපියලේ අගය ශක්තිමත් වනු ඇත.
• අවප‍්‍රමාණයෙන් අවාසි පමණක් නොව....
රුපියල අවප‍්‍රමාණය වන විට ආනයනික දේ වෙනුවෙන් ගෙවන පිරිවැය ඉහළ නගී. ශ‍්‍රී ලංකාව වැඩි වශයෙන් ඛනිජ තෙල් ආනයනය කරයි. සීනි, පරිප්පු, කිරිපිටි, අල, ලූනුවල සිට සෑම දෙයක් ම පිටරටවලින් ගෙන්වයි. ඇඟළුම් කර්මාන්තය සඳහා අවශ්‍ය රෙදි පිළි හා යන්ත‍්‍ර සූත‍්‍ර ගෙන්වන දෑ අතර තිබේ. කර්මාන්ත හා ව්‍යාපාර වෙනුවෙන් ආනයනය කරන ප‍්‍රමාණය සැලකිය යුතු බව ද සඳහන් කළ යුතුය. මේවා වෙනුවෙන් මෙරටින් ගෙවන මිල රුපියල අවප‍්‍රමාණය වන තරමට ඉහළ යනු ඇත. වෙනදා රුපියල් එකසිය අසූ පහකට මිල දී ගත් එකම දේ වෙනුවෙන් අද තවත් රුපියල් දහයක් වැඩිපුර එනම් එකසිය අනූවක් ගෙවන විට එය අමතර වියදමකි. අවසානයේදී මෙම පිරිවැය පාරිභෝගිකයාට දරන්නට සිදුවෙයි. තව දුරටත් ඩොලරය ඉහළ අගයක පැවැතියහොත් ආනයනික ද්‍රව්‍යවල මිල මෙරට ජනතාවට දැනෙන තත්ත්වයකට පත්විය හැකිය. සමහරවිට තෙල් මිල වැඩි කිරීමක් සිදුවිය හැකි අතර එසේ නොකරන්නට රජය තීරණය කළහොත් ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව දෙගුණ තෙගුණ වී එය මහා භාණ්ඩාගාරයෙන් පියවන තැනට පත් විය හැකිය. ආනයන මත කරන කර්මාන්ත වල මුලික වියදම් ඉහළ යෑම ලෝක වෙළඳ පොලේ දී තරඟකාරී වෙළඳාමකට බාධා කරන හේතුවක්ද විය හැකිය.
සංචාරක ව්‍යාපාරය, ආයෝජන වෙනුවන් හිතකර වාතාවරණයක් ඇතිවෙයි. විදේශ ආයෝජකයන් රටට පැමිණ කරන ව්‍යාපාර වෙනුවෙන් ගෙන එන ධනයට මෙරටින් ලබාගත හැකි රුපියල් ප‍්‍රමාණය වැඩිවෙයි. සංචාරකයන්ට සුළු ප‍්‍රමාණයකින් හෝ වාසියක් ලැබේ. මෙරටින් අපනයනය කරන දේ ලාබවීම අපනයනකරුවන්ට වඩාත් වැදගත්ය. වෙනදා ගැනුම්කරුවන් ගෙවන ලද මුදලට වඩා රුපියල් ප‍්‍රමාණයක් ලැබෙන අතර විදේශ වෙළඳ පොළේදී ගැනුම්කරුවන්ටද වාසියක් බවට හැරේ. මෙම වාසි හා අවාසි දෙක නිසි පරිදි තුලනය වීම සුදුසුය. ශ‍්‍රී ලංකාව වැනි රටක් ඇමරිකානු ඩොලර් බිලියන දහයක අපනයනය කරන විට ආනයනට කරන ප‍්‍රමාණයේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන විස්ස ඉක්මවීම පසුගිය කාලයේ දැකගත හැකි වූ තත්ත්වයකි. අපනයනයෙන් වාසියක් ලබන තරම මෙන් දෙගුණයක් ආනයනයේ දී අවාසි සිදුවෙයි. එය සමබර කරගැනීමට වහාම අපනයන නංවා ගත යුතුය. අපනයන කළ හැකි දේ මහා පරිමානයෙන් නිපදවා රට තුළ ධනය නිපදවීම හැර අනෙක් මාවතක් මෙම අවස්ථාවේ දී රටට නැත.
• විදෙස් ණය වියදමද විනිමය අනුපාතිකය දුබල කරයි
2020 වසරේ ණය ගෙවන්නට රටට අවශ්‍ය විදේශ විනිමය ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හයක් පමණ බව ප‍්‍රකාශ වෙයි. මෙපමණ විදේශ විනිමය ප‍්‍රමාණයක් අවුරුද්දකට උපයන්නේ නැත. විදේශ ණය ගෙවනු සඳහා යළිත් ණය ගන්නට සිදුවන බව එයින් ප‍්‍රකාශ වන කාරණයයි. ලාංකේය ශ‍්‍රමිකයන් රටට එවන විනිමය ප‍්‍රමාණය දළ වශයෙන් අවුරුද්දකට ඇමරිකානු ඩොලර් බිලියන හයකි. එයින් සියයට විසි හතක් 2020 වසරේ දී අඩු වී තිබේ. එය කොවිඩ් වසංගතයේ බලපෑම බව දැක්විය යුතුය. ඇඟළුම් අපනයන ආදායම සියයට තිහකින් අඩු වී ඇත. සංචාරක කර්මාන්තයෙන් උපයන විනිමය බිංදුවට වැටී තිබේ. සීමිත සංචාරක පිරිසක් ගෙන්වන්නට රජය අවසර දුන්නේ නොබෝදාය. අපනයන වලින් උපයන දේ මෙම ණය ගෙවා ආනයන වියදම පියවා ගන්නට කිසිසේත් ප‍්‍රමාණවත් නැත. විදේශ විනිමය උපයා ගැනීමේ දැවැන්ත වැඩ සටහනක් රටට අවශ්‍යය. අපනයන වෙනුවෙන් කවර හෝ දෙයක් අලුතින් නිපදවන්නට රටට සිදුවෙයි. නැත්නම් විදේශ ආයෝජකයන් ගෙන්වා නිෂ්පාදනය වැඩිකරගත යුතුය. එවිට අපනයනයට අවස්ථාවක් හැදේ. 2016 වසරේ සිට අද දක්වා දිගින් දිගටම ණය ගෙවීමට වත්කම් සම්පූර්ණ කරගත නොහැකි වී තිබේ. විනිමය ප‍්‍රමාණවත් නොවන පසුබිම තුළ තවත් සංවර්ධන බැඳුම්කර නිකුත් කර තවත් වටයකින් ණය ගන්නා ආණ්ඩුව ඒවා වෙන් කරන්නේ සංවර්ධනයට නොවේ. කලින් ගත් ණය ගෙවීමටය. මෙම ප‍්‍රවණතාව පාලනය කර නොගතහොත් විනිමය හිඟ රටක් වශයෙන් ඉතාමත් දුෂ්කර තත්ත්ව ඇති වෙන්නට බැරි කමක් නැත.
ශ්‍රේණිගත කිරීමේ ආයතන පවා මෙම අවදානම අධ්‍යයනය කර තිබේ. ණය රේටිං පහළ අගයක් කරා සංශෝධනය කර තිබේ. ශ‍්‍රී ලංකාවේ මැදි ආදායම් මට්ටම හා නැවත ණය ලබාගෙන හෝ ආපසු ණය ගෙවන්නට නොපැකිලී පියවර ගැනීම මත ජාත්‍යන්තර ප‍්‍රජාව හා සංවිධාන අවධානයට ගෙන ඇති කරුණකි. ශ‍්‍රී ලංකාව දිගින් දිගටම වානිජ ණය නිකුත් කරමින් සිටී. විදේශ විනිමය හිඟය පිළිගෙන එය පියැවීම සඳහා අඩු පොලී අනුපාත අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් තාවකාලික ණය සංචිතයක් උපයා ගැනීම රටට අනුගමනය කළ හැකි උපායශීලී පිළිවෙළකි. 2016 මැද ආණ්ඩුව මූල්‍ය අරමුදල ණය සංවිතයක් උපයා ගත්තේය. එය ඇමරිකානු ඩොලර් බිලියන 1.5 කි.එයට කලින් 2009 වසරේ දී පවා සියයට 0.3 ක වාර්ෂික පොලියකට මූල්‍ය අරමුදලෙන් තාවකාලික සංචිත ලබා ගෙන ඇත. එවැනි විනිමය සංචිතයක් ලබාගෙන දූරදර්ශී පිළිවෙතකට අනුව ආයෝජනය කර එයින් ආදායම් උපයා ගැනීම උචිතය. ආපසු ගෙවන්නට කල් ලැබෙන කාලය තුළ රටේ විනිමය සංචිතය ශක්තිමත් කරන අපනයන කෙරෙහි නැඹුරු විය යුතුය. විදේශ විනිමය ආරක්ෂා කරගන්නා ක‍්‍රම අනුගමනය කරන්නට ඉතාම වැදගත්ය. නමුත් ඉතිහාසයේ එය එසේ සිදුවී නැත.
• අතැඟිලි අතරින් ගිලිහී ගිය ස්වර්ණමය අවස්ථා
වත්මන් ආණ්ඩුව බලයට පත් වහා මෙරට ක‍්‍රියාත්මක වෙමින් තිබුණ ජපන් ආධාර සහිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කළේය. 2019 වසරේ මාර්තු මාසයේදී ආරම්භ කරන්නට නියමිත එම ව්‍යාපෘතිය සඳහා ජපානයෙන් ඉතාම අඩු පොලියකට ඇමරිකානු ඩොලර් බිලියන 1.25 ක මුදලක් අනුමත වී තිබුණි. ඇමරිකාවේ මිලෙනියම් චැලේන්ජ් අරමුදල මගින් ආපසු නොගෙවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 480 ශ‍්‍රී ලංකාව ප‍්‍රතික්ෂේප කළේය. පසුගිය ආණ්ඩුව පවා ශ‍්‍රී ලංකන් ගුවන් සේවාවට යානා මිලදී ගැනීමට අත්සන් කර තිබුණ ගිවිසුම අවලංගු කිරීමෙන් පසු ගෙවන වන්දිය විශාලය. වසර දෙකක් වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය නතර කරන ලද්දේය. එම ප‍්‍රමාදය නොවුණි නම් අද වනවිට කොළඹ වරාය නගරය තුළ ආයෝජන ඇරඹී හමාරය. මේවා විදේශ ධනය වන අතර රටට ලබාගත නොහැකි වූ අවස්ථාය. විශාල තර්ක ගොඩනැගූ දේශපාලනඥයන් රටට අනවශ්‍ය ඇඟිලි ගැසීම්, ආරක්ෂාවට තර්ජනය හා පලක් නැති ආයෝජන බව සඳහන් කර මෙම ව්‍යාපෘති අවලංගු කළ පසු රටට අහිමි වූ විදේශ වත්කම් ප‍්‍රමාණය සුළු පටු නොවේ. බාධා නොකර දිගට පවතින අවකාශයක් තිබුණි නම් මෙම සෑම ඩොලරයක්ම රටට වත්කමකි. ඒවා මෙරට කොන්ත‍්‍රාත්කරුවන්, සැපයුම්කරුවන්, ශ‍්‍රමිකයන් අතරේ බෙදී යන අතර මුල්‍ය අංශයෙහි සක‍්‍රීය සංසරණයක් සිදුකරන්නට හේතුවනු නිසැකය.
පිටරටක ඉගෙනගන්නා දරුවෙකුට ඩොලර් සියයක් යවන විට වසර දෙක තුනකට කලින් යවන විට ගෙවූ රුපියල් ප‍්‍රමාණයට වඩා යමක් වැයකරන විට එය විනිමය අනුපාතිකය සම්බන්ධ ප‍්‍රශ්නයක් බව වටහා ගත යුතුය. මෙරට දේශපාලනඥයන් ගත් තීරණ නිසා රටට ලබාගත හැකි වූ විනිමය අහිමි වූ බව කල්පනාවට ගත යුතුය. බුද්ධිමතුන් හා වියතුන් බව දක්වන පිරිස් පටු ආකල්පවල සිට කරන ලද පියවර හෙයින් නොලැබූ මුදල් විනිමය ප‍්‍රශ්න ඇතිකරන්නට හා තව තවත් ණය ගන්නට හේතු වී ඇති බව සඳහන් කරන්නට අවශ්‍යය. මේවා ජනතාව තේරුම් ගත යුතු අනෙක් පැතිය. රට නිදහස් නිවහල් හා අධිරාජ්‍යවාදීන්ගේ ඇඟිලි ගැසීම්වලට අවනත නොවන රටක් නම් මෙම ගැටලු හිස නමා පිළිගැනීම ප‍්‍රශ්නයක් නැත. එහෙත් රටට පහසුවෙන් ලබාගත හැකි අතිරේක සම්පත් අහිමි කරගැනීමෙන් පසු සාමාන්‍ය ජනතාව ගෙවන වන්දියක ක්‍රම ගැන හිතා බලන්නටත් පසුබිමක් මෙම අවස්ථාවේදී නිර්මාණය වී තිබේ.
ගාමිණී සරත් ගොඩකන්ද